Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතෙන් ම නිකුත්වුණු Android 8 Oreoහි විශේෂාංග

මේ වසරේ මැයි මාසයේ දී පැවැත්වුණු Google I/O හිදී නවතම විශේෂාංග රැසක් සමග එළිදැක්වුණු Android O හෙවත් 8.0 අගෝස්තු විසි එක්වනදා පැවැත්වුණු සූර්යග්‍රහණය සමගාමීව නිකුත් කෙරුණා. එහි නම “ඕරියෝ” (Oreo – මැද ක්‍රීම් යෙදූ චොක්ලට් බිස්කට් වර්ගයක්) ලෙස නම් කර තිබෙනවා. ඒ සඳහා විශේෂයෙන් සකසන ලද වෙබ් අඩවියක ඔවුන් සජීවීකරණ හරහා පෙන්නුම් කරනු ලබන්නේ සූර්යයා මතට ඕරියෝ බිස්කට් එකක් පැමිණ ආවරණය කරමින් දක්ෂතා දක්වන ආකාරයයි. ගූගල් සමාගමේ ම දුරකථන වන Pixel සහ Nexus දුරකථන වලට මේ වන විටත් එය බාගත කර ගැනීමට ලබාදී තිබෙනවා.

මෙහි බීටා වෙළුමෙහි තිබූ මූලික ලක්ෂණවලට අමතරව අත්හදාබැලීම් කටයුතු අතර ලැබුණු අදහස් අනුව නව විශේෂාංග ද ඇතුලත් කර තිබෙනවා. මේ අපූරු විශේෂාංග රාශිය අතුරින් කිහිපයක් මෙම ලිපියෙහි ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

දෙගුණයක වේගයක්

Google Sheets සඳහා පෙර වෙළුමට වඩා වේගය දෙගුණයක් ව ඇති ආකාරය දක්වන පරීක්ෂණ වාර්තා සටහනක් (phonearena.com)

මීට පෙර පැවති android හත්වැනි වෙළුම වන Android Nougat එකට වඩා සුමට, දෙගුණයක වේගයක් ලබා දී ඇති බව ගූග්ල් සඳහන් කරනවා. ඒ අනුව pixel දුරකථනවල ඇරඹුම් කාලය තත්පර තිස් පහේ සිට 13 දක්වා අඩු වී තිබෙනවා. එසේම යෙදුම් භාවිතයේදී ද ඒකාකාරී වේගවත් භාවයක් ලැබෙන පරිදි සැලසුම් කර තිබෙනවා. මෙහිදී කැමරාව වඩාත් වේගයෙන් විවෘත වන අතර, google sheets වැනි යෙදුම් ඉතා හොඳින් ක්‍රියා කරනු ලබනවා.

කැමරාව හරහා වස්තු හඳුනාගැනීම, google සහායකයා සමඟ කටයුතු කිරීම වැනි දේවල් මෙතැන් පටන් හැම විටම අන්තර්ජාලය මත රඳා පවතින්නේ නැහැ. ඒ වෙනුවට TensorFlow Lite යන තාක්ෂණික නාමයෙන් හැඳින්වෙන ක්‍රමවේදයක් හරහා යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රියාවලිය දුරකථනය වෙත රැගෙන විත් තිබෙනවා. මේ නිසා තව දුරටත් යමක් process වී ලැබෙනකම් සහ සර්වරයට එය යවා නැවත පිළිතුරක් ලැබෙන තුරු බොහෝ වේලාවක් බලාගෙන සිටීම වැළැක්වී යනවා.

Background apps සහ බැටරි බලය

androidauthority.net

බැටරි ආයුකාලය සඳහා වැඩියෙන්ම බලපාන්නේ පසුබිමින් ධාවනය වන යෙදුම් තමයි. අපිට තිරය මත පෙනෙනවාට වඩා යෙදුම් විශාල සංඛ්‍යාවක් පසුබිමින් ධාවනය වන නිසා ඒවා හරහා දුරකථනයේ වේගය අඩාල වෙනවා මෙන්ම බැටරිය ද අධික වශයෙන් භාවිතයට ගන්නවා. නමුත් Android O හි ඔබ දුරකථනය භාවිත නොකර සිටින විට පසුබිමින් ධාවනය වන යෙදුම් නවතා ලමින් බැටරි බලය ඉතුරු කරගනු ලබනවා. මෙහිදී ඔබගේ ඊමේල්, facebook හෝ වෙනත් අත්‍යවශ්‍ය notifications ලැබීම නවතින්නේ නැහැ. ඔබම තෝරාදෙනු ලබන හෝ දුරකථනය විසින්ම බැටරි බලය අනිසි ලෙස භාවිතා කරනවා යැයි තීරණය කරනු ලබන යෙදුම් පමණක් නවත්වාලනු ලබනවා. එහෙත් සැකසුම් හරහා මෙය වෙනස් කර ගත හැකි නිසා තවදුරටත් පාලනය ඔබ අතේ ම යි තිබෙන්නේ.

Notifications පැනලයේ නොනැසෙන notification එකක් රැඳී පවතිමින් ඔබ දුරකථනය භාවිත කරන අවස්ථාවේදී පසුබිමෙහි ධාවනය වන යෙදුම් සියල්ලෙහිම නම් ඒ මත පෙන්නුම් කරනු ලබනවා. ඒවා අතරින් ඔබට අනවශ්‍ය දේවල් තිබෙනවා නම් ඒවා ඉවත් කරගත හැකි අතර නොදැනුවත්වම ධාවනය වන අනවශ්‍ය යෙදුම් ඉවත් කර ගනිමින් ඔබගේ අනෙකුත් කටයුතු සඳහා වැඩි වේගයක් සහ බලයක් ලබා ගන්නට අවස්ථාව උදාවෙනවා.

වෙනත් වැඩ කරන අතරතුර වීඩියෝ බලන්න

මුල් තිරය හෝ කැලැන්ඩරය දෙස බලන අතරතුර ම වීඩියෝ නැරඹිය හැකියි (9to5google)

ඔබ youtube වීඩියෝවක් නරඹමින් සිටින අතරතුර දී වෙනත් වැඩක් කරන්නට මතක් වුණොත් ඒ සියල්ල ම නවතා දමා අදාල කර්තව්‍යය අවසන් කොට නැවතත් වීඩියෝ බැලීම සඳහා යොමු වීමට සිදු වෙනවා. එනමුත් මෙම PIP (Picture-in-Picture) ක්‍රමවේදය හරහා ඔබ වීඩියෝ නරඹමින් සිටින අතරතුර දී ම Home button එක press කළවිට වීඩියෝව කුඩා ප්‍රමාණ වී තිරයේ එක් පසකට යනවා. ඔබට එහි ප්‍රමාණය අඩු වැඩි කරගැනීමට හැකිවන අතර අවශ්‍ය නම් නවතා තබමින් හෝ නරඹන අතරතුරේදීම ඔබගේ අනෙකුත් කර්තව්‍යයන් කරගන්නට පුළුවන්.

මෙහි මූලික අදියර යටතේ Google Duo, Netflix යෙදුම් වලට සහ පසුකාලීනව google maps සඳහා ද මෙය පැමිණීමට නියමිතයි. විශේෂයෙන් සිතියම් බලමින් ඔබ ගමන් කරනවා නම් එය බලා සිටින අතරතුරදී පණිවිඩයක් යැවීම වැනි වෙනත් කටයුත්තක් සිදු කරන්නට අවශ්‍ය වුණත් සිතියමෙන් දෑස් ඉවතට නොගෙන එය කරන්නට හැකි වන නිසා මෙය වඩාත් පහසුවක් වෙනවා.

Notifications පෙන්වන තිත්

අයිකන මත තිත් දර්ශන වන අකාරය සහ ඒ මත ක්ලික් කළ විට ලැබෙන Tooltip එක (idgesg.net)

ඇපල් දුරකතනවල පැමිණි notifications ප්‍රමාණය බලා ගන්නට ඒවායේ අයිකන මත ඇති කුඩා තිත් සහ අංක හරහා පුළුවන් වුණත් ඇන්ඩ්‍රොයිඩ් සඳහා එවැනි නිල විශේෂාංගයක් මෙතෙක් තිබුණේ නැහැ. එනමුත් මෙම නව වෙළුම හරහා ඇප් අයිකනය මතට කුඩා තිතක් යොදමින් ඒවාට notification එකක් පැමිණ ඇති බව පහසුවෙන් බලාගත හැකි ආකාරයට සකසා තිබෙනවා. ඒවායෙහි වර්ණය සඳහා එම අයිකනයේ වැඩිපුරම භාවිතා වී ඇති වර්ණය ස්වයංක්‍රීයව තෝරා ගනු ඇති අතර එය මත click කිරීමෙන් ලැබෙන Tool tip එක හරහා ලැබී ඇති notifications ක්ෂණිකව බලාගත හැකි වනවා. හැබැයි ඉතින් පස්සේ කාලෙක අලුත් ම දෙයක් වගේ මේ තිත් මත අංක පෙන්වමින් ඇපල්වල වගේ ම කරාවි ද විශ්වාස නැහැ.

අලුත් ම පෙනුමකින් යුත් emoji එකතුවක්

නව පෙනුමැති emoji (9to5google.com)

ලොව සෑම මෙහෙයුම් පද්ධතියක්ම සහ සේවාවක්ම එකම ආකාරයේ emoji භාවිත කරමින් සිටියදී ඇන්ඩ්‍රොයිඩ් සමාගම පමණක් ගොළුබෙලි ඔළු (හරියට ම කිව්වොත්, Star wars චිත්‍රපට මාලාවේ ඉන්න Jabba වගේ) වැනි අමුතු ආකාරයේ emoji භාවිත කරමින් සිටියා. බොහෝ දෙනෙක්ට මේවා හඳුනා ගැනීමටද අපහසු වූ අතර ඒවායේ පෙනුම සම්මතයෙන් බැහැර බවක්ද දක්නට ලැබුණා.

ඇන්ඩ්‍රොයිඩ් මත මෙතෙක් භාවිතා වූ ඉමෝජි ආකාරවල පරිණාමය (amazonaws.com)

එනමුත් Android O සමඟ මනුෂ්‍ය මුහුණුවල හැඩය ඇති emoji භාවිත කර ඇති අතර ඊට අමතරව නව emoji 60ක් ද හඳුන්වා දී තිබෙනවා. මේවා අතර කාන්තා නියෝජනය, විවිධ වෘත්තීන්ගේ නියෝජනයන් සහ ආගම්වල සංස්කෘතිකාංග විදහා දක්වන ආකාරයේ emoji අඩංගු කර තිබෙනවා.

වෙනත් විශේෂාංග

ඉතා විශාල සංඛ්‍යාවකගේ සිත් ගන්නා සුළු විශේෂාංග අතර Instant apps ලෙස හඳුන්වන ක්‍රමවේදයක් හරහා ඔබ අන්තර්ජාලය භාවිත කරන අතරතුරදී බ්‍රවුසරය හරහා ම ඔබට විවිධ සේවාවන්වල android ඇප්වල කොටස් භාවිත කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම ක්‍රමය නිසා ඔබට සෑම එකක්ම ස්ථාපනය කරගැනීමට අවශ්‍ය නොවන අතර කිසියම් සේවාවක ඇප් එකේ අවශ්‍ය කොටස පමණක් ඔබට බ්‍රවුසරය මතම භාවිත කිරීමට හැකි වෙනවා. එසේම මෙතැන් පටන් google play store එකෙන් බාහිරව ඔබ ස්ථාපනය කරන යෙදුම් සඳහා ස්ථිර ව සැකසුම් හරහා අවසර ලබා දෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට අදාල apk ගොනුව ස්ථාපනය කරද්දී ම එය ස්ථාපනය කරගත යුතුද නැද්ද යන්න ඔබට අවශ්‍ය පරිදි එකිනෙකින් ස්වායත්තව තීරණය කළ හැකියි.

Google Play Protect විශේෂාංගය (9to5google.com)

Google Play Protect නමින් නව වෛරස් ස්කෑනරයක් පෙරනිමියෙන්ම නව Android මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන අතර එය ඔබ ස්ථාපනය කර ගන්නා සෑම ඇප් එකක්ම scan කරමින් ඒවායේ ආරක්ෂිත ස්වභාවය පිළිබඳව ඔබට දැනුම් දෙන අතර එහි කෙටි තොරතුරු වාර්තාව app update පිටුවෙන් දැක බලාගන්නට පුළුවන්.

Google I/O 17 හි දී Autofill විශේෂාංගය හඳුන්වාදුන් අවස්ථාව (amazonaws.com)

මින්පසු appsවල username, password ලබාදීමේදී ඒවා කටපාඩමේ තබාගන්නට අවශ්‍ය වන්නේ නැහැ. App autofill නමැති විශේෂාංගය හරහා එම තොරතුරු ටයිප් කරන්නට ඔබ උත්සාහ කරද්දී (Chrome එකේ වගේ ම) පෙර ලබා දෙන ලද දත්ත අනුව යෝජනා ඉදිරිපත් කරන අතර ඔබට කරන්නට තිබෙන්නේ එය නිවැරදි නම් තෝරා ගැනීම පමණයි. මෙතෙක් කල් ඒ වෙනුවට lastpass වැනි තෙවන පාර්ශ්වීය යෙදුම් භාවිතා කරන්නට සිදු වුවත් මෙතැන් පටන් එය මෙහෙයුම් පද්ධතිය හරහා ම ලැබෙනවා.

මේ තරම් අපූරු විශේෂාංග රැසක් ගෙන මෙම නවතම මෙහෙයුම් පද්ධතිය දැනටම Nexus සහ Pixel දුරකථන වලට ලබා දී ඇති අතර මේ වසර අග භාගයේදී බොහෝ නව දුරකථනවලට ලැබීමට නියමිතයි.

කවරයේ ඡායාරූපය: droid-life.com

Related Articles