Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවතම Photoshop Elements 2020 සතු විශේෂාංග

Adobe Photoshop Elements යනු මූලික මට්ටමේ මෘදුකාංගයක් වන අතර, එය ආධුනික ඡායාරූප ශිල්පීන්, ඡායාරූප සංස්කාරකවරුන් සහ වෘත්තිකයන් නොවන අය අරමුණු කර ඇත. එය ඡායාරූප සංස්කරණය කිරීමට, නිර්මාණය කිරීමට සහ බෙදා ගැනීමට යොදා ගත හැකි සරල මෘදුකාංගයකි.

දිනය, වේලාව, ස්මාර්ට් ටැග් සහ ස්ථාන අනුව ෆෝල්ඩර දහස් ගණනක් තුළ ඇති ඡායාරූප සංවිධානය කිරීමට පහසුකම් සලසයි. කෘත්‍රීම බුද්ධිය (Adobe Sensei AI) යොදා ගනිමින් ඡායාරූප process කිරීමට ඊට හැකියාව ඇති බැවින්, Adobe Photoshop හරහා හස්තීයව (manually) කළ යුතු බොහෝ දේ තනිව කර දීමට Photoshop Elements වෙත හැකියාව තිබේ. එනිසා ම එය කාලය ඉතිරි කර දෙයි.

Photoshop සතු Plugins සහ Effects අවබෝධ කරගැනීමට අපහසු වුවත් (ඉගෙනුම් කාලය වැඩියි) එය සතුව පහසුකම් බොහොමයකි. Elements සතුව එතරම් සංකීර්ණ අංගෝපාංග නැති වුව ද, තිබෙන ස්වල්පය ඕනෑම කෙනෙක්ට දුටු සැණින් අවබෝධ කරගත හැකි ඒවා බැවින් මූලික මට්ටමේ ඡායාරූප සංස්කරණ කටයුතු පහසුවෙන්ම කරගත හැකියි.

Elements හි නවතම වෙළුම වන Adobe Photoshop Elements 2020 පසුගිය දා නිකුත් වූ අතර, එහි ඇතුළත් නවතම විශේෂාංග ගැන දැන් සලකා බලමු.

ස්වයංක්‍රීයව එක් කළ හැකි Effects

B&W Selection මඟින් පසුබිම කළු-සුදු කිරීම (adobe.com)

ගන්නා ලද ඡායාරූපවලට ස්වයංක්‍රීයව ම Effects යොදා ගන්නට PSE 2020 සමග අවස්ථාව ලැබේ. PSවලින් සැකසීමට බොහෝ වේලාවක් ගත වන මෙම Effects, වෙනත් මොබයිල් ඇප්ස්වලට වඩා පහසුවෙන් සහ සාර්ථකව යොදා ගන්නට මේ හරහා හැකි වේ.

Frame එකක් ආකාරයට ඡායාරූපවලට Brushවලින් සකසන ලද රාමුවක් එක් කරන්නට Painterly නමැති Effect එක සමත් වෙයි. Pattern Brush මඟින් වස්තුවක පසුබිමට හාට්, තරු වැනි මෝස්තරයක් එක් කරන්නට හැකියි. Depth of Field effect එකෙන් වස්තුව සහ එහි පසුබිම වෙන්කර හඳුනාගෙන පසුබිම සාර්ථකව බොඳ කරන්නට හැකි වේ. තනි කොටසක් පමණක් වර්ණවත්ව තිබිය දී ඉතිරිය කළු-සුදු කරන්නට B&W Selection අවස්ථාව දෙයි.

ස්වයංක්‍රීයව සකසා ඉදිරිපත් කරන නිර්මාණ අපට අවශ්‍ය නම් තවත් වැඩිදියුණු කර පහසුවෙන් ම Save කරගත හැකි වේ.

පැරණි ඡායාරූප වර්ණ ගන්වන්න

මූලික මට්ටමින් වර්ණ යෙදීමට AI එකට හැකියාව තිබේ (adobe.com)

අතීත කළු-සුදු ඡායාරූප ඇල්බමවලට කෘත්‍රීම බුද්ධිය හරහා නව පණක් දෙන්නට දැන් අවස්ථාව තිබෙනවා. Adobe Sensei මඟින් බලගන්වා ඇති PSE 2020 වෙත කළු සුදු ඡායාරූපවලට මූලික වර්ණ එක් කිරීමට (Colorize කිරීමට) හැකියාව තිබේ.

පැරණි ඡායාරූපවලට වර්ණ යෙදීමෙන් තාක්ෂණ බාධකය බිඳිමින් අතීතයේ එම අවස්ථාවන් වර්ණවත්ව දැකීමට හැකි වීම ඔබව පුදුම කරවනු ඇත. අවශ්‍ය කොටස් පහසුවෙන් තෝරා වර්ණ නිවැරදි කළ හැකි අතර, නූතන වර්ණ ඡායාරූපවල ඇති ඇඳුම්වල වර්ණ පවා ඉතාම පහසුවෙන් වෙනස් කළ හැක.

පහසුවෙන් පසුබිම් වෙනස් කළ හැකි වීම

පසුබිම වෙනස් කිරීමට ප්‍රධාන කොටස් වෙන් කරගත හැක (adobe.com)

Photoshop සතු Marquee හෝ Selection Tool එක අපට අවශ්‍ය කොටසක් Select කිරීමට පහසුකම් සැලසුව ද, එය තැනින් තැන ක්ලික් කරමින් වෙන් කර ගැනීමට කල් ගත වේ. එනමුත්, Adobe Sensei AI එකට ඡායාරූපවල ඇති ප්‍රධාන කොටස් හඳුනාගත හැකි බැවින් Select → Subject යන විධානය හරහා ක්ෂණයකින් ඡායාරූපයේ ඇති පුද්ගලයන්/ සතුන් Select කරගත හැකි වේ.

Select කරගත් පසු ඒවා වෙනත් තැනකට ගෙන යාම, Inverse කොට පසුබිම තෝරාගෙන එහි Brightness, Saturation, Hue වැනි වෙනස්කම් කිරීම, වෙනත් පසුබිමක් ගෙනැවිත් දැමීම වැනි නිර්මාණශීලී හැකියාවන් රැසක් අත්හදා බලන්නට හැකියාව ලැබෙයි. මේ හරහා මෙතෙක් කල් Select Tool මඟින් ගත කළ කාලය විශාල වශයෙන් අඩු කරගන්නට අවස්ථාව ලැබේ.

ඡායාරූපවල අනවශ්‍ය කොටස් ඉවත් කිරීම

අවධානය ‍නොවෙනස් වන, වඩාත් සාර්ථක ඡායාරූපයක් (adobe.com)

Photoshopවල තිබෙන Spot Healing සහ Clone Stamp Tool දෙක අනවශ්‍ය කොටස් ඉවත් කිරීමේ දී දේවත්වයෙන් පිදිය යුතු ඒවා යි. එහෙත් පුද්ගලයෙක්, පරිසරයේ ඇති අනවශ්‍ය දේවල් කිහිපයක් වැනි විශාල කොටසක් ඉවත් කරන විට එය කිරීමට මනා පළපුරුද්දක් සහ කාලයක් අවශ්‍ය වෙයි.

PSE 2020 සතු Guided mode එකෙන් ඡායාරූප සංස්කරණයට පළපුරුද්ද නොමැති කෙනෙක්ට පවා තමන්ගේ ඡායාරූපය වඩාත් සිත්ගන්නාසුලු ස්වභාවයට පත් කරන්නට අවස්ථාව ලැබෙයි. Guided mode → Basics → Object Removal වෙත පිවිසුණු විට Brush, Lasso, Quick මෙන්ම Auto ලෙස තෝරාගැනීමට අවස්ථාවන් කිහිපයක් ලැබේ. ඒවායින් අවශ්‍ය කොටස් Select කර Remove Object ක්ලික් කළ වහා එම අනවශ්‍ය කොටස් සැනෙකින් ඉවත්ව යයි.

මුහුණේ සම සුමට කිරීම

ඉලෙක්ට්‍රොනික ෆේෂල් එකක් (adobe.com)

හොඳ කැමරාවකින් ඡායාරූපයක් ගත් විට එය කෙතරම් පැහැදිලි ද යත්, අපේ මුහුණේ ඇති කුඩා කැළැල් සහ බිබිලි පවා පෙන්වන්නට පටන් ගනියි. ස්මාර්ට් දුරකතනවල ඇති Beauty mode එක මෙයට විසඳුමක් නොවන්නේ ඒවායෙන් අපව ‘ඇලි’ බවට පත් කරන නිසා යි. මේ ගැටළුව ඇඟට නොදැනෙන්නට විසඳන්නට PSE 2020 සමත් වේ.

Enhance → Smooth Skin මඟින් ක්ෂණිකව එය වඩාත් ස්වාභාවික පෙනුමක් ලබාදෙන අතර, තවත් අවශ්‍ය පරිදි එය වෙනස් කරගන්නට Slider එකක් ලබා දී තිබේ. මෙමඟින් ආධුනිකයකුට Clone Stamp වැනි Toolsවලින් ඇති විය හැකි අස්වාභාවික පෙනුම වෙනුවට තත්පර කිහිපයකින් වඩාත් සාර්ථක ප්‍රතිදානයක් ලද හැකි වීම විශේෂත්වයකි.

කෘත්‍රීම බුද්ධියේ ආගමනය අපේ ජීවිතවල බොහෝ දේ වෙනස් කරමින් පවතී. Google Photos යනු එහි මුල් අවධිය අප වෙත ගෙන ආවක් වන අතර, දැන් Adobe Sensei AI එක Photoshop Elements හරහා තවදුරටත් අප වෙත AI හැකියාවන් සමීප කරවයි. පරිගණකවල බුද්ධි වර්ධනය නිසා මිනිසාට කිරීමට ඇති වැඩ ප්‍රමාණය අවම වෙමින් යයි. එය දිනෙක ඡායාරූප සංස්කරණ හැකියාවන්ගෙන් පිරිපුන් ඔබේ රැකියාව නැති කරනු ඇත් ද?

කවරය: adobe.com

Related Articles