Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

S10 දුරකතනය ඇතුළු 2019 සැම්සන්ග් නිෂ්පාදන එළිදැක්ම

පසුගිය පෙබරවාරි විසි වැනිදා සැම්සන්ග් සමාගම නව වසර සඳහා වූ තම නිෂ්පාදන එළිදැක්වීම Samsung Galaxy UNPACKED 2019 නමින් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි බිල් ග්‍රැහැම් නාගරික ශ්‍රවණාගාර‍යේ දී පැවැත්වුණා. අන්තර්ජාලය හරහා ද සජීවීව විකාශය කෙරුණු මෙම අවස්ථාවට ලොව පුරා තාක්ෂණික ලෝලීන් සහ සැම්සන්ග් රසිකයන් රොද බැඳුණා. නවතම S10 දුරකතනය පමණක් නොව නැවිය හැකි දුරකතනයක් ද මෙවර දකින්නට ලැබුණා.

ඉදිරිපත් කිරීම් කරද්දී දකින්නට ලැබුණු ශ්‍රී ලාංකික කාන්තා මුහුණ නිසා ප්‍රෞඪත්වයෙන් අපේ ඇඟ කිළිපොළා ගියා. සැම්සන්ග් හි ඇමරිකාවේ නිෂ්පාදන අලෙවිකරණ අධ්‍යක්ෂකවරිය අපේ රටේ සූසන් ද සිල්වා යි.

ටැබ්ලට් එකක් සහ දුරකතනයක්: Galaxy Fold

නැවීම හා දිගහැරීම සිදුවන ආකාරය (techspot.com)

මෙතෙක් කල් ෆැබ්ලට් (Phablet) නමින් ෆෝන් සහ ට‍ැබ්ලට් යන දෙකම සුසංයෝගී කරන ලද විශාල ප්‍රමාණයේ දුරකතන නිපැයුණත් දැන් සත්‍ය වශයෙන්ම වරෙක දුරකතනයක් ලෙසත්, වරෙක ටැබ්ලට් එකක් බවටත් පත්වන උපාංග ලොවට බිහිවෙනවා. Galaxy Fold උපාංගය දිග හැරි අවස්ථාවේ දී අඟල් 7.3ක Infinity Flex Display තිරයක් තිබෙනවා. එම තිරය නැවෙන සුළු නිසා සාක්කුවේ දැමිය හැකි ප්‍රමාණයට උපාංගය දෙකට නැවීමට හැකි වෙනවා. එහි QXGA+ resolution (4.2:3) එකක් ඇති අතර, නැවූ විට ලැබෙන තිරය අඟල් 4.6ක කුඩා HD+ (12:9) එකක්. මෙය නැවෙන නිසා තනි බැටරියක් අඩංගු කරන්නට බැහැ. එනිසා කොටස් දෙකෙහි බැටරි දෙකක් ඇතුළත් කර, එය සබඳා තිබෙනවා. මෙහෙයුම් පද්ධතිය එම බැටරිය 4,380 mAh වූ තනි එකක් ලෙස හඳුනාගන්නවා.

දිගහරින ලද අවස්ථාවේ දී Apps 3ක් එක්වර පාවිච්චි කරන්නට අවස්ථාව ලැබෙනවා. WhatsApp, Microsoft Office, YouTube ආදිය මෙම නව තිර පද්ධතිය සඳහා optimize කර ඇති අතර සැම්සන්ග් සමාගම Android 9 Pie වෙතින් ඒ සඳහා උපරිම සහාය ලැබෙනවා ද යන්න පිළිබඳව ගූග්ල් සමග කටයුතු කරමින් යනවා. නවන ලද අවස්ථාවේ දී නැමුම් දාරය විශාලව පවතින නිසා මහත් ඝනකමක් තිබෙනවා. කල් පවතින අසව් වලින් සකසා ඇති එම කොටස ලැප්ටොප්වල මෙන් හිඩැසක් ඉතිරි කරන්නේ නැහැ. UNPACKED 2019 හි දී ප්‍රථමයෙන් එළිදැක්වුණේ මෙය යි.

Galaxy S10 ශ්‍රේණිය

ප්‍රමාණය සහ හැකියාවන් අනුව මාදිලි තුනක් (cbsistatic.com)

මෙවර සැම්සන්ග් S10 ශ්‍රේණිය සඳහා දුරකතන 3ක් ඇතුළත් වුණා. ඒ, සාමාන්‍ය S10, විශාල ප්‍රමාණය S10+ සහ හැකියාවෙන් අඩු හා කුඩා S10e ලෙස යි. ප්‍රථම වරට දුරකතනයක ටෙරාබයිට් 1ක අභ්‍යන්තර ධාරිතාවක් (Internal Storage) අඩංගු වූයේ මෙම හඳුන්වාදීමත් සමඟයි. Infinity-o හෙවත් තිරය මත කුඩා සිදුරක් තුළ ඉදිරිපස සෙල්ෆි කැමරා(ව) අඩංගු කරන ලද මෙම දුරකතන පෙළ සතුව පසුපස කැමරා 3ක් තිබෙනවා. ප්‍රධාන කැමරාව 12 MP wide කැමරාවක් වන අතර අනෙක් දෙක 12 MP telephoto සහ 16 MP ultrawide එකක්. කුඩා ප්‍රමාණයේ මාදිලිය සතුව අඟල් 6.1ක තිරයක් සහ තනි කැමරාවකුත්, විශාලම මාදිලිය සතුව සෙල්ෆි කැමරා දෙකකුත් දකින්නට තිබෙනවා. ඒ අනුව, S ශ්‍රේණිය සඳහා 2019 වනතුරුත් Notch එකකට නොයා සිටීම සැම්සන්ග් සමාගම ගත් දැවැන්ත තීරණයක් සේ සලකන්නට පුළුවන්.

තිරය යටින් ඇති ඇඟිලි සලකුණු ස්කෑනරය (cbsistatic.com)

තිරය යට (in-display) ඇඟිලි සලකුණු සංවේදකය යොදා තිබීම ද සැම්සන්ග් ඉදිරිපෙළ නිෂ්පාදන සඳහා මෙවර ප්‍රථම වරට සිදු වුණා. අධි-ධ්වනි ශබ්ද තරංගවලින් (Ultrasonic) එහි ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. සුපුරුදු පරිදි ඔවුන්ගේ පෞද්ගලික සහායකයා වන Bixby ද අඩංගු කර ඇති බවට සැම්සන්ග් උදම් ඇනූව ද කුඩා දරුවෙක්ට බලෙන් කෑම කවන්නාක් මෙන් Bixby අපට දෙන බවට යි Memesවලින් ලෝකය එය හාස්‍යයට බඳුන් කළේ. Headset jack එක ඉවත් නොකර තිබීම මෙන්ම 5G මාදිලියක් ද ඇති බවට කරුණු සඳහන් වුණා. මෙම දුරකතන පෙළ ගැන පූර්ණ විස්තරයක් සුපුරුදු පරිදි වෙනම ලිපියකින් ‍ගෙන ඒමට අපි අදහස් කරනවා.

Galaxy Watch Active සහ Galaxy Fit පැළඳුම් උපාංග

වර්ණ මාදිලි තුනක් (androidcentral.com)

Wearable OS 4.0 මත පදනම් වුණු සැම්සන්ග්හි Tizen OS ධාවනය කරන නව Galaxy Active ස්මාර්ට් අත් ඔරලෝසුව දැනට තිබෙන Galaxy watch එකටම තවත් මාදිලියක් එක් කිරීම යි සිදු කරන්නේ. හෘද ස්පන්දන හැකියාව ද සමග පෙර මාදිලියට වඩා තුනීව සකසා ඇති මෙහි කැරකැවීමට bezel එකක් නැහැ. ඒ වෙනුවට බොත්තම් දෙකක් අ‍ඩංගු කර තිබෙනවා. කළු, රිදී, රෝස රත්‍රං, සහ කොළ (sea green) වර්ණයන්ගෙන් මෙය වෙළඳපොළට හඳුන්වාදෙනු ලබනවා. 40mm මුහුණතක් සහ තිරය 360x360px තිර විභේදනයකින් යුතු මෙයට සමගාමීව Wireless charge කළ හැකි Power bank එකක් ද ඔවුන් ගෙන එනවා.

දැන් වර්ණ තිරයකිනුත් (slashgear.com)

සැම්සන්ග් සමාගමේ Fitness tracker උපාංගය වන Galaxy Fit දැන් Fit E ලෙස තවත් හැකියාවෙන් අඩු, කුඩා මාදිලියකින් ද එනවා. වර්ණ ද සහිත අඟල් 0.95ක AMOLED තිරයක් සහිත විශාල මාදිලිය 120×240 තිර විභේදනයක් ගෙන එනවා. එනිසා අනෙක්වාට සාපේක්ෂව හොඳ පින්තූර තිරය මත මවන්නට ඊට හැකි වෙනවා. කුඩා ප්‍රමාණයේ මාදිලියේ අඟල් 0.74ක කළු-සුදු තිරයක් තිබෙනවා. PMOLED තිරයක් වන එය 64×128 තිර විභේදනයකින් යුතු යි. උපාංග දෙකම කළු සහ සුදු වර්ණයන් ලබාගත අතර Fit උපාංගය රිදී පැහැයෙන් ද Fit E කහ පැහැයෙන් ද තවත් වර්ණ මාදිලි උසුළනවා.

රැහැන් රහිත සංගීත සහ ආරෝපණ අත්දැකීම් ගෙනෙන Galaxy buds

රැහැන් රහිතව දුරකතනය හරහා ආරෝපණය (samsungpromotions.com)

Apple සමාගමේ Airpods වලටත් වඩා මිල අඩුවෙන් රැහැන් රහිත ආරෝපණ හැකියාවන් ද සමග එන සැම්සන්ග් සමාගමේ නවතම Galaxy buds හෙඩ්සෙට් එක එහි අසුරණයේ බහා S10 දුරකතනයේ පසුපසට තැබීමෙන් ආරෝපණය කරගත හැකියි. දුරකතනය ළඟ තබාගෙන අසුරණය විවෘත කරද්දීම Pair කිරීම සඳහා විමසනු ලබනවා. Airpods මෙන් කණෙන් ඉවතට නොපැමිණ කණ තුළම රහස්‍ය උපාංගයක් මෙන් රැ‍ඳ‌ෙන නිසා කණේ තිබිය දී නැතිවීම ගැන බියවිය යුතු නැහැ. ද්විත්ව මයික්‍රොෆෝන පද්ධතියට පිටත ශබ්ද ඇති අවස්ථාවලදී හිස් කබල තුළින් ඇතිවන කටහඬ හඳුනාගෙන ඊට අනුකූලව ක්‍රියාත්මක විය හැකියි. AKG ශබ්ද තාක්ෂණය, ටච් කළ හැකි වීම ඇතුළු පෙර දකින්නට ලැබුණු විශේෂාංග තවත් වර්ධනය කරමින් Bixby සමඟ කටයුතු කිරීම ද මේ උපාංග හරහා සිදු කළ හැකි වෙනවා. Galaxy Fold උපාංගය සමඟ Galaxy Buds නොමිලේ ලැබෙනවා.

මේ උපාංග අතුරින් ඔබේ සිත්ගත් උපාංගය කුමක් ද?

කවරය: තඹරු විජේසේකර

Related Articles