Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් වුණු Microsoft Edge බ්‍රවුසරය වෙත ගුණ අගුණ චාරිකාවක්

මයික්‍රොසොෆ්ට් සමාගමේ Internet Explorer බ්‍රවුසරය ගොළුබෙල්ලෙකුට උපමා වී Memes හැදෙන්නට තරම් පහතට වැටී තිබිය දී විශේෂාංග රැසක් සමග Microsoft Edge කරළියට පැමිණියා. වැඩි කල් යන්නටත් පෙර, එය නැවත වෙනස් කර Chromium පදනමක් සහිතව යළි ගොඩනගන්නට Microsoft සමාගම කටයුතු කළා. ඒ සමග Edge සතුව තිබූ විශේෂාංග නැති වීමත්, නොතිබූ විශේෂාංග එක් වීමත් සිදුවුණා.

Chrome තියෙද්දි Chromium Edge මොකටද?

බොහෝ අංශවලින් ඉදිරියෙන් (windowslatest.com)

අලුත් Edge බ්‍රවුසරය Google Chrome හි විවෘත කේත වෙළුම වන Chromium පදනම් වූවක් නම් Chrome භාවිතා කරන කෙනෙක් අලුත් Edge එක තෝරාගත යුත්තේ ඇයි දැයි සිතට නැගෙනවා. VentureBeat වෙබ් අඩවිය Intel Core i5-7200U, 8GB of RAM, 256GB SSD පරිගණකයකින් කළ Benchmark පරීක්ෂණයක දී, බොහෝ අංශවලින් ඉදිරියට එන්නට Edge (Chromium) සමත් වුණා.

ලැප්ටොප්වල බැටරි බලය ඉතිරි කිරීම, Touch සහාය, ආබාධිත තත්ත්ව ඇති අයට සහායයන්, ARM64 ප්‍රොසෙසර සහාය ඇතුළු තවත් දේවල් රැසක් Chromium ව්‍යාපෘතියට පරිත්‍යාග කරන්නටත් Microsoft සමාගම කාරුණික වුණා. ඉන් Chromium මත පදනම් වුණු Opera වැනි බ්‍රවුසරවලට පවා වාසි සැලසෙනවා.

UI එක අතින් ගත් කල, විශාල අයිකන සහ බොත්තම් සමග නවමු අත්දැකීමක් එය ගෙන එනවා. Chromium based නිසා Chrome Extensionsනුත් මෙහි ක්‍රියාත්මක වෙනවා. නුදුරේ දී ම පැරණි Edge සතුව තිබුණු Tab grouping පවා ලැබේවි. New Tab පිටුව ඡායාරූප සහ පුවත්වලින් සැරසීම, Reading view එකක් සහ වෙබ් අඩවි හඬනගා කියවීම, පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව ඇතුළු වාසි රැසක් එය ගෙන එනවා.

අතුරුමුහුණත, Bing සහ Google සෙවුම

රිසි සේ වෙනස් කළ හැකි New Tab පිටුව (askifa.ng)

Edge බ්‍රවුසරය Chromium වෙත හැරීමත් සමග එය සතු කොටු හැඩැති ටැබ්, UI එකෙහි විනිවිද පෙනෙන හැකියාවන්, ටැබ් Set aside කිරීම, Buttons show/ hide කිරීම යනාදිය ගිලිහී ගොස් තිබෙනවා. කෙසේවෙතත්, එය Dark mode සඳහා සහාය දක්වනවා.

පෙරනිමියෙන් Edge බ්‍රවුසරය ප්‍රධාන Search Engine එක ලෙස මයික්‍රොසොෆ්ට් සමාගමේ ම Bing සේවය ලබා දුන්න ද, එය සම්පූර්ණයෙන්ම Google Search එක වෙතට වෙනස් කරගන්නට හැකියාව තිබෙනවා. එහෙත්, New tab පිටුවේ තිබෙන Search box එක නම් Bingවලට ම වෙන් වෙනවා.

Chromeවල මෙන්ම, Profile කිහිපයක් තබාගැනීම, වෙබ් අඩවි පරිවර්තනය කිරීම, නව ටැබ් පිටුවල පමණක් Bookmark bar එක පෙන්වීම, PDF බ්‍රවුසරයෙන්ම විවෘත කිරීම වැනි සේවාවන් අලුත් Edge එකෙන් ද ලැබිය හැකියි.

වෙබ් අඩවි සඳහා Dark mode සහ හඬනගා කියවීම

අකුරු ප්‍රමාණය සහ පිටු වර්ණ වෙනස් කළ හැකියි (windowscentral.com)

පරිගණකය ඉදිරියේ දෑස් වෙහෙසා සිටිය දී ඔබේ ප්‍රියතම මාතෘකාවක් සම්බන්ධ ලිපියක් දකිනවා. මෙතෙක් කල් පසුව කියවීමට එය Bookmark කරගන්නට සිදු වූවත්, එවෙලේම ඒ ආසාව සංසිඳුවා ගන්නට Edge (Chromium) සතු Immersive Reading Mode එක සහාය වෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වෙබ් අඩවියකට පිවිසි විට Navigation bar එක කෙළවරෙන් පොතක් සහ ස්පීකරයක් ඇති අයිකනයක් මතු වෙනවා. Reading Mode සක්‍රීය කිරීමෙන් වෙළඳ දැන්වීම් ද ඉවත් වන අතර, පහසුවෙන් ලිපියක් වෙත අවධානය යොමු කිරීම‍ට හැකි වෙනවා.

මෙහි ඇති Text preference ක්ලික් කළ විට අකුරුවල ප්‍රමාණය වෙනස් කරගන්නටත්, Page Theme හරහා වර්ණ වෙනස් කිරීමටත් හැකි වෙනවා. එමඟින් Dark mode ආකාරයට පිටුව සකසා ගන්නට අවස්ථාව ලැබෙනවා.

Read aloud හරහා කියවීම ඇරඹිය හැකි අතර, Voice options මඟින් කියවන වේගය සහ කටහඬ වෙනස් කරගන්නට හැකියාව තිබෙනවා.

අලුතින් එක් වීමට ඇති විශේෂාංග සහ ඒවා ලබාගන්නා ආකාරය

Edge හි බීටා වෙළුම (androidauthority.net)

Edge වෙතට නුදුරේදීම Collection නමින් Researches කිරීමට පහසුකමක් එක් වීමට නියමිත යි. එමඟින් වෙබ් අඩවිවල සැරිසරද්දී ඡායාරූප, වෙළඳ භාණ්ඩ, Text ආදිය එක්තැන් කරමින් කටු සටහන් සකසා ගන්නට අවස්ථාව ලැබෙනවා.

ඊට අමතරව, Reading mode එකට යතුරුපුවරු කෙටිමඟක්, මයික්‍රොසොෆ්ට් සමාගමේ ගෙවුම් සේවාවක් වන MSPay භාවිතා කිරීමට අවස්ථාව, පැරණි වෙබ් අඩවි සඳහා Edge තුළින්ම IE11 සහාය යනාදී තවත් දෑ රැසක් එක් වීමට නියමිත යි.

මෙවන් ඉදිරියේ දී ලැබීමට සැලසුම් කර ඇති විශේෂාංග දැන්ම අත්විඳින්නට කැමති නම්, Microsoft Insider පිටුවට පිවිසෙන්න. එහි ඇති Beta යනු සති 6කට වරක් Updates ලැබෙන වඩාත් ස්ථායී වෙළුම යි. Dev යනු සතියක් පාසා Updates ලැබෙන වෙළුම වන අතර, Canary යනු දිනපතාම නව විශේෂාංග එක් වන නමුත් අස්ථායී වෙළුම යි.

මයික්‍රොසොෆ්ට් හි ඉදිරි ගමන

නව Edge ලෝගෝව (browserstack.com)

ලොව වැඩිපුරම භාවිතා වන බ්‍රවුසරය වන Chrome සාර්ථක අන්තයක සිටින අතර, Chrome Extensions ස්ථාපනය කිරීමේ පහසුකම ද Chromium පාදම නිසා Edge වෙත ලැබෙනවා. එය Chrome පරිශීලකයන් වින්ඩෝස් සමග ම ලැබෙන බ්‍රවුසරය සමඟ රඳවා ගන්නට සාධකයක් වේවි.

මෙම තීරණය ගන්නට පෙර මයික්‍රොසොෆ්ට් සමාගම තුළ ප්‍රධානීන් අතර සාකච්ඡාවන් රැසක් සිදුව ඇති අතර, දැනට හවුල්කරුවකු සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු වන බිල් ගේට්ස් සමග ද සාකච්ඡා කොට තිබෙනවා. “(මේ තීරණය ගැන) අපි ගොඩක් බය වෙලා හිටියේ. ඒත්, මේ ගැන නි‍වේදනය කළ වෙලාවේ Chromium මෘදුකාංග ඉංජිනේරුවන් මෙන්ම වෙනත් Chromium බ්‍රවුසර් නිෂ්පාදකයන් ද ප්‍රසාදය පළ කළා.” මයික්‍රොසොෆ්ට් එජ් වැඩසටහන් කළමනාකරු ජටින්ඩර් මාන් The Verge වෙත පවසනවා.

ගූග්ල් සමාගම මේ සම්බන්ධව අදහස් දක්වමින්, “ආරම්භයේ සිටම ක්‍රෝම් Open Web ශූරයා වූ අතර අපි ක්‍රෝමියම් දායකයින්ගේ ප්‍රජාවට මයික්‍රොසොෆ්ට් සාදරයෙන් පිළිගන්නවා” යි කියයි. මේ අතරේ ෆයර්ෆොක්ස් හි මව් ආයතනය‍ මොසිල්ලා ආයතනය පවසන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ තීරණය ඔවුන්ට වාසි සහගත බවත්, දැන් පහසුවෙන්ම ඕනෑම කෙනෙක් දෙවන විකල්පය ලෙස ෆයර්ෆොක්ස් වෙත යොමු වනු ඇති බව යි.

මයික්‍රොසොෆ්ට් එකට ලැබුණු කේක් (softpedia.com)

සතුට සමරන්නට Google සහ Mozilla ආයතනය Microsoft වෙත කේක් දෙකක් යැව්වා.

Windows Phone අතහැර දමා, LinkedIn සහ Github මිල දී ගනිමින්, Windows වෙත ලිනක්ස් ගෙන එමින් මයික්‍රොසොෆ්ට් සමාගම වෙනත්ම මාර්ගයක ගමන් කරමින් සිටිනවා. ඔබ හිතන්නේ මෙය කොහෙන් කෙළවර වේවි කියලා ද?

ඉදිරියේ දී ලැබෙන Windows Update එකක් හරහා සියල්ලන්ට ම පැරණි Edge වෙනුවට Chromium Edge ලබාදීමට නියමිත යි. එතෙක් බලා නොහිඳ Microsoft Edge වෙබ් පිටුවෙන් එය බාගත කරගෙන අත්හදා බලන්න.

මූලාශ්‍රයයන්:

  • microsoftedgeinsider.com
  • theverge.com
  • pcmag.com
  • blogs.windows.com

කවරය: microsoft.com

Related Articles