Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්: 2018 සැප්තැම්බර්

මේ වසරේ මාර්තු මස Play Store වෙත එක් වුණු apps ප්‍රමාණය 3,600,000 වෙද්දී ජුනි මාසයේ එය 3,300,000 දක්වා (Statista දත්ත අනුව) පහත බැස තිබෙනවා. පසුගිය වසරේ සිට ම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් ආ මෙම අගය එක්වර ම අඩු වීමට හේතුව ගූග්ල් සමාගම විසින් Play Protect හෙවත් malware ආකාරයේ ඇප්ස් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට ආරම්භ කිරීම බවට අනුමාන කළ හැකියි. කොහොම නමුත්, සැප්තැම්බර් මාසයේ එක් වුණු විශාල අගයක ඇප්ස් අතරින් නොමිලේ ලබාගත හැකි හොඳම ඇප්ස් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට යි මේ සූදානම.

App Hoarder

Google Play Store

Play Store සතු ව කෙතරම් ඇප්ස් තිබුණත් බොහෝ හොඳ තත්ත්වයේ ඒවා සඳහා මුදල් අය කරනවා. නැතහොත්, ඉවරයක් නැති Ads නිසා ඒවාට ගෙවීමක් කර ඉවත් කරගන්නට අපට සිදුවෙනවා. නමුත් ඇතැම් කාලවල දී සීමිත කාල සීමාවක් සඳහා (ප්‍රවර්ධනය වෙනුවෙන්) ඒවා නොමිලේ ලබාදෙන අවස්ථාවන් තිබෙනවා. එසේ ම මිල අඩුකිරීම් ආදී වට්ටම් ලැබෙන අවස්ථාවන් ද බහුල යි. අපේ කැමතිම ඇප් එක වෙනුවෙන් අපිට මේ දේවල් වෙනවාදැ යි නිතර නිතර බැලීම අපහසු යි. එනිසා එය App Hoarder වෙත බාර දුන්නා ම මිල වෙනස්වීම් පිළිබඳ ව පැයක් පාසා ස්වයංක්‍රීය ව එය පරීක්ෂා කර, වෙනසක් වූ විට අපට දැනුම් දෙනවා. මෙහි ඇති විශේෂත්වය, අතරමැදියෙක් නොවී ඍජුව ම Play Store එක විවෘත කර දීම යි.

Play Store වෙතින් බාගැනීමට: App Hoarder

Inware

Google Play Store

බොහෝ දුරකථනවල Settings හි දුරකථනය පිළිබඳ විස්තර (specs නොහොත් specifications) දක්වන්නේ බොහොම අඩුවෙන්. බහුතරයක තිබෙන්නේ පාවිච්චි වන RAM ප්‍රමාණය, ඉතිරි ව ඇති Storage එක වැනි සීමිත දේවල් ප්‍රමාණයක් පමණයි. නමුත් දුරකථනය පාවිච්චි කරද්දී එය පිළිබඳ ව සෑම විස්තරයක් ම දැන සිටීම එයට කළ හැකි වැඩ ප්‍රමාණය ගැන අපට අවබෝධයක් ගෙන දෙනවා. බැරි බර පටවා, මේක ස්ලෝ වෙලායැ යි අවලාද නඟන්නට පෙර තමන්ගේ දුරකථනයේ ක්‍රියා හැකියාව අවබෝධ කරගෙන සිටීම යි වැදගත්. මේ ගැටලුව විසඳන්නට Inware ඇප් එක දායක වෙනවා. එමගින් දුරකථනයේ CPU, Resolution, දුරකථනය සමඟ ලැබුණු Android වෙළුම පමණක් නොව කැමරාවේ aperture එක ආදී දේ ගැනත් විස්තර ගෙන එනවා.

මෙතැනින් ගොස් බාගන්න: Inware

Storyz Photo Motion & Cinemagraph

ඡායාරූප කලාවේ අලුත් ම ක්‍රමය තමයි Cinemagraph කියන්නේ. නිශ්චල ඡායාරූපයක ප්‍රධාන දේ නිශ්චල ව තිබෙද්දී පරිසරයේ තියෙන වළාකුළු, දුම, මුහුද හෝ දියඇලි වගේ දේවල් විතරක් චලනය වන ආකාරයේ නිර්මාණයක් තමයි එලෙස හඳුන්වන්නේ. Storyz ඇප් එක නිසා මේවා හදන්න වීඩියෝ සංස්කරණය ගැන කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. ඔබ සතු ඡායාරූපයක් විනාඩි ගණනකින් Cinemagraph එකක් බවට පත් කරගන්නට පුළුවන්. අනතුරුව එය GIF හෝ Video එකක් විධියට මිතුරන් සමග බෙදා ගන්නටත් එය හරහා ම අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙහි ආකාර දෙකකින් නිර්මාණ කරන්න පුළුවන්. Ripple ආකාරයේ දී තිබෙන ඡායාරූපයේ ම අවශ්‍ය කොටසක් එම ඡායාරූපයේ දසුනම භාවිතයෙන් animate කරන්න පුළුවන්. Motion ආකාරයේ දී තෝරාගත් ඡායාරූපයේ අවශ්‍ය කොටසක් මතට වෙනත් video එකක් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස වාහනයක් තුළ සිට ගත්තු ඡායාරූපයක කවුළුවලින් අවට පරිසරය video එකක් කර, වාහනය ඉදිරියට ඇදෙන්නාක් මෙන් අත්දැකීමක් මවන්නට පුළුවන්. ඇප් එක විවෘත කළාම එන Tutorial එකෙන් මේවා කරන හැටි පහසුවෙන් ඉගෙන ගත හැකියි.

Play Store එකෙන්ම අත්හදා බලන්න: Storyz

Text Scanner [OCR]

Google Play Store

යාළුවෙක්ගෙන් notes ඉල්ලගත්තා ම අපි කරන්නේ ඉක්මනට පින්තූර අරගන්න එක යි. නමුත් හැමවිටම ඒවා පැහැදිලි ආකාරයට වදින්නේ නැහැ. Print කරනවා නම් කරන්න වෙන්නේත් ඡායාරූපයක් විදියට ම නිසා එය අනවශ්‍ය කරදරයක්, මිල අධික දෙයක් බවට පත් වෙනවා. ඒ වෙනුවට ගන්නා ලද ඡායාරූපයේ තිබෙන දේවල් text එකක් විදියට එවෙලේම ලබා ගන්නට පුළුවන් නම් එය මහත් වාසියක් බවට පත්වෙනවා. මේ සඳහා ඔබ OCR ඇප් එකක් සොයමින් සිටියා නම්, මේ ඇප් එකෙන් අවශ්‍යතාව හොඳින් සපුරා ගන්නට පුළුවන්. අකුරුවල ප්‍රමාණය විශාලවත්ම ඇප් එකේ නිරවද්‍යතාව වැඩි වන අතර හඳුනාගත් අක්ෂරවල අඩුපාඩු තිබෙනවා නම් save කරන්නට පෙර අපට එය සකසන්නට පුළුවන්. මෙමඟින් මැජික් එකක් බලාපොරොත්තු විය නොහැකි නමුත්, පින්තූරයක ඇති අකුරු, වෙනස් කළ හැකි text එකක් බවට පත් කරද්දී බොහොම ප්‍රයෝජනවත් වෙනවා.

Play Store ලින්ක් එක: Text Scanner [OCR]

Hide

WhatsApp, Messenger, Viber ආදියෙහි අපට ලැබුණු පණිවිඩයක් කියවූ වහා ම එය එවනු ලැබූ පාර්ශවයට ඒ බව දැනගන්නට හැකි වෙනවා. කරදරකාරී පණිවිඩ හෝ වෙනත් පෞද්ගලික හේතූන් මත ලැබුණු පණිවිඩය කියවා, ඔවුන්ට කියවූ බව නොදැනෙන්නට සිටීමට අවශ්‍යතාවන් ඔබට ඕනෑතරම් මතු ව ඇති. එවන් විට දී සහායට එන්නට Hide ඇප් එක සැදී පැහැදී සිටිනවා. දුරකථනයේ Accessibility අවසරයන් ලබා දුන් පසු ලැබෙන Notifications මෙම ඇප් එකට ලබා ගැනෙනවා. එවිට අපිට එය හරහා ලැබුණු පණිවිඩ, ඡායාරූප ආදිය නැරඹීමට හැකි වන නිසා අදාළ ඇප් එක විවෘත නොවීමෙන් එවූ අයට අප එය දුටුවාදැ යි යන්න දැනගැනීමට හැකි වන්නේ නැහැ.

මෙතැනින් බාගන්න: Hide

කවරයේ ඡායාරූපය: pcmag.com

Related Articles