Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් අවුරුද්දට අලුත් වුණු වට්ස්ඇප් යෙදවුමට එක් වූ නවතම විශේෂාංග

සුප්‍රසිද්ධ Yahoo සමාගමේ සේවය කළ බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කූම් එක්ව 2009 දී හඳුන්වා දුන් වට්ස්ඇප් (WhatsApp) මේ වන විට ලොව වැඩි ම පිරිසක් භාවිත කරන සන්නිවේදන යෙදවුමක් බවට පත් ව තිබේ.

2022 ජූනි මස සිදු කළ සමීක්ෂණවලින් අනාවරණය වූයේ ලොව පුරා සිටින වවට්ස්ඇප් පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2.26ක් බව යි.

බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කූම් – www.forbes.com

2014 දී ෆේස්බුක් සමාගම, වට්ස්ඇප් යෙදවුම මිල දී ගත් අතර මේ වන විට එය මාර්ක් සකර්බර්ග් යටතේ පාලනය වේ. වර්තමාන තත්ත්වයන්ට සහ පරිශීලක අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් ඒ සඳහා නව විශේෂාංග හඳුන්වා දීම නිරන්තරයෙන් සිදු වේ. 2022 දී වට්ස්ඇප් සඳහා හඳුන්වා දුන් විශේෂාංග කිහිපයක් පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.

වට්ස්ඇප් Avatars

ලොව පුරා සිටින පරිශීලකයන් සඳහා වට්ස්ඇප් සමාගම හඳුන්වා දුන් නවත ම පහසුකම් අතර වට්ස්ඇප් Avatars (යම්කිසි පුද්ගලයකුගේ පෙනුමට සමාන රූපමය නිර්මාණ) ප්‍රධාන තැනක් ගනී. එම පහසුකම යටතේ තමන් ම නිර්මාණය කර ගත් සිය ඩිජිටල් අනුවාදයක් භාවිත කරමින් හැඟීම් ප්‍රකාශ කිරීමට පරිශීලකයන්ට මෙමඟින් අවස්ථාව ලැබේ. වට්ස්ඇප් පණිවිඩ හරහා එවැනි අනුවාද සිය මිතුරන් සමඟ හුවමාරු කර ගැනීමට අමතර ව වට්ස්ඇප් ගිණුමේ පැතිකඩ ඡායාරූපය (profile photo) ලෙස ද ඒවා භාවිත කළ හැකි ය.

වට්සැප් ස්ටිකර් වෙනුවට Avatars භාවිතය ඉහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් පවසති – www.about.fb.com

දෙසැම්බර් 7 වැනි දින හඳුන්වා දුන් මෙම වට්ස්ඇප් Avatars විශේෂාංගය ලොව පුරා වට්ස්ඇප් පරිශීලකයන්ට භාවිත කළ හැකි ය. සකර්බර්ග්ට අයත් ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකාවල ද Avatars නිර්මාණය කර ගැනීමට සහ ඒවා හුවමාරු කිරීමට පරිශීලකයන්ට අවස්ථාව සලසා ඇත. පෙනුමෙන් එකිනෙකට වෙනස් Avatars ගණනාවක් නිර්මාණය කර ගැනීමට එහිදී හැකි වන අතර, වට්ස්ඇප් ස්ටිකර් වෙනුවට Avatars භාවිතය ඉහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් පවසති.

තමන් සමඟ ම පණිවිඩ හුවමාරු

මෙතෙක් කල් සිය මිතුරන් සහ වෙනත් පරිශීලකයන් සමඟ පණිවිඩ හුවමාරු කර ගත් වට්ස්ඇප් පරිශීලකයන්ට තමන් සමඟ ම පණිවිඩ හුවමාරු කර ගැනීමේ පහසුකම මේ වන විට සලසා ඇත. නොවැම්බර් 29 වැනි දින හඳුන්වා දුන් මෙම පහසුකම සමඟ තමන්ගේ ම වට්ස්ඇප් අංකයට පණිවිඩ යොමු කිරීමට පරිශීලකයන්ට අවස්ථාව සැලසේ. මෙම පහසුකම භාවිත කර, සිදු කළ යුතු කාර්යයන් පිළිබඳ සිහිකැඳවීම් සහ වෙනත් විශේෂ අවස්ථා පිළිබඳ තොරතුරු ද තමන් වෙත ම යොමු කර ගත හැක.

වට්ස්ඇප් පරිශීලකයන්ට තමන් සමඟ ම පණිවිඩ හුවමාරු කර ගැනීමේ පහසුකම මේ වන විට සලසා ඇත – www.techcrunch.com

ඔබ ජංගම දුරකතනයක් හරහා වට්ස්ඇප් භාවිත කරන්නේ නම්, එහි දකුණු පස, පහළ කෙළවරේ දැකිය හැකි “Chat” සලකුණ ක්ලික් කිරීමෙන් මෙම පහසුකම භාවිත කළ හැක. සාමාන්‍ය වචන සහිත පණිවිඩවල පටන් ශ්‍රව්‍ය පණිවිඩ (හඬපට) සහ ඡායාරූප දක්වා ඕනෑම පණිවිඩයක් තමන් වෙත ම යොමු කර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව හිමි වේ. මේ හරහා යම් යම් දෑ පිළිබඳ ව සටහන් තබා ගැනීම පහසු වන බැවින් බොහෝ පරිශීලකයන් මෙම පහසුකම හඳුන්වා දීම අගය කරනු ඇත.

වට්ස්ඇප් Communities

වට්ස්ඇප් සමාගම 2022 දී හඳුන්වා දුන් තවත් නවත ම විශේෂාංගයක් ලෙස වට්ස්ඇප් ප්‍රජා (Communities) හැඳින්විය හැකි වේ. නොවැම්බර් 3 වැනි දින හඳුන්වා දුන් මෙම විශේෂාංගය අත්විඳීමට ලොව පුරා වට්ස්ඇප් පරිශීලකයන්ට දැන් අවස්ථාව තිබේ. මෙම පහසුකම යටතේ එකිනෙකට සමාන අරමුණු වෙනුවෙන් නිර්මාණය කළ වට්ස්ඇප් සමූහ කිහිපයක් එකතු කර වට්ස්ඇප් ප්‍රජාවක් නිර්මාණය කළ හැකි ය.

වට්ස්ඇප් සමූහ සහ ප්‍රජා අතර වෙනස – www.jagrangosh.com

මත විමසීම් සහ ඉහළ දැමූ සමූහ සාමාජික සංඛ්‍යාව

මෙම පහසුකම භාවිත කර සමූහ කිහිපයක හුවමාරු වන පණිවිඩ පහසුවෙන් සහ වඩාත් සංවිධානාත්මක ලෙස පරිශීලනය කිරීමට අවස්ථාව ලැබේ. පවුල, පාසල්, විශ්වවිද්‍යාල සහ රැකියා ස්ථාන වැනි විවිධ ව්‍යූහයන්ට අදාළ ව මෙම පහසුකම භාවිත කළ හැක. මෙම පහසුකම හඳුන්වාදීම පිළිබඳ ව රටවල් 15කට අයත් සංවිධාන 50ක් වට්ස්ඇප් සමාගමට ස්තුති කර තිබේ.

වට්ස්ඇප් පණිවිඩ හුවමාරු කර ගන්නා අතරතුර යම් යම් දෑ පිළිබඳ සිය මිතුරන්ගේ හෝ වට්ස්ඇප් සමූහවල සාමාජිකයන්ගේ මත විමසීම් (Polls) පැවැත්වීමට දැන් පරිශීලකයන්ට අවස්ථාව තිබේ. එම පහසුකම ෆේස්බුක් සමාජ වේදිකාව තුළ මීට බොහෝ කලකට පෙර ස්ථාපිත කර තිබිණි.

වට්සැප් හරහා මත විමසීම් (Polls) පැවැත්වීමට දැන් පරිශීලකයන්ට අවස්ථාව තිබේ – www.firstpost.com

වීඩියෝ ඇමතුමකට සම්බන්ධ කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ දැමීම තවත් කැපී පෙනෙන අංගයකි. නවත ම පහසුකම් අනුව වට්ස්ඇප් ඔස්සේ ගන්නා වීඩියෝ ඇමතුමකට පුද්ගලයන් 32කට එකවර සම්බන්ධ විය හැක. වට්ස්ඇප් සමූහයකට සම්බන්ධ කරගත හැකි සාමාජිකයන් සංඛ්‍යාව ද 1,024 දක්වා ඉහළ දමා තිබේ.

පුද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂාංග

පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව වඩාත් තහවුරු වන ආකාරයේ විශේෂාංග කිහිපයක් ද වට්ස්ඇප් හඳුන්වා දී ඇත. පරිපාලකයන්ට (Admins) හැර වෙනත් කිසිදු සාමාජිකයකුට නොපෙනෙන පරිදි වට්ස්ඇප් සමූහයකින් ඉවත් වීමට පරිශීලකයන්ට පහසුකම් සලසා තිබීම ඒ අතර ප්‍රධාන වේ. මෙම විශේෂාංගය හඳුන්වා දීමත් සමඟ, සමූහයකින් යම්කිසි සාමාජිකයෙක් ඉවත් වූ හෝ ඉවත් කළ අවස්ථාවක දී එය අනිකුත් සාමාජිකයන්ට නොපෙනේ.

පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව වඩාත් තහවුරු වන ආකාරයේ විශේෂාංග කිහිපයක් ද වට්ස්ඇප් හඳුන්වා දී ඇත – www.9to5mac.com

තමන් වට්සැප් සමඟ සබැඳි ව සිටින (Online) බව දැන ගත සහ නො ගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට ද දැන් වට්ස්ඇප් පරිශීලකයන්ට පහසුකම් සලසා ඇත. මෙම පහසුකම යටතේ සිය වට්ස්ඇප් සම්බන්ධතා ලැයිස්තුවේ සිටින සමහරුන්ට තමන් online බව දර්ශනය වීමට හැරීමටත්, තවත් සමහරුන්ට එය දර්ශනය වීම වැලැක්වීමටත් පරිශීලකයන්ට හැකියාව ලැබේ.

එක්වරක් පමණක් නැරඹිය හැකි පණිවිඩ (View Once) හා සම්බන්ධ නව විශේෂාංගයක් ද වට්ස්ඇප් හඳුන්වා දී ඇත. මෙතෙක් කලක් එවැනි පණිවිඩවල “Screenshots” ලබා ගැනීමට පණිවිඩය ලබන්නාට හැකියාව තිබිණි. කෙසේ වෙතත් එය වට්ස්ඇප් පරිශීලකයන්ගේ පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට හානිකර විය හැකි බැවින් එම පහසුකම අත්හිටුවීමට සමාගම පසුගිය දා තීරණය කළේය.

වට්සැප් පරිශීලකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අයුරු – www.statista.com

ශ්‍රව්‍ය පණිවිඩ

2013 දී වට්ස්ඇප් හරහා ශ්‍රව්‍ය පණිවිඩ හුවමාරු කර ගැනීමේ පහසුකම හඳුන්වා දීමත් සමඟ පණිවිඩ සටහන් කිරීමට කැමැත්තක් නොදක්වන බොහෝ දෙනෙක් හඬපට හරහා පණිවිඩ හුවමාරු කරගැනීමට පෙලැඹුණහ. 2022 මාර්තු 30 වැනි දා වට්ස්ඇප් සමාගම නිවේදනය කළේ පරිශීලකයන් දිනකට එවැනි පණිවිඩ බිලියන හතක් පමණ හුවමාරු කර ගන්නා බව යි. එම කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රව්‍ය පණිවිඩ හුවමාරුව සම්බන්ධ විශේෂාංග ගණනාවක් වට්ස්ඇප් වෙත හඳුන්වා දී තිබේ.

ඒ යටතේ වට්සැප් පරිශීලකයන්ට සිය මිතුරෙක් සමඟ පණිවිඩ හුවමාරු කරගන්නා අතරතුර තවත් අයෙක් එවූ හඬපටයකට සවන් දීමටත් හැකියාව ඇත. හඬපටවලට සවන්දීම තාවකාලික ව ඒ පහසුව නැවැත්වීමට ද හැකියාව තිබේ. ඔබ හඬපටයක් හුවමාරු කර ගන්නේ නම් එය අදාළ පරිශීලකයාට යොමු කිරීමට පෙර ඊට සවන් දීමට පහසුකම් සලසා තිබීම තවත් සුවිශේෂී විශේෂාංගයකි. තෝරාගත් හඬ පණිවිඩවල වේගය 1.5x හෝ 2x දක්වා වැඩි කිරීමට ද පරිශීලකයන්ට ඉඩ සලසා තිබේ.

වට්සැප් සමාගම නිවේදනය කළේ පරිශීලකයන් දිනකට ශ්‍රව්‍ය පණිවිඩ බිලියන හතක් පමණ හුවමාරු කරගන්නා බව යි – www.peppercontent.io

පණිවිඩවලට හැඟීම් පළ කළ හැකි ඉමෝජි

පසුගිය මැයි මස දී වට්ස්ඇප් සමාගම හඳුන්වා දුන්, ලැබුණු පණිවිඩ පිළිබඳ හැඟීම් ප්‍රකාශ කළ හැකි ඉමෝජි තවත් සුවිශේෂී විශේෂාංගයකි. ආදරය, සිනහව, දුක, පුදුමය සහ ස්තුතිය යන ඉමොජි මුලින් ම හඳුන්වා දී තිබිණි. මෙම ඉමෝජි භාවිතය පරිශීලකයන් අතර ඉතා වේගයෙන් ප්‍රචලිත විය. පණිවිඩයක් තෝරා තත්පර කිහිපයක් එය අල්ලා ගෙන සිටින විට ඉමෝජි දර්ශනය වේ. ආරම්භයේ දී හඳුන්වා දුන් ඉමෝජිවලට අමතරව වෙනත් ඒවා ඊට එක් කර ගැනීමට ද මේ වන විට පහසුකම් සලසා ඇත.

නවතම විශේෂාංග යටතේ වට්ස්ඇප් ඔස්සේ හුවමාරු කළ හැකි ගොනුවක ප්‍රමාණය ද ගිගාබයිට් දෙකක් දක්වා ඉහළ දමා තිබේ. එම ප්‍රමාණය මීට පෙර මෙගාබයිට් 100ක් ලෙස පැවතිණි. එම ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පරිශීලකයන් දැක්වූ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම පහසුකම හඳුන්වා දී ඇත. විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කිරීමේ දී වයිෆයි පහසුකම භාවිත කිරීම වඩාත් සුදුසු බව කියැවේ.

පණිවිඩ පිළිබඳ හැඟීම් ප්‍රකාශ කළ හැකි ඉමෝජි තවත් සුවිශේෂී වට්ස්ඇප් විශේෂාංගයකි – www.techhindustanitimes.com

සුවිශේෂී හඳුන්වා දීම්

පැතිකඩ ඡායාරූප, ස්ටේටස් සහ පණිවිඩය කියැවූ වෙලාව, තමන් වට්සැප් සමඟ සබැඳි ව සිටින (Online) බව තෝරා ගත් සම්බන්ධතාවලට දර්ශනය නොවන සේ සකස් කිරීමට හඳුන්වා දී ඇති පහසුකම සුවිශේෂී එකකි. ඒ යටතේ “සියලු දෙනා” (Everyone), “මගේ සම්බන්ධතා” (My Contacts) සහ “කිසිවකුත් නැත” (Nobody) යන තෝරාගැනීම්වලට අමතර ව “… හැර අනිකුත් සම්බන්ධතා” (My Contacts Except…) යන තෝරාගැනීම ද හඳුන්වා දී ඇත. “My Contacts Except” තෝරා ගැනීම භාවිත කර යම් යම් අයගෙන් සිය පැතිකඩ ඡායාරූප, ස්ටේටස් සහ පණිවිඩ කියැවූ වෙලාව සැඟවීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

කවරයේ ඡායාරූපය - වර්තමාන තත්ත්වයන්ට සහ පරිශීලක අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයෙන් වට්සැප් යෙදවුම සඳහා නව විශේෂාංග හඳුන්වා දීම නිරන්තරයෙන් සිදු වේ - Aytac Unal/Anadolu Agency/Getty Images

මූලාශ්‍ර - www.lifestyleasia.com
www.techcrunch.com
www.blog.whatsapp.com
www.techhindustanitimes.com

Related Articles