Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Made by Google 2017හිදී එළිදැක්වුණු අපූර්ව නිෂ්පාදන

ගූගල් සමාගමේ වාර්ෂික මෘදුකාංග සංවර්ධක සමුළුව වන Google I/O වගේම ඔවුන්ගේ භෞතික නිෂ්පාදන ලොවට හඳුන්වා දීමේ උළෙල Made by Google ලෙස වාර්ෂිකව පැවැත්වෙනවා.2017 වර්ෂය සඳහා වූ මෙම උත්සව අවස්ථාව පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී කාලයේ පැවැත්වුණු අතර එය සජීවීව  අන්තර්ජාලය හරහා බෙදා හරිනු ලැබුවා.

“කෘත්‍රීම බුද්ධිය මූලික වූ කාල වකවානුවක පරිගණක මිනිසුන්ගේ ජීවිතය ගත කිරීම සඳහා ස්වයංක්‍රීයව අනුරූපී වෙමින් සහාය වෙන්න ඕනෑ” ගූග්ල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දාර් පිචායි පැවසුවා. මෙම අවස්ථාවේදී එළිදැක්වුණු සියලුම උපකරණ පාහේ එම සංකල්පය පදනම් කරගත් ඒවා බවයි දක්නට ලැබුණේ. පාරිභෝගිකයාට අවශ්‍ය කොහොමහරි ක්‍රියා කරන භාණ්ඩයක් මිසක් google assistant හෝ ඔවුන්ගේ වෙනයම් නිෂ්පාදනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කොහොමදැයි අසා ඇස් දල්වන්නට නොවේ. තමන්ගේ එදිනෙදා ජීවිතයට වැඩ පහසු කර ගැනීම සඳහා යමක් ඉවහල් වේ ද, ඔවුන්ට වැදගත් වන්නේ එය පමණයි. ගූග්ල් සමාගම මේ රහස දැන සිටියා.

Google Homeට Mini සහ Max ලෙස සහෝදර දෙපළක්

වායු සුවඳකාරකයක (Air freshener) හැඩය ගත් නිවසේ ආලින්දයේ සිටින පෞද්ගලික සහායක උපාංගය වන Google Home දැන් තවත් කුඩා ප්‍රමාණ දෙකකින් ලබා ගන්නට පුළුවන්. එහි Google Home Mini සහ Max ලෙසයි.

hindustantimes.com

Mini එක හරියට ඩෝනට් එකක් වගේ. මුහුණත තනිකරම රෙදිවලින් ආවරණය කර ඇති මෙය ගූග්ල් හෝම් හරහා කරගත හැකි බොහොමයක් දේ එලෙසම කර දෙනවා. ඒ කිව්වේ; අද කාලගුණය, උදේට නැගිටින්න එළාම් එක, සහ අනිකුත් සිහි කැඳවුම් ලබා දෙන්නට සහ අවුන්සයකට ඇති අවුන්ස ගණන කියන එක වගේ දේවල් එය සිදුකර දෙනවා. කළු, අළු සහ රතු යන වර්ණ වලින් නිපදවූ මාදිලි සහිත මෙය තේ පීරිසියක් තරම්වත් ඉඩක් ඔබේ ආලින්දයෙන් ඩැහැ ගන්නේ නැහැ. නමුත් පුංචි වුණත් හපනෙක් වෙමින් ගෙදරට එන හැමෝගේම සිත් ඇදගන්නට ඊට පුළුවන්. එයට රුපියල් 7,500ක පමණ ($49) මිලක් නියම කර තිබෙන අතර පෙර-ඇණවුම් කළ අයට ඔක්තෝබර් 19වන දින තැපැල් කිරීමට නියමිතයි.

9to5mac.com

ඇපල් සමාගමේ Home Pod එකට අභියෝග කරමින් තමයි Google Home Max ස්පීකරය ඔවුන් හඳුන්වා දෙන්නේ. Google Home මෙන් විසි ගුණයක හඬක් නැගිය හැකි මෙය ඔබ සිටින වටපිටාවට අනුකූල ලෙස කෘත්‍රීම බුද්ධිය මෙහෙයවමින් හඬ පාලනය කරගන්නටද සමත් වෙනවා. රබර් පාදම හරහා තිරස්ව හෝ සිරස්ව එය රඳවන්නට පුළුවන් නිසා තබන ස්ථානයේ තිබෙන ඉඩ අනුව එහි හැඩය ගලපා ගන්නට පුළුවන්. Chromecast, බ්ලූටූත් හෝ AUX කේබලයක් හරහා මෙයට ගීත ලබා දෙන්නට පුළුවන්. Google Assistantනුත් ඉන්නා නිසා Google Home එකෙන් කරන වැඩ ටිකත් නිකම්ම කෙරෙනවා. මෙය දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතව ඇත්තේ රුපියල් 61,000කට පමණ ($399) මුදලකට යි.

PixelBook පරිගණකය

youtube.com

ගූග්ල් සමාගමේ නවතම සහ දැනට නිපදවා ඇති තුනීම (10.3mm) ක්‍රෝම්බුක් එක වන මෙය Chrome OS ධාවනය වන පරිගණකයක් සහ ටැබ්ලට් එකක එකතුවක් වගේයි. අංශක 360ක් කරකැවිය හැකි අඟල් 12.3ක ස්පර්ශක තිරය නිසා කැමති පැත්තකට හරවා ගෙන පහසු ආකාරයකට පරිගණකයක් ලෙස හෝ ටැබ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.මිනිත්තු 15ක් ආරෝපණයකින් පැය දෙකක් භාවිතා කළ හැකි මෙය පැය දහයක් දක්වා භාවිතා කළ හැකි බැටරිය කින් සමන්විතයි. Google assistant අඩංගු කරන ලද ලොව ප්‍රථම ලැප්ටොප් පරිගණකය වන මෙය හත්වන පරම්පරාවේ (7th Gen) Intel Core i5 හෝ i7 ප්‍රොසෙසර මාදිලි දෙකකින්, 128 හෝ 256GB SSD අභ්‍යන්තර ධාරිතාවලින්, 8GB හෝ 16GB රැම් වලින්, මයික් 4කින් සහ ස්පීකර යුවළකින් බල ගැන්වී තිබෙනවා.

කීබෝඩ් එකේ යතුරු පසුබිම් ආලෝකකරණය කර ඇති නිසා රාත්‍රියේ වුවත් භාවිතා කරන්නට පුළුවන්. ගයිරොස්කෝප් එකක්, USB C පෝට් එකක් පමණක් නොවෙයි, මේ දිනවල හැමෝම අවධානය යොමු කරන 3.5mm Audio ජැක් එකකුත් මෙහි තිබෙනවා. බර කි.ග්‍රෑ. 1.1ක් පමණයි. රුපියල් ලක්ෂ එකහමාරක් පමණ ($999) වන මෙයට රුපියල් පහළොස් දහසක් පමණවූ ($99) පීඩන මට්ටම් දෙදහසක් පමණ සංවේදනයක් සහ ආනති සංවේදන ඇති Pixel Pen එක සමග තවත් සවිබල ගන්වා ගන්නට පුළුවන්.

Pixel 2 දුරකථනය

wccftech.com

ගූග්ල් සමාගමට ඔවුන් කලින් හඳුන්වාදුන් පික්සල් දුරකථනයෙන් ලෝකයේ වැඩි අවධානයක් දිනාගන්නට බැරි වුණාට ඔන්න දැන් නම් ඔවුන් හරි මඟට පිවිස තිබෙනවා. අඟල් 5ක Pixel 2 සහ අඟල් 6ක Pixel 2 XL ලෙස කුඩා සහ විශාල ප්‍රමාණ දෙකකින් නිපදවා ඇති මේවායේ Apple X දුරකථනය සහ Samsung Galaxy Note 8 දුරකථනය වගේම තිරය මුහුණත පුරාම දිවෙන අතර, ඇපල් දුරකථනයේ වගේ තිරයේ ඉහළ බාධකයක් නැති නිසා වීඩියෝ බලද්දී කරදරයක් නැහැ. මුළු රවුම් ස්වභාවයක් ගත් මෙම තිරය OLED තිරයක් නිසා බැටරි භාවිතය අවමයි. ඇලුමිනියම් නිමාවක්, පසුපස ඇඟිලි සලකුණු සංවේදකයක් සහිතව ජලය කාන්දු නොවන නිමැවුමක් ඇති මෙහි හෙඩ්ෆෝන් ජැක් එකක් නම් නැහැ.

ඉදිරිපස මුහුණතේ ස්ටීරියෝ ශබ්ද ලබාදෙන ස්පීකර යුවළක් ඇති මෙහි අද කාලයේ අලුත්ම රැල්ල වන ‘ගැඹුර හඳුනාගැනීම සඳහා වූ කැමරා යුවළක්’ නම් අඩංගු වන්නේ නැහැ. ගූගල් සමාගම කියා සිටින්නේ ඔවුන්ට එසේ කැමරා දෙකක් නොමැතිව එකකින් ම ගැඹුර හඳුනාගැනීමේ තාක්ෂණයක් හමුවූ බවයි. ඇත්තෙන්ම හාඩ්වෙයා වෙනුවෙන් තවත් වියදමක් නොකර ඔවුන්ගේ කෘත්‍රීම බුද්ධි ඥානයේ හොඳ භාවිතයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. කුඩා ප්‍රමාණයේ දුරකථනය රුපියල් ලක්ෂයකටත් ($649) විශාල දුරකථනය රුපියල් ලක්ෂ 1යි තිස් දහසකට පමණ ($849) මිල කර තිබෙනවා.

Pixel Buds

9to5google.com

ඔන්න හැමෝම වගේ ගූග්ල් සමාගමත් වයර්ලස් හෙඩ්ෆෝන් කලාවට බැහැලා. වයර්ලස් කිව්වාට හෙඩ්සෙට් එකේ ඉයර්ෆෝන් දෙක නම් රැහැනකින් සම්බන්ධ වෙලා තමයි තිබෙන්නේ. හැබැයි එකක් (විතරක්) නැතිවී යාම මෙයින් වැළකෙනවා. ගූග්ල් ඇසිස්ටන්ට් ද අඩංගු කර ඇති මේවායේ භාෂා 40ක් පමණ සජීවීවම පරිවර්තනය කරන්නට හැකියාව තිබෙනවා. ඇපල් පොඩ්වල වගේ ම තට්ටු කිරීමෙන් ගීත Play/Pause කිරීමත්, ඉදිරියට හෝ පසුපසට ස්වයිප් කිරීමෙන් ඉදිරි හෝ පසු ගීතවලට මාරුවීමත්, ටැප් කරගෙනම සිටීමෙන් ගූග්ල් ඇසිස්ටන්ට්ගේ සහාය ලබා ගැනීමත් කරගන්න පුළුවන්. මිල රුපියල් විසි හතරදහසක් පමණ ($159) වෙනවා.

ගූග්ල් Clips කැමරාව

timeincuk.net

ජීවිතය බොහෝ අත්දැකීම් කැමරාවට හසුකර ගන්නට බැරි අපිට බොහෝ අවස්ථාවලදී මගහැරී යනවා. බොහෝ වෙලාවට අපි කැමරාව අතට අරගෙන ලෑස්ති වෙද්දි අශ්වයා පැනලා ගිහිල්ලා ඉවරයි. එනමුත් ඔබගේ අත්ලේ ප්‍රමාණය තරම් කුඩාවට සකසා ඇති, ඕනෑම තැනක රැඳවිය හැකි කෘත්‍රිම බුද්ධියෙන් අනූන Google Clips කැමරාව ජීවිතයේ සියලුම අත්දැකීම් අවස්ථානුකූල ව ග්‍රහණය කරගන්නට සමත් වෙනවා. දරුවා මුල් වරට  ඇවිදින ආකාරය, පූසා මොකක් හරි විකාර වැඩක් කරන ආකාරය වගේ සජීවී වස්තූන් වෙනස් ආකාරයේ දෙයක් කරද්දී එය හඳුනාගෙන සැණෙකින් වීඩියෝ එකක් ලෙස, GIF එකක් ලෙස හෝ ඡායාරූපයක් ලෙස ගබඩා කර ගන්නට මේ සමර්ථ වෙනවා. ඉන්පසු ඔබට එය ඔබගේ දුරකතනයට වයි-ෆයි හරහා ලබා ගන්නට පුළුවන්.

ඉතින් මේ නවතම නිෂ්පාදන ගැන ඔබේ අදහස කුමක්ද? අපිත් එක්කත් බෙදා හදා ගන්න.

කවරයේ ඡායාරූපය: 9to5google.com

Related Articles