Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ පැවැත්වුණු Google I/O Extended 2018 වැඩසටහනට පසුවිපරමක්

පසුගිය 8 වැනිදා ඇමරිකාවේ මවුන්ට් විව්හි පැවැත්වුණු Google I/O 2018 ට සමගාමීව ශ්‍රී ලංකාවේ පැවැත්වුණු I/O Extended වැඩසටහන ගැන තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාම අවධානයෙන් ඉන්න ඇති. Dialog ideamart හි සංවිධාන ශක්තියෙන් මෙය 8 වැනිදා රාත්‍රියේ සිට 9 වැනිදා උදෑසන දෙන තුරු SLECC හිදී පැවැත්වුණා. 3000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු මෙයට රටේ තාක්ෂණික අංශවල ප්‍රවීණයන් රැසකගේ වටිනා දේශනයන්, ඔවුන් සහභාගී වූ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වගේම විනෝද කටයුතු බොහෝමයකුත් ඇතුළත් වුණා.

Internet of Things හෙවත් IoT හි තාක්ෂණික උපාංග රැසක් සහිත වෙළඳ කුටි, අලුතින් ආරම්භ කළ ස්ටාට්අප්වල ප්‍රචාරණ කටයුතු වගේ බොහෝ දේ මීට ඇතුළත් වුණත් වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වුණේ ආරාධිත කථිකයන්ට සහ Google ආයතනයේ Live stream එකටයි. 10,000 කට වැඩි අයැදුම්පත් ලැබුණත් මෙයින් වඩාත්ම ප්‍රයෝජනයක් ලබන්නට ඉඩ ඇති 3500 කට අවස්ථාව ලබා දුන් බව Ideamart හි ජ්‍යෙෂ්ට කළමනාකරු රොෂාන්ත් ගාඩිආරච්චි මහතා කියා සිටියා. Ideamart හි අනාගත නිමැවුම් ගැනත් කතා කළ ඔහු නුදුරේදීම Android Creation Toolkit එකක් වෙළඳපොළට නිකුත් කරන බවත් කියා සිටියා.

Google හි ශ්‍රී ලංකා උපදේශකත්වය දරන ප්‍රාශ් බාලක්‍රිෂ්නන් මහතා ශ්‍රී ලංකාවේ ස්ටාට්අප්වල දියුණුව ගැන විශේෂයෙන් ප්‍රශංසා කරමින් අපේ රටට තව බොහෝ දුරක් යා හැකි බව ප්‍රකාශ කළා. ඔහුගේ කතාවෙන් අනතුරුව පැමිණියේ ආරාධිත කථිකයන්ගේ වාරයයි.

කාටත් විනෝදයෙන් රාත්‍රිය ගත කරන්න විනෝද කටයුතු බොහොමයක් සංවිධානය කර තිබුණා. (report.net)

නායකත්වය, තමන්ගේ නම තාක්ෂණ ලෝකයේ සටහන් කිරීම සහ තාක්ෂණික ලෝකයේ කාන්තාවන්

මුලින්ම සිය දේශනය කළ Dialog Axiata හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේනර් ඩොයිෂ්මාන් මහතා Google ආයතනය සියලු කටයුතුවලට කෘත්‍රීම බුද්ධිය හෙවත් AI දායක කර ගැනීම ගැන කියා සිටියා. AI තාක්ෂණයෙන් ලබා ගත හැකි සුවිසල් ප්‍රයෝජන වගේම Uber හි රියදුරන් රහිත රථවල ඇති වූ ගැටලුව වගේ දේවල් සිදු නොවෙන්න ප්‍රවේශම් විය යුතු ආකාරය ගැනත් කතා කළ ඔහු ICO ගැන, Google ආයතනය Intel අභිබවා සුපිරි පරිගණක නිපදවීම ගැනත් කියා සිටියා. ඕනෑම ආයතනයක් නව්‍යකරණය ගැන සිතිය යුතු ආකාරය සහ එසේ නොකිරීමේ විපාක ගැන ඔහු Kodak හි කඩා වැටීම තුළින් පැහැදිලි කළා. ආයතනයක් කුඩා වීම වටිනාකමට බාධාවක් නොවන හැටි ඔහු සේවකයන් 35 ක් සහිත whatsapp ආයතනය ෆේස්බුක් විසින් ඩොලර් බිලියන 19කට මිල දී ගැනීම යොදාගෙන පෙන්වා දුන්නා.

ඊළඟට වේදිකාවට ගොඩ වූ කුමාර සංගක්කාර නායකත්වයේ සහ කාගේත් හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමේත්, ඒ තුළින් අන්‍යෝන්‍ය සහයෝගය ඉහළ සමාජයක් ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳවත් ආකර්ෂණීය කතාවක් සිදු කළා. ක්‍රිකට් නායකත්වය සහ වැඩ පරිසරය සංසන්දනය කරමින් ඔහු නිපුණතා බොහෝ තිබුණත් නිසි මග පෙන්වීමක් නැති විට ඇති වන අසාර්ථකත්වය පහදා දුන්නා.

සංගක්කාර සිය කතාව ඉදිරිපත් කරමින් (click4ulk)

N-Able හි කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක පීටර් ඩි අල්මේදා මහතා ඉන් පසුව වේදිකාවට ගොඩ වුණා. Google, Apple, Microsoft වගේ විශාල ආයතනයක රැකියාවකට යාමේ සිහිනයම පමණක් නොව තවත් බොහෝ තාක්ෂණික මාර්ග ගැන ඔහු කාන්තා සමීපාරක්ෂක තුවා අඩු මිලට සාදන යන්ත්‍රයක් බිහි කළ අරුණාචලම් මුරුගානන්දන් හෙවත් Padman උදාහරණයට ගෙන පෙන්වා දුන්නේ විශාල ආයතනයක කුඩා පුරුකක් වනවාට වඩා කුඩා ආයතනයක මහා පුරුකක් වීමේ වැදගත්කම කියා දෙමින්. ඔහුගේ ප්‍රශ්න විචාරාත්මක වටයේදී කූඹියෝ දෙවැනි කොටස ගැනත් ප්‍රශ්නයක් ඇසුණත් පීටර් මහතා ඒ ගැන වැඩි දෙයක් හෙළි නොකරන්න ප්‍රවේශම් වුණා.

Ideamart හි ජ්‍යෙෂ්ට විධායක සම්මානි කුසලධර්ම මහත්මිය ඊළඟට කතා කරමින් තාක්ෂණික අංශයේ පවතින ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අඩු පාඩු ගැනත්, විවිධ කොටස් නියෝජනය නොවීමේ ගැටලුව ගැනත් කතා කළා. Ada Lovelace ලොව ප්‍රථම පරිගණක වැඩසටහන ලිවීම, ආර්ථිකයට සහ දළ දේශීය නිෂ්පාදිතයට කාන්තාවන්ගේ දායකත්වය ඇතුළු බොහෝ දේ තුළින් කාන්තාවන්ගේ නියෝජනය ගැන වැදගත් කරුණු ඉස්මතු කළ ඇය කාන්තාවන්ට ඉදිරියට යාමට වටිනා උපදෙස් තුනකුත් ලබා දුන්නා.

  1. කන්තෝරු රැකියාවලින් ඔබ්බට යන්න.
  2. නිතරම සහයෝගයෙන් කටයුතු කරන්න, කැප වී වැඩට එක් වන්න.
  3. බිය නොවී ඉදිරියට යන්න, ඔබේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න

තාක්ෂණයට කාන්තාවන්ගේ වැදගත්කම ගැන සම්මානි කුසලධර්ම මහත්මිය පෙන්වා දුන්නා. (click4ulk)

ශ්‍රී ලංකාවේ මෑතකදී වඩාත්ම කතාබහට ලක් වූ ආයතනයක් වන Arimac හි ප්‍රධාන විධායක චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඊළඟට කතා කරමින් ඔවුන්ගේ නවතම නිපැයුම් හඳුන්වා දුන්නා. මෙරට නිපදවූ මුල්ම රොබෝ වන “දියසෙන්”, ඔවුන්ගේ ස්වභාවික භාෂාවෙන් බලගැන්වෙන AI පීඨිකාව වන “සසෘත” සහ ඔවුන්ගේ අන්තර්ජාල ක්‍රීඩා පීඨිකාව වන “Mini games” හඳුන්වා දුන් චමීර මහතා අපේ රටට ගැටළුවක් වී ඇති බුද්ධිගලනය ගැනත් කතා කරමින් ලෝක මට්ටමේ නිෂ්පාදන මෙරටදීම් බිහි කිරීමේ වැදගත්කම ගැනත් කියා සිටියා.

ඉන් පසුව එළඹුණු පැය භාගයේදී ශ්‍රී ලංකාවේ තාක්ෂණික අංශයේ දියුණුවට ඉමහත් දායකත්වයක් ලබා දුන් පිරිස් අගයමින් සම්මාන උත්සවයක් පැවැත්වුණා. එහි නිමාවත් සමග සියලු දෙනාම බලා සිටි Google I/O රෝ සජීවී විකාශය ආරම්භ වුණා.

Google වෙතින් පුදුමාකාර නිමැවුම් බොහොමයක්.

මෙවර Google I/O හිදී ගූගල් ආයතනය මහා පරිමාණයේ තාක්ෂණික නිමැවුම් බොහොමයක් එළි දැක්වූවා. එයින් ප්‍රධානතම ඒවා කිහිපයක් පහත දැක්වෙනවා.

  • Android P සංස්කරණය – කාලයකින් ඇන්ඩ්‍රොයිඩ් වෙත සැබෑ වෙනසක් සහිත මෙහෙයුම් පද්ධතියක් ලැබෙනවා.
  • Google Duplex – තනිවම බුද්ධිමත් ලෙස දුරකථන සංවාදයකට සහභාගී වෙන්න හැකියාව තියෙන AI එකක් මෙවර එළි දුටුවා. නමුත් තමන් AI එකක් බව මුලින්ම ප්‍රකාශ කරන්නට එය කටයුතු කරන නිසා විශ්වාසය පිළිබඳ ගැටළුවක් ඇති වෙන්නේ නැති බවත් කියවුණා.
  • Google Assistant – සංගීතඥ ජෝන් ලේජෙන්ඩ්ගේ ද ඇතුළුව නව ස්වභාවික කටහඬ 6 ක් Google Assistant ට එකතු වෙන්න නියමිතයි.
  • Smart Display – ඇමේසන් හි Echo උපාංගයට තරඟයක් දෙන කටහඬ ඇසුරෙන් දකින දේ පාලනය කරන උපාංගයක්.
  • Smart Compose – Gmail ගිණුම හරහා ඊමේල් යවන ඔබට දැන් වචන දෙක තුනක් ටයිප් කළ සැණින් අවශ්‍ය වාක්‍යය සම්පූර්ණ කරගන්න හැකියාව තිබෙනවා.
  • Google News – Google News හි ඔබ කියවන දේ AI තාක්ෂණය තුළින් ඔබගේ ප්‍රියතාවන්ට වඩාත්ම උචිත ලෙස සැකසෙනවා.
  • Street View – Augmented Reality හරහා Google Maps වල street view හි ඔබ යා යුතු දිශාව සජීවී ලෙස බලා ගන්නත් දැන් අවස්ථාව පවතිනවා.

මීට අමතරව Google Lens මගින් සැබෑ ලෝකයේ දකින දේවල්වල ඇති අකුරු කොපි කරන්න තියෙන හැකියාව, Google photos වල වැඩිදියුණු කළ සංස්කරණ උපාංග, Google Maps තුළින් සමාජශීලී වීමට ඇති අවස්ථා දියුණු කිරීම ඇතුළු තවත් බොහෝ දේ ගැන කියවුණා.

Google හි දායකත්වය සහ සමාප්තිය.

කේෂාන් සෝදිමාන මහතා සංගීත නිර්මාණයට AI හි ඇති හැකියාව පෙන්නුම් කරමින් යාන්ත්‍රික ඉගෙනුම හරහා සැකසුණු සංගීත කාණ්ඩයක් ඉදිරිපත් කළා. (whitecode.lk)

සජීවී විකාශය නිමා වුණාට පස්සේ Google I/O Extended 2018 හි ප්‍රධාන අවධානයක් යොමු වුණේ කෘත්‍රීම බුද්ධිය හෙවත් AI සහ යාන්ත්‍රික ඉගෙනුම (machine learning) යන අංශ දෙක ගැනයි. මේ අංශවල Google ආයතනය සිදු කරන පර්යේෂණ කටයුතු ගැන එහි නියෝජිතයන් මෙහිදී අදහස් දැක්වූවා.

Google හි මෘදුකාංග නිර්මාණකරුවෙක් වන ලිම් ෂැන්ග් යි මහතා Google Assistant තුළින් IoT හි ඉදිරි ගමනට ඇති දායකත්වය ගැන එහි ස්වභාවික හඬින් භාෂා පරිවර්තනය සිදු කරන්න ඇති හැකියාව ඇසුරෙන් පෙන්වා දුන්නා. මේ තාක්ෂණය හරහා තමන්ගේම නිමැවුම් කරන්නත් ඔහු වටිනා අදහස් කිහිපයක්ම ලබා දුන්නා.

Google හි ඉංජිනේරු උපදේශකයෙකු වන කේෂාන් සෝදිමාන මහතා AI හරහා සංගීත නිර්මාණය ගැන කතා කළා. මොසාට් වැනි සංගීතඥයෙකු වන්නට AI එකකට ඇති හැකියාව කෙසේ වෙතත් එය යොදාගෙන සංගීත නිර්මාණය පහසු කරගත හැකි ආකාරය ඔහුගේ අවධානයට ලක් වුණා. එය ඔප්පු කරන්නට ඔහු එසේ නිර්මාණය කරන ලද සංගීත ඛණ්ඩයක් වාදනය කර පෙන්වන්නත් කේෂාන් මහතා අමතක කළේ නැහැ.

Google Crowdsource හි නිර්මාණශිල්පියෙකු වන රිචා සිං අන්තර්ජාලය තුළ ඇති තොරතුරුවලින් 50% ක්ම ඉංගීසියෙන් තිබුණත් එම භාෂාව භාවිත කරන පිරිස 5%ක් පමණක් වීමේ ගැටලුව ගැන පෙන්වා දෙමින් Google ආයතනය ලොව බොහෝ රටවල ජාතිකයන් හට තමන්ට හුරු පුරුදු භාෂාවන් භාවිතයෙන් තාක්ෂණික කටයුතු සිදු කරගැනීමට ඉඩ ලබා දෙන ආකාරය ගැන කියා සිටියා.

Google හි Open Source Outreach ව්‍යාපෘති කළමනාකාර කැට් ඕල්මන් මහතා විවෘත මූලාශ්‍ර මාදිලියේ ව්‍යාපෘතිවල Google ආයතනය සිදු කරන ආයෝජනවල වැදගත්කම, ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන දිගටම සැපයීමේ අවශ්‍යතාව සහ බහුතර පිරිසගේ සහභාගීත්වය ලැබීමේ වටිනාකමත්, ඒ තුළින් අනාගත ව්‍යාපෘතීන්ට අලුත් අවස්ථා විවර වෙන්න පවතින ඉඩකඩ ගැනත් මතක් කර සිටියා.

පැය 12 ක් පුරා  පැවති දීර්ඝ, නමුත් කිසිසේත්ම නීරස නොවූ රාත්‍රියකට ආයුබෝවන් කියමින් සමාප්ති කතාව සිදු කළේ Ideamart Services හි විශේෂඥ කසුන් විතානාරච්චි මහතායි.

මේ වැඩසටහනේදී Google ආයතනය එළි දක්වපු විවිධ දේ සැබෑවටම ක්‍රියාත්මක වෙන විදිහ මොන වගේද කියන්න තවම කල් වැඩියි, නමුත් හැමදාමත් වගේ තාක්ෂණ ලෝකයට අලුත් බලාපොරොත්තු ගෙන දෙමින් ඒ කෙරෙහි තියෙන උනන්දුව ඉහළින්ම පවත්වා ගන්නත් Google I/O 2018 වැඩසටහන ලොකු දායකත්වයක් ලබා දුන්නා. මෙහි සාර්ථකත්වය දකින ඔවුන්ගේ ප්‍රධානතම තරඟකාරී ආයතන මෙයට සමාන තවත් තාක්ෂණ සමුළු පවත්වන්න පිඹුරු පත් සකසනවාට සැකයක් නැහැ.

සහභාගී වූ සියලු දෙනාටම එය විනෝදයෙන්, දැනුමෙන් පිරුණු වගේම චින්තනය අවදි කළ අපූරු රාත්‍රියක් වුණා. අනාගතයේ බිහි වෙන්න වෙර දරන මෙරට ස්ටාට්අප් බොහොමයකටත් මේ සමුළුවෙන් ලද පන්නරය අති මහත් බවට සැකයක් නැහැ. ඉතින් 2019 Google I/O වැඩසටහන පැවැත්වෙන කාලය වන විට අපේ රටේ මීටත් වඩා ඉහළ තාක්ෂණික දියුණුවක් ඇති වෙලා තිබේවා යන්න අපි කාගේත් ඒකායන ප්‍රාර්ථනාවයි.

Cover Image Courtesy: bgr.com

Related Articles