Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්සත් ජනපද ටික්ටොක් තහනම දේශපාලන වුවමනා මත කළ දෙයක් ද?

ලොව පුරා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් (TikTok), චීනයේ “ByteDance” සමාගම හඳුන්වා දුන් ජංගම දුරකථන යෙදවුමකි. තරුණ පරම්පරාව අතර බොහෝ සෙයින් ප්‍රසිද්ධ ටික් ටොක් කෙටි කාලයක් තුළ අතිවිශාල පරිශීලකයන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගෙන තිබේ. ප්‍රධාන වශයෙන් කෙටි වීඩියෝ පළ කිරීම සඳහා භාවිත කළ හැකි මෙම යෙදවුම දෛනිකව භාවිත කරන පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 30කට වැඩි බව ගණන් බලා තිබේ.

එවැනි පසුබිමක ටික්ටොක් පරිශීලකයන්ගේ දත්තවල ආරක්ෂාව පිළිබඳ ව මේ වන විට කතාබහක් නිර්මාණය වී ඇත. එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය සහ තවත් ප්‍රාන්ත රාජඨයන් කිහිපයක් ආරක්ෂක හේතු මත යැයි පවසමින් රජයට අයත් ජංගම දුරකථන සහ අනිකුත් මෙවලම් හරහා ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට ගත් තීරණය සමග එම කතාබහ නව මුහුණුවරක් ගෙන ඇත.

ටික්ටොක් සමාගමේ ප්‍රධාන කාර්යාලය – www.cnn.com

ටික්ටොක් තහනමක් ගැන කතාබහක්?

ටික්ටොක් සමාගම පරිශීලකයන්ගේ දත්ත සුරක්ෂිතතාව තහවුරු කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බැවින් එක්සත් ජනපදය තුළ එම යෙදවුම තහනම් කළ යුතු බව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට ලක් වෙමින් ඇති කරුණකි. එක්සත් ජනපද සෙනෙට් සභික මාර්කෝ රුබියෝ පසුගිය දා සඳහන් කළේ එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම පිළිබඳව මේ වන විට ව්‍යවස්ථාදායකයට යෝජනා ඉදිරිපත් වී ඇති බව යි.

ව්‍යවස්ථාදායකය ගත් තීරණය

එම කතාබහ ඉස්මතු කරමින් එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය, එහි මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට නිකුත් කරන ජංගම දුරකථන හරහා ටික්ටොක් යෙදවුම භාවිතය මේ වන විට තහනම් කර ඇත. එරට ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන පරිපාලන නිලධාරී “Catherine Szpindor” පසුගිය සතියේ ආන්දෝලනාත්මක චක්‍රලේඛයක් නිකුත් කළා ය. ඒ හරහා ඇය මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට නිකුත් කරන ජංගම දුරකථන සහ වෙනත් උපාංග හරහා ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කර තිබිණි.

එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය – www.pewresearch.org

තීරණය තහවුරු කෙරේ

ඉදිරියේ දී නිකුත් කරන ජංගම දුරකථන සහ අනිකුත් උපාංග හරහා ටික්ටොක් යෙදවුම බාගත කිරීමෙන් වලකින ලෙස මෙන් ම දැනට නිකුත් කර ඇති උපාංගවල එම යෙදවුම බාගත කොට තිබේ නම් එය වහාම ඉවත් කරන ලෙස එම නියෝගය මගින් මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

“රජයට අයත් සියලු උපාංගවලින් ටික්ටොක් යෙදවුම ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පරිපාලන කමිටුව ප්‍රධාන පරිපාලන නිලධාරී කාර්යාලයට අවසර දුන් බව අපට තහවුරු කළ හැක.”

යනුවෙන් එරට ව්‍යවස්ථාදායකය පසුගිය දා නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

Catherine Szpindor – www.premierconnects.com

අවවාදාත්මක නිවේදනයක්

2022 අගෝස්තු මස සයිබර් ආරක්ෂාව පිළිබඳ ව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන පරිපාලන නිලධාරී කාර්යාලය පැවැසුවේ ටික්ටොක් සමාගම එහි පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව බරපතල ගැටලුවක් පවතින බව යි.

බීජිං නගරය මූලික කරගත් සමාගමකට අයත් ටික්ටොක් සමාගම සමහර පරිශීලකයන්ගේ දත්ත නීති විරෝධී ආකාරයෙන් චීනය තුළ ගබඩා කර ඇති බව එම නිවේදනයේ දැක්විණි. එසේ ගබඩා කර ඇති දත්තවලට අවශ්‍ය අවස්ථාවක පිවිසීමට චීනයට හැකියාව තිබෙන බවත්, එය පරිශීලකයන්ට විශාල තර්ජනයක් බවත් එහි සඳහන් විය.

ටික්ටොක් එක්සත් ජනපදයේ බහුලව භාවිත වන යෙදවුමකි – www.statista.com

ටික්ටොක් තහනම් වූ ප්‍රාන්ත

රජයට අයත් මෙවලම්වලින් ටික්ටොක් යෙදවුම ඉවත් කිරීමට අදාළ පනත මේ වන විට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගෙන ඇත. එය ඉදිරි දින කිහිපය තුළ සම්ප්‍රදායානුකූල ව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් වෙත යොමු කෙරෙනු ඇත. ඔහු ඊට අත්සන් තැබූ වහා එය නීතියක් බවට පත් වන අතර, ඊට අනුගත නොවන තැනැත්තන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පවා රජයට බලය ලැබේ.

මන්ත්‍රී මණ්ඩලයේ තීරණය සමග ටෙක්සාස්, ජෝර්ජියා, මේරිලන්ඩ්, දකුණු ඩැකෝටා, දකුණු කැරොලිනා, නිව් ජර්සි, ඕහියෝ, සහ නෙබ්‍රස්කා ඇතුළු එක්සත් ජනපද ප්‍රාන්ත 19ක් පමණ මේ වන විට අර්ධ වශයෙන් ටික්ටොක් යෙදවුම භාවිතය අවහිර කර ඇත. තවත් ප්‍රාන්ත ගණනාවක් රජයට අයත් මෙවලම් හරහා එම යෙදවුම භාවිතය තහනම් කිරීම පිළිබඳ ව අවධානය යොමු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

එක්සත් ජනපද ප්‍රාන්ත ගණනාවක් පමණ මේ වන විට අර්ධ වශයෙන් ටික්ටොක් යෙදවුම භාවිතය අවහිර කර ඇත – www.reddit.com

ටික්ටොක් සමාගමේ ප්‍රතිචාරය

මෙම තහනම පිළිබඳ ව නිවේදනයක් නිකුත් කරමින් ටික්ටොක් සමාගම සඳහන් කළේ රජයට අයත් මෙවලම් හරහා ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් නිසා නොවන බව යි. එම තීරණය හුදු දේශපාලන අවශ්‍යතා සහ ව්‍යාජ පුවත් මත පදනම් වූ එකක් බව එම සමාගම චෝදනා කර තිබිණි.

“ප්‍රාන්ත ගණනාවක් දේශපාලන අවශ්‍යතා මත ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් සිටීම පිළිබඳව අපි කනගාටු වෙමු. එම ප්‍රතිපත්ති හුදෙක් ම ටික්ටොක් යෙදවුම පිළිබඳ ව පැතිරෙන තහවුරු නොකළ වාර්තා මත පදනම් ව සකස් කර ඇත. දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳව අප අඛණ්ඩව රජය සමග කටයුතු කරනු ඇත.”

යනුවෙන් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ටික්ටොක් සමාගමේ ඇතුළත – www.cbc.ca

තහනම දුරදිග යන ලකුණු

එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්රේ පසුගිය දෙසැම්බර් මස සඳහන් කළේ ටික්ටොක් යෙදවුම එරට ජාතික ආරක්ෂාව පිළිබඳව සැලකීමේ දී අවදානම් සහගත බව යි. එම ප්‍රකාශයෙන් ටික කලකට පසු ෆෙඩරල් රජය යටතේ එන ආයතන කිහිපයකට අයත් මෙවලම් හරහා ටික්ටොක් භාවිතය තහනම් කිරීමට අදාළ පනතකට බයිඩ්න් අත්සන් තැබුවේ ය. එක්සත් ජනපද හමුදා සාමාජිකයන්ට ද කාර්යාලීය දුරකථන හරහා මෙම යෙදවුම භාවිතය තහනම් කර ඇත.

එක්සත් ජනපදයේ භාවිත කෙරෙන සියලු මෙවලම් හරහා ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීම පිළිබඳව මේ වන විට අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ශව කිහිපයක් පෙන්වා දී ඇත්තේ ටික්ටොක් යෙදවුම හරහා ලෝකය පුරා සිටින පුද්ගලයන් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු ලබාගැනීමට චීනයට “විශේෂිත හැකියාවක්” ලැබෙන බව යි. අවදානම් සහගත පුද්ගලයන් බිලියනයෙන් තුනෙන් දෙකක් පමණ අමෙරිකානුවන් බව ද ඔවුහු පවසති.

රටවල් කිහිපයක ටික්ටොක් පරිශීලක සංඛ්‍යාව පිළිබඳ දත්ත – www.gbp.org

තවත් සන්නාම සේවා සහ මෙවලම් තහනම් කිරීමට සැලසුම්?

ටික්ටොක් යෙදවුමට අමතරව Huawei, Hikvision, Tencent සහ ZTE වැනි සන්නාම යටතේ අලෙවි වන මෙවලම් සහ ඒවා හරහා ක්‍රියාත්මක වන සේවා කිහිපයක් තහනම් කිරීම පිළිබඳව ද මේ වන විට එක්සත් ජනපදයේ කතාබහක් නිර්මාණය වී ඇත. එවැනි තහනමක් හඳුන්වා දීම ආරක්ෂාව පිළිබඳ ව සැලකීමේ දී වාසිදායක වනු ඇතැයි ඒ ගැන අදහස් දක්වමින් ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාරවරුන් පෙන්වා දී ඇත.

කවරයේ ඡායාරූපය - එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය, එහි මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට නිකුත් කරන ජංගම දුරකථන හරහා ටික්ටොක් යෙදවුම භාවිතය මේ වන විට තහනම් කර ඇත - www.oberlo.com
මූලාශ්‍ර :
www.theguardian.com
www.cnn.com
www.nytimes.com
www.asia.nikkei.com

Related Articles