Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Netflixහි ජනාදරයට පත් හොඳම TV series – 2018

ෆිල්ම් බලනවා වගේම ටෙලි නාට්‍ය හෙවත් tv series බලන්නත් මේ වෙද්දී බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. පැය කිහිපයක් වෙන් කරගෙන ෆිල්ම් එකක් බලන්න වෙලාව මදි කෙනෙක්ට වුවත් පැය බාගයකින් පමණ කතා මාලාවක අංගයක් (episode එකක්) බලා අවසන් කර සිත නිවා ගන්නට පුළුවන්. ඒ සඳහා හොඳම ඒවා ටිකක් තෝරාගන්නට Netflix හරහා මෑත කාලීනව ප්‍රසිද්ධ වුණු හොඳම tv series හරහා පුළුවන්.

හොඳම ත්‍රාසජනක කතා මාලාවන්

ත්‍රාසජනක හෙවත් Thriller ආකාරයේ කතාවන් කියන්නේ කතාව බලාගෙන ඉඳිද්දී නොදැනීම පුටුව කෙළවරට ඇවිත්, මුව අයාගෙන, ඊළඟට මොනවා වේවි ද කියලා හිතා ගන්න බැරුව, ඉන්නට බැරි හැඟීමක් දැනෙන ආකාරයේ ඒවායි. ලංකාවේ නිපැයුණු “කූඹියෝ” කතා මාලාවත් ඒ වගේ එකක්.

Breaking Bad

blogspot.com

2008 සිට 2013 සැප්තැම්බරය දක්වා Season 5කින් තිරගත වුණු මේ කතා මාලාව IMDb 9.5ක් තරම් ඉහළ අගයක් ලබා තිබෙනවා. වෝල්ටර් වයිට් නම් රසායන විද්‍යා ගුරුවරයෙක් තමාට හදිසියේ ඇතිවන පිළිකා රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමට මුදල් සොයාගන්නට තම රසායන විද්‍යාත්මක දැනුම ද උපයෝගී කරගනිමින් කිසියම් නීති විරෝධී කටයුත්තක නිරත වෙනවා. මොහුගේ පුත්‍රයා ආබාධිතයි වගේම, පසුකාලීනව බිරිඳ ද ගැබ් ගැනීමෙන් පවුලේ තවත් නරක අතට හැරෙනවා. මේ පීඩනයන් එක්ක වෝල්ටර්ට ජීවිතය ගැට ගසා ගැනීමට කරන මහත් පරිශ්‍රමය මේ කතා මාලාව තුළ අපූරුවට දිවෙනවා.

කතාව මුල දී අවසානය කිසිසේත්ම සිතා ගැනීමට නොහැකියි වගේම, සාම්ප්‍රදායික සතුටුදායී අවසානයක් නොව, ප්‍රශ්න රැසක්, කුතුහලය, සහ සියුම් වේදනාවක් ද ඉතිරි කරමින් කතා මාලාව දිවෙනවා. මෙහි නාමාවලිය පවා ආවර්තිතා වගුවේ රසායන ද්‍රව්‍ය සංකේත වලින් දක්වා ඇති අතර රසායන විද්‍යාවට ප්‍රිය කරන කෙනෙක්ට මෙය වඩාත් සිත් බඳින කතා මාලාවක් වනු සිකුරුයි. මෙය නරඹා තිබීම අපි පසුව කියන්නට යන tv series එකකට නිතැතින්ම සිත් බඳින්නට හේතුවක් වෙනවා.

Sherlock

nflxso.net

බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් කියන්නේ ආතර් කොනන් ඩොයිල්ගේ පොත් මාලාවෙන් අපි කියවපු දොස්තර වොට්සන් සමඟ අභිරහස් විසඳූ අපූර්ව චරිතයක්. මේ චරිතයම අද කාලයට ගැලපෙන්න වෙනස් කරලා, ඒ කිව්වේ දුරකථනයක් එහෙම අතැතිව, මේ නව ෂර්ලොක් තම ප්‍රධාන ප්‍රතිවාදියා වන මහාචාර්ය මොරියාටි, දොස්තර වොට්සන් සහ ඔහුගේ බිරිඳ වන මේරි මෙන්ම තම සහෝදරයා වන මයික්‍රොෆ්ට් හෝම්ස් සමඟ තමාට ලැබෙන ගැටළු සාර්ථකව විසඳන ආකාරය මෙහි නවමු ආකාරයකට ප්‍රක්ෂේපණය කර පෙන්වනවා. දුරකථනයට පණිවිඩයක් ආ විට සාම්ප්‍රදායිකව දුරකථනය පෙන්වනවා වෙනුවට තිරය මත අකුරු වලින් එය අපට දක්වනවා. ෂර්ලොක් තමා වෙත එන අයව සිතින් මැනගන්නා ආකාරය ද දක්වන්නේ එලෙසින්.

මෙහි පළමු කතාංගය වන A Study in Pink (Season 1, Episode 1 හෙවත් pilot එක) වෙළුම් දෙකකින් යුක්තයි. කතා මාලාවක් රූපවාහිනියට ලබාදීමේ දී එහි පළමු කතාංගය සාර්ථක එකක් විය යුතු වෙනවා. Sherlock සඳහා BBC වෙත ලබා දුන් pilot එක විනාඩි 60ක එකක් වූ අතර ඔවුන් පවසා තිබුණේ (තවත් කාරණා මත) මෙය විනාඩි 90ක එකක් විය යුතු බවයි. මේ නිසා £800,000ක් වැය කොට තැනූ කතාංගය තවත් විස්තර කරමින් පැය 1.5කට ගෙන ආවා. ඔබට හැකි නම් මේ දෙකම සොයා ගෙන බැලීම වඩාත් වටිනවා. අපේ අදහස නම් මුලින් කරන ලද කතාංගය පසුව කරන ලද එකට වඩා ගුණාත්මක බවයි. කොහොම නමුත් මේ වන විට IMDb 9.2කට Sherlock කතා මාලාව හිමිකම් කියනවා.

හොඳම උපායශීලී ප්‍රබන්ධය සහ රඟපෑම්

Netflixහි අධික ජනප්‍රිය බවක් ලැබූ උපායශීලී, දේශපාලනමය සහ අපරාධ ගණයේ කතා මාලාවන් මේ යටතේ ගැනෙනවා.

House of cards

wired.com

1990 දී එක්සත් රාජධානියේ සැකසුණු කතා මාලාවකම අනුවාදයක් ලෙස සැකසුණු මේ අමෙරිකානු කතාව 2013 දී Netflix හරහා ප්‍රමුඛ tv series එකක් වශයෙන් තිරගත වුණා. කෙවින් ස්පේසි විසින් මෙහි ප්‍රධාන චරිතය වන ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් නමැති බලලෝභී දේශපාලකයාගේ චරිතය රඟ දක්වනවා. රාජ්‍ය ලේකම්වරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව ඔහු තම බිරිඳ වන ක්ලෙයාර් සමඟ සිය බලය ව්‍යාප්ත කරගැනීම සඳහා කරන හීන් නූල් වැඩ විසිතුරුව මේ කතා මාලාවේ අන්තර්ගත වෙනවා. Emmy awards සඳහා නිර්දේශ වුණු ප්‍රථම, online පමණක් තිරගත වූ කතා මාලාව වන මෙය විශිෂ්ට ප්‍රබන්ධය, කැපී පෙනෙන රඟපෑම් ආදිය සඳහා ඇගයුම් ලැබුවා. 2017 වන විට season 5කින් යුක්ත වන මෙය මේ වසරේ දී අවසන් කිරීමට Netflix තීරණය කර ඇත්තේ ලිංගික අකටයුතුකම් පිළිබඳව ප්‍රධාන නළු ස්පේසිට එල්ලවී ඇති චෝදනා නිසායි. මේ කතා මාලාව IMDbහි 8.9ක අගයක් ලබා තිබෙනවා.

Better Call Saul

scadradio.org

Breaking Bad ගැන කතා කරද්දී එහි වැදගත්ම චරිතයක් තමයි Saul Goodman කියන්නේ. වෝල්ටර් වයිට් වෙත නීති උපදෙස් සපයමින් “මම යාළුවෙක්ගේ යාළුවෙක් දන්න කෙනෙක්ට කියලා මේ වැඩේ කරගන්න පුළුවන්” යන පුළුල් සමාජ සම්බන්ධතා ඇති පුද්ගලයෙක් බව පෙන්නුම් කරන චරිතයක් වන ‘සෝල්’ එම කතා මාලාවේ වැඩි කොටසක් සඳහා තම දායකත්වය සපයනවා. එම චරිතයේ ඇති අද්විතීය බව නිසාම Breaking Badහි නිර්මාතෘවරයා විසින්ම Better Call Saul නමින් 2015දී නව කතා මාලාවක් ඇරඹුවා. මෙය කතා මාලාවන් දෙක එකිනෙක මතින් යන බවක් තවමත් දකින්නට නැති අතර ‘සෝල්’ තම නීතිඥ දිවිය ඇරඹීම සඳහා ලබාගත් මහන්සිය සහ ඔහුගේ දක්ෂතාවයන් හොඳින් මෙහි නිරූපණය කරනු ලබනවා. මෙහි IMDb අගය 8.7ක්.

හොඳම හාස්‍යජනක කතා මාලා

හාස්‍යය මුල් කරගනිමින් සකසන ලද බැරෑරුම් බවින් අඩු, හිත නිදහස් කරලීමේ හොඳ ප්‍රහසන හැකියාවක් ඇති කතා මාලාවන් දෙකක් මේ සඳහා අප තෝරා ගන්නවා.

The Office (US)

ytimg.com

කාර්යාලයක් තුළ එහි ප්‍රධානියාගේ සිට පහතට එද්දී විවිධ ආකාරයේ චරිත අපට මුණ ගැසෙනවා. සාමාන්‍යයෙන් ප්‍රධානියා කියන්නේ හිස උදුම්මවාගත් චරිතයක් වුවත් මේ Office එකේ ඉන්න ප්‍රධානියා, මයිකල් ස්කොට් නිදහසේ ඉන්න චරිතයක්. තමා ලොව හොඳම බොස් බව පෙන්වීමට ඔහු හැම කෙනෙක් සමඟම අනවශ්‍ය සේ සුහද වන්නට යාමෙන් ඔෆිස් එකේ වැඩ ටිකක් අවුල් යන ආකාරයේ කතාවක් මෙහි දිවෙනවා. සෑම කතාවක්ම එකිනෙකට වැඩි වශයෙන් සම්බන්ධව නැති නිසා ඔබට කතාව සම්පූර්ණයෙන්ම මතක තියාගන්නට අවශ්‍ය වන්නේ නැහැ. Season 9ක් 2005-2013 කාලය තෙක් දිවුණු අතර අලුතින් එනතෙක් බලා සිටින්න ද අවශ්‍ය නොවන නිසා එක දිගටම නරඹා අවසන් කරන්නට පුළුවන්.

Friends

comedycentral.co.uk

යහළුවන් 6 දෙනෙක්ට එදිනෙදා ජීවිතය ගෙවද්දී මුහුණ දෙන්නට වෙන දේවල් වටා ගෙතුණු Friends කතා මාලාව 1994 සිට 2004 දක්වා Season 10ක් දක්වා දිවුණේ ප්‍රහසන වලට ප්‍රිය කරන අයගේ මහත් ප්‍රසාදයට ලක් වෙමින්. රේචල් තම විවාහ දිනයේ දී පැන යද්දී ඇගේ පරණ මිතුරියක් වන, ඒ වන විට කෝකිවරියක් ලෙස කටයුතු කරන මොනිකා හමුව ඇය හා නවතිනවා. ඉන් ඇයට මොනිකාගේ යහළුවන්ව සිටි නළුවෙකු වන ජෝයි ට්‍රිබියානි, ව්‍යාපාර වෘත්තීයවේදී චැන්ඩ්ලර් බිං, සම්බාහිකාවක් සහ ගායිකාවක් වන ෆීබි බුෆේ මෙන්ම මොනිකාගේ වැඩිමහල් සොහොයුරා වන රොස් ගෙලර් හමු වෙනවා. මෙම කතා මාලාව ගොඩ නැගෙන්නේ ඊට පෙර විකාශය වූ ප්‍රහසනයක් වන Joeyහි ප්‍රධාන චරිතය ද එකතු කරගනිමින්. අභ්‍යන්තරික වශයෙන් කතාව බැඳී තිබුණත් එක් කතාංගයක තිබෙන්නේ එක් සිද්ධියක් පමණයි. එසේම එ් හැම කතාංගයක්ම “The one with..” ලෙස නම් කර තිබීමත් විශේෂත්වයක්.

හොඳම Horror කතා මාලා

Horror හෙවත් බිය ඇති කරවන සුළු හොල්මන් කතා, අභිරහස් කතා ආදිය බලන්නට ප්‍රිය කරන අයට උචිත, හොඳම ඒවායි මේ.

Twin Peaks

theatlantic.com

1990 වර්ෂයේ දී එළිදැක්වුණු IMDb 8.8ක මේ කතාව ඇමරිකාව වටා ගෙතුණු අභිරහස් සහ බිය උපදවන ගණයට අයත් වන Season 3ක කතාංග 48ක් දක්වා දිවෙනවා. FBI විශේෂ නියෝජිත ඩේල් විසින් වොෂිංටන්හි ට්වින් පීක්ස් නගරයේ කරනු ලබන ගවේෂණයන් මත මේ කතාව ගොඩනැගී තිබෙනවා. කතා මාලාව තුළ රහස් පරීක්ෂණ, ගුප්ත බව, අද්භූත බව, හාස්‍යය හොඳින් ගෙන එන්නේ එහි නිර්මාණකරු වන ඩේවිඩ් ලින්ච්ගේ හැකියාවන් පසක් කරමින්. 1992දී තිරගතවුණු චිත්‍රපටයක් වන Twin Peaks: Fire Walk with Me ද මේ හා බැඳෙන අතර 2017දී Twin Peaks: The Return ලෙස ටෙලිකතා මාලාව යළි ඇරඹුණා. Season 2 හි Coma නම් කතාංගය මෙම කතා මාලාවේ වඩාත් ත්‍රාසජනක කොටස ලෙස හැඳින්වෙනවා.

American Horror Story

cdnds.net

එක් season එකක් තනි කතාවක් ලෙසින් සැලකෙන season 7ක් හෙවත් කතා 7කින් සමන්විත American Horror Story කතා මාලාව IMDbහි 8.1ක් ලබා තිබෙනවා. මෙහි seasonවල කතාව වෙනස් වන නිසා චරිත මෙන්ම කැලිෆෝනියාව මැසචුසෙට්ස් ෆ්ලොරිඩා ආදී ලෙස ස්ථාන ද වෙනස් වන අතර ඒ හැම එකකම ආරම්භය-මධ්‍යය-අවසානය ලෙස සූක්ෂ්ම බෙදීමක් ද කතා මාලාව තුළ දකින්නට ලැබෙනවා. තනි කැමරාවක දසුන් වශයෙන් ඉදිරිපත් කෙරෙන මෙය පැය භාගය සිට පැයක කාලයක් දක්වා කාලයන්ගෙන් යුත් කතාංග වලින් සමන්විතයි. අභිරහස් බවින් පිරුණු ලේ තැවරීම් වලින් ද අඩුවක් නැති, කතාව මුල අපි කරන අනුමානයන් කතාවසානය වන විට සම්පූර්ණයෙන් වෙනස් මඟකට යොමුකරන ආකාරයේ මේ කතා මාලාව කුතුහලය ද හොඳින් පිරී ගිය එකක්.

මේවා හැරුණාම ඔබ නරඹන හෝ නරඹා තිබෙන වෙනත් හොඳ කතා මාලාවන් තිබෙනවා ද?

කවරයේ ඡායාරූපය: fortune.com

Related Articles