Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට වැදගත් වන අගනා Apps 5ක්

ඔබට කිසියම් දෙයක් අවශ්‍ය යැයි සිතෙන විට, එහෙමත් නැත්නම් මේ ආකාරයේ app එකක් තිබුණා නම් හොඳ යැයි කියා සිතන විටත් ලෝකයේ එහා කෙළවරේ කෙනෙක් එය හදලා ලෝකයට හඳුන්වා දීලාත් අවසන්. එයින්ම පෙනෙනවා අද කාලේ තාක්ෂණය කෙතරම් දියුණු වී තිබෙනවාද කියා. ස්මාර්ට් දුරකථන කරළියට පැමිණීමෙන් පසු ඉන් ලබා ගත් හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මේ වන විට නානාප්‍රකාර apps බිහිවී ඇති අතර ඒවායෙන් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර කර ගන්නට තවත් පසුබට විය යුතු නැහැ.

Statista වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට 2017 ජුලි මාසය වන විට ලක්ෂ තිහක් පමණ යෙදුම් play store එකට එක් කර තිබෙනවා. ඒ වගේම එහි පෙන්වා දෙන ආකාරයට සාමාන්‍යයෙන් මාසයකට ලක්ෂ 2ක පමණ උත්ක්‍රමයක් එහි දක්නට ලැබෙනවා. මෙසේ දිනකට නිපැයෙන ඇප්ස් 6,500ක් පමණ අතරෙන් අපි බලමු ශිෂ්‍යයන්ට වැදගත් වෙන හොඳ ම mobile මෙන් ම web ඇප්ස් මොනවාද කියලා.

Office Lens

ඇදේට තිබෙන බෝඩ් එකක පින්තූරයක් වුණත් සුපැහැදිලි ඡායාරූපයක් බවට පත් කරගන්නට පුළුවන්. (blogs.office.com)

අපි ලෙක්චර්ස් යන්න කම්මැලිකමට එක යාළුවෙක්ට දහ පහළොස් දෙනෙක්ගේ අත්සන් ගහන්න කියලා සෙට් එක පිටින් ම කට්ටි පැනලා විභාගේ අතළඟට ආවාම තමයි මතක් වෙන්නේ නෝට්ස් ටික තිබුණා නම් හොඳයි කියලා. එතකොට ඉතින් ලෙක්චර්ස් ගියපු යාළුවොන්ට කරදර කරලා එයාලාගේ නෝට් ඉල්ලගෙන ඒවායේ ෆොටෝ අරගෙන තමයි වැඩේ ගොඩ දාගන්නේ. මෙහෙම ෆොටෝස් ගත්තාම ඒවා බොහෝ වෙලාවට පැහැදිලි නැහැ. පොතේ නැමුම් දාර ආසන්නයේ තිබෙන දේවල් ඇදවී යන නිසා ඒවා කියවන්නත් අපහසුයි. ඒත් ලිපිගොනු නැමුම් රහිතව ස්කෑන් කරන්න පුළුවන් අපූරු යෙදුමක් තමයි Office Lens කියන්නේ.

මෙහි කැමරාවෙන් අපිට අවශ්‍ය පොත, ලිපිය, ගුරුතුමා ලියපු වයිට්බෝඩ් එක විතරක් නෙවෙයි ඉතා කුඩා බිලක් වුණත් අංශක 90ට කැමරාව සකසන්නට සහ විවිධ ඡායාරූපකරණ ශිල්පීය දක්ෂතා කිසිවක් නැතුව ඕනෑවට එපාවට ඡායාරූපයක් ගත්තත් එය නිසි ආකාරයෙන් ළඟට ම ගිහින් එක එල්ලේ ගත්තු පින්තූරයක් වගේ අපූරුවට සකසා දෙනවා. මේ නිසා ඔබට එහා පැත්තේ ඉන්න යාළුවාගේ පොතේ තිබෙන දෙයක් වුණත් පොත ළඟට ඉල්ල ගන්නේ ම නැතිව ඡායාරූපගත කරගන්නට පුළුවන්. ඔබට තිබෙන්නේ එම යෙදුමේ කැමරා දසුන මත ඇඳෙන සුදු පැහැති කොටුව නිසිආකාරව සැකසෙන තෙක් කැමරාව ටිකක් එහාට මෙහාට කිරීම පමණයි.

Wolfram Alpha

howtogeek.com

හැමදේම දන්නේ ගූග්ල් දෙයියා විතරයි කියලා හිතාගෙන හිටියා නම් ඔන්න වෘක මතකය ගැන දැනගන්න දැන් වෙලාව හරි. 2009 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සේවාවට ගණිතය, විජීය ගණිත විසඳුම්, කිරුම් මිනුම්, භාෂාව, විශ්ලේෂණයන්, ප්‍රසිද්ධ පුද්ගලයින්, වෙබ් අඩවි තාක්ෂණික දත්ත, විශේෂිත දින, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වූ විෂයයන් රාශියක් ආවරණය කරමින් ඔබ අසන ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව ඉතා පැහැදිලිව ඡායාරූප, ප්‍රස්ථාර හා වෙබ් මූලාශ්‍ර ආදිය ද දක්වමින් විශ්ලේෂණාත්මකව පිළිතුරු ඉදිරිපත් කරන්නට ඊට අපූර්ව හැකියාවක් තිබෙනවා. Serious දේවල් විතරක් නෙවෙයි, Tell me a joke කියලා කිව්වත් ඔබේ මුවගට සිනහවක් ගෙන එන්නට ඊට පුළුවන්.

මෙය Alpha ලෙස නම් කර තිබෙන්නේ ද කිසි දිනකවත් සම්පූර්ණයෙන් ම සියල්ල ඉගෙන ගෙන අවසන් කළ නොහැකිය යන අදහසින් (සංශයවාදය අනුව) වන අතර ප්‍රථමයෙන් වෙබ් අඩවියක් ලෙස ඇරඹුනු මෙය දැන් ස්මාර්ට් දුරකථන app එකක් වශයෙන් ද ලබාගන්න හැකි නමුත් ඒ සඳහා ගෙවීමක් සිදුකරන්නට සිදු වෙනවා. ඒ නිසා නොමිලේ අත්හදා බලන්නට ඔබට වෙබ් අඩවියට පිවිසිය හැකියි.

Duolingo

ජපන් බස ඉගෙනීමට යාමේදී ඔබට ලැබෙන පියවර (pcmag.com)

යුරෝපයේ හෝ වේවා නැගෙනහිර හා ඊසාන දිග ආසියාවේ හෝ වේවා ලෝකය පුරා විහිදී ඇති විශාල ප්‍රමාණයක භාෂාවන් අතුරින් කිහිපයක් හෝ දැනගෙන සිටීම ලෝකෙ කොහේ ගියත් කරදරයක් නැතිව ජීවත්වන්නට පමණක් නොව ඔබට අමතර ආදායම් මාර්ගයක් ලබාගැනීමට ද මහත් වාසියක් බවට පත්වන්නට පුළුවන්. ෂඩ් භාෂා පරමේශ්වර යන නාමය ලැබූ මේ කලාපයේ පහළ ව සිටි අග්‍රගණ්‍ය පඬිරුවනක්වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් අපිට හොඳ ආදර්ශයක්.

භාෂාවක් ඉගෙන ගැනීමේදී ලිවීමට සහ කියවීමට මෙන් ම කථා කිරීමට සහ අැසෙන දේ තේරුම් ගැනීමට ද ඉගෙන ගැනීම එකසේ සිදුකර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පොතක් කියවීමෙන් භාෂාවක් ඉගෙන ගැනීමට හැකිවුවත් ඉන් සම්පූර්ණ වන්නේ ලිවීම හෝ කියවීමට ඇති හැකියාව පමණයි. එනමුත් Duolingo ඇප් එක සතුව ඇති අක්ෂර ඉගෙනීමේ, කියවීමට හුරු වීමේ සහ ඒවා ශබ්ද නැගීමට හුරුකරලීමේ විශේෂාංග හා ප්‍රශ්නාවලි නිසා ඉතා පහසුවෙන් ඕනෑම වයසක කෙනෙක්ට තමන් කැමති ඕනෑම භාෂාවක් තෝරාගෙන ඉතා කෙටි කලෙකින් ම එය ඉගෙනගෙන නිම කරන්නට පුළුවන්. මෙහි විවිධ මට්ටම් (levels) සහ දිරිගැන්වුම් බැජ් ආදිය ලැබෙන නිසා ආසාවෙන් ඉගෙන ගන්නට හැකියාව තිබෙන අතර කිසියම් භාෂාවක සැලකිය යුතු මට්ටමකට එළැඹීමෙන් පසු එම තත්ත්වය නව රැකියාවන් ලබා ගැනීමට පහසුවක් වන අපේ LinkedIn ප්‍රොෆයිල් එකටත් එකතු කරගන්නට පුළුවන් නිසා හරියට ඉගෙනුමට සහතිකයක් ලැබුණා වගේ ම යි. හොඳ ම දේ, මේ සියල්ල (App එක තුළ මිලදී ගැනුම් තිබුණත්, ප්‍රධාන වශයෙන්) ඔබට ලැබෙන්නේ සතයක්වත් අය කිරීමකින් තොරව යි.

Mathway

Google Play Store

පුංචි කාලෙදි ගණිතය ඉලක්කම්වලින් පටන් ගත්තාට ලොකු පන්තිවලට එද්දී ඒකට ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීපයක් එකතු වුණා. කැම්පස් එකේදි නම් ගණිත ප්‍රශ්නයක ඉලක්කමක් දකින්න ලැබෙන එකත් මාර සංතෝසයක්. මොකද, ඒ තරමට ම දැන් ඒකේ තිබෙන්නේ අකුරු විතරයි. හැබැයි මේ මොන ගැටළුව වුණත් අපිට විසඳගන්න අපහසු නම් කරන්නට තිබෙන්නේ Mathway ඇප් එකේ පිහිට පැතීමයි. එමඟින් ප්‍රශ්නය විසඳන ආකාරය පැහැදිලිව පියවර වශයෙන් අපට පෙන්වාදෙන නිසා නොතේරෙන ගණන් ඒකෙන් ම ඉගෙන ගන්නටත් පුළුවන්.

මෙය ටිකක් හරියට වෙනත් කෙනෙක් එක්ක චැට් කරනවා වගේයි. අපි විවිධ ප්‍රශ්න අහද්දී එය විසඳිය යුතු ආකාරය එය මුලින් අපෙන් විමසනවා. ඊට පස්සේ සට-සට ගාලා පියවර ටිකත් එක්ක උත්තරේ පෙන්වන්නේ හරියට තරගයක් වගේයි. ප්‍රශ්න ටයිප් කිරීමෙන් පමණක් නොවෙයි, ඡායාරූපයක් වශයෙන් ලබාදුන්නත් ඊට එය වටහා ගන්නට පුළුවන් නිසා නානාප්‍රකාර වර්ගමූල ලකුණු, ඉලක්කම්, අකුරු ආදිය අපිට පණ දාගෙන ටයිප් කරන්නට අවශ්‍ය වෙන්නේත් නැහැ. ප්‍රශ්න විතරක් නෙවෙයි, එක සැරේම ගෙදර වැඩ ටික මෙයාගෙන් අහගන්න ලැජ්ජයි වගේ නම් Hi හෝ How are you කිව්වත් ඒකට පිළිතුරු දෙන්නට මැත්වේ ගණිතඥයාට පුළුවන්.

EasyBib

Google Play Store

ශිෂ්‍යයෙක්ගෙන් කැම්පස් එකේ තියෙන එපාම කරපු දේ මොකක්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන් ම කියන්නේ නිබන්ධ ලියන එක කියලා තමයි. ඒකෙනුත් එපා වෙන වැඩේ පාද සටහන්වල උපුටා ගන්නා ලද ග්‍රන්ථවල නම්, මුද්‍රිත වර්ෂ, පිටු ආදිය ලියා පෙන්වන එකයි. හැබැයි EasyBib ඇප් එක නිසා ඔන්න ඒ කරදරේ තවදුරටත් නැහැ. පොතක බාර්කෝඩ් එක ස්කෑන් කිරීමෙන්, පොතේ නමෙන් හෝ ISBN අංකය සර්ච් කිරීම මගින් ඔබට අවශ්‍ය පොත සොයාගත හැකි අතර MLA, APA, Chicago පමණක් නොව Harvard, ASA, AMA, CSE සහ ACS ආදී වූ උපුටා දැක්වීමේ ක්‍රමවේද 7,000ක් පමණ ප්‍රමාණයකින් ඔබට පාද සටහන් ලබා ගන්නට පුළුවන්. පොත් ටික තෝරාගෙන, ඒවායේ උපුටා ගැනීමේ සඳහන් කිරීම් ලබාගෙන ඒවා කෙලින් ම ඊමේල් කරන්නට පුළුවන් නිසා යහළුවෙක්ට වුණත් උදව්වක් කරන්නට, සින්නෙක් ෂේප් කරගන්නට ඔබට මෙය උපකාර වේවි.

ඉතින් ඔබ මේ ඇප්ස් වලින් වඩාත් ම කැමති එක මොකක්ද? Comment එකකින් ඒ ගැන අපිට කියන්න.

කවරයේ ඡායාරූපය: elearningindustry.com

Related Articles