Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාලයෙන් සල්ලි ගැරිය හැකි Cryptocurrency, Mining, සහ Cryptojacking

මෙතෙක් කල් අන්තර්ජාලය හරහා මුදල් සොයනා සාර්ථක ක්‍රමයක්ව පැවතියේ තම වෙබ් අඩවියක පළ කරනු ලබන වෙළඳ දැන්වීම් සඳහා ගෙවන මුදලයි. නමුත් CryptoCurrency ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මේ ක්‍රමය තවත් වෙනස් වුණා. CryptoCurrency mining හෙවත් එම සේවාවන් සඳහා සහාය වෙමින් මුදල් ඉපයීම ඒ සමඟම ප්‍රචලිත වූ අතර දැන් ඒ සඳහා තමාගේ පරිගණකය හෝ, කුලියට ලබා ගන්නා ලද පරිගණකයක් වෙනුවට තමන්ගේ වෙබ් අඩවියට පැමිණෙන අයගේ පරිගණක ද භාවිත කළ හැකි ආකාරයේ ක්‍රමවේදයන්ට පැමිණ තිබෙන අතර මේ හරහා වෙනත් කෙනෙක්ට සල්ලි උපයාදීම පිණිස ඔබේ පරිගණකයේ වේගය අඩාලවීම සිදුවිය හැකියි.

Cryptocurrency කියන්නේ මොකක්ද?

medium.com

Cryptocurrency කියන්නේ භෞතිකව අපි පාවිච්චි කරන මුදල් වෙනුවට ඉලෙක්ට්‍රොනිකව සංසරණය වන ආකේතිත මුදල් වර්ගයක්. බිට්කොයින්, මොනෙරෝ, එතීරියම්, රිප්ල් ආදී විවිධ ආකාරයේ මුදල් ඒකක දැන් දකින්නට ලැබෙනවා.  මතුපිටින් බැලුවාම, සාමාන්‍ය මුදල් අපි eBanking, Credit/Debit Card හරහා භාවිත කරද්දිත් ඒවා Cryptocurrency සංසරණය කරන ක්‍රමයට සමානයි කියලා දකින්නට පුළුවන්. නමුත් සත්‍ය මුදල් එහෙ මෙහෙ කරන්න බැංකු, නීති රෙගුලාසි, අතරමැදියන් සිටිනවා. ඒ දත්ත සංසරණය වෙන්නෙත් බැංකුවට සම්බන්ධ ආයතන එක්ක විතරයි. නමුත් Cryptocurrency දත්ත ඕනෑම තැනක තියෙන්න පුළුවන්.

ලිඛිත දත්ත කොහේවත් නැති නිසා, සහ ඒක ප්‍රායෝගික නොවන නිසා cryptocurrency සංසරණය කිරීම් ගැන ලඝු සටහන් (blockchain) තනි සර්වරයක් තුළ තැබීම අවදානම් දෙයක්. මොකද ඒක හැක් කරන කෙනෙක්ට පහසුවෙන්ම තමන්ගේ ගිණුමට වැඩි ගාණක් එකතු කරගන්න පුළුවන්. මේකට විසඳුමක් ලෙස ලොව විවිධ තැන්වල ආකේතනය කර මේ දත්ත පවත්වා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එවිට ලොව ඕනෑම තැනක ගනුදෙනුවක් සිද්ධ වුණොත් ඒක ගැන සියළු දත්ත ලොව පුරාම දත්ත ගබඩා වලට ලැබෙනවා.

එතැනින් Crypto mining වලට

GPU විශාල ගණනක් යොදා සැකසූ miner පරිගණකයක් (ethereumworldnews.com)

එහෙම කරද්දී ඊට විශාල පරිගණක හැකියාවන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දත්ත සෑම සර්වරයකටම යවන්න, ආකේතිත (encrypted) දත්ත විකේතනය (decrypt) කරන්න, ගබඩා කරන්න වගේ දේවල් තත්පරයක දී විශාල සංඛ්‍යාවලින් කෙරෙනවා. ආරක්ෂිත හේතු මෙන්ම ආර්ථික හේතු මතත් මේවා තනි ස්ථානයකින් කරන්නට නොහැකි නිසා අපිටත් මේ කටයුතු වලට අපේ පරිගණකය දායක කොට ඒ වෙනුවෙන් මුදලක් උපයන්නට පුළුවන්.

පරිගණකයේ වැඩ කටයුතු වලට අපි දන්නා විධියට මූලික වශයෙන්ම පාවිච්චි වෙන්නේ CPU එක විතරක් වුණත්, ග්‍රැෆික් කටයුතු කරන GPU හෙවත් VGA card එකත් crypto mining කරද්දී පාවිච්චියට ගැනෙන්නේ තනි පරිගණකයකින් වැඩි වැඩ කොටසක් කරගන්නට යි. ඒ සඳහා බොහෝ දෙනෙක් ග්‍රැෆික්ස් කාඩ් දෙකක් හෝ තුනක් ද යොදාගනිමින් තම පරිගණක ඊට දායක කරලනු දකින්නට ලැබුණා. මන්ද වැඩි බලයක් දායක කරවන තරමට වැඩි මුදලක් අතට එනවා. නමුත් මේ ආකාරයේ පරිගණකයක් එකලස් කරන්න ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. නිවසේ එවැන්නක් සකසා පැය විසිහතරම සක්‍රීයව තියන එකත් ටිකක් අපහසු කාර්යයක්. ඊට විසඳුමක් වශයෙන් හොස්ටිං සර්වර් බද්දට දෙනවා වගේ crypto mining servers බද්දට දෙන සේවාවන් බිහිවුණා විතරක් නෙවෙයි crypto mining සඳහා විශේෂ සර්වර් සකසන්නටත් පරිගණක නිෂ්පාදකයන් පෙළඹුණා.

Cryptojacking හරහා අපේ පරිගණකත් බලෙන්ම ඔවුන් යටතට

adguard.com

මෙතෙක් කල් වෙළඳ දැන්වීම් හරහා සේවාවන් පවත්වාගෙන ගිය වෙබ් අඩවිවලට දැන් මුදල් හොයන්න අලුත් ක්‍රමයක් ඇවිත්. ඒ තමයි, ජාවාස්ක්‍රිප්ට් පේළි කිහිපයක් තමන්ගේ වෙබ් අඩවියේ අඩංගු කරවීමෙන් පසුව වෙබ් අඩවියට පිවිසෙන කෙනාගේ පරිගණකය ද භාවිතයෙන් තමන්ගේ crypto mining වැඩ කටයුතු කරවා ගැනීමයි. මේ ආකාරයේ පරිගණකයක CPU එක ඍජුව භාවිත කරන්නට ජාවාස්ක්‍රිප්ට් වලට ද හැකියාව ලැබෙන ආකාරයේ ප්‍රොසෙසර දුර්වලතාවයක් ගැන ද අපි පෙර ලිපියකින් ගෙන ආවා. ඒ අනුව බලාගෙන ගියාම “JS යනු පරිගණක කේතකරනයේ අනාගතය යි” කියන කතාව තවදුරටත් සත්‍යාපනය වෙනවා. කොහොම නමුත්, වෙබ් අඩවියකට පිවිසුණු වහා පමණක් නොව, එහි තිබෙන ගේම්ස් ආදිය ඔබ play කරද්දී එම වෙබ් අඩවිය මත වැඩි කාලයක් ගත කරමින් රැඳෙන තරමට හිමිකරුවන්ට මුදල් වැඩි වශයෙන් ලබාගැනීමට හැකි වෙනවා. එසේම, ඔබ රැඳී සිටින වේලාවට අදාලව එම ක්‍රීඩාව තුළ වරප්‍රසාද ප්‍රදානය කරන්නටත් හැකියාව තිබෙනවා.

මෙම බලහත්කාරයෙන් අන්සතු පරිගණකයක හැකියාවන් තම සතු කර ගැනීම වෙබ් අඩවි හරහා මෙන්ම browser extension හරහාත් පැමිණිය හැකියි. ඒවාට ඔබ පිවිසෙන ඕනෑම වෙබ් අඩවියකට මෙම කේත ඇතුලත් කොට වෙබ් අඩවිය සේ පෙනී සිටිමින් ඔබේ CPU ජවය උදුරා ගන්නට හැකියාව ලැබෙන නිසා ඇතැම් විට පරිගණකයේ වේගය හිටිවනම අඩුව ඇත්තේ cryptojacking කරන නන්නාඳුනන වෙබ් අඩවිය නිසා ද අපරීක්ෂාකාරීව ස්ථාපනය කරගත් extension එක නිසාදැයි එකවරම හඳුනා ගන්නට ද අපහසු වෙනවා.

Cryptojacking සේවාවන්

වෙබ් අඩවිය තුළ යෙදිය යුත්තේ JS පේළි කිහිපයක් පමණයි (CoinHive)

Monero ඒකකය Cryptojack කිරීම සඳහා පහසුකම් සලසන වෙබ් සේවාවක් තමයි CoinHive කියන්නේ. ඔවුන් reCaptcha (I’m not a robot ආකාරයේ සත්‍යාපන කොටු), කෙටි සබැඳි (shortlink), JS කේත යන ක්‍රම තුන හරහා අනවසර පරිගණක ජව භාවිතයට පහසුකම් සපයනවා. මෙම ක්‍රම වෙබ් අඩවි හිමිකරුවන්ට ඔවුන්ගේ වෙබ් අඩවියේ අඩංගු කිරීමෙන් එම වෙබ් අඩවිය තුළ ඔබ ගත කරන සෑම තත්පරයකදීම ඔබේ පරිගණකයේ ජවය, විදුලි බලය වැය කරමින් crypto mining සඳහා බලහත්කාරයෙන් යොදා ගන්නට හැකියාව ලැබෙනවා.

මේ වන විටත් Ad block extension හරහා මෙම කේත අවහිර කොට ඇති අතර ඔබ Adblock Plus භාවිත කරනවා නම් එහි Options > Add your own filters වෙත ගොස් ||coin-hive.com/lib/coinhive.min.js ලෙස ඉහළින් ඇති කොටුවේ සඳහන් කර Add Filter බොත්තම ක්ලික් කිරීමෙන් ද අවහිර කොට දැමිය හැකියි. මේ සඳහා වැඩිකල් නොගොස්ම බ්‍රවුසර හරහාම අවහිර කිරීම් පැමිණිය හැකැයි අනුමාන කළ හැකියි. දැනට ද වෙබ් සේවාවක් නොමිලේ ලබා දෙන්නට වෙළඳ දැන්වීම් යොදා ගන්නා වෙබ් අඩවි වලින් ඔබේ Ad blocker එක අබල කරන ලෙස දන්වනු ඔබ දැක ඇති.

ඒ ආකාරයට අනාගතයේ දී ඔවුන් cryptojacking කරන්නට ඔබ ඉඩ නොදෙන්නේ නම් ඔවුන්ගේ ක්‍රීඩා, අන්තර්ගතයන් ආදිය බලන්නට නොදෙන ආකාරයේ පියවරක් ගතහොත් ඔබ ඊට මුහුණ දෙන්නේ කොහොම ද?

කවරයේ ඡායාරූපය: dnaindia.com

Related Articles