Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

John Keells X 2.0: ඊළඟ ලොකුම ස්ටාර්ට් අප් එක සොයා

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් දෙවැනි වතාවටත් සංවිධානය කරන John Keells X Open Innovation Challenge තරඟයට දැන් සියල්ල සූදානම්. 2016 අවුරුද්දේ ඉතාම සාර්ථක ආරම්භයක් ලබා ගත්තු මේ තරඟාවලිය ශ්‍රී ලංකාවේ “නැගී එන ව්‍යාපාර”, නැතිනම් කවුරුත් දන්න විදිහට කිව්වොත් ස්ටාර්ට් අප් වෙනුවෙන් අවස්ථා විශාල ගණනක් විවර කර දෙන්න සමත් වුණා. මේ අවුරුද්දේ තරඟාවලිය පසුගිය වාරයට වඩා ඉතා පුළුල්ව පැවැත්වෙන්න නියමිතයි. මූලික වශයෙන් රුපියල් මිලියන දෙක බැගින්, නැතිනම් ලක්ෂ 20ක් බැගින් අවසන් වටයට පිවිසෙන ස්ටාර්ට් අප් සමාගම් 7ක ආයෝජනය කරන්න ජෝන් කීල්ස් තීරණය කරලා තිබෙනවා. වඩාත්ම නිර්මාණශීලී, වැඩිම නව්‍යකරණ හැකියාවක් තිබෙන ස්ටාර්ට් අප්වලට හොයා ගන්න අපහසුම දේ වන ප්‍රාග්ධනය හොයා ගන්න මේක ලේසියෙන් නොලැබෙන හොඳ අවස්ථාවක්.

“ජෝන් කීල්ස් X – විවෘත නව්‍යකරණ අභියෝගය” ආරම්භ කරන්න ප්‍රධානම හේතුව වුණේ දක්ෂතාවන්ගෙන් හෙබි පිරිස් හඳුනා ගන්න, ඔවුන්ට මඟ පෙන්වන්න වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වෙන්න පුළුවන් ස්ටාර්ට් අප් ව්‍යාපාර වටපිටාව වැඩිදියුණු කිරීමටත් තිබෙන යුගයේ අවශ්‍යතාවයයි. මේ උත්සාහයේ මුල්ම අදියරට අති විශාල ප්‍රතිචාරයක් ලැබුණු නිසාම මේ අවුරුද්දේ එය ඉතාමත් පුළුල්ව ක්‍රියාත්මක කරන්න ජෝන් කීල්ස් ආයතනය කටයුතු කරනවා. සහභාගී වන පිරිසට අන්තර්ජාතික විෂයමාලාවකට අනුගත ව්‍යවසායකත්ව පුහුණුවක්, වේගවත් වර්ධනය මූලික කර ගත් අත්හදාබැලීම් නැතිනම් growth hacking සඳහා සහය, වැඩ උපදේශන සේවා නැතිනම් mentorship සහ තරඟාවලිය පැවැත්වෙන මාස 6ක කාලයක් පුරාවට අනෙක් සියලු ආකාරවල මග පෙන්වීම් ලබාගෙන ව්‍යාපාර නිපුණතාව දියුණු කර ගන්න අවස්ථාව තිබෙනවා.

අයදුම්පත් එවීම

තරඟයට සහභාගී වෙන්න කැමති අයට කෙටි අයදුම්පතක් සහ තමන්ගේ කණ්ඩායම, තරඟයට ඉදිරිපත් කරන අළුත් අදහස වගේ දේවල් හඳුන්වා දෙන කෙටි වීඩියෝවක් එවන්න පුළුවන්. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් අනුබද්ධ ඕනෑම ව්‍යාපාර ක්ෂේත්‍රයකට අදාළ කාරණාවක් ගැන අලුත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය, විනෝද කටයුතු (leisure), ප්‍රවාහන ක්ෂේත්‍රය, ආහාර සහ සිල්ලර (retail) වෙළඳාම, දේපළ සේවා, මූල්‍ය සේවා සහ වගා ආශ්‍රිත සේවා වගේ පුළුල් ක්ෂේත්‍රයන් විශාල ප්‍රමාණයක් මේ සඳහා විවෘතයි. කොහොම නමුත් මේ දේවල්වලට වක්‍රව සම්බන්ධ වෙන හරි, ඒවාට සම්බන්ධිතව ක්‍රියාත්මක කරන්න පුළුවන් හරි අදහස් ගැන වුණත් සලකා බැලෙනවා.

මේ තරඟාවලිය සඳහා අයදුම්පත් යොමු කරන්න මැයි 2 වැනිදා සිට ජූනි 25 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා. එය මේ සඳහා විශේෂයෙන්ම සැකසුණු ජෝන් කීල්ස් X වෙබ් අඩවිය හරහා සිදු කරන්න පුළුවන්. අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල එකක්, විස්තරාත්මක ව්‍යාපාරික සැලසුමක්, එහෙමත් නැතිනම් detailed business plan එකක් ඉදිරිපත් කරන එක අත්‍යාවශ්‍ය නැහැ. තරඟාවලිය සඳහා තෝරා ගැනෙන්නේ අයදුම්පත්වලින් සහ පුද්ගලිකව පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාවලින්. ඇත්තටම වඩාත් වැදගත් වෙන්නේ කණ්ඩායමේ සිටින පිරිස, ඔවුන් සතු දක්ෂතා හා නිපුණතා වගේම ඔවුන් සතුව තිබෙන උනන්දුව. කණ්ඩායමක ප්‍රාරම්භකයන් නැතිනම් founders ලා දෙදෙනෙක් හෝ තුන් දෙනෙකුත්, සාමාජිකයන් එක් අයෙක්ගේ සිට තුන් දෙනෙක් දක්වාත් ඉන්නවා නම් වඩාත් හොඳයි. එකම කණ්ඩායමක පිරිසට කැමති නම් අදහස් කීපයක් සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කරන්න වුණත් අවස්ථාව තිබෙනවා.

පුහුණු කිරීමේ වැඩසටහන

සියලුම අයදුම්කරුවන් අතරින් තෝරා ගන්නා කණ්ඩායම් 30ක් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබනවා. තරඟාවලියට අවතීර්ණ වෙන්න කලින් ලොව හොඳම තාක්ෂණ විශ්ව විද්‍යාලය වන MIT වෙත ව්‍යවසායකත්ව අවස්ථා සලසන Martin Trust Center for MIT Entrepreneurship ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක බිල් ඕලට් (Bill Aulet) මහතා අතින් නිර්මිත ව්‍යවසායක පුහුණු වැඩසටහනකට සහභාගී වෙන්න ඉඩ ලැබෙනවා. මේ සඳහා සහභාගී වෙලා ව්‍යවසායකයෙක් විදිහට හිතන්න පුළුවන් මනසක් ගොඩ නගා ගන්න විදිහ වගේම ස්ටාර්ට් අප් එකක් නිර්මාණය කරනකොට ඒ සඳහා සුදුසුම ප්‍රතිපත්ති යොදා ගන්න විදිහ ගැනත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

හැම කණ්ඩායමක් වෙනුවෙන්ම ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (JKH) හි ඉතාම පළපුරුදු, දක්ෂ පිරිස අතරින් කෙනෙකු වැඩ උපදේශක කෙනෙක්, නැතිනම් Mentor කෙනෙක් විදිහට පත් කෙරෙනවා. හැම අඟහරුවාදා දවසකම කණ්ඩායම් තමන්ගේ mentorව සහ අනෙකුත් උපදේශකයන්ව මුණ ගැහිලා තමාගේ අදහස ක්‍රියාවට නංවන විදිහ වගේම කරගෙන යන වැඩකටයුතුවල ඉදිරි පියවර ගැනත් සාකච්ඡා කරනවා.

වැඩ පෙන්වන දවස

මේ පුහුණු වැඩසටහන අවසානයේ පැවැත්වෙන දක්ෂතා එළිදැක්වීමේ දිනයේ කණ්ඩායම් සියල්ලටම එකිනෙකා සමඟ තරඟ කරලා පළපුරුදු විනිසුරු පිරිසක් ඉදිරියේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න අවස්ථාව හිමි වෙනවා. මේ අවුරුද්දේ විනිසුරු මඩුල්ල අජිත් ගුණවර්ධන (JKH හි නියෝජ්‍ය සභාපති), රොනී පීරිස් (JKH සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂක – JKH), ක්‍රිෂාන් බාලේන්ද්‍ර (JKH හි විනෝද කටයුතු නැත්නම් leisure අංශයේ සභාපති / අධ්‍යක්ෂක), ගිහාන් කුරේ (JKH හි සිල්ලර නැතිනම් retail අංශයේ සභාපති / අධ්‍යක්ෂක), ආචාර්ය හාන්ස් විජේසූරිය (ආසියාටා සමූහයේ දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරී / JKH හි විධායක නොවන අධ්‍යක්ෂක), ජොනතන් අලස් (හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකාර අධ්‍යක්ෂක) සහ රමේෂ් ශන්මුගනාදන් (JKH හි විධායක නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී) යන ක්ෂේත්‍රයේ ප්‍රවීණතම නිලධාරීන්ගෙන් සැදුම්ලත් එකක්.

ඔවුන්ගේ අදහස් අනුව තෝරා ගැනෙන කණ්ඩායම් 7ක් දක්වා ප්‍රමාණයක් වෙනුවෙන් මූලික ප්‍රාග්ධනය විදිහට රුපියල් මිලියන 2 බැගින් දිනා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. මේ ආයෝජනය කෙරෙන්නේ JKH වෙත 5%ක හිමිකාරීත්වයක් යටතේයි. ජයග්‍රාහී කණ්ඩායම් තෝරන විට ඔවුන්ගේ “අවම ප්‍රායෝගික නිමැවුමේ” නැතිනම් MVP එකේ තත්වය, අදහස ක්‍රියාත්මක කර ඇති ආකාරය, “ව්‍යාපාරික වටිනාකම් යෝජනාවේ” නැතිනම් business value proposition එකේ ශක්තිමත් බව සහ අදාළ ව්‍යාපෘතිය JKH හි ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට තිබෙන අනුකූලතාව කියන කාරණා සැලකිල්ලට ගැනෙනවා.

ලොකුම තෑග්ග

වෙනත් බොහෝ ව්‍යාපාරික තරඟාවලි වගේ මේ වැඩසටහන මුදල් ලබා දීමකින් පමණක් අවසන් වෙන්නේ නැහැ. ප්‍රතිලාභාංශයක් සහ ඒ හරහා හිමිකාරත්වයක් හිමි වන නිසා අදාළ ස්ටාර්ට් අප්වල වර්ධනය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් එකටත් ඉතා වැදගත් වෙනවා. ජයග්‍රාහී කණ්ඩායම්වලට ජෝන් කීල්ස්හි කාර්යාල පහසුකම්වලට ප්‍රවේශය හිමි වෙනවා වගේම JKH හි පාරිභෝගික පිරිස හා ව්‍යාපාරික සම්බන්ධතා එක්කත් සම්බන්ධ වෙලා තමන්ගේ ව්‍යාපාරික සැලැස්ම අත්හදා බලන්න අවස්ථාව හිමි වෙනවා. මේ ලැබෙන අවස්ථාව ඇත්තටම ලැබෙන මුදලටත් වඩා ඉතාම වැදගත්. අලුතෙන්ම ආරම්භ වුණු ස්ටාර්ට් අප් එකකට පාරිභෝගික පිරිසක් නැති නිසා සිදු වෙන දුෂ්කරතා බොහොමයක් මින් මගහරවා ගන්න පුළුවන්.

ඒ වගේම වර්ධනයත් එක්ක ව්‍යාපාරය මනාව පවත්වා ගෙන යන විදිහ ගැනත් විශේෂ පුහුණුවක් ලබා දෙනවා. Growth Tribe කියන ප්‍රසිද්ධ growth hacking (මේකෙන් අදහස් වෙන්නේ කලිනුත් කිව්වා වගේ වේගයෙන් වර්ධනය වීම ආශ්‍රිත අත්හදාබැලීම් ක්‍රම) ආයතනයේ විශේෂඥයින් පිරිසක් නෙදර්ලන්තයේ සිට ඒ සඳහාම පැමිණෙන්න නියමිතයි. ඒ වගේම එක්සත් රාජධානිය පාදක කරගත් මූල්‍ය තාක්ෂණ සමාගමක් වන TransferWise ආයතනයේ වර්ධනය පිළිබඳ නියෝජ්‍ය සභාපතිවරයා වන නිලාන් පීරිස් මහතාත් මේ පුහුණු මඩුල්ල එක්ක එකතු වෙන්න නියමිතයි.

ඊලඟ මාස හයක කාලය පුරාවට ජයග්‍රාහී කණ්ඩායම් තමන්ට ලැබෙන පුහුණුව ඇසුරින් තමන් විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කරපු අවම ප්‍රයෝගික නිමැවුම, නැතිනම් MVP එක සංවර්ධනය කරන්න උත්සුක වෙනවා. මේ කාලයේ ප්‍රධානම ඉලක්කය අදාළ ස්ටාර්ට් අප් ව්‍යාපාරය වැඩිදියුණු කරන එක නිසා සෑම කණ්ඩායමක්ම සතියකට 5%ක අවම වර්ධනයක් පෙන්නුම් කරන්න අවශ්‍යයි. මීට අමතරව තමන්ගේ නිමැවුමේ හෝ සේවාවේ ව්‍යාපාරික ගම්‍යතාව, එහෙමත් නැතිනම් business momentum එක එන්න එන්නම වැඩි වන බව පෙන්නුම් කරන්නත් අවශ්‍යයි. පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලට අනුව තමන්ගේ නිමැවුම වැඩිදියුණු කර ගැනීමත් ඉතාම වැදගත්. JKH වෙත අනුගත කෙරෙන (incubation) කාල පරාසයේදී මේ වැඩකටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි නීතිමය, මූල්‍ය සහ ලේඛන කටයුතු ආශ්‍රිත පළපුරුද්ද නිරන්තරයෙන්ම ප්‍රයෝජනයට ගන්නත් ජයග්‍රාහී කණ්ඩායම් වෙත අවස්ථාව හිමි වෙනවා.

මාස හයක කාලය අවසානයේ තම තමන්ගේ සමාගම් සහ ඔවුන්ගේ —මේ වන විට වඩාත් වැඩිදියුණු වී ඇති— නිමැවුම් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි ප්‍රවීණයන් මඩුල්ලක් වෙත ඉදිරිපත් කරන්න ඉඩ ලැබෙනවා. ඒ හරහා තමන්ගේ ආයතනයේ 25%ක හිමිකාරීත්වයක් වෙනුවෙන් රුපියල් මිලියන 50ක්, නැතිනම් කෝටි 5ක් දක්වා අතිරේක ආයෝජනයක් දිනා ගන්නත් අවස්ථාව තිබෙනවා.

මිල කළ නොහැකි අවස්ථාවක්

2016 ජෝන් කීල්ස් X ජයග්‍රාහක කණ්ඩායම.

යම් කණ්ඩායමකට අවසන් වටය දක්වා යන්න පුළුවන් වුණත්, බැරි වුණත්, මේ විවෘත නව්‍යකරණ අභියෝගය ඇත්තටම සහභාගී වෙන කාටත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් එකතු කර ගන්න හොඳ අවස්ථාවක්. තෝරා ගන්න කණ්ඩායම් 30ටම ස්ටාර්ට් අප් එකක් නිර්මාණය කිරීමට අදාළව උසස්ම මට්ටමේ පුහුණුවක් වගේම වේගයෙන් වෙනස් වන වර්තමාන ලෝකය තුළ සාර්ථක වෙන්න අවශ්‍ය නිවැරදි මානසිකත්වය ගැන හොඳ දැනුමකුත් ලබා දෙනවා. ඒ වගේම මේ තරඟය හරහා ඉදිරියට යන කණ්ඩායම් වෙත සාමාන්‍යයෙන් ස්ටාර්ට් අප් එකක් ආරම්භ කරද්දීට වඩා බොහොම අඩු පරිශ්‍රමයකින් විශාල ආයෝජනයක් දිනා ගන්න ඉඩ ලැබෙනවා.

ස්ටාර්ට් අප් එකකට අවශ්‍ය මුදල් ඉක්මණින් සොයා ගන්නා තරමට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න වැඩි ඉඩකඩක් ලැබෙනවා. අතිරේක ආයෝජන මට්ටම දක්වා යන කණ්ඩායම්වලට අති විශාල අතිරේක ආයෝජනයන් වගේම ව්‍යාපාරික සහායත් ලබා ගන්න ඉඩ සැලසෙනවා. මාස හයක කාලයක් පුරාවට මුදල් ගැන වද නොවී තමන්ගේ ව්‍යාපාරික නිපැයුම හෝ සේවාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් සම්පූර්ණ අවධානය යොමු කරන්න ලැබෙන අවස්ථාව බොහෝ ස්ටාර්ට් අප් ආයතන වෙත හිමි නොවෙන අපූරු වාසියක්.

ව්‍යාපාරයට ලැබෙන මුදල වගේම —සමහරවිට ඊටත් වඩා— ස්ටාර්ට් අප් එකකට වැදගත් වෙන දෙයක් තමයි තමන් ගොඩ නගා ගන්න ව්‍යාපාරික සම්බන්ධතා. මේ තරඟයේ ඉදිරියට යන කණ්ඩායම් සියල්ලටම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සිට වැඩ උපදේශකයන් (mentor ලා) දක්වාත්, ව්‍යාපාරික සම්බන්ධතා සහ පාරිභෝගික පිරිසත් ඇතුළුව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි සම්පත් බොහොමයක් ප්‍රයෝජනයට ගන්න කිසිදා නොලැබෙන අවස්ථාවක් හිමි වෙනවා. ස්ටාර්ට් අප් එකකට වෙන මොනවා නොතිබුණත් මේ සම්පත්වලින් ලැබෙන ප්‍රයෝජනය කියා නිම කරන්න බැරි තරම් වටිනා එකක්. ව්‍යාපාරික ලෝකයේ අවධානය දිනා ගන්න වගේම පැති ගණනාවක් ඔස්සේ ඉක්මන් දියුණුවක් අත්පත් කර ගන්නත් ඒවායින් හොඳ අත්වැලක් සලසා ගන්න පුළුවන්.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් එකත් එක්ක මාස හයක් එකතු වෙලා වැඩ කරන එකම ව්‍යාපාර ලෝකයේ ඕනෑම තැනක විශාල පිළිගැනීමක් ලබා ගන්න ප්‍රමාණවත්. JKH එක්ක කාලයක් තිස්සේ වැඩකටයුතු කරලා අත්දැකීම් ලබා ගත් ස්ටාර්ට් අප් එකක් වෙනුවෙන් ආයෝජනය කරන්න රට පුරාමත්, ලෝකය පුරාමත් සිටින ආයෝජකයන් බොහෝ දෙනෙකු කිසිසේත් මැලි වෙන එකක් නැහැ. ඔවුන්ගේ විශ්වාසය වගේම අවධානයත් ඉතා පහසුවෙන් දිනා ගෙන මේ තරඟාවලිය තුළින් හිමි වන ආයෝජනවලට වඩා අති විශාල ආයෝජන ලබා ගන්නත් අවස්ථාව තියේවි.

JKH විවෘත නව්‍යකරණ අභියෝගය වර්තමානයේ තිබෙන වේගවත් ආර්ථික රටාව ඇතුළේ සාර්ථක ව්‍යාපාර බිහිකරන්න අවශ්‍ය ගුරුහරුකම් ලබා ගන්න තිබෙන හොඳම තෝ තැන්න කියන්නේ අන්න ඒ නිසයි. තරඟයට සහභාගී වෙලා ජයග්‍රහණය කළත්, නොකළත් මේ සඳහා ගත කරන කාලය කිසිසේත් අපතේ යන්නේ නැහැ, මොකද ඒ ලබා ගන්නා අත්දැකීම් සහ ඇතිකරගන්නා සම්බන්ධතා ප්‍රමාණය මිල කරන්න බැහැ. දිනන්න පුළුවන් නම් මීළඟ ලොකුම ස්ටාර්ට් අප් එක වෙන්න ඔබේ අදහසටත් ලොකු අවස්ථාවක් ලැබී තිබෙනවා.

JKH විවෘත නව්‍යකරණ අභියෝගයේ මාධ්‍ය අනුග්‍රහය Roar ටෙක් වෙතින්.

Related Articles