අපටත් නොදැනෙන්න අපේ ඇසීම දුර්වල කරන ඉයර්ෆෝන්

ඔබේ සිරුරේ ඔබට තිබෙන වැදගත්ම සංවේදන ඉන්ද්‍රිය මොකක්ද කියලා ඇසුවොත් ලැබෙන පිළිතුර වෙන්නේ ඇස් දෙක කියලයි. ඇස් දෙක ඒ තරමටම වටිනා නිසාම තමයි, ගොඩාක් ප්‍රවේසමෙන් රැක බලා ගන්නා යමක් “ඇහැක් වගේ බලා ගන්නවා” කියලා කියමනකුත් තියෙන්නේ. ඇස්වල පෙනීම අහිමි වීම ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා.

කොහොම නමුත් වැඩිය නොහිතුවාට අපේ කන් දෙකත් ඇත්තටම ගොඩක් වැදගත්. අපේ සිරුරේ සංවේදනය නැති වෙලා යන්න දෙවැනියට වැඩිම ඉඩක් තියෙන ඉන්ද්‍රිය වෙන්නේ කන. ශ්‍රවණය කියන සංවේදනය නොතිබීමත් ඇත්තටම ඇස් නොපෙනීම තරමටම බරපතල ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඍජු සම්බන්ධයක් නැති වුණත් කෙනෙකුට කන් ඇසෙන්නේ නැති නම් කතා කරන්නත් හැකියාවක් නැති වන බව ඕනෑ තරම් පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

විවිධ හේතු නිසා කන් ඇසීම දුර්වල වෙන්න ඉඩක් තිබුණත් ඇත්තටම වර්තමාන කාලයේ කන් ඇසීමේ ගැටළු සැළකිය යුතු ප්‍රමාණයකට හේතුව නිතරම ඉයර්ෆෝන් භාවිතය බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වී තිබෙනවා. මෙයට හේතු වගේම ඒවා වළක්වා ගන්නා හැටි ගැනත් තමයි අද කතා කරන්නේ.

ඉයර්ෆෝන් පළඳින්නේ ඇයි?

ලංකාවේ බස්වල දාලා තියෙන සින්දු අහගෙන යනවාට වඩා කන් දෙකට හානි වෙන්න හරි ඉයර්ෆෝන් දාගෙන යන එක හොඳයි. (travelettes.net)

පොදු ප්‍රවාහන සේවාවක් භාවිත කරන කෙනෙක් නම් ඒ වෙලාවක ටිකක් වටපිට බැලුවොත් ඉයර්ෆෝන් කනේ ගහගෙන ඉන්න අය සැළකිය යුතු  පිරිසක් දකින්න ලැබේවි. බොහෝ අය පොදු ප්‍රවාහන සේවාවක යන එනකොට සංගීතය අසන්න ප්‍රිය කරනවා. සංගීතය අහන්න ආස නිසාම විතරක් නෙවෙයි, අවට තිබෙන ශබ්දවලින් බේරෙන්න යම් උපක්‍රමයක් විදිහටත් ඉයර්ෆෝන් පළඳින්න අපි නිතරම උත්සාහ ගන්නවා.

ප්‍රයෝගිකව අද බස්වල යනකොට අහගෙන ඉන්න වෙන දේවල් එක්ක කන් දෙකට හානි කරගෙන හරි වෙන මොනවා හරි දෙයක් අහගෙන ඉන්න එක හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම බස් එකේ ස්පීකර්වල සද්දේ හැටියට ඉයර්ෆෝන් එකකින් මොන හානියක් වෙන්න ද කියලත් හිතෙන එක සාධාරණ යි. මේ සියල්ලටම අමතරව ප්‍රමාණයෙන් කුඩා නිසා ඉයර්ෆෝන් එකක් ගෙන යන්න තියෙන පහසුවත් කවුරුත් මේ වැඩේට හුරු වෙන්න ලොකු හේතුවක්.

කුඩා නිසාමයි හානිය වැඩි

cnet.com

ඉයර්ෆෝන් නිසා අපේ කනට වෙන හානියට ප්‍රධාන හේතුවක් තමයි ඒවා කුඩා වීම නිසාම ස්පීකරය අපේ කනට ඉතාම ළඟින් පිහිටන එක. මේ නිසා සාමාන්‍ය විදිහට ශබ්දයක් ඇහෙනවාට වඩා කනට ශබ්ද තරංග එනකොට වාතයේ තියෙන කම්පන ප්‍රමාණය ඉහළ යි. විශේෂයෙන්ම අද බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්න in-ear හෙවත් කන ඇතුළටම එබිය හැකි ඉයර්ෆෝන්වල මේ තත්ත්වය තවත් ප්‍රබල යි. මේවා නිසි පරිදි සකසලා නැතිනම් ඉයර්ෆෝන් එක සහ කන් බෙරය අතර තියෙන වාත ප්‍රමාණය ඉයර්ෆෝන් එක ගලවන තුරුම ඒ ඉඩකඩ තුළ සිරවෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක කම්පන ඍජුවම කන් බෙරය මතට පහරදීම සිදුවෙනවා. මේ නිසා වැඩි හඬකින් ශ්‍රවණය කරන එක ඉතාම නුසුදුසු වැඩක්.

සාමාන්‍ය ඉයර්ෆෝන් පැළඳීම අඩු වෙලා in-ear වර්ගය වඩාත් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව එයින් වටපිට ශබ්ද ඇසීම අවම කරන එක යි. කන ඇතුළට බාහිර වාතය ඍජුව ඇතුළු නොවෙන විදිහට සීල් එකක් පවත්වාගැනීම නිසයි මෙය ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ. මේ නිසා සාමාන්‍යයෙන් අඩු හඬ මට්ටමකින් සවන් දෙන්න මේ වර්ගයෙන් හැකියාව පවතිනවා. නමුත් සාමාන්‍ය ඉයර්ෆෝන් නම් ශබ්දය අධික පොදු ප්‍රවාහන සේවාවක වගේ තැනක භාවිතය හොඳම නැහැ. මොකද එවිට බාහිර ශබ්දය දුර්වල වෙන්න අපි කරන්නේ ඉයර්ෆෝන් එකේ හඬ වැඩි කර ගන්න එක යි. එමගින් කනට හානියක් වෙන්න ඉඩ තිබෙනවා.

In-ear වර්ගයේ තිබෙන අඩුපාඩු තමයි නිවැරදිව සකස් කරලා නැත්නම් දිගු වේලාවක් පැළඳීමේ දී ඇතුළු කනේ දහඩිය එක්රැස් වීම සහ කනේ හැඩයට ගැළපෙන්නේ නැති නම් කනට අපහසුවක් ඇති වීම ආදිය.

කනට හානි වෙන බවට සාක්ෂි

කන කීං ගානවා නම් සැළකිලිමත් වෙන්න. (assets.trome.pe)

ඉයර්ෆෝන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් හඬක් ශ්‍රවණය කරනකොට එයින් කනට හානියක් වෙන බවට පවතින හොඳම සාක්ෂිය තමයි ඒ ශබ්දය නැවතුණු විගස කනේ ඇති වන සංවේදනය. සාමාන්‍ය භාෂාවෙන් “කන කීං ගානවා” කියා හැඳින්වෙන මෙහි දී විසිල් එකකට සමාන උච්ච සංඛ්‍යාතයක ශබ්දයක් ඉබේම ඇසීම සිදු වෙනවා. ඊට තරමක් අවම මට්ටමක, නමුත් දිගු වෙලාවක් අසන්න නුසුදුසු හඬක් අසාගෙන සිටියොත් හඬ නැවතුණු විගස බාහිර පරිසරයේ ශබ්ද තරමක් වෙනස් වී ඇසීමක් සිදු වෙනවා. මෙය තරමක් දුරට කන කෝප්පයක් වැනි යමකින් වසා ගත්තාම ඇසෙන “හෝ හඬට” සමාන යි. මේ තත්ත්වය ඇති වෙන්න හේතු වෙන්නේ ඔබේ කන් බෙරය ප්‍රමාණය ඉක්මවා දෙදරුම් කමින් තිබීම යි.

ඉතාම ඉක්මනින් පහ වෙලා ගියත් කාලයක් තිස්සේ මේ තත්ත්වයට මුහුණ දුන්නොත් ආරක්ෂාකාරී පියවරක් විදිහට කන් බෙරයේ සම ඝන වීම සිදු වෙනවා. එවිට ඉහළ හඬකට මුහුණ දෙන්න පුළුවන් වුණත් සාමාන්‍ය කෙනෙකුට ඇසෙන හඬවල් නෑසී යන්න ඉඩ තිබෙනවා. ඔබේ ශ්‍රවණය දුර්වල වුණොත් එයට විසඳුමක් දීම අතිශයින්ම අපහසුයි විතරක් නෙවෙයි, බොහෝ විට ඔබට දැනෙන තරමේ වෙනසක් වෙනකොටත් සෑහෙන්න පරක්කු වැඩියි. මේ නිසා දැනට කන් ඇහෙනවා අඩුවක් නොදැනුණත් ප්‍රවේශම් වෙන්න උත්සාහ කරන්න.

Noise Cancelling යොදා ගැනීම සාර්ථක ද?

youtube.com

සාමාන්‍ය විදිහට බාහිර ශබ්දය කපා හැරීමට අමතරව ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් යොදාගෙන බාහිර ශබ්ද ඇසීම අඩු කරන එක තමයි Noise Cancelling (හරියටම කිව්වොත් Active Noise Cancelling) වල දී සිදු වෙන්නේ. මෙහි දී බොහෝ විට සිදු වෙන්නේ බාහිර ශබ්දය අමතර මයික් එකකින් පටිගත කර ඒ මොහොතේම එයට ප්‍රතිවිරුද්ධ හඬක් වාදනය කිරීමෙන් අදාළ ශබ්දය ඇසෙන එක අවම කිරීම යි. හොඳින් කළ හැකි නම් මෙය ඉතා සාර්ථක එකක් වුණත් සාමාන්‍යයෙන් ඉයර්ෆෝන් එකක් හරහා එය හොඳින් කරන එක පහසු නැහැ.

තවත් දෙයක් තමයි මේ විදිහට සිදු කරන ප්‍රතිවාදනය නියම අවස්ථාවේම සිදු නොවුණොත් වැඩි හඬක් ඇසෙන්නත් තියෙන අවදානම. ඒ නිසා නිතර වෙනස් වන ශබ්ද තියෙන තැනකට Noise Cancelling සහිත උපාංගයක් වුණත් ලොකු ප්‍රයෝජනයක් නැහැ. නමුත් එකදිගට ඇසෙන එකම විදිහේ හඬකින් (උදා: යම් යන්ත්‍රයකින් එන හඬ) සහනයක් ගන්න නම් මෙය ඉතාම හොඳ යි.

විසඳුම මොකක්ද?

හැකි හැම විටම ඉයර්ෆෝන් වෙනුවට හෙඩ්ෆෝන් භාවිත කරන්න. (shopify.com)

අද වන විට නිතර දකින්න ලැබෙන දෙයක් තමයි වැඩි පිරිසක් හෙඩ්ෆෝන් භාවිත කරන එක. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාවක ගෙන යාම සහ හැසිරවීම තරමක් අපහසු වුණත් ඒවායින් ලැබෙන සැබෑ ප්‍රයෝජනය නම් ඉතා ඉහළ යි. මේවා කනට බාහිරින් සවි වන නිසා බාහිර ශබ්ද ඇසීම වඩාත් හොඳින් වළක්වන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම කන් බෙරයට ඍජුවම කම්පන යොමු වීමත් අවම යි. කුඩා හඬ මට්ටමකින් අවශ්‍ය දේට සවන් දෙන්න තියෙන හැකියාව නිසාත්, ඉයර්ෆෝන් එකකට වඩා ස්වභාවිකව අපේ කනට ශබ්දය ඇසෙන ආකාරයට සමාන නිසාත් මෙය ඉතාම හොඳ විසඳුමක්.

කොහොම නමුත් හෙඩ්ෆෝන් එකත් උවමනාවට වඩා වැඩි කරගෙන සංගීතයට සවන් දෙන එක නම් හොඳ නෑ. හෙඩ්ෆෝන්, ඉයර්ෆෝන් මේ මොන ක්‍රමය භාවිත කළත් සාමාන්‍යයෙන් උපරිම ශබ්ද මට්ටමෙන් 60% ක මට්ටමේ පවත්වා ගන්න කියලා තමයි හඬ ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ. උදාහරණයකට ඔබේ ෆෝන් එකේ හඬ මට්ටම් 15ක් තිබෙනවා නම් 10 හෝ ඊට ඉහළ හඬ මට්ටම් දිගු වෙලාවක් භාවිතය සුදුසු නැහැ. අද වන විට බොහෝ දුරකථනවල 10 ඉක්මවා හඬ වැඩි කරනකොට මේ බව දැනුම් දීමත් සිදු වෙනවා. තව දෙයක් තමයි විනාඩි 60 කට හෙවත් පැයකට වරක් යම් විවේකයක් ගන්න කියන එක.

මේ උපදෙස පිළිපදින්න උත්සාහ ගන්න (thetechchap.com)

කොයි දේත් ප්‍රමාණයකට කරන්න කියන උපදෙස මෙතැනදීත් හරිම වැදගත්. ඉතින් යම් සීමාවක් ඇතිව ඉයර්ෆෝන්, හෙඩ්ෆෝන් මේ මොනවා භාවිත කළත් ගැටළුවක් නැහැ. නමුත් ප්‍රමාණය ඉක්මවා ඒවා භාවිත කළොත් ඔබේ හොඳට තියෙන ශ්‍රවණ හැකියාව ඉක්මනින්ම නැති වෙලා යන්නත් පුළුවන්.

කවරයේ රූපය : forbes.oul.com.br

Related Articles