Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනෙන් දින අලුත් වන වන ට්විටර් ගැන මස්ක්ගේ කතාබහ

ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක්, අමෙරිකානු ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගමේ බහුතර කොටස් මිල දී ගැනීම ලොව පුරා පසුගියදා කතාබහට ලක් විය. මිල දී ගත් දින පටන් ඔහු ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු විධායක නිලධාරීන් ගණනාවක් සේවයෙන් ඉවත් කිරීම සහ සමාගම සතු කාර්යාල ගණනාවක් වසා තැබීම හා තවත් ව්‍යාපාරික හා ප්‍රතිපත්තිමය තීරණ රැසක් හරහා මේ වනවිට වෙනස්කම් ගණනාවක් සිදු කර ඇත.

මස්ක්ගේ පරිපාලනය යටතේ දිනපතා ම පාහේ ට්විටර් සමාගමේ විවිධ වෙනස්කම් සිදුවෙමින් තිබේ. ඒ පිළිබඳ පුවත් මවමින් සිටියි. එවැනි වෙනස්කම් පිළිබඳව ට්විටර් පරිශීලකයන් පමණක් නොව වෙනත් බොහෝ පාර්ශව ද විශාල අවධානයක් දක්වති.

පසුගිය සතිය තුළ වඩාත් ම කතාබහට ලක් වූ ට්විටර් සමාගම හා සම්බන්ධ එවැනි අලුත් සිදුවීම් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් විමසා බලමු.

ඉලෝන් මස්ක් – www.times.com

නිල් සලකුණට අමතර ව එන අළු සහ රන් පැහැති සලකුණු

සත්‍යාපිත ට්විටර් ගිණුම් හඳුනා ගැනීම සඳහා එම ගිණුම්වල නමට යාබද ව දැක්වෙන නිල් පැහැති සලකුණ සඳහා මසකට ඩොලර් අටක ගාස්තුවක් අයකරන බව මස්ක් මෑතකදී සඳහන් කළේ ය. කෙසේ වෙතත් පසුගිය සතියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම කල් දැමීමට සිදු ව ඇති බව යි.

නිල් පැහැති සලකුණට අමතර ව සත්‍යාපිත ගිණුම් සඳහා අළු සහ රන් පැහැති සලකුණු හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව මස්ක් පැවැසුවේ ය. හඳුන්වා දීමට නියමිත අළු පැහැති සලකුණ රජයන්ට අයත් ගිණුම් සඳහාත්, රන් පැහැති සලකුණ සමාගම්වලට අයත් ගිණුම් සඳහාත්, නිල් පැහැති සලකුණ සාමාන්‍ය පරිශීලකයන්ගේ සත්‍යාපිත ගිණුම් සඳහාත් ලබා දෙනු ඇති.

සත්‍යාපිත ට්විටර් ගිණුම් හඳුනාගැනීම සඳහා නිල් පැහැති සලකුණක් යොදයි/ www.business.twitter.com

ජංගම දුරකතන නිෂ්පාදනයට සූදානම් වන මස්ක්

ඇපල් සහ අනිකුත් ස්මාර්ට් ජංගම දුරකතනවල යෙදවුම් බාගත කිරීමට පහසුකම් සලසන “app store” වෙතින් ට්විටර් යෙදවුම ඉවත් කිරීමේ සූදානමක් තිබෙන බව පසුගිය දා වාර්තා විය. අමෙරිකානු දේශපාලන විචාරකයෙක් සහ කතුවරියක් පැවැසුවේ යම් හෙයකින් ඇපල් සහ වෙනත් ස්මාර්ට් දුරකතන හරහා ට්විටර් බාගත කිරීමට ඇති පහසුකම් ඉවත් කළහොත් මස්ක් ජංගම දුරකතන නිෂ්පාදනයට ද යොමු විය යුතු බව යි.

එම පණිවිඩයට පිළිතුරු වශයෙන් මස්ක් ට්විටර් පණිවිඩයක් යොදා තිබිණි.

“එවැනි සූදානමක් පිළිබඳව වාර්තා වුවත්, එවැනි තත්ත්වයක් ඇති වෙතැයි මම කිසිසේත්ම විශ්වාස නොකරමි, නමුත්, ඔව්, වෙනත් විකල්පයක් නොමැති වුවහොත් විකල්ප දුරකතන මාදිලියක් හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් එහි සඳහන් විය.

නිල් පැහැති සලකුණට අමතරව සත්‍යාපිත ගිණුම් සඳහා අළු සහ රන් පැහැති සලකුණු – twistarticle.com- watcher.guru

ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම අත්හිටුවීම “බරපතල වරදක්”?

2021 වසරේ ජනවාරි 6 දින අමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර ඇති වූ කලහකාරී සිදුවීම් පදනම් කර ගෙන හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම අත්හිටුවීම බරපතල වරදක් බවත්, එය නිවැරදි විය යුතු බවත් මස්ක් පසුගියදා සඳහන් කළේ ය. අත්හිටුවා තිබූ ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීමට මස්ක් පරිපාලනය යටතේ ඇති ට්විටර් සමාගම පසුගියදා තීරණය කළ නමුත් නැවත ට්විටර් භාවිතා කිරීමට අදහසක් නැතැයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මස්ක් සඳහන් කර තිබුණේ නැවත ට්විටර් භාවිත නොකිරීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණය පිළිබඳ ව ගැටලුවක් නොමැති වුවත් ඔහුගේ ගිණුම යළි සක්‍රිය කිරීමෙන්, සමාගම කළ “බරපතල වරදක්” නිවැරදි කරගැනීමට හැකි වූ බව යි.

නැවත සක්‍රිය කර ඇති ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම – www.twitter.com

දැන්වීම් ලබා දෙන්නන්ගෙන් හරි අඩක් අහිමි වෙයි

ට්විටර් හරහා සිය වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ව්‍යාපාර 100ක් අතරින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් මස්ක් පරිපාලනය යටතේ ට්විටර් හැර ගොස් ඇති බව වාර්තා වේ. වෙළෙඳ දැන්වීම් ලැබීම දිනෙන් දින පහළ යන බැවින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විවිධ වට්ටම් හඳුන්වා දීමට ට්විටර් සමාගම තීරණය කර ඇත. ඊට අදාළ ඊමේල් පණිවිඩ අදාළ සමාගම්වලට යොමු කර ඇති බව කියවේ.

ට්විටර් සමාගමට වෙළෙඳ දැන්වීම් ලබා දීම සීමා කිරීමට සමාගම් තීරණය කර ඇත – www.twitter.com

ඉහත කී සමාගම් 100 අතරින් මේ වන විට ඉවත්ව ගොස් ඇති සමාගම්, 2020 වසරේ දී ඩොලර් බිලියන දෙකකුත්, පසුගිය මාස කිහිපය තුළ ඩොලර් මිලියන 750කුත් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය වෙනුවෙන් ට්විටර් සමාගමට ගෙවා ඇත. තවත් සමාගම් හතක් මේ වන විට ට්විටර් සමාගමට වෙළෙඳ දැන්වීම් ලබා දීම නවතා දමා ඇත. ඔවුන් වෙළෙඳ දැන්වීම් ලබා නොදීම හරහා ආසන්න වශයෙන් තවත් ඩොලර් මිලියන 200ක අලාභයක් සිදු වනු ඇති බවට ගණන් බලා තිබේ.

නව පරිශීලකයන් එක්වීම ඉහළ මට්ටමක යැයි පවසන මස්ක්

පසුගිය සති කිහිපය තුළ මස්ක් ට්විටර් සමාගමේ සිදු කළ විවිධ වෙනස්කම් නිසා මේ වන විට බොහෝ සමාගම් ට්විටර් හරහා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම නවතා දමා ඇති සහ ට්විටර් පරිශීලකයන් මැස්ටඩෝන් වැනි වෙනත් සමාන යෙදවුම් වෙත යොමු වෙමින් ඇති පසුබිමක ට්විටර් ජාලයට එක්වන නව පරිශීලකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි මස්ක් පසුගිය දා සඳහන් කළේ ය.

නොවැම්බර් 16 වැනි දින වන විට 2021 වසරේ එම කාලසීමාව තුළ පැවති තත්ත්වයට සාපේක්ෂ ව ට්විටර් ජාලයට නව පරිශීලකයන් එකතු වීම 60%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. නොවැම්බර් 15 දින වන විට පැවති දත්ත අනුව ට්විටර් පරිශීලකයන් එම යෙදවුම මත ක්‍රියාකාරී ව ගත කළ මිනිත්තු ගණන දිනකට බිලියන අට ඉක්මවා ඇති බව ද ඔහු පැවසුවේ ය.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් – www.wikipedia.org

ඇපල් ප්‍රධාන විධායක නිලධාරී සහ මස්ක් අතර හමුව

මස්ක් සහ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් අතර හමුවක් පසුගිය නොවැම්බර් 30 දින සිදු විය. එම හමුවෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් තබමින් මස්ක් සඳහන් කළේ කුක් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරු ව ඇපල් සමාගම පිළිබඳ ව ඔහු තුළ තිබූ වැරදි වැටහීම් ඉවත් ව ගිය බව යි.

විශේෂයෙන් ම ඇපල් දුරකතනවලින් ට්විටර් යෙදවුම ඉවත් කිරීමට සූදානමක් පවතින බවට පළ වූ වාර්තාවල පදනමක් නොමැති බවත්, ඇපල් සමාගම කිසිදු විටෙක එවැනි තීරණයක් ගෙන තිබී නොමැති බවත් ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබිණි.

යුරෝපා සංගමයෙන් අවවාදයක්

ලබන වසරේ ක්‍රියාත්මක වීමට නියමිත ‘ඩිජිටල් සේවා පනත’ ලෙස හැඳින්වෙන නව නීතිවලට අනුකූල වන ආකාරයෙන් ට්විටර් වේදිකාව සකස් කිරීමට එම සමාගම කටයුතු කළ යුතු බව යුරෝපා සංගමයේ ඩිජිටල් ප්‍රතිපත්ති පිළිබඳ කොමසාරිස් තියෙරි බ්‍රෙටන් පසුගිය සතියේ සඳහන් කළේ ය.

වෛරී ප්‍රකාශන, වැරදි තොරතුරු සහ වෙනත් හානිකර අන්තර්ගත එහි පළ වීම පාලනය කිරීමට පියවර ගන්නැයි ඔහු වර්තමාන ට්විටර් සමාගමේ හිමිකරු වන මස්ක්ගෙන් ඉල්ලීමක් කළේ ය.

යුරෝපා සංගමයේ ඩිජිටල් ප්‍රතිපත්ති පිළිබඳ කොමසාරිස් තියෙරි බ්‍රෙටන් – www.bbc.com

ඒ පිළිබඳ සැලකිලිමත් අවධානයක් යොමු නොකර දිගින් දිගට ම වෛරී ප්‍රකාශන, වැරදි තොරතුරු සහ හානිකර අන්තර්ගත පළ කිරීමට පරිශීලකයන්ට ඉඩ දෙන්නේ නම් යුරෝපා සංගමය ඩිජිටල් සේවා පිළිබඳ ව හඳුන්වා දී ඇති නව නීති රීති අනුව විශාල දඩ මුදලක් නියම කිරීමට හෝ ට්විටර් යෙදවුම යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 27 තුළ තහනම් කිරීමට සිදු වනු ඇති බවටත් ඔහු අනතුරු ඇඟවීමක් ද කළේ ය.

කවරයේ ඡායාරූපය - මස්ක්ගේ පරිපාලනය යටතේ දිනපතාම පාහේ ට්විටර් සමාගමේ විවිධ වෙනස්කම් සිදුවෙමින් තිබේ - CHRIS DELMAS/AFP via Getty Images
මූලාශ්‍ර :
www.economictimes.indiatimes.com
www.reuters.com
www.ft.com
www.socialmediatoday.com

Related Articles