Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිර්මාණකරණයට, නව්‍යකරණයට සහ වසංගත පාලනයට මුල් තැන දුන් #ngage 6.0

ඩයලොග් ආසියාටා ආයතනය සංවිධානය කළ #ngage තාක්ෂණ හා සමාජ ජාල සුහද හමුවේ හය වැනි අදියර පසුගිය ජූලි 26 වැනිදා කොළඹ ඩයලොග් මූලස්ථානයේ දී පැවැත්වුණා. වෙනදා වගේම මෙවරත් ස්ටාර්ට්අප් ගැන, තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන අය වගේම ඒ අංශවල අත්දැකීම් තියෙන බොහෝ දෙනෙක් සහභාගී වෙලා සිටියා. මේ මාසේ පැවැත්වුණු #ngage එකේදී නව්‍යකරණය, ඉන්ස්ටාග්‍රෑම් පරිශීලනය, ඇප් එකකින් ඩෙංගු මැඩලීම සහ සමාජයේ යහපත සඳහා සමාජ ජාල භාවිතය ගැන වටිනා ඉදිරිපත් කිරීම් 4කට සහභාගී වෙන්න කාටත් අවස්ථාව ලැබුණා.

නිර්මාණකරණයේ කුතුහලය (Curiosity Of Design)

සමාරම්භක ඉදිරිපත් කිරීම කළේ Innovation Quotient (IQ) ආයතනයේ ප්‍රධාන විධායක අහමඩ් ඉර්ෆාන්. අලුත් වගේම පැරණි ගැටළුවලත් සාර්ථක විසඳුම් නිර්මාණය කිරීමේදී අනිත් අයව වටහා ගැනීමේ වටිනාකම ගැන ඔහු විශේෂයෙන් මතක් කළා.

“වඩාත් වැදගත් වෙන්නේ තමන් නිර්මාණය කරන්නේ කුමක්ද කියන එක නෙවෙයි, තමන් නිර්මාණය කරන දේ ගැන අනිත් අයට හැඟෙන්නේ මොන විදිහටද කියන එකයි.” ඔහු කියා සිටියා.

ඉර්ෆාන්ට අනුව ස්ටාර්ට්අප් වැඩි හරියක් අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව ඔවුන් ඉදිරිපත් කරන නිමි භාණ්ඩය / සේවාව පිටුපස තියෙන අදහස අසාර්ථක එකක් වීම නෙවෙයි, ඔවුන් තමන්ගේ ඉලක්ක පාරිභෝගිකයන්ව හරි හැටි හඳුනා නොගන්න එකයි.

“තමන්ගේ පාරිභෝගිකයා සිතන පතන විදිහ තේරුම් ගැනීම අවසාන වශයෙන් ඉතා සාර්ථක නිමැවුමක් බිහි කරන්න හොඳ ආරම්භයක් වෙන්න පුළුවන්.” ඔහු කීවා.

ඒ අනුව මේ ක්‍රියාවලිය මේ විදිහට කැටි කර දක්වන්න පුළුවන්: අනික් කෙනා තේරුම් ගැනීම → නිමැවුම නිර්වචනය කිරීම → අදහස ගොඩනැගීම → මූලාකෘතිය නිර්මාණය → පරීක්ෂාවට ලක් කිරීම.

“නිර්මාණකරන චින්තනයේ හෙවත් design thinkingවල මූලධර්මය වෙන්නේ මුලින් අදහසක් ඇති කරගෙන ඉන්පසුව මූලකෘතියක් (prototype) එකක් නිර්මාණය කරන එකයි.” ඉර්ෆාන් පැහැදිලි කළා.

අහමඩ් ඉර්ෆාන් අන් අය වටහා ගැනීම පදනම් කරගත් නිර්මාණකරන චින්තනය පැහැදිලි කරමින්.

තමන්ගේ ඉදිරිපත් කිරීමේ මාතෘකාව ගැන පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ නිර්මාණකරණයේ කුතුහලය යන්නෙන් අදහස් කරන්නේ තමන් ඉදිරියේ තිබෙන ගැටළුවක් වෙත සම්පූර්ණ අවධානය යොමු කිරීම කියලයි.

කෙනෙක් හැම විටම උපරිම අවධානයකින් තිබෙන ගැටළුව ගැන අධ්‍යයනය කර ඒ ගැන හැකි තරම් තොරතුරු එකතු කර ගැනීම වැදගත් බව ඔහු කීවේ තමන් සතුව ඇති තොරතුරු ප්‍රමාණය වැඩි වන තරමට තමන් එයට විසඳුමක් ලෙස නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ කුමක්ද කියන දේ වඩාත් පැහැදිලිව වටහා ගන්න අවස්ථාව ලැබෙන බවත් සඳහන් කරමින්.

“අන් අය වටහා ගන්න එකත්, ගැටළුව ගැන උපරිම අවධානය යොමු කිරීමත් නිර්මාණකරණයේ මුල්ම අවධිය කියලා හඳුන්වන්න පුළුවන්. මේ ක්‍රියාවලිය ඇත්තටම එය විසින්ම ප්‍රතිඋත්පාදනය වෙන එකක්.” ඔහු කියා සිටියා.

“පිටතට විහිදෙන්න හැකියාවක් තියෙනකොට ඇතුළට හැරෙන්නේ ඇයි?”

ව්‍යවසායකයන් හැම විටම මුල් අවධියේදී පාරිභෝගිකයන්ගේ පැත්තෙන් සිතන්න පතන්න ඉගෙන ගත යුතු බව ඔහු පෙන්වා දුන්නා. මේකට දේශීයව හොඳ උදාහරණයක් විදිහට PickMe ආයතනයේ ආරම්භකයන් ත්‍රීවීල් රියදුරන් එක්ක ත්‍රීවීල් පාක්වලට වෙලා පැය ගණන් කතා බහේ යෙදිලා ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගන්න ගත්තු උත්සාහය සලකන්න පුළුවන් බවත් ඔහු පැහැදිලි කළා.

“ඔවුන්ගේ ගැටළු හඳුනාගන්න, ඔවුන්ගේ ගැටළුවල සැබෑ තත්වය හොඳින් වටහා ගන්න, ඉන් පස්සේ ඒකට දෙන්න පුළුවන් විසඳුමක් ගැන අවධානය යොමු කරන්න.” ඔහු ප්‍රකාශ කළා.

“දැන් ඔබ ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු කර ඇති ගැටළුව එහි අන්තය දක්වාම අධ්‍යයනය කරන්න, ඉන් පස්සේ ඉලක්ක පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ඔවුන්ගේ සිතිවිලි වටහා ගන්න බලන්න.” ඔහු නැවතත් කියා සිටියා.

Veta ඇප් එක භාවිතයෙන් ඩෙංගු මැඬලමු

ඩයලොග් ආසියාටාහි සමූහ ධරණීයත්ව අංශයේ ඩිජිටල් අඩංගුකරණය සහ කොටස්කරුවන්ගේ කටයුතු පිළිබඳ කළමනාකරු අසිත් ද සිල්වා මේ වන විට පැතිරී යන ඩෙංගු ව්‍යසනය පාලනය කරන්නට සාර්ථකව යොදා ගත හැකි අලුත්ම ඇප් එකක් ප්‍රකාශයට පත් කළා.

ඩෙංගු මේ වන විට වසංගත මට්ටමටම පැමිණ තිබෙන බවත්, දැනට ඩෙංගු ආසාදනය වීම් 110,000 කට වැඩි ප්‍රමාණයක් හා මරණ 300 කට වැඩි ගණනක් වාර්තා වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

“නිවැරදිම දත්ත අප සතුව නැහැ. වෛද්‍යවරුන්ට පමණ ඉක්මවා වැඩ කරන්න සිදුව ඇති නිසා ඔවුන් අතිනුත් අඩුවෙන් වාර්තා කිරීම් සිදු වෙනවා.” ඔහු කීවා.

“ඩෙංගු නිසා ඇති වූ මරණවලින් බහුතරයකට හේතුව ඒ පිළිබඳව නිසියාකාර දැනුමක් තිබුණේ නැති එකයි.” ඔහු Veta ඇප් එක හඳුන්වා දෙමින් කියා සිටියා.

ඩෙංගුවලට එරෙහිව ක්‍රියා කිරීමට තාක්ෂණය යොදා ගැනීමට මුල පුරන Veta ඇප් එක හඳුන්වා දෙන අසිත් ද සිල්වා.

මේ ඇප් එකේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන විදිහට Veta කියන්නේ වාහකයන් මගින් සම්ප්‍රේෂණය වන සියලු රෝග ලෝකයෙන් තුරන් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වෙන අැප් එකක්. ඩෙංගු වගේම මැලේරියාව, සීකා ඇතුළු වාහකයන් (බොහෝ විට මදුරුවන්) මගින් බෝ වන වෙනත් රෝගත් මීට අයත්. මේ රෝග පෘථිවිය පුරා බිලියනයකට වැඩි පිරිසක් අපහසුතාවට පත් කරන බව වාර්තා වෙනවා.

Veta ඇප් එක පිටුපස ඇති අදහස ඇත්තටම හරිම සරලයි: මේක මේ ඇප් එක භාවිත කරන අයට -සමහර අවස්ථාවල විශාල ප්‍රජාවකට වුණත්- අත්‍යාවශ්‍ය සහ බොහෝ විට ජීවිතය පවා බේරා ගැනීමට වැදගත් වෙන තොරතුරු ලබා ගන්න හැකියාව ලබා දීම තුළින් වාහකයන් මාර්ගයෙන් බෝ වෙන රෝග හඳුනාගෙන වාර්තා කරන්න තියෙන කාර්යක්ෂම ක්‍රමයක් බව අසිත් ද සිල්වා පැහැදිලි කළා.

ඔබට ඔබේ ඩයලොග් දුරකතනයෙන්  #999# ඩයල් කර, එහෙමත් නැතිනම් Google Play Store හරහා කෙළින්ම වුණත් මේ ඇප් එක ලබා ගන්න පුළුවන්.

අසිත් ද සිල්වා කියන විදිහට මේ ඇප් එක වෙනත් ජාතික මට්ටමේ ව්‍යසනවලදී (ස්වභාවික ව්‍යසන වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වන යුද්ධ ආදියේදීත්) වුණත් වැදගත් වෙන්න ඉඩක් තියෙනවා.

දෘෂ්‍ය මාධ්‍යයෙන් සන්නිවේදනය සහ කරුණු නිර්මාණය

ජනප්‍රිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමක් හිමි අයිශ්චර්යා පින්ටෝ (@sollakella) ඉන්ස්ටාග්‍රෑම්වල ඇති hashtag, geo tag වගේ දේවල් භාවිතයෙන් තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙන් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්න විදිහ ගැන සහභාගී වූ අයව දැනුවත් කළා. වඩාත් ඵලදායී දෙයක් හැටියට ඉන්ස්ටාග්‍රෑම් එක ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න යොදා ගන්න පුළුවන් ක්‍රම ගැනත් ඇය විශේෂයෙන් සඳහන් කළා.

“හැම වෙලාවකම ඔබ ඉන්ස්ටාග්‍රෑම් තුළ යමක් පළ කරනකොට ඒ සඳහා යම් වෑයමක් දරන්න අවශ්‍යයි.” ඇය කියා සිටියේ තමන්ගේ ඉලක්ක ප්‍රේක්ෂක පිරිස ගැන අවබෝධයකින් යුතුව තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පළ කරන කරුණු ගොඩ නගා ගත යුතු බවත් මතක් කරමින්.

එකම විදිහේ වර්ණ සහිත ඡායාරූප එක දිගටම දැමීමෙන් වැළකීම වගේ කෙනෙක් තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම ගොඩ නගා ගත යුතු විදිහ ගැනත් පින්ටෝ තමන්ගේම අත්දැකීම් ආශ්‍රයෙන් උපදෙස් ලබා දුන්නා.

hashtag නිසියාකාරව පාවිච්චි කිරීමෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකි බව අයිෂ්චර්යා පින්ටෝ විශ්වාස කරනවා.

ඉන්ස්ටාග්‍රෑම් තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන එක ගැන කියනවා නම්: “hashtag සහ location tag පාවිච්චි කළාම ඔබේ ඇතුළත් කරන යමක පැතිරීම, එහෙමත් නැතිනම් Reach එක වැඩි කරගන්න පුළුවන්.” ඇය කියා සිටියේ යම් hashtag එකකට පිවිසෙන සංචාරකයන් ඔබේ ඡායාරූප දැකලා ඒ ස්ථාන නරඹන්න යන්න ඔවුන්ගේ මීළඟ චාරිකාව සැලසුම් කරන්න ඉඩ තිබෙන බවත් පෙන්වා දෙමින්.

කොහොම නමුත් මේ හැම දෙයක්ම තීරණය වන්නේ ඔබේ ගිණුමේ ඇතුළත් දේවල්වල තත්වය අනුව බවත් ඇය මතක් කළා.

“සමාජ ජාල මාධ්‍යවල තිබෙන හොඳ දෙයක් වෙන්නේ ඔබට අනුගාමිකයන් සොයා යන්න අවශ්‍ය නොවන එකයි. තමන් ඇතුළත් කරන දේවල්වල තත්වය හොඳ නම් ඔවුන්ම ඔබ වෙත පැමිණෙන්න ගන්නවා.” පින්ටෝ කියා සිටියා.

හිනා ගස්වන මීම්වලින් එපිටට

තමන්ව “සමාජ යුක්ති රණකාමියෙක්” ලෙස හඳුන්වා ගන්නා සෙනෙල් වන්නිආරච්චි බොහෝ දෙනෙක් හඳුනන ක්‍රියාකාරී තරුණයෙක්. Hashtag Generation හි ආරම්භකයාද වන ඔහු අන්තර්ජාලය තුළ ක්‍රියාකාරී වන ආකාරය ගැනත්, පුද්ගලයන් සිනා ගැන්වීමෙන් එහාට ගිහින් යමක් කිරීමට අන්තර්ජාලයට ඇති බලය ගැනත් සිතට වදින ආකාරයට කරුණු දක්වමින් තම ඉදිරිපත් කිරීම සිදු කළා.

“තමන් සමාජ ජාල තුළ බෙදා ගන්නා දේ ගැන වගකීමකින් කටයුතු කරන්න.” ඔහු කියා සිටියේ අන්තර්ජාලය තුළදී වුණත් විශාල බලපෑමක් කිරීමට වචනවලට තිබෙන බලය ගැන පහදා දෙමින්.

ශ්‍රී ලංකාව තුළිනුත්, අන්තර්ජාතිකවත් ලබා ගත් උදාහරණ දක්වමින් ඔහු පොදු සමාජයේ යහපත සඳහා මෙවලමක් විදිහට ක්‍රියා කරන්න සමාජ ජාල මාධ්‍යවලට තිබෙන බලය ගැනත් පෙන්වා දුන්නා.

තමන්ගේම අත්දැකීම්වලින් උදාහරණයක් ලබා ගත් ඔහු සිංහල සහ මුස්ලිම් පිරිස් අතර ඝට්ටනයක් ඇති වෙන්න ගිය කාලයේ තමන් ෆේස්බුක් හි පළ කළ පොස්ට් එකක් තුළින් “සිංහ ලේ කියා ස්ප්‍රේ කෙරුණු මුස්ලිම් ජනයාට අයත් ගේට්ටුවල තීන්ත ආලේප කරන්නට කැමති බව” කියා සිටි ආකාරයත්, එය ඉක්මණින්ම කවුරු අතරත් කතා බහට ලක් වූ හැටිත්, ප්‍රජාවක් ලෙස සාමූහිකව කටයුතු කිරීම ගැන සංවාදයක් බිහි වීමට එය මුල් වූ හැටිත් පෙන්වා දුන්නා.

පොදු සමාජයේ යහපත සඳහා මෙවලමක් විදිහට ක්‍රියා කරන්න සමාජ ජාල මාධ්‍යවලට තිබෙන බලය ගැන කියා දෙන සෙනෙල් වන්නිආරච්චි.

කොහොම නමුත් අන්තර්ජාලය තුළ ක්‍රියාකාරීන් වන පිරිස් තවමත් අන්තර්ජාලය භාවිත නොකරන පිරිස ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍යයි.

“ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අන්තර්ජාල ප්‍රවේශය ඇත්තේ 25%කට පමණයි, ඒකෙ අදහස රටෙන් 75%ක් තවමත් ඉන්නේ තොරතුරු අතින් අඳුරේ කියන එකයි.” ඔහු කියා සිටියා. වන්නිආරච්චිට අනුව තමන්ගේ සංවිධානයෙන් අන්තර්ජාලය තුළ ආරක්ෂිතව සිටීම ගැන පැවැත්වුණු වැඩමුළුවකදී සිසුන් 50ක් විතර ඉන්න පන්තියකින් “අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා දන්නා අය කවුද?” කියා ඇසුවාම අත් ඔසවා තිබෙන්නේ ඉන් සිසුන් හය දෙනෙකු විතරයි.

“අන්තර්ජාලයට පිවිසෙන්නේ නැති අයත් ඉන්නවා. අපි ඔවුන් ගැනත් සැලකිල්ලට ගන්න අවශ්‍යයි.” ඔහු පෙන්වා දුන්නා.

#ngage 6.0 අවසන් කෙරුණේ පැමිණි කාටත් සහභාගී වෙන්න ලැබුණු සුහද සාදයකින්. එහිදී ඉදිරිපත් කිරීම් කළ අය සමග සුහද කතාබස්වල යෙදෙමින් සබඳතා ගොඩ නගා ගැනීමටත් සියලු දෙනාට අවස්ථාව සැලසුණා. පැමිණි බොහෝ දෙනා තමන්ගේ ට්විටර් ගිණුම් හරහා වැඩසටහනේ පැවති ඉදිරිපත් කිරීම්වලදී කියැවුණු කාරණා ගැනත්, වැඩසටහන ගැනත් තමන්ට සිතෙන දේ ඒ වෙලාවේම ට්වීට් කරන්නත් උත්සුක වුණා. #ngage hashtag එක follow කිරීමෙන් මේ ගැන පළ වුණු ට්වීට් කියවා බලන්න පුළුවන්.

ෆේස්බුක් තුළත් (අනුගාමිකයන් මිලියන 1.9ක්), ට්විටර් තුළත් (අනුගාමිකයන් 290,000ක්), වයිබර් පබ්ලික් චැට් තුළත් (අනුගාමිකයන් 280,000ක්) ශ්‍රී ලංකාවේ වැඩිම අනුගාමික පිරිසක් හිමි අංක එකේ වෙළඳ නාමය වන ඩයලොග් ශ්‍රී ලාංකීය අන්තර්ජාල පරිශීලකයන් අතර විශාලතම මෙන්ම ජනප්‍රියම සන්නාමයයි. TNS ලංකා මගින් පවත්වන ලද ඩිජිටල් අධ්‍යයනයකදී ඩයලොග් වෙත වඩාත්ම සම්බන්ධිත ජාලයට හිමි Most Connected Brand සම්මානයද LMD වෙතින් පිරිනැමුණි.

සියලු ඡායාරූප නස්ලි අහමඩ් වෙතිනි.

මෙය Roar Tech හි ඉංග්‍රීසි බසින් පළ කරන ලද මුල් ලිපියේ සිංහල අනුවාදයකි.

පරිවර්තනය – ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles