ඊශ්‍රායලය සයිබර් තාක්ෂණයේ සුපිරි බලවතා වූ හැටි

මැද පෙරදිග පිහිටි කුඩා රටක් වන ඊශ්‍රායලය ලොව බොහෝ අංශවලින් ඉදිරියෙන් ඉන්නා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. රටක් විදිහට 1949 තරම් මෑතක දී පිළිගැනීමක් ලබාගත් එය නිරන්තරයෙන්ම සතුරු රටවල ආක්‍රමණයන්ට ලක් වීමේ අවදානමක සිටිනවා. කාලයක් පුරාවටම මෙවැනි අවදානමක ජීවත් වීම නිසා එය රටේ ජනතාවගේ සංස්කෘතියේම කොටසක් වීම, ඊශ්‍රායලය තාක්ෂණික වශයෙන් වගේම හමුදාමය වශයෙනුත් වේගයෙන් දියුණු වීමට ප්‍රධානතම හේතුවක්. අද වන විට එය ලොව බුද්ධිමත්ම ජනතාවක් වෙසෙන රටක් වගේම වැඩිම ආයු අපේක්ෂාවක් සහිත රටක් බවටත් පත් වී තිබෙනවා.

ඊශ්‍රාලයේ නිෂ්පාදිත කෆීර් යානා සිව් වන ඊළාම් යුද්ධය අවසන් කරන්න ප්‍රධාන හේතුවක් වූවා (aviationvoice.lk)

ඊශ්‍රායලය සිය හමුදාවේ සහ යුධ උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැකියාවන් ගැන ලෝක ප්‍රසිද්ධ යි. ශ්‍රී ලංකාවේ සිව් වැනි ඊළාම් සටනට නැතිවම බැරි වූ කෆීර් ප්‍රහාරක යානාව මෙන්ම ලොව පුරා මිසයිල හා මිසයිල ආරක්ෂක පද්ධති බොහොමයක් නිපදවෙන්නේ ඊශ්‍රායලය තුළ යි. දශක 8ක පමණ කෙටි ඉතිහාසයක් තුළ ඊශ්‍රායල් හමුදා යුද්ධ ගණනාවකින් ලබා ගත් ජයග්‍රහණත්, ලොව ප්‍රබලම රහස් ඔත්තු සේවයක් වන මොසාඩ් සේවාවත් ඊශ්‍රායලයේ හමුදා ශක්තියට හොඳම නිදසුන්.

කොහොම නමුත් මෑත කාලීනව කතාබහට ලක් වන්නේ ඊශ්‍රායලය ලොව සියලුම රටවල් අභිබවා සයිබර් කටයුතුවලින් සුපිරි බලවතෙක් වුණු ආකාරය යි. ස්වභාවික සම්පත් අවම, ශ්‍රී ලංකාවෙන් 1/3ක් තරම් කුඩා භූමියක පිහිටි ඊශ්‍රායලය ඒ හපන්කම කළ ආකාරය ගැනයි මේ.

නිරන්තර අවදානම සහ සූදානම

නිරන්තරයෙන්ම සතුරු ආක්‍රමණවලට සූදානමින් සිටිය යුතු නිසාම ඊශ්‍රායලයේ හමුදා සහ ආරක්ෂක අංශ රටේ ජන ජීවිතයත් එක්කම බද්ධ වී තිබෙනවා. සෑම ඊශ්‍රායල වැසියෙකුම අවුරුදු 18න් පසුව හමුදා පුහුණුවක් ලැබිය යුතු යි. මේ වැඩසටහන නිසා ඕනෑම ඊශ්‍රායල වැසියෙකුට තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නත්, අවශ්‍ය මොහොතක අනෙකෙකුට උපකාර කරන්නටත් හැකියාව පවතිනවා.

හමුදා පුහුණුව ලබන ඊශ්‍රායල් වැසියන් (pittsburgh.cbslocal.com)

සාම්ප්‍රදායික ක්‍රමවලින් ඊශ්‍රායලය ආක්‍රමණය කළහොත් ආක්‍රමණිකයාට ඇති අධික අවදානම නිසා ඔවුන් වෙතට බොහෝ විට එල්ල වන්නේ සයිබර් ප්‍රහාර යි. ඊශ්‍රායල හමුදාවත්, රටේ විවිධ අංශයනුත් ඉලක්ක කරගෙන නිතර සයිබර් ප්‍රහාරයන් එල්ල වෙනවා. මේ නිසා ඊශ්‍රායල රජය නිරන්තරයෙන්ම සයිබර් ආරක්ෂාව ගැන විමසිල්ලෙන් සිටිනවා. 2011 දී මේ වෙනුවෙන්ම ආරම්භ වූ ජාතික සයිබර් බියුරෝව (National Cyber Bureau) රටේ සිටින දක්ෂතම කේතකරුවන් බාල වයසින්ම බඳවාගෙන ඔවුන්ට ඉහළම මට්ටමේ පුහුණුවක් ලබා දෙන්න කටයුතු කරනවා.

බියුරෝව, රටේ සියලුම අංශ නිරන්තරයෙන් මුහුණ දෙන විවිධ ආකාරයේ සයිබර් ප්‍රහාර තමන්ගේ සයිබර් බලකායට සජීවී පුහුණුවක් ලබන්න අවස්ථාවක් කරගන්නවා. මුළු රටේම බැංකු, පාසල්, රෝහල්, විදුලි පද්ධතිය, ප්‍රවාහන අංශ වගේ වැදගත් අංශවල පරිගණක පද්ධති ගැන නිරන්තර අවධානයෙන් පසු වන ඔවුන් නව තර්ජනයක් ඇති බව දැනගත් විගස එයට අවශ්‍ය ආරක්ෂක ක්‍රම වහාම මුදා හරින්නට සක්‍රීයව කටයුතු කරනවා.

මේ නිරන්තර ක්‍රියාවලිය නිසා ජාතික සයිබර් බියුරෝවට එක් වන සියලු දෙනා ඉතාම ප්‍රායෝගික සයිබර් ආරක්ෂණ පුහුණුවක් ලබා ගන්නවා.

පෞද්ගලික ක්ෂේත්‍රයට රජයේ දායකත්වය

2017 වසරේ CyberWeek වැඩසටහනට එක් වූ ඊශ්‍රායල් අගමැතිවරයා (bizportal.co.il)

රජයක් වශයෙන් සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාව සැලසීම හැරුණු විට සයිබර් තාක්ෂණයෙන් පෞද්ගලික ක්ෂේත්‍රයේ දියුණුවටත් ඊශ්‍රායල රජය නිරන්තරයෙන්ම දායක වෙනවා. ජාතික සයිබර් බියුරෝව රට තුළ පවතින ව්‍යාපාර, විශ්වවිද්‍යාල, පුහුණු ආයතන ආදිය සමග සම්බන්ධීකරණය ඉහළ නංවා ගන්නත් කටයුතු කරනවා.

සයිබර් බියුරෝවේ පුහුණුව ලබන බොහෝ දෙනෙක්ට පසුකාලීනව ඒ දැනුම විශාල ආර්ථික වාසියක් කරගන්නටත් ඉඩ සැලසෙනවා. ලොව පුරා සයිබර් ආරක්ෂණ ව්‍යාපාරවලින් ඊශ්‍රායලයේ පුහුණුව ලැබූ අයට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. මේ නිසා බොහෝ ප්‍රතිවෛරස් සමාගම්, පරිගණක ආරක්ෂණ සමාගම් ඊශ්‍රායලය තුළ තම පර්යේෂණ මධ්‍යස්ථාන සහ ශාඛා පවත්වාගෙන යනවා. ගෝලීය වශයෙන් සයිබර් ආරක්ෂණ කටයුතුවලට සිදු කෙරෙන ආයෝජනවලින් 20%ක්ම සිදු කෙරෙන්නේ ඊශ්‍රායලය තුළ යි. මේ නිසා ඊශ්‍රායල ආර්ථිකය තුළ ඔවුන්ගේ සයිබර් ආරක්ෂණ හැකියාවන් ඉතා හොඳ ආර්ථික මෙවලමක් කරගන්නටත් රජය සක්‍රීයව දායක වෙනවා.

පෙරටුගාමී මානසිකත්වය

ඊශ්‍රායලය තුළ ඔවුන්ගේ සංස්කෘතිය තුළින්ම ඇති කෙරෙන්නේ පෙරටුගාමීව සිතන මානසිකත්වයක්. අධ්‍යාපනයට ඉතා ඉහළ තැනක් හිමි වන ඊශ්‍රායලයේ දර්ශනශූරී ඇතුළු තෘතීයික මට්ටමේ උපාධි හිමි පිරිස් ප්‍රතිශතය ලෝකයෙන්ම ඉහළ මට්ටමක පවතිනවා. රටේ විශ්ව විද්‍යාල ගණනාවකින් සයිබර් ආරක්ෂණය පිළිබඳව උපාධි සහ උසස් උපාධි පිරිනැමෙනවා.

හයිෆාහි technion විශ්ව විද්‍යාලයේ නව සයිබර් ආරක්ෂක පීඨය (jpost.com)

බොහෝ ඊශ්‍රායල වැසියන් යම් කටයුත්තකට ආරම්භයක් ගන්න පැකිලෙන්නේ නැහැ. මෙය විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් දැක ගත හැකියි. අධ්‍යාපනය හමාර කර හෝ පුහුණුව ලබා පැමිණෙන ඊශ්‍රායල් වැසියන් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යි. සාමාන්‍යයෙන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය කඩා වැටුණොත් එය අසාර්ථකත්වයක් ලෙස දකින්න බොහෝ රටවල පෙළඹවීමක් තිබුණත් ඊශ්‍රායලය තුළ ඔවුන් සැළකෙන්නේ හොඳ කළමනාකරණ අත්දැකීමක් ලැබූ පිරිස් විදිහට යි.

තමන්ගේ දැනුමෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් තමන්ගේම ව්‍යාපාරයක් තිබිය යුතුයි කියන අදහස නිසා වෙනත් ආයතනයක සේවයේ යෙදෙන බොහෝ දෙනෙකුගේත් අරමුණ එයින් පුහුණුවක් ලබා තමන්ගේ ව්‍යාපාරයක් ඇරඹීම යි. මේ තත්ත්වය විශේෂයෙන්ම සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැක ගත හැකියි. ඇමරිකා එක්සත් ජනපදයට පසුව වාර්ෂිකව ලොව වැඩිම නව සයිබර් ව්‍යාපාර ප්‍රමාණයක් ලියාපදිංචි කෙරෙන්නේත් ඊශ්‍රායලය තුළ යි.

විදේශයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම

ඊශ්‍රායලය බොහෝ දුරට ඇමරිකාව සමග ආරක්ෂක අතින් බැඳියාවක් පවත්වා ගත්තත් ඔවුන් අනෙක් බලවත් රටවල් සියල්ලම සමග සහයෝගයෙන් කටයුතු කරනවා. ඇමරිකානු ආරක්ෂක අංශ වගේම රුසියානු, චීන, ඉන්දියානු, සහ යුරෝපීය රටවල් සමග එක්ව කටයුතු කරන ඊශ්‍රායලය ඔවුන්ගේ සයිබර් ආරක්ෂණ කටයුතු දියුණු කරන්නට දායකත්වය ලබා දෙනවා. ලොව බොහෝ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික සමාගම් ඊශ්‍රායලය තම නිෂ්පාදන අත්හදා බලන ස්ථානයක් කරගන්නේ මේ නිසා යි.

ඉරානයේ යුරේනියම් කේන්ද්‍රාපසාරක යන්ත්‍ර අකර්මණ්‍ය කළ සයිබර් ප්‍රහාරය ඊශ්‍රායලයෙන් එල්ල වුවුඅක් බව පැවසෙනවා. (null-byte.wonderhowto.com)

මීට අමතරව රහසිගත ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම පිළිබඳවත් ඊශ්‍රායලය නමක් දිනාගෙන තිබෙනවා. ඇමරිකානු රජයේ ඉල්ලීමක් මත ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම සඳහා Stuxnet නමින් worm වැඩසටහනක් නිර්මාණය කළේත් ඊශ්‍රායල හමුදාවේ 8200 ඒකකය විසින් බව කියවෙනවා. තනිකරම පාහේ වයස 18 – 21 අතර අනිවාර්ය හමුදා පුහුණුව ලබන්නන්ගෙන් බලගැන්වෙන 8200 ඒකකය ලොව තාක්ෂණික හැකියාවෙන් ඉහළම සයිබර් ප්‍රහාරක ඒකකය ලෙසයි සැළකෙන්නේ. එහි පුහුණුව ලබන බොහෝ දෙනෙක්ට ලොව පුරාම රටවලින් ඉහළ ඉල්ලුමක් පවතිනවා.

බලවත් රටවල් සමග කටයුතු කිරීමට අමතරව කුඩා රටවල් බොහොමයකට තම සයිබර් ආරක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීමට තාක්ෂණික සහය ලබා දෙන්නටත් ඊශ්‍රායලය කටයුතු කරනවා. මේ තුළින් ඔවුන් ආර්ථික හා වෙළඳ අවශ්‍යතාවලින් ගොඩ නගාගත නොහැකි තරමේ කිට්ටු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බොහොමයක් ගොඩනගාගෙන තිබෙනවා. මේ සියලු රටවල් සමග කටයුතු කිරීමෙන් තම රටේ සයිබර් අංශවල පුහුණු වපසරිය තවත් පුළුල් කරගන්නටත් ඊශ්‍රායලයට හැකියාව ලැබී තිබෙනවා.

ඊශ්‍රායලය සමග එදිරිවාදීකම් ඇති කරගත් අරාබිකරයේ රටවල් (science.co.il)

කුඩා රටක් තමන්ට මුහුණ දීමට සිදුවන අභියෝග, බාධක තමාටම වාසියක් කරගනිමින් රටේ මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ලබන ආකාරයට ඊශ්‍රායලය හොඳම උදාහරණයක්. ශ්‍රී ලංකාව තුළත් කවදා හෝ ඒ වගේ තත්ත්වයක් ඇති වේවි කියා ප්‍රාර්ථනා කරමු.

කවරයේ රූපය : vice.com

Related Articles