32bit සහ 64bit කියන්නේ මොනවාද? සහ ඒවායේ වෙනස

මෘදුකාංගයක් download කරන්න ගියාම බොහෝ විට 32bit සහ 64bit ලෙස ලින්ක් දෙකක් දකින්න ලැබෙනවා. ඒ වගේම, වින්ඩෝස්වල Program Files සහ Program Files x86 ලෙස ෆෝල්ඩර් දෙකකුත් තිබෙනවා. ප්‍රොසෙසර් මිල දී ගන්න ගියාම සහ මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරන්න යද්දීත් 32bit සහ 64bit භේදය සහ “x86” කියලා එකකුත් දකින්නට තිබෙනවා. මේ දේවල්වලින් කියැවෙන්නේ මොකක්ද කියන එක ඔබටත් ගැටලුවක් වුණා නම්, මේ ලිපිය රසවත් කියැවීමක් බවට පත්වේවි.

32bit සහ 64bit

slashgear.com

එම වචනවල තිබෙන bit යන්න අපිට හුරුපුරුදු දෙයක්. පරිගණක භාෂාව හෙවත් binaryවල පාවිච්චි වන 0 සහ 1 හඳුන්වන්නේ bit ලෙස යි. පාරිභාෂික වචනවල එය බිටු ලෙස හැඳින්වෙන අතර බිටු 32, බිටු 64 ලෙසත් කියැවෙනවා. කියැවීමේ පහසුව පිණිස මෙම අගය ඉහළ යත්ම bit → byte → kilobyte → megabyte → gigabyte සහ අද පාවිච්චි වන ටෙරාබයිට් දක්වා යනවා. අංකය අනුව බැලූ කල, 32හි දෙගුණය 64 වෙනවා. එතකොට 64bit හොඳයි වගේ. මොකක්ද මේ 64 මායම?

සරලව කිව්වොත්, 64-bit ප්‍රොසෙසරයකට 32-bit ප්‍රොසෙසරයකට වඩා සවිබලයක් තිබෙනවා. මොකද, එයට එකවර දත්ත වැඩි ප්‍රමාණයක් සකසන්නට (process කරන්නට) හැකියාව තිබෙනවා. 64-bit ප්‍රොසෙසරයකට memory address සහිතව වැඩි සංඛ්‍යාත්මක දත්ත ප්‍රමාණයක් ගබඩා කරගන්නට හැකි යි. එය කෙතරම් වැඩි ද යත්, 32-bit ප්‍රොසෙසරයකට වඩා බිලියන 4 ගුණයක් වූ භෞතික මතකයක් එයට හසුරුවන්නට පුළුවන්. ඒ කියන්නේ වාහනයක්, අශ්ව කරත්තයක් එක්ක සසැඳුවා වගෙ යි.

මෙහි ඇති මූලික වෙනස වන්නේ 32-bit ප්‍රොසෙසරවලට පාවිච්චි කරන්න පුළුවන් RAM ප්‍රමාණයේ සීමා සහිත බව යි. වින්ඩෝස්වල එය 4GB දක්වා සීමා වෙනවා. 32bit ප්‍රොසෙසරයක් හෝ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත පරිගණකයකට 4GBවලට වඩා සවි කළාම 3.58GB වැනි අගයක් සමග “(usable)” යන වදනත් පද්ධති තොරතුරුවල පෙන්වන්නේ මේ නිසා යි. එනිසා වැඩිපුර RAM එකක් අවශ්‍යය නම් 64bit ප්‍රොසෙසරයක් වගේම, 64bitවලට සහාය දක්වන මෙහෙයුම් පද්ධතියකුත් අවශ්‍යය යි.

ගණිතමය පැහැදිලි කිරීමක්

fwweekly.com

බිට් එකක් (1 bit) කියන්නේ 1 හෝ 0 යන අගයන් දෙකෙන් එකක්. 0 ලෙස off යන්නත් 1 සඳහා on ලෙසත්, වෝල්ටීයතා අගයන්ගේ වෙනස්කම් දෙකක් ලෙසත් කියන්නට පුළුවන්. මෙම අවස්ථාවන් දෙක, දෙකෙහි බලයක් ලෙස ලියන්නට පුළුවන්. එනම්, 21 ලෙස යි. එ් වගේම මේ අවස්ථාවන්ගෙන් ලද හැකි ‘විය හැකියාවන්’ (possibilites) ප්‍රමාණය? එය 22

හෙවත් 2×2 = 4ක්. 0 සහ 1න් අපට 0, 1, 10, 11 යන අවස්ථාවන් ගොඩනගා ගන්න පුළුවන්. ඒවා දහයේ පාදයේ ඉලක්කම්වලින් ලිව්වොත්, පිළිවෙලින් 0, 1, 2, 3 බවට පත්වෙනවා.

මේ ආකාරයට දෙකෙහි බලය වැඩිවත්ම ලැබෙන අගය ප්‍ර‍මාණය, විය හැකියා ප්‍ර‍මාණය වැඩිවන බව දකින්නට තිබෙනවා. එතකොට 232 කියන්නේ?

232 = 4,294,967,296

ඒක විශාල අගයක්. එතකොට ඒක අපිට මේ මාතෘකාවේ දී වැදගත් වෙන්නේ, 32bit මෙහෙයුම් පද්ධතියකට පාවිච්චි කරන්නට හැකි memory address ප්‍රමාණය බිලියන 4.3ක් පමණ බව ඉන් පෙන්වා දෙන නිසා යි. මෙම bit අගය, ගිගාබයිට් බවට පත් කළාම:

4,294,967,296 / (1,024 * 1,024) = ආසන්න වශයෙන් 4යි.

පෙර සඳහන් කළ ගිගාබයිට් 4ක RAM අගයකට 32bit මෙහෙයුම් පද්ධතියක් සීමාවන බවට කී දේ ගණිතමය වශයෙන් තහවුරු වන්නේ එලෙස යි.

මොකක්ද x86?

wccftech.com

x86 කියන්නේ bit සම්බන්ධ යමක් කියැවෙන දෙයක් නොවෙයි. එය ප්‍රොසෙසර්වල පාවිච්චි වන instruction set එක හඳුන්වන්නට පාවිච්චි කරන කෙටි යෙදුමක්. x86 යන්න ඇරඹුණේ 16 bit ප්‍රොසෙසර (8086 සහ 8088 ප්‍රොසෙසර) සඳහා 16 bit instruction set එකක් වශයෙන්. අනතුරුව එය 32 bit ප්‍රොසෙසර (80386 හා 80486) සඳහා 32 bit instruction set සමග වැඩිදියුණු කෙරුණා. දැන් එය 64bit instruction set දක්වා දියුණු වී තිබෙන අතර ඒවාට 80×86 ලෙස ද පාවිච්චි කරනවා. ඒ, චිප් model numberවල මැද අගයන් ඉවත් කිරීමෙනුයි. x86 ලෙස පාවිච්චි කරන්නේ මොඩ්ල් නම්බර්වල මුල් අංක ඉවත් කිරීමෙන්. ඉහත වරහන් තුළ ඇති අංකවල අගට 86 තිබෙනු ඔබ දකින්න ඇති.

ඉංග්‍රීසි භාෂාවෙන් eighty-sixed කියන්නේ කිසිවක් අතහැරිය යුතු බව කියැවෙන්නක්. ඒත්, වින්ඩෝස්වල Program Files x86 කියන්නෙත් ඉවත් කළ යුතු ෆෝල්ඩරයක් නම් නෙවෙයි. 64bit මෙහෙයුම් පද්ධතියක 32bit මෘදුකාංග ස්ථාපනය කරද්දී ස්වයංක්‍රීයව එහි ගබඩා වෙනවා. එසේ වෙන් කරන්නේ මෙහෙයුම් පද්ධතියට 32bit මෘදුකාංග වෙන් කරගෙන ඊට අවශ්‍යය DLL පාවිච්චි කිරීමට බවට මතයක් තිබුණත්, software install කරද්දී වෙනත් ෆෝල්ඩරයක් තෝරාදෙන්නට පුළුවන් නිසා එය එලෙස සැලකිය නොහැකි යි. වෙනත් drive එකක ස්ථාපනය කළත් ඒ 32bit මෘදුකාංග ක්‍රියා කරනවා. කොහොම නමුත් මේ ෆෝල්ඩරය තිබීමෙන් කියැවෙන්නේ ඔබේ මෙහෙයුම් පද්ධතිය 64bit එකක් බව යි.

නූතනයේ 64bitවල අවශ්‍යතාවය

djtechtools.com

මෙහෙයුම් පද්ධතිවල ද නව විශේෂාංග මෙන්ම භාවිත වන මෘදුකාංගවල හැකියාවන් ඉහළ යාමත් සමග ඒවාට අවශ්‍යය CPU හා RAM බලය ඉහළ යනවා. මෙයට විසඳුම් වශයෙන් ප්‍රොසෙසර් නිර්මාණය කිරීමේ දී වැඩි දත්ත ප්‍රමාණයක් එකවර process කිරීමට හැකි ප්‍රොසෙසර නිපැයෙන අතර ඊට අවශ්‍යය සහයෝගය වැඩි RAM ප්‍රමාණයක් හරහා ලබා ගන්නවා. පරිගණකයක් මධ්‍යම ක්‍රියා ප්‍රමාණයකින් slow නොවී ක්‍රියා කරවන්නට අවම RAM අගය මේ වන විටත් 8GB ඉක්මවා ඇති අතර දුරකතන සඳහා එය 4GB ඉක්මවමින් පවතිනවා. මේ නිසාම දැන් වෙළඳපොළට නිකුත් කරන හැම උපාංගයක්ම පාහේ 64-bit ප්‍රොසෙසරයකින් සවිබල ගැන්වෙනවා.

ඇපල් සමාගම ඉදිරියෙන්

පරිගණක සඳහා මෙන්ම දුරකථන සඳහාත් 64bit මාදිලිය කරළියට ගෙන ආවේ ඇපල් සමාගම විසින්. 2009 දී ඔවුන්ගේ සම්පූර්ණයෙන් 64-bit වූ පරිගණක මෙහෙයුම් පද්ධතිය එළිදැක්වුණු අතර 64-bit චිප් එකක් සහිත ප්‍රථම ස්මාර්ට් දුරකථනය ලෙස Apple A7 චිප් එක අඩංගු කළ iPhone 5s දුරකථනය බවට පත්වුණා.

මෙලෙස මෙහෙයුම් පද්ධති හරහා 64bit වෙත අවධානය යොමු කළත්, 32bit වෙනුවෙන් තැනූ මෘදුකාංග එහි ධාවනය වීම නැවතුණේ නැහැ. මන්ද, backwards compatible හෙවත් පෙර තිබූ තාක්ෂණයන් ද නව තාක්ෂණය මත ධාවනය වීමට අවශ්‍යය පහසුකම් අඩංගු කිරීම නිසා පැරණි මෘදුකාංග ඉවතලන්නට අවශ්‍යය වන්නේ නැහැ. එනමුත් ඒවායෙන් උපරිම ප්‍රයෝජනය නව පරිගණකයක ලබාගන්නට නම් ඒවායේ 32bit (x86) වෙනුවට 64bit (x86_64) ලෙස සඳහන් වන වෙළුම ස්ථාපනය කරගත යුතු වෙනවා.

තව දෙයක්. 32bit OS එක 64bit කරගන්නේ කොහොම ද ඇහුවාම 32bit එක දෙපාරක් install කරගත්තාම හරි කියන කතාව ඔච්චමක්.

කවරයේ ඡායාරූපය: pixfeeds.com

Related Articles