බුද්ධි වර්ධනය සඳහා සුදුසු පරිගණක ක්‍රීඩා 5ක්

පරිගණක ක්‍රීඩා කලාවේදී ඉහළ ග්‍රැෆික් වලින් යුතු ගිගාබයිට් ගණනාවක් විශාල ලොකු ගේම්ස් වගේ ම බුද්ධි වර්ධනය පිණිස හුදෙක් මූලික සංකල්පයක් මුල් කරගෙන සකසන ලද සරල ආකාරයේ ගේම් ද අමතක කරන්න බැහැ. ඔබ ගමනක් යන අතරතුරේ බස් එකේදි වගේ අතොරක් නැතිව ෆේස්බුක් ස්ක්‍රෝල් කරනවා වෙනුවට නිදිමතේ තිබෙන මොළය අවධි කරවාගෙන දවසට සූදානම් කරගන්න සහ කාලය වැදගත්ව ගත කරන්නට ඕනෑම ස්මාර්ට් දුරකථනයක පවා ධාවනය වන ගේම්ස් තිබෙනවා නම් එය බොහොම වැදගත් වෙනවා. මේ ඒවායෙන් කිහිපයක්.

01. Break Liner ගිය රොකට් එක

රොකට් එකක් එලවන්න පොඩි කාලේ ඉඳලා කොච්චර ආසාවක් තිබුණා ද යත්, කොළයක් එක එක පැතිවලට නවලා හදාගත්ත කඩදාසි රොකට් තමයි ඉස්සර අපේ ඒ ආසාව සංසිඳලූයේ. නමුත් ස්මාර්ට්ෆෝන් එකේ Break Liner ක්‍රීඩාව හරහා නැවතත් රොකට් එකක් අතට ගන්න අපට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම ක්‍රීඩාවේ තිරය මධ්‍යයේ රතු, කළු සහ සුදු වර්ණයන්ගෙන් යුත් තනි රේඛාවක් තිබෙන අතර සුදු පැහැති රේඛාව ඇති ස්ථාන වලින් පමණක් ඔබට වම් පස සහ දකුණු පස අතර රොකට්ටුව මාරු කරමින් ලකුණු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. බොහෝ දෙනේ මහ පාරේදී කරනවා වගේම ඩබල් සුදු ඉර කපා අනෙක් පසට ගැනීමේ අවස්ථාව ද මෙහි තිබෙනවා. අනෙකුත් ස්ථාන වලින් මාරු වීමේදී ලකුණු අඩු වන අතර වැඩිපුරම මාරු වෙමින් ඉහළට යන ප්‍රමාණය අනුව ඔබේ අවසාන ලකුණු තීරණය වෙනවා.

02. Leap On: නූලක බැඳි බෝලය

අද කාලයේ යෝ-යෝ කියන්නේ එහි අවසානයට ‘නිගා’ ලෙස කියන කතාවක් වුණාට පුංචි කාලේ සෙල්ලම් කළ Yo-Yo එක අමතක කරන්නට බැහැ. එහි තිබෙන සංකල්පය පදනම් කරගෙන ‘තන්තුවකට බැඳි ස්කන්ධයක චලිතය’ යන භෞතික විද්‍යාවේ පාඩමත් සිහිපත් කරමින් අපට Leap On ක්‍රීඩාව ප්ලේ කරන්නට හැකියාව තිබෙනවා. හිස් අවකාශයක මෙහි තිබෙන බෝලය මධ්‍යයට නූලකින් සම්බන්ධ කර චලනය වන අතර මධ්‍යයත්, නූලත් අතරට පැමිණෙන වස්තූන් සහ power-ups මතට බෝලය පතිත කිරීමෙන් මෙම ක්‍රීඩාවේ ලකුණු ලබා ගැනීම සිදු වෙනවා.

03. BULK: කණුවෙන් කණුවට සීරුවට

භෞතික විද්‍යාවේ ප්‍රක්ෂිප්ත පාඩම ඉගෙන ගන්නවා කියලා හේතුවක් හදාගෙන ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් තමයි BULK කියන්නේ. සරලවම මෙහි තිබෙන්නේ අතර මැද හිස් තැන් ඇති කණු පේළියක් හරහා පෙට්ටියක් නොවැටී ගෙන යාමයි. කණුවකින් කණුවකට පෙට්ටිය මාරු කරන්නට තිබෙන්නේ ද Angry Birdsවල මෙන් ම කැටපෝලයක් හරහා එය යොමු කරන ආකාරයට යි. ඒ නිසා ඔබ නොදැනුවත්වම ඒ ගැන සිතන්නට, ගණනය කිරීම් කරන්නට සහ ඉදිරි වට වලට යද්දී සිතීමේ වේගය සහ නිර්මාණශීලී බව ද වැඩි වර්ධනය කරගෙන යොදාගන්නට අවස්ථාව ලැබෙනවා. මේ ක්‍රීඩාව ඇපල්හි Editor’s Choice ලෙස ප්‍රශංසාවට සහ 2015 NGF ඇතුළු සම්මාන රැසකට ද පාත්‍රවී තිබෙනවා.

04. Two Dots: සුළු මැදුම් දෙතිත නොවේ

අපි වැඩිය ගණන් නොගත්තත් එකම ආකාරයේ රටාවන් සොයා ගැනීම මොළය සතු අපූර්ව හැකියාවක්. මේ නිසා තමයි තල් ගස ගැන ලියන්න කිව්වත්, එය තාල වර්ගයේ ගසක් ය, පොල් ගසත් එලෙසය, පොල් ගස්වල ද ගිරව් වහනවාය, ගිරවාගේ ඇඟේ මැක්කන් ඉන්නවාය කියා අවසානයේ මැක්කා ගැන ම විස්තර ලියන ආකාරයේ දාමයන් ගොඩනගන්නට අපිට හැකියාව ලැබෙන්නේ. මෙම Two Dots ක්‍රීඩාවේ විවිධ වර්ණයන්ගෙන් යුත් තිත් රැසක් අපට ලැබෙන අතර ඉන් තිත් දෙකක්, තනි ඉරක් හෝ තිත් හතරකින් යුත් කොටුවක් වශයෙන් සමාන වර්ණිත තිත් යා කිරීමෙන් මෙහි ලකුණු ලබා ගැනීම සිදු කළ හැකියි. එසේම මෙහි තිත් යා කරනවාටත් වඩා වැදගත් වන්නේ නැංගුරම් හැඩැති සලකුණු එකතු කිරීමයි. පියවරෙන් පියවරට ඉදිරියට යද්දී අපහසුතාව ශීඝ්‍රයෙන් ඉහළ යනවා.

05. Stack: එකින් එක ඉහළට

Stack කියන නම කියද්දීම අපේ හිතට ඊළඟට එන වචනය තමයි stackoverflow කියන පරිගණක කේතකරණයේදී අපි හිරවෙන ගැටළු වලට පිළිතුරු ගෙන එන වෙබ් අඩවිය. ඒ කුමක් වුවත්, Stack කියන්නේ ඔබට කොළඹ නගරයේ මේ කාලයේ වැඩිපුරම දකින්නට ලැබෙන දර්ශනයක් වන අහස සූරන මැදුරු පිළිබඳව සිහිපත් කරන ක්‍රීඩාවක්. මෙහි විවිධ දෙසින් ගඩොල් කැබලි පැමිණ එහි මැද, අවසානයට තිබෙන ගඩොල පසුකර ගෙන යන අතර ඔබ බොහොම කල්පනාවෙන් සිට ඒවා නිසි ආකාරව ස්ථානගත කිරීම සිදුකරගත යුතු වෙනවා. මෙසේ එකක් මත එකක් වැඩිම ප්‍රමාණයක් තැබීම හරහායි ලකුණු රැස් කරගත යුතු වන්නේ. එසේම නිසිව ස්ථානගත නොවුණහොත් අවසානයට පැමිණි කොටුවේ වැඩිපුර ඇති කොටස කැපී යන නිසා ඔබට ඊට පසු තබන ඒවායේදී ලැබෙන්නේ බොහොම අඩු ඉඩකඩක්. එවිට ‘අහස උසට නැග ගියාට’ අහසේ රැඳෙන්නට ටිකක් අපහසු වෙනවා.

කවරයේ ඡායාරූපය: picdn.net

Related Articles