අන්තර්ජාලය කියන්නේ අද වෙද්දී ඔබත්, මමත් ඇතුළු ලෝකයේ විශාල පිරිසක් වෙත පහසුකම් සපයන දෙයක්. කොටින්ම කිව්වොත් අන්තර්ජාලය තුළ සැරිසැරීම අද වෙද්දී බොහෝ දෙනෙකුගේ දෛනික දින චර්යාවේ කොටසක්. මේ 2019 වසරට අන්තර්ජාලය වෙත මූලාරම්භය වැටී වසර 50ක් සපිරෙනවා. මේ කියන්න යන්නේ ගත වුණු 50 වසර තුළ දී අන්තර්ජාලය පැමිණි ගමන් මඟෙහි සන්ධිස්ථාන කිහිපයක් පිළිබඳව යි.

පනස් වසරකට පෙර UCLA (University of California, Los Angeles) හි මහාචාර්යවරයෙක් සහ ඔහුගේ සිසුවෙකු අන්තර්ජාලය වෙත පුරෝගාමී වූ ARPANET තුළින් පණිවිඩයක් මුදාහැරියා. මේ ARPANET පසු කාලයක තොරතුරු තාක්ෂණ විප්ලවයේ මූලාරම්භය ලෙස හඳුන්වනු ලැබුවා. රොබර්ට් විලියම් ටේලර් නම්  මේ මහාචාර්යවරයා අන්තර්ජාලය වගේම තවත් බොහොමයක් තාක්ෂණික නිර්මාණයන්ට දායක වුණා. 

කොටින්ම ඉන්ටර්නෙට්හි ආරම්භය සඳහා අත්තිවාරම දැමුවේ රොබර්ට් ටේලර්ගේ පුරෝගාමීත්වයෙන් බව අපට එක හෙලා පිළිගන්නට හැකි කාරණාවක්. ඊට අමතරව පරිගණක ජාලකරණය (Computer Networking), මාර්ගගත තොරතුරු හා සන්නිවේදන පද්ධති (Online Information and Communication Systems) සහ නවීන පෞද්ගලික පරිගණක (Modern Personal Computing) සංවර්ධනය සඳහා ද ඔහු පුරෝගාමීව කටයුතු කර තිබෙනවා. මේ මොහොත තුළත් අන්තර්ජාලය තුළ මිලියන ගණනක් පිරිස සැරිසරන්නේ ඔහු ඇතුළු පිරිසකගේ දායකත්වය නිසාවෙනුයි.

ඔබ දන්නවා ද?
ඔබ අන්තර්ජාලය භාවිත කරන මේ මොහොත වන විට ලෝකය පුරා අන්තර්ජාලය සහ ඒ ආශ්‍රිත සේවාවන් භාවිත කරන පිරිස පිළිබඳව internetlivestats.com වෙබ් අඩවියෙන් සජීවී ගණනය කිරීමක් දැකගන්න හැකි බව?

මහාචාර්යවරයෙක් සහ ඔහුගේ සිසුවෙකු අන්තර්ජාලය වෙත පුරෝගාමී වූ ARPANET තුළින් පණිවිඩයක් මුදාහැරියා.tweaktown.com

1978; අසමත් වූ ගුප්ත කේතනය (Encryption failure)

මුල් කාලයේ පරිගණක, පරිගණක ජාලයන් සහ අන්තර්ජාලය යනාදිය සියල්ලන්ටම විවෘත වූයේ නම් නැහැ. ඒ වගේම ඉතාම සරල ආරක්ෂණ ක්‍රමවේදයන් මුල්කාලීනව භාවිත වුණා. 1973 දී, උසස් පාසල් සිසුන් කණ්ඩායමක් පෙන්ටගනය විසින් කළමනාකරණය කරන ලද සංවෘත ජාලයක් ලෙස සැලකෙන ARPANET වෙත ප්‍රවේශය ලබාගත් බව වාර්තා අතර සඳහන් වෙනවා. මෙවැනි සිදුවීම් නිසාවෙන් අන්තර්ජාලය සම්බන්ධ පර්යේෂකයන් වන වින්ටන් සර්ෆ් සහ රොබර්ට් ඛාන්ගේ යෝජනාවන්ට අනුව අන්තර්ජාලයේ මූල ප්‍රොටෝකෝල (core protocols) වෙත ගුප්ත කේතන (Encryption) ක්‍රමවේදයන් හඳුන්වාදීම සිදුවුණා. මේ ඔස්සේ හැකර්වරු වැනි අනවසර පුද්ගලයන් වෙත පරිගණක පද්ධති වෙත ඇතුල්වීම ඉතා අපහසු වෙනවා.

මුල දී මේ වෙත ඇමරිකානු බුද්ධි නිලධාරීන් එතරම්ම කැමැත්තක් පළකර නොමැති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ නමුත්, එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට අන්තර්ජාල පරිශීලකයන් වෙත ඉතා සංකීර්ණ මුරපද (passwords) සහ බහු-සාධක සත්‍යාපන පද්ධති (multi-factor authentication) හැසිරවීමට සිදුවෙනවා. වඩා වැඩි ආරක්ෂක අවශ්‍යතා සහිත පරිශීලකයන් වෙත ඔවුන්ගේ අන්තර්ජාල සම්බන්ධතා සහ ක්‍රියාකාරකම් ආරක්ෂා කරගැනීමට අතථ්‍ය පෞද්ගලික ජාල (virtual private networks) හෝ ටෝර් (Tor) වැනි විශේෂිත රහස්‍යතා මෘදුකාංග (specialized privacy software) භාවිතා කරන්නට සිදුවෙනවා. 

1983; අන්තර්ජාලයේ උපත 

‘The Internet’ යන්න නිල වශයෙන් බිහි වන්නේ 1983 ජනවාරි 1 වැනි දා යි. මෙලෙස උපත ලබන අන්තර්ජාලය තාක්ෂණය ඕනෑම කෙනෙකුට විවෘතව පිවිසීමට සහ භාවිතයට ගත හැකි ලෙස නිර්මාණය කිරීම ලෝකයේ බොහෝ දේ නව්‍යකරණය වීමට බලපෑ බව නම් නොරහසක්. අන්තර්ජාලය ඔස්සේ ලෝකය අද වන විට විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙනවා. කොහොම වුණත්, මෙලෙස අන්තර්ජාලය ලෝකයේ සියල්ලන්ටම භාවිත කළ හැකි ලෙස එක මට්ටමකට ගෙන ඒමට ලෝකය පුරාම පර්යේෂකයන් විශාල වශයෙන් කැපවීම් සිදුකළ බව නම් සඳහන් කරන්නම ඕනේ. විවෘත පද්ධති අන්තර්-සම්බන්ධිත සම්මතයක් (Open Systems Interconnection standard) බිහි වෙන්නේ ඒ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස යි. 

TCP/ IP එසේ නැති නම්, Transmission Control Protocol/Internet Protocol ක්‍රමයන් පිළිබඳව යෝජනා වීමත් මේ සමගම සිදුවෙනවා. ඒ, සර්ෆ් සහ ඛාන් යන දෙනාගේ යෝජනාවක් මත යි. මේ ක්‍රමවේදය සාමාන්‍ය තැපැල් ක්‍රමවේදයන්ගේ ක්‍රියාවලියට සමාන යි. පැකේජය (දත්ත පැකට්ටුව) අදාළ ලිපිනය වෙත යැවීම සරලවම මෙහි සිදුවන ක්‍රියාවලිය ලෙස විස්තර කරන්න පුළුවන්. මේ ක්‍රමවේදය හරහා ජාලයේ අනෙක් පරිගණක සමග දත්ත හුවමාරු කරගැනීම ඉතාම පහසු වෙනවා. 

Vinton Cerf සහ Robert Kahn එවකට ඇමරිකානු ජනාධිපති George W. Bush සමග- thenextweb.com

1996; විනීත සන්නිවේදන පනත පිහිටුවීම 

1996 වර්ෂය වන විට අන්තර්ජාලය සර්වර් (සේවාදායක පරිගණක) 73,000ක පමණ පැතිරී ගියා. ඒ වගේම, සමීක්ෂණවලට භාජනය කළ ඇමරිකානු පුරවැසියන්ගෙන් 22%ක් පමණ නිතර අන්තර්ජාලය භාවිත කරන්නන් බව අනාවරණය වී තිබෙනවා. දිනෙන් දින වැඩි වෙන මේ අධික අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණයට සාපේක්ෂව ශීඝ්‍ර වශයෙන් ඉහළ යන කාමුක දර්ශන අඩංගු වෙබ් අඩවි ප්‍රමාණය සහ වීඩියෝ නරඹන පිරිසේ ඉහළ යාම පිළිබඳව ඇමරිකානු කොන්ග්‍රස් සභිකයන් නම් සුළු කොට තැකුවේ නැහැ. සයිබර් අවකාශයේ අශෝභන හා අසභ්‍ය දේ නියාමනය කිරීම සඳහා කොන්ග්‍රස් සභිකයන් විනීත සන්නිවේදන පනත (Communications Decency Act) පිහිටුවා ගත්තේ ඉන් අනතුරුව යි. එහෙත්, පසුව අධිකරණය මඟින් එහි විවිධ කොටස් අවලංගු කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් එහි 230 වන කොටස* (Section 230) ක්‍රියාත්මක කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා. මෙමඟින් ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි නියාමනයකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදෙන බව විචාරකයින්ගේ අදහස යි.

ඔබ දන්නවා ද?
අන්තර්ජාලයේ පියා ලෙස සැලකෙන්නේ වින්ට් සර්ෆ් (Vint Cerf) බව.

1998; ඇමරිකානු රජයේ මැදිහත් වීම 

TCP/ IP ක්‍රමවේදයන් භාවිත කර අන්තර්ජාලය වෙත සම්බන්ධ වීමට වෙන වෙනම එක් එක් උපාංගය වෙත ලිපිනයක් ලැබෙනවා. අන්තර්ජාලයේ අදාළ කොටස වෙත සම්බන්ධ වීමට එම ලිපිනය මතක තබාගත යුතුම යි. (උදාහණයක් ලෙස “104.25.161.117” වැනි සංඛ්‍යා මාලාවක් දක්වන්න පුළුවන්.) නමුත් මෙලෙස සංඛ්‍යා විශාල ප්‍රමාණයක් මතක තබාගැනීම ඉතාම අපහසු කාර්යයක්. පසුකලෙක ඒ වෙනුවට අද අපි වෙබ් අඩවි වෙත පිවිසෙන්න භාවිත කරන ඩොමේන් නාමයන් (උදාහරණයක් ලෙස, ඉහත IP එක වෙනුවට https://roar.media) භාවිතයට පැමිණෙනවා. IP ලිපින වෙනුවට මෙලෙස ඩොමේන් නාමයන් භාවිතා කිරීමෙන් අංක වැරදී වෙනත් වෙබ් අඩවි වෙත පිවිසීම අවම කිරීමට හැකියාව ලැබෙනවා. 

මුළු අන්තර්ජාලයේම address book එකක් Floppy disk එකක ඇතුළත් කරන්නට Jon Postel වෙත පවරා තිබුණා. කෙසේ වෙතත්, ඔහු ද ඇතුළුව තවත් කිහිප දෙනෙකුගේ මතය වුණේ; එවැනි බලයක් එක් පුද්ගලයෙකු සතුව නොපැවතිය යුතු බව යි. 1960 වසර වන විට මුළු අන්තර්ජාලයේම සිටි බලවත්ම පුද්ගලයා ලෙස ඔහුව හඳුන්වනු ලැබුණා. 1998 වසරේ දී එක්සත් ජනපද වාණිජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව පුරා අන්තර්ජාල ලිපිනයන් කළමනාකරණය කිරීම සඳහා නව පුද්ගලික ලාභ නොලබන සංවිධානයක් බලාත්මක කරන්නට පියවර ගත්තා. 

ICANN (Internet Corporation for Assigned Names and Numbers) බිහි වූයේ එලෙස යි. වසර 22කට ආසන්න කාලයක් ICANN විසින් වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්තුවක් යටතේ එම කාර්යය සිදුකළා. 2016 දී වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්තුව කල් ඉකුත් වූ අතර, ICANN හි පාලනය පුළුල් හා ගෝලීයකරණය වූ ව්‍යුහයක් කරා මාරුවීම සිදුවුණා. 

2010 අන්තර්ජාල යුද්ධය 

2010 ජුනි මාසයේ දී සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් විසින් න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා ඉරානය භාවිතා කරන උපකරණ විනාශ කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද Stuxnet නම් නවීන සයිබර් ආයුධයක් පිළිබඳව අනාවරණය කළා. නමුත්, අන්තර්ජාලය හරහා සැලකිය යුතු විනාශයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව පාලකයන්ගේ අවධානය යොමු වන්නට තවත් දශකයක් පමණ ගත වුණා. 

මිලියන ගණනක් දිනපතා සැරිසරන අන්තර්ජාලය කොතරම් ආරක්ෂිත ද යන්න පිළිබඳව දැන් දැන් ගැටළු මතුවෙමින් පවතිනවා. අපි අන්තර්ජාලයේ සැරිසැරීමේ දී ආරක්ෂාව පිළිබඳව වඩ වඩාත් සැලකිලිමත් විය යුතු දශකයක ආරම්භයක් ලෙස 2020 හඳුන්වන්න පුළුවන්.  

1996; විනීත සන්නිවේදන පනත- 230 වන වගන්තිය

මේ හරහා අන්තර්ජාල සේවා සපයන සමාගම්වලට ඒ හරහා ව්‍යාප්ත වෙන අන්තර්ගතයන් සම්බන්ධ කිසිදු නීතිමය වශයෙන් වගවීමට ලක් නොවී ඒ කන්ටෙන්ට් අන්තර්ජාලයෙන්, ඔවුන්ගේ ප්ලැට්ෆෝම්වලින් ඉවත් කිරීමට අවශ්‍ය ඉඩකඩ ඔවුන්ට ලබා දෙනවා. මෙවැනි වෙබ් අඩවිවල පළ වෙන ඒවායේ අන්තර්ගතය සම්බන්ධව එකී සේවා සපයන සමාගම් සහ අන්තර්ජාලයේ අන්තර්ක්‍රියා සහිත වෙබ් අඩවි තෙවැනි පාර්ශවයක් ලෙස හඳුනාගන්නවා මිස, නීතිමය වශයෙන් ඒවා "පළ කරන්නා" ලෙස සැලකෙන්නේ නැහැ. 

ඒ නිසා කිසිවකු හෝ (වෙබ් අඩවි) හරහා පළ කරන දේවල්වල අඩංගු අන්තර්ගතයන්ට එරෙහිව නීතිමය පියවරක් නොහැකි වෙනවා සේ ම, ඔවුන් විසින් කවුරුන් හෝ තමන්ගේ වෙබ් අඩවිය හෝ සේවාව යොදාගෙන පළ කරන දේවල් ඉවත් කළහොත් හෝ සංස්කරණය කළහොත් එය පළ කරපු පාර්ශවයටත්, ඒ සමාගම්වලට එරෙහිව තමන් පළ කළ දේ ඉවත් කළා කියා නීතිමය පියවරක් ගන්නට තියෙන ඉඩ ඇහිරෙනවා.