Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ම සැකසුණු වෙබ් සහ ඇප් නිර්මාණ කිහිපයක්

දේශීය මෘදුකාංග කර්මාන්තයට අත දීමේ අරමුණින් Roar සිංහල අපි දේශීය නිර්මාණකරුවන්ට හඬක් ලබා දෙන්නට කල්පනා කළා. ඒ අනුව, අපට ලැබෙන සිත්ගන්නාසුලු නිර්මාණ මෙලෙස ඉදිරිපත් කෙරෙන අතර, ඔවුන් තව තවත් දිරිගැන්වීමත්, ඒවායින් ප්‍රයෝජන ගැනීමට අපේ පාඨකයන්ටත් අවස්ථාව උදා වෙනවා.

මෙවර ලිපියේ ආහාර පිසීමට සංයෝජන ලබා දෙන වෙබ් අඩවියක්, සිංහලෙන් HTML ලිවීමේ ක්‍රමයක්, විදුලි බිල්පත ගණනය කර දෙන සේවාවක් ඇතුළු තවත් දෑ අඩංගු යි.

ඔබත් එවන් නිර්මාණකරුවෙක් නම් ඒ නිර්මාණ අපට මැසේජ් එකකින් එවන්න. ඔබට සවියක් වන්නට අපි හැමවිට ම සූදානම්! 

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ දී දේශීය කර්මාන්ත නඟා සිටුවීම පෙරටත් වඩා අත්‍යාවශ්‍ය අංගයක් ව පවතින අතර, විදේශ විනිමය ගෙන ඒම සඳහා තොරතුරු තාක්ෂණ අංශය දැවැන්ත කාර්යභාර්යයක් ඉටු කරනවා. එහි මුල් පියවර තබන්නට වෙර දරන මෘදුක‍ාංග හා වෙබ් නිර්මාණකරුවන් ඇගයීමට, සහ ඔවුන්ගේ වටිනා නිර්මාණවලට හඬක් ලබා දීමට අපි දේශීය වෙබ් සහ ඇප් නිර්මාණ පිළිබඳ තොරතුරු මෙලෙස ගෙන එනවා.

food-combo: කටට කෙළ උනන විදියේ වෙබ් නිර්මාණයක් – apps.sashen.me

 

උයන්න දෙයක් හිතා ගන්න අමාරුද?

හදිසියේ පොඩියට දෙයක් හදා ගනිද්දි මොනවා හදන්නද කියලා හිතන්න ම වෙලාව යනවා. ඒ වගේ ම, මේ කාලේ අඩු ව්‍යංජන ප්‍රමාණයකින් ආහාර වේලක් සම්පූර්ණ කර ගන්න පුළුවන් නම් ඒකෙන් ආර්ථික වාසියක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් බොහොම සරල නමුත් කටට කෙළ උනන විදියේ වෙබ් නිර්මාණයක් කරන්න ස‍ෂේන් පසිඳු සමත් වෙලා තියෙනවා.

ඔහු සැකසූ වෙබ් අඩවියට පිවිසුණා ම, බත් සමඟ කිරට ව්‍යංජනයකුත්, මිරිසට ව්‍යංජනයකුත් සමඟ ආහාර මුසුවක් පෙන්වනවා. එය ඔබට රිසි නොවේ නම් “Suggest Another” බොත්තමෙන් තවත් මුසුවක් නිර්මාණය කරවා ගත හැකි යි.

ඉතාම සරල, ඇසට පහසු UI එකක් ඇති මෙහි කේතය පවා ජාවාස්ක්‍රිප්ට් භාවිතයෙන් සරලව ගොඩ නඟා තිබෙනවා. පරිගණකයෙන් මෙන්ම දුරකථනයෙන් ද නැරඹිය හැකි මෙය ඔබේ ඉවුම් පිහුම් කටයුතු සඳහා පහසුවක් වනු ඇති බව නොඅනුමාන යි. food-combo වෙත මෙතැනින් පිවිසෙන්න.

සිංහලෙන් HTML ලියන්න – Github.com

 

සිංහලෙන් HTML ලියන්න

HTML ඉංග්‍රීසි බසින් පමණක් ලියන නමුත් එය සිංහලෙනුත් ලියන්නට තිබුණා නම් යැයි සුපුන් දිසානායකට හිතෙන්නට ඇති. මේ සඳහා ඔහු ගීත්මක දිසානායක සමඟ එක්ව සිංහල බසින් HTML ලිවිය හැකි ව්‍යාපෘතියක් සකසා GitHub හි විවෘත කේතයෙන් පළ කර තිබෙනවා.

ජාවාස්ක්‍රිප්ට් මඟින් සකසා ඇති මෙය වෙබ් පැක් හරහා සිංහල වචන HTML කේත බවට පරිවර්තනය කරනු ලබනවා. ඒ අනුව, HTML ටැග් එකට “අඩවිය”, HEAD සඳහා “ඔළුගෙඩිය”, BODY සඳහා “බොඩිය”, TITLE සඳහා “මාතෘකාව”, H1 සඳහා “මාතෘකා1” යනාදී ලෙස හාස්‍යජනක නම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

පරිවර්තන වැරදි නිවැරදි කිරීම සඳහාත්, අනෙකුත් සියලු HTML tag සඳහාත් සහාය එක් කරමින් තවත් අය Pull Request සමඟ මෙම ව්‍යාපෘතියට සහාය දක්වමින් එයට තම උනන්දුව පළ කර තිබෙන ආකාරයත් එම GitHub පිටුවෙන් අපිට දැකගන්නට ලැබුණා.

සිංහලෙන් HTML ලියන්න මෙතැනට පිවිසෙන්න.

Fuelometer ඉන්ධන පෝළිම්වලට විසඳුමක්- apkcombo.com

 

ඉන්ධන ගැටලුවට විසඳුම්

ඉන්ධන පෝළිම්වලට විසඳුම් රැසක් රටේ විවිධ දෙසින් දකින්නට ලැබුණා.

වවුනියාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වන පංචලිංගම් තුසිතදරන් Fuelometer නමැති වෙබ් සේවාවක් BBC පුවත් සේවාව වාර්තා කර තිබුණා. පිරවුම්හලට පැමිණෙන වාහන ලියාපදිංචි කරගෙන, දිස්ත්‍රික්කයේ ඕනෑම පිරවුම් හලකින් සතියකට එක් වරක් පමණක් එයට ඉන්ධන නිකුත් කරන ආකාරයට සකසා ඇති මෙහි නිර්මාණකරු වවුනියාව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව හා පරිගණක විද්‍යා අංශයේ උපාධිධර‍යෙක්. ඔහුගේ අභිලාෂය වී ඇත්තේ සැමට ඉන්ධන ලබාදීම හා කළුකඩ ව්‍යාපාරය නැවැත්වීම යි. මෙම මෘදුකාංගය දැනටමත් එම ප්‍රද‍ේශයේ ක්‍රියාවට නංවා තිබෙනවා.

රවිඳු දිල්ෂාන් ඉලන්ගකෝන්ගේ අදහසක්, සහ නදුන් නිලංගගේ මෘදුකාංග සැකසුමක් සමඟ අනුරාධපුරයෙන් තවත් නිර්මාණයක් බිහිව තිබුණා. එම වෙබ් සේවාව තුළින් ද ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන වාහනයක් පිරවුම්හල තුළ දී ලියාපදිංචි කරනවා. එවිට එම වාහන වර්ගයට රජයෙන් නියමිත ධාරිතාව පද්ධතියෙන් පෙන්වනවා. අදාළ රථයේ ඉන්ධන ලබා ගැනීම සම්බන්ධ ඉතිහාසයක් පද්ධතිය තුළ ගොනු කර ගැනෙන අතර, සතියකට එක් වරක් පමණක් එම වාහන අංකයට ඉන්ධන ලබා ගත හැකි ලෙස සීමා කෙරෙනවා. වාහනය කලින් ඉන්ධන ලබා ගත් දිනය බලන්නටත්, අදාළ ධාරිතාව ඉක්මවා ගොස් ඇත්නම් එය Notification එකකින් ඒ මොහොතේ ම පෙන්නුම් කිරීමටත් එම පද්ධතියට හැකි බව යි ඔවුන් Roar සිංහල වෙත පැවසුවේ. 

අවශ්‍ය ඖෂධ පහසුවෙන් සොයාදෙන Medoze – androidfreeware.net

 

අවශ්‍ය ඖෂධ පහසුවෙන් සොයාදෙන Medoze

 මේ දිනවල පවතින ඖෂධ හිඟය නිසා බෙහෙත් සොයා ගැනීම අපහසු කටයුත්තක් ව පවතිනවා. මෙයට විසඳුමක් ලෙස Medoze නමැති ඇප් එකක් නිසල සංජුල, සහ විශ්ව සිතුමිණ සකසා තිබෙනවා. මේ ඇප් එක බෙහෙත සොයන්නා සහ ෆාමසි අතර සම්බන්ධය ද ගොඩ නඟා දෙනවා.

බෙහෙතේ නම Type කිරීමෙන් හෝ වෛද්‍යවරයා ලබා දුන් බෙහෙත් තුණ්ඩුවේ ඡායාරූපයකින් ඖෂධ ඇති ෆාමසි සොයා ගන්නට හැකියාව තිබෙනවා. නැතහොත්, ඔබට අවශ්‍ය ඖෂධය ගැන විස්තරයක් පළ කළ විට මේ ඇප් එක සමඟ ලියාපදිංචි වී සිටින ෆාමසිවලට ඒ ගැන Notification එකක් ලැබෙනවා. එවිට ඔවුන්ට අදාළ පුද්ගලයා සම්බන්ධ කරගෙන ඖෂධ ලබා ගත හැකි ආකාරය සාකච්ඡා කර ගත හැකි යි.

සාමාන්‍ය පුද්ගලයන්ට ඊමේල් එකෙන් මෙහි ලියාපදිංචි විය හැකි නමුත් ෆාමසියක් ලියාපදිංචි කිරීමේදී එහි සහතිකය සත්‍යාපනය කිරීමක් සිදු වෙනවා. මේ නිසා ව්‍යාජ පුද්ගලයන්ට මේ හරහා ඖෂධ වෙළඳාම් කළ නොහැකි වෙනවා. මෙහි Search Bar එකෙන් App එක සතුව දැනට තියෙන බෙහෙත් සොයා ගැනීමටත්, එම බෙහෙත් ඇති ෆාමසියේ Location එකත් බලාගන්නට හැකියාව තිබෙනවා.

පුද්ගලික සෞඛ්‍යමය දත්ත රඳවාගන්නා ඇප් එකක් ලෙස මෙහි Email verification, දත්ත ආරක්ෂණ සම්මතයන්ට අනුකූලව ගැලපෙන සේ සැකසූ රහස්‍යතා ප්‍රතිපත්තියක්, දත්ත encrypt වන බවක්, හෝ අවම වශයෙන් ගිණුම මකා දැකීමට විශේෂාංගයක් පවා නොමැති නිසා භාවිතයේ දී පෞද්ගලික දත්ත ගැන වගකීම පාඨක ඔබට ම දරන්නට සිදු වෙනවා. මේ ගැන අප විමසූ විට නිසල පැවසුවේ ඉදිරියේදී එම ගැටලු විසඳීමට බලාපොරොත්තු වන බව යි. කාලීන ගැටලුවකට විසඳුම් සොයන මේ අගනා නිර්මාණය බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් වනු ඇති බව නම් නොරහසක්.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා බාගත කරගන්න: Medoze

ඔබේ විදුලි බිල ගණනය කරගන්න -www.microjcode.com 

 

ඔබේ විදුලි බිල ගණනය කරගන්න

ටී. එල්. ජෆාර් තම microjcode ආයතනය යටතේ විදුලි බිල ගණනය කර දෙන web tool එකක් සකසා ඉදිරිපත් කර තිබෙනවා. භාෂා තුනෙන් ම සේවාව සපයන මෙය සකසා තිබෙන්නේ VueJS සහ Bootstrap (CSS) භාවිතයෙනු යි.

එහි දින ගණන සහ ඒකක ගණන ලබා දුන් විට විවිධ ඒකක සීමාවන් අනුව වෙන් වන ආකාරයත්, ඒ එක් එක් කොටසට අයවන මුදලත් පෙන්වනවා. ඉන්පසු ස්ථාවර ගාස්තුව ද සමඟ ගෙවිය යුතු මුළු මුදල පෙන්වනවා. මෙය සකසා තිබෙන්නේ ගෘහස්ථ විදුලි බිල්පත් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සඳහා යි.

විදුලි බිල ගණනය කර දෙන web tool එකට මෙතැනින් පිවිසෙන්න.

ඔබත් වෙබ් හා මෘදුකාංග නිර්මාණකරණයේ යෙදුනු අයෙක් නම් හෝ ඔබ දන්නා මෙවන් සිත්ගන්නාසුලු නිර්මාණ තිබෙනවා නම් Roar සිංහල ෆේස්බුක් පිටුව හරහා ඒ ගැන ‍තොරතුරු අපට මැසේජ් එකකින් එවන්න. නැවත නැවතත් මෙවන් නිර්මාණ ලැයිස්තු සමාජගත කරමින් ඔබට හඬක් ලබා දෙන්නට අපි සූදානම්.

කවරයේ ඡායාරූපය: freepik/rawpixel.com

මූලාශ්‍ර:

apps.sashen.me/food-combo

github.com/supuncodes

 play.google.com

microjcode.com

Related Articles