Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාල වාරණය: ලෝකයේ තත්ත්වය, වාරණ ක්‍රම, සහ ලංකාව

පසුගිය දා අපේ රටේ ඇතිවුණු කැළඹිලි ස්වභාවයට ප්‍රධාන වශයෙන් සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් හේතු වුණා. මේ නිසා රටේ තත්ත්වය පාලනය කරන්නට, බොරු ප්‍රවෘත්ති පැතිරීම වළකන්නට මහනුවර ආශ්‍රිතව අන්තර්ජාලය ඇතැම් අවස්ථාවල දී සම්පූර්ණයෙනුත්, අනෙකුත් පළාත්වල සමාජ ජාල වෙබ් අඩවිත් වාරණය කරනු ලැබුවා. මෙය ලංකාවට අලුත් දෙයක් වූවත් ලොව බොහෝ රටවල් මේ කරදරයෙන් සදාකාලිකව පීඩා විඳිනවා. නමුත් ලංකාවට මේ තීරණය කෙතරම් උචිත ද? අපි සොයා බලමු.

රටවල් අන්තර්ජාලය අවුරන්නේ ඇයි?

beebreeders.com

අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ ජන ඒකරාශී කිරීම් සඳහා පහසුම ක්‍රමයක් බවට සමාජ ජාල සේවාවන් පත්වුණා. කිසියම් කැරලි ගැසීමක් ගැන ආකල්ප වපුරන්නට, එහි තත්ත්වය ගැන ප්‍රසිද්ධ කරන්නට, තව තවත් අය සම්බන්ධ කරගන්නට මෙය හරහා හැකියාව ලැබෙන අතර එවන් අවස්ථාවක දී තත්ත්වය පාලනය කරන්නට රජයයන් විසින් අන්තර්ජාල වාරණයන් සිදු කරනවා. 2015 වර්ෂයේ දී ඉන්දියාවේ ද මෙවන් පියවරක් ගනු ලැබුවේ ගුජරාට් ප්‍රාන්තියේ පටෙල්වරුන් විසින් කෝලාහල කරන්නට පටන්ගත් විටයි.

ඇතැම් රජයයන් තමන්ගේ බාහිර ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් අන්තර්ජාල සහ මාධ්‍ය වාරණයන් පනවනවා. ඇතැම් අවස්ථාවල දී රටේ ප්‍රතිරූපය හානිව තිබියදීත් එවන් වාරණ පනවා ඉදිරියටත් එය පැතිරීයාම වළක්වන්නට වුවත් රජයයන් කටයුතු කරන බවට උතුරු කොරියාව සාක්ෂි සපයනවා. රටේ සංචාරක කර්මාන්තය, ආර්ථික ආයෝජන ආදියට රට පිළිබඳව නරක කතා පැතිරීම බාධාවක් වන විට දී තාවකාලිකව හෝ දිගුකාලීනව මෙවන් පියවර ගන්නට ලෝක රජයයන් පියවර ගන්නවා.

අන්තර්ජාලය ඇවිරී යන තවත් අවස්ථාවක් වන්නේ ඒකාධිපති පාලකයන් බිහිවීම යි. රටේ තත්ත්වය කුමක් වුවත් තමාට බලයේ සිටීමට අවශ්‍ය වන අවස්ථාවන්හි දී ඡන්දය පැවැත්වෙන කාලසීමාව තුළ අන්තර්ජාලය වාරණය කොට, තමාට අවාසි සහගත ලෙස පැතිරෙන ජන බලවේග සීමා කරන්නට පාලකයෙක් පෙළැඹිය හැකියි. මෙහි දී ද රට අභ්‍යන්තරය තුළ මෙන්ම බාහිරයට ද තමන්ගේ පෞද්ගලික ප්‍රතිරූපය හොඳ එකක් බවට පත්කර ගැනීම එම පාලකයන් ඉන් බලාපොරොත්තු වෙනවා.

අවුරන මූලික ක්‍රම

vox-cdn.com

රජයයක් විසින් අන්තර්ජාලය අවුරාලන ප්‍රධාන ක්‍රම කිහිපයක් තිබෙනවා. අභ්‍යන්තරිකව වාණිජ ආයතන තුළ සමාජ ජාල වෙබ් අඩවි පිවිසුම් සීමා කරන්නට කුඩා ප්‍රොක්සි භාවිත කරන්නාක් මෙන්, රජයයක් විසින් තම උපරිම බලතල භාවිත කරමින් රටේ සහ ලෝක සමුළුවල (UN වැනි) ප්‍රතිපත්තීන්ට නොගැලපෙන වෙබ් අඩවි, සේවා හෝ ඇතැම් විට පෙරහන් යොදා සියලු දත්ත සංසරණ පරීක්ෂා කිරීම් සිදුකළ හැකියි. එය සිදුකරන මූලික, සරල ආකාරයන් මෙසේ්යි.

TLD Name Server බාධක

Top Level Domain හෙවත් වෙබ් ලිපිනයක තිබෙන .com, .net යන කොටස් තිබෙන සියළුම වෙබ් අඩවි වාරණය කරලීම මෙහිදී සිදු වෙනවා. එසේම රටක් සතු TLD server එකකට (.lk වැනි) වෙනත් රටවලින් එන පිවිසුම් ද අවශ්‍ය නම් වළකාලන්නට රජයකට පහසුවෙන්ම පුළුවන්. මෙම බාධකය බොහෝවිට අසභ්‍ය TLD (.xxx වැනි) වාරණය කරන්නට යොදාගන්නාමුත් වෙබ් අඩවියේ IP ලිපිනය දන්නවා නම් එය භාවිතයෙන් පිවිසෙන්නට පුළුවන්.

ISP පෙරහන්

Internet Service Provider හෙවත් අන්තර්ජාල සේවාවන් සපයන ආයතන සියල්ලට බලපෑම් කොට ඔවුන්ගේ සේවාව හරහා නම් කරන ලද වෙබ් අඩවිවලට පිවිසුම් සීමා කරනු ලබනවා. අසභ්‍ය වෙබ් අඩවි, බොරු පුවත් පතුරුවන වෙබ් අඩවි ආදිය මේ යටතේ නිරන්තරයෙන් වාරණය කරලන අතර ප්‍රසිද්ධ මාධ්‍යවල දැනුම් දීමකින් තොරව එවන් පියවරකට යා හැකියි. මහජනයා තම යටතෙහි පාලනයට ඇමරිකාව වැනි ලොව දියුණු රටවල් බොහොමයක් මෙම ක්‍රියාමාර්ගය ගන්නා අතර ඒකාධිපති පාලනයක් හෝ විශේෂ ප්‍රතිපත්ති (චීනය, උ. කොරියාව ආදී) යටතේ මෙය අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමක් බවට පත් වෙනවා. මෙවන් අවස්ථාවන්හි දී ප්‍රොක්සි භාවිතයෙන් එය මඟහැර යන්නට ජනතාවට හැකියාව ලැබුණත් ඒවාද හැකිතාක් වාරණය කරලන අවස්ථා තිබිය හැකියි.

ASN වාරණ

Autonomous System Number වාරණය යටතේ මතභේදකාරී ලෙස වෙබ් අඩවි පිවිසීම් වළක්වාලිය හැකියි. අන්තර්ජාල සේවා සපයන්නන් (ISP) සතුව වෙබ් අඩවිවල IP පරාසයන් තිබෙනවා. මෙවන් IP ලැයිස්තු ASN අංක යටතේ ගොනු කොට තිබෙන අතර ඒවා පෞද්ගලික භාවිතයට පහසුවෙන් ලබාගත හැකි වෙබ් අඩවි පවා තිබෙනවා. මේ ආකාරයෙන් වාරණ යෙදූ විට වෙබ් අඩවියේ IP ලිපිනය දැන සිටියත් එයට පිවිසීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

නිරන්තර පීඩා විඳින රටවල්

උ. කොරියාවේ අන්තර්ජාල භාවිතය එරට ජනපති තම උරහිසට උඩින් බලා සිටිනවාක් වැනිය. (slate.com)

අපිට තාවකාලික වාරණ වැටුණත්, ඇතැම් රටවල් වසර ගණන් තිස්සේ මේ පීඩාවන් විඳිනවා. රජයක් විසින් ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ග නිසා මෙවන් දිගුකාලීන වාරණයන් රටකට අත්විඳින්නට සිදුවිය හැකියි.

උතුරු කොරියාව

දැඩි වශයෙන් අන්තර්ජාල පිවිසුම් සීමා කර ඇති උ. කොරියාවේ ජනගහනයෙන් 4%ක් පමණ අන්තර්ජාල පහසුකම් විඳිනමුත්, ඒවා ද රජයේ දැඩි පෙරහන් යටතේ ලබා දී තිබෙනවා. රට තුළ ප්‍රවෘත්ති නිකුත් කිරීම ද කොරියානු මධ්‍ය පුවත් නියෝජිතායතනය හරහා සිදුවන අතර වෙනත් රටවල මාධ්‍යවේදීන්ට ද එරට වාර්තාකිරීම් වලට ඉඩ සලසන්නේ නැහැ.

මියන්මාරය

රාජ්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා බුරුම රජය තම අන්තර්ජාල සබඳතා සියල්ල පෙරහන් යොදා පරීක්ෂා කරනු ලබනවා. රජයට එරෙහිව සිදුකරන කතාබහ සඳහා මෙන්ම මානව හිමිකම් උල්ලංඝණය වන ආකාරයේ හැසිරීම් සඳහා ඊමේල් සහ ෆෝරම් ආදිය මේ යටතේ ගැනෙනවා.

සෞදි අරාබිය

වෙබ් අඩවි ලක්ෂ හතරක් පමණ බ්ලොක් කර ඇති අතර දේශපාන, සමාජ හෝ ආගමික කාරණා එරට රජයට නොගැලපෙන ලෙස මෙන්ම ඉස්ලාමීය ප්‍රතිපත්තීන්ට විරුද්ධව යන අවස්ථාවන් නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබනවා.

කියුබාව

රජය විසින් පාලනය කරනු ලබන අන්තර්ජාල පිවිසුම් ස්ථාන ඇති අතර අන්තර්ජාලය තුළ ජනතාවගේ හැසිරීම් keyword filtering සහ browsing history අධ්‍යයනයෙන් පරීක්ෂා කරනවා. වෙබ් අඩවි වාරණය IP ලිපින ‍හරහා සිදු කෙරෙනවා. පළ කිරීම් කළ හැක්කේ ඉහළ මට්ටමේ රාජ්‍ය පරිශීලකයන්ට පමණයි.

වියට්නාමය

කොමියුනිස්ට්වාදය හරහා යාහූ, ගූග්ල්, මයික්‍රොසොෆ්ට් ආයතනය හරහා ලබාදෙන ඊමේල් වැනි සේවා සියල්ල පරීක්ෂාවට බඳුන් කරන අතර එම ආයතන විසින් බ්ලොග්කරණයේ යෙදෙන අයගේ සියළු තොරතුරු රජයට ලබාදීමට බැඳී සිටිය යුතු වෙනවා. රජයට විරුද්ධව යන වෙබ් අඩවි එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ආගමික නිදහස පිළිබඳ තොරතුරු ගෙන එන වෙබ් අඩවි වාරණය කර දමනු ලබනවා.

චීනය

ලොව දැඩි අන්තර්ජාල අවහිරතාවන් දක්වන චීනය එරට ජනතාව සෙවීම් කරන දේවල් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිමින් තම ප්‍රතිපත්ති වලින් බැහැර දේවල් අන්තර්ජාලයෙන් ඉවත් කරලීමට ද කටයුතු කරනවා. වෙබ් අඩවි සහ සමාජ ජාල සේවා වාරණය මෙන්ම ‘තායිවාන නිදහස’ පිළිබඳව කෙරෙන කතාබහ සඳහා ඔවුන් දැඩි අවධානයෙන් පසුවෙනවා.

ලංකාවේ තත්ත්වය

akamaihd.net

ඉහත රටවල තරම් භයානක තත්ත්වයක් ලංකාවේ ජනතාව අතර නැතත් දේශපාලන වාසි පදනම් කරගනිමින් සමාජය අවුළුවන්නටත් වීරයෙක් වීම සඳහා රට තුළ ගැටළුවක් ඇති කිරීමටත් මාන බලන පිරිසක්, ඊට අතකොළුව කරගන්නා ෆේස්බුක් පිටු ගොන්නක් මෙන්ම තමාට කිසිදු වාසියක් නැතත්, මව් පියන්ගෙන් මුදල් ඉල්ලාගෙන අන්තර්ජාලයට පැමිණ මේ දේවල් වලට උල්පන්දම් දෙන කීබෝඩ් වීරයන් පිරිසක් ලාංකේය අන්තර්ජාලයේ සිටීම ගැටළු ඇතිවීමට සියළු මූලද්‍රව්‍ය සපයනවා. මේ අවසානයට කී පිරිස නිවසින් එළියට නොබසින, ජාතිමාමකත්වය ලෙයෙහි දුවන බව පෙන්වනමුත් ඔවුන් සටනකට නොපිවිසෙන අතර රට අවුළුවා මුළු ගැන්වී සිටිනවා. ඒ නිසා සමාජ ජාල වාරණයෙන් නිශ්ශබ්ද කරන්නට උත්සාහ කරන ලද්දේ මොවුන් බවයි පෙනී යන්නේ.

වාරණයක් දැමීමෙන් හෙවත් දඬුවමක් ලබාදීමෙන් බලාපොරොත්තු වන්නේ යමෙකු හික්මවන්නට නම්, එය එතරම් සාර්ථක ක්‍රමවේදයක් නොවෙයි. සතෙක්ට තරවටු කොට හීලෑ කළ හැකිමුත් ඔවුන් ඒ හීලෑ වන්නේ තමා මේ දේ කළොත් දඬුවම් විඳින්නට සිදු වනවාය යන හැඟීමෙන් මිස වරද අවබෝධ කරගැනීමෙන් නොවෙයි. එනිසා වඩාත්ම හොඳ ක්‍රමය වන්නේ කට වටකර වැට බැඳීම නොව, ආකල්ප සංවර්ධනය සහ අන්තර්ජාලය නිසි පරිදි භාවිත කරන්නේ කෙසේදැයි සමාජගත වන ආකාරයේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමයි. එවිට භාණ්ඩ අලෙවි කිරීම් ඍජුව කරන ෆේස්බුක් පිටු, තොරතුරු ගෙන එන වැදගත් පිටු, සාමාන්‍ය ජනතාවගේ අන්තර්ජාල පිවිසීමේ නිදහස හා තොරතුරු දැනගැනීමේ නිදහස අවහිර නොකොට රටේ ආර්ථිකයද බේරා ගනිමින් පිළිගත යුතු දේ කුමක්ද, අසත්‍ය ප්‍රචාර මොනවාද යන්න වෙන්කොට හඳුනාගන්නා සමාජයකින් යුතු සාමකාමී, සහජීවනයෙන් හා සංහිඳියාවෙන් යුතු රටක් අපට උරුම වනවා නිසැකයි.

මූලාශ්‍ර: maketecheasier.com, usatoday.com

කවරයේ ඡායාරූපය: sflc.in

Related Articles