Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TripAdvisor තවදුරටත් විශ්වාසවන්ත ද?

ලොව විශාලතම සංචාරක සේවාවන් පිළිබඳ විස්තර සපයන වෙබ් අඩවියක් වන TripAdvisor ක්‍රියාත්මක වුනේ විශ්වාසය කියන හේතුසාධකය මත කිව්වොතින් ඔබ අපිත් එක්ක එකඟ වෙනවා සිකුරුයි. ලෝකයේ ඕනෑම තැනක පිහිටා තිබෙන යම්කිසි හෝටලයකට, නිවාඩු නිකේතනයකට, ආපන ශාලාවකට, හෝ ආකර්ශනීය ස්ථානයකට පිවිසෙන කෙනෙක් එම ස්ථානය ගැන තමන්ට දැනෙන ඇත්ත අදහස ඉදිරිපත් කිරීමට වේදිකාව වශයෙන් තෝරාගත්තේ TripAdvisor වෙබ් අඩවියයි. මේ ආකාරයට ලොව පුරා සංචාරකයන් විසින් වෙබ් අඩවියට එකතුකරන ලද තොරතුරු ප්‍රමාණය මිලියන 535කට අධිකයි. ඒ හැම සටහනක්ම දැඩි ලෙස විශ්වාසනීයයි. මේ හේතුව නිසාම සංචාරයේ යෙදෙන පුද්ගලයින් තමන් නවාතැන් ගන්න බලාපොරොත්තු වෙන නවාතැන් ස්ථාන, ආහාර ගන්න ආපනශාලා ගැන දළ අදහසක් ලබාගන්න TripAdvisor වෙබ් අඩවිය තෝතැන්නක් කරගත්තා. සමහරවිට මේ ලිපිය කියවන ඔබත් එහෙම කෙනෙක් වෙන්න ඇති.

නමුත් TripAdvisor තවදුරටත් විශ්වාසනීයද?

1. Kristie Loveගේ කතාව

ඇමරිකාවේ ටෙක්සාස්හි වාසය කරනා 35 හැවිරිදි දෙදරු මවක් වන Kristie Love 2010 වසරේ දී මෙක්සිකෝවේ පිහිටා ඇති නම් දරාපු තරු පංතියේ හෝටලයක් වන Iberostar Paraiso Maya හිදී ලිංගික අතවරයකට ලක්වෙනවා. ඇයව ලිංගික අඩත්තේට්ටමට ලක් කරන්නේ එම හෝටලයේ ඒ මොහොතේ දී රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරියෙකු විසිනුයි. ඉමහත් කම්පනයට පත්වෙන ඇය හෝටල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කරනා ලෙසයි. නමුත් බලධාරීන් පොලිසියට පැමිණිලි කිරීම සිදුකරන්නේ නැහැ. නැවත ඇමරිකාව බලා යන ක්‍රිස්ටී එහිදී නීති මාර්ගයෙන් කටයුතු කිරීම ආරම්භ කළත් එය සාර්ථක වන්නේ නැහැ. නමුත් තමන්ට අත්වූ ඉරණම වෙනත් කෙනෙකුට අත්වීම වැළැක්වීමට ඇය තරයේ අදිටන් කරගන්නවා. මෙම හෝටලයේ සත්‍යය තත්ත්වය ගැන අන්‍යයන්ව දැනුවත් කරන්න ඇති හොඳම මාධ්‍යය ලෙස ඇගේ මතකයට එන්නේ TripAdvisor වෙබ් අඩවියයි. ක්‍රිස්ටී විසින් ඇය මුහුණදුන් අමිහිරි අත්දැකීම TripAdvisor හි review එකක් ලෙස පළකරනවා. නමුත් ඉන්පසු සිදුවන්නේ ඇය හීනෙකින්වත් අපේක්ෂා නොකළ දෙයක්. ඇයගේ අදහස් දැක්වීම තමන්ගේ වෙබ් අඩවිය තුළ අදහස් දැක්වීමේ නිර්ණායකයන්ට පටහැනි යැයි පවසමින් TripAdvisor විසින් ක්‍රිස්ටිගේ සටහන ඉවත් කරනු ලබනවා. ඇය කීපවරක්ම එම සටහන වෙබ් අඩවියේ පළකිරීමට උත්සාහ කෙරුවත් ඒ සෑම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප වෙනවා.

2. Jamie Valeriගේ කතාව

2015 වසරේදී ඇමරිකාවේ විස්කොන්සින් හි පදිංචි 34 හැවිරිදි ජේමි වැලරි තම ස්වාමි පුරුෂයාත් සමඟ Iberostar Paraiso Maya හෝටලයෙහි සිටියදී ලිංගික අතවරයකට සහ පහරදීමකට ලක්වෙනවා. ඔවුන් විසින් පානය කළ ඇල්කොහොල්වලට යම් කිසි රසායනයක් මිශ්‍ර කර ඒ හරහා ඔවුන් දෙදෙනාගේ සිහිමූර්ඡා කර මෙම ලිංගික අඩන්තේට්ටම සිදුකර තිබෙනවා. ජේමි වැලරිත් තමන්ට මුහුණපෑමට සිදුවූ අතවරය පිළිබඳව ලෝකයට දැනුම් දෙන්නට උත්සාහ කෙරුවේ TripAdvisor හරහායි. නමුත් ඇයගේ review එකත් ප්‍රතික්ෂේප වන්නේ එහි අඩංගු දේ අසත්‍ය ප්‍රවාද (hearsay) බව සඳහන් කරමින්. කිහිප වරක්ම උත්සාහ කෙරුවත් සාර්ථක නොවූ තැන ජේමි වැලරි මේ පිළිබඳව TripAdvisor හි පළකිරීමේ අදහස අතහැර දමනවා.

Kristie Lovඑ saha Jamie Valeri දෙදෙනාම ලිංගික අඩත්තේට්ටමට ලක් වූ Iberostar Paraiso Maya හෝටලය – dailymail.co.uk

03. ඉන්දියානාපොලිස් හි කාන්තාවකගේ අත්දැකීම

ඇමරිකාවේ ඉන්දියානාපොලිස් හි ජීවත්වන කාන්තාවකට මෙක්සිකෝවේ සංචාරය කිරීමේ ආශාවක් ඇතිවෙනවා. නමුත් මෙක්සිකෝවේ හෝටල් පිළිබඳව තමන් අසා ඇති අයහපත් කරුණු හේතුවෙන් මේ ගැන වඩාත් සත්‍යය විස්තර දැන ගන්න ඇය TripAdvisor තුළ මෙක්සිකෝවේ තරු පංතියේ සුපිරි හෝටලයක් වන Riviera Maya හි නවාතැන් ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් අසනවා. දින 10ක් තුළදී ඇයට ලැබෙන ප්‍රතිචාර සංඛ්‍යාව 55ක්. එයින් ප්‍රතිචාර 24ක සඳහන් වන්නේ එම හෝටලය සංචාරය සඳහා ඉතා ගැලපෙන බවයි. ප්‍රශ්නයට අදාළ නොවන පිළිතුරු ලබා දී තිබූ තවත් ප්‍රතිචාර 4ක් නොසළකා හරින්න සිදුවෙනවා. ඉතිරි ප්‍රතිචාර 27ට සිදුවූ දෙයක් නැහැ. එම ප්‍රතිචාර 27ම අදාළ thread එකෙන් ඉවත් කර තිබෙනවා. “TripAdvisor ප්‍රජාව විසින් මෙම පිළිතුර නොගැලපේ යැයි තීරණය කර තිබෙනවා”, “මෙම පිළිතුර මාතෘකාවට අදාළ නැති බැවින් TripAdvisor කාර්ය මණ්ඩලය විසින් ඉවත්කර තිබෙනවා”, “පවුලේ සැමට එකට කියවිය හැකි ආකාරයේ නොවන ප්‍රතිචාර ඉවත් කිරීම සිදුකරනවා” වැනි තාක්ෂණික හේතු දක්වමින් එම ප්‍රතිචාරයන් ඉවත් කර තිබෙනවා.

Riviera Maya හෝටලය – businessinsider.com

ඔබ සමහර විට කල්පනා කරන්නට පුළුවනි ඉහත සිද්ධි 03 ඔබ වෙත ගෙන ඒමෙන් අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා. පසුගිය නොවැම්බර් 01වෙනිදා USA Today මාධ්‍ය ජාලයට අයත් Journal Sentinel හි පළවූ වාර්තාවකින් උපුටාගත් කොටස් කීපයක් තමයි අපි ඔබගේ අවධානයට ඒ යොමුකෙරුවේ.

වර්ෂ ගණනාවක් මුළුල්ලේම TripAdvisor වෙබ් අඩවිය විසින් තමන්ගේ ව්‍යාපාරයට හානිදායක වන පුද්ගල ප්‍රතිචාර වෙබ් අඩවියෙන් ඉවත් කිරීම පිළිබඳව Journal Sentinel ඒ ආකාරයට ලෝකය හමුවේ කරුණු හෙළිදරව් කිරීම සිදුකළා. TripAdvisor වෙබ් අඩවිය හරහා කාමර/ආසන වෙන්කරගැනීම සිදුකිරීමේදී එම අදාළ හෝටලයෙන්/ආපන ශාලාවෙන් ඔවුන්ට කොමිස් මුදලක් ලැබීම, TripAdvisor මෙලෙසින් සිදුකිරීමට හේතුවක් විය හැකි බව ඔවුන් සඳහන් කරනවා. එමෙන්ම TripAdvisor සේවකයන් නොවන වෙනත් තෝරාගත් පුද්ගලයන් කණ්ඩායමකට TripAdvisor හි forumවල ඇති ප්‍රතිචාර මකාදැමීමට හැකියාව ඇති බවත් ඔවුන් චෝදනා කරනවා. ඒ වගේම TripAdvisor හි ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබාගෙන තිබෙන හෝටල්, තානායම්, ආපනශාලා ආදිය Google Hotel Finder වැනි වෙනත් සංචාරක වෙබ් අඩවිවලදී බොහෝවිට ප්‍රමුඛස්ථානය ලබාගෙන නැති බවත් ඔවුන් පෙන්වා දෙනවා. මේ නිසා පැහැදිලිවම TripAdvisor විසින් තමන්ගේ වෙබ් අඩවිය තුළ පාඨක ප්‍රතිචාර වාරණය කිරීමක් සහ සත්‍ය තොරතුරු වෙනස් කිරීමක් සිදුකරන බවට ඔවුන් නගන චෝදනාව ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ කියන එකයි අපේත් අදහස. ඒ වගේම TripAdvisor හි ඇති user reviews තව දුරටත් විශ්වාස කරනවාද කියන කාරණාව සම්බන්ධයෙන් තියෙන්නේත් විශාල ප්‍රශ්නාර්ථයක්.

මේ ගැන TripAdvisor ප්‍රතිචාරය කොයිවගේ එකක්ද?

පසුගිය නොවැම්බර් 01වෙනිදාම TripAdvisor වෙබ් අඩවියෙනුත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ අනුව ඔවුන් මීට වසර 7කට පෙර එනම් 2010 වසරේදී මෙක්සිකෝවේදී අතවරයට ලක් වූ Kristie Love විසින් පළකරන ලද ප්‍රතිචාරය වෙබ් අඩවියේ පළ නොකිරීම සම්බන්ධයෙන් ඇයගෙන් සමාව අයැද සිටිනවා. ඒ වගේම තමන්ගේ වෙබ් අඩවියේ අදහස් පළකිරීම වෙනුවෙන් පනවා තිබූ නිර්ණායකයන් වෙනස් කිරීමත් සිදුකරන බව ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම Kristie Love විසින් 2010දී පළ කළ අදහස ඔවුන් යළිත් ප්‍රදර්ශනය කිරීම සිදු කළත් එය පෙන්වන්නේ වෙබ් අඩවියේ Forum එකේ 2608වන පිටුවේයි. ඒ ආකාරයට එම ප්‍රතිචාරය පළකරනවාට වඩා මෙතෙක් කල් සිදු කළ ආකාරයට එය පළනොකරම සිටියානම් වඩාත් අගනා බවයි අපේ නම් අදහස.

Kristie Love විසින් 2010 වසරේදී TripAdvisorහි තබන ලද සටහන – dailymail.co.uk

එමෙන්ම 2015දී Iberostar Paraiso Maya හෝටලයේදී ලිංගික අතවරයට ලක්වූ Jamie Valeri ඉතාම වැදගත් අදහසක් ඉදිරිපත් කරනවා. 2010දී Kristie Love ඉදිරිපත් කළ අදහස TripAdvisor වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වූවා නම්, එම හෝටලය ගැන සෙවීමේ දී තමන් එය අනිවාර්යෙන්ම දකින බවත්, එසේ දුටුවා නම් තමන් ඉහත අවාසනාවන්ත ඉරණමට මුහුණ නොපාන බවටත් ඇය ප්‍රකාශ කරනවා. ඇයගේ එම ප්‍රකාශයේත් ගතයුත්තක් තිබෙන බවයි අපේ අදහස.

Kristie Love තැබූ සටහන TripAdvisor හි 2608වන පිටුවේ පළකර තිබූ අයුරු – dailymail.co.uk

Journal Sentinel හෙළිදරව්වෙන් ලෝකයා හමුවේ ප්‍රකාශිත වුනේ මේ ආකාර ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ සිද්ධි කීපයක් පමණයි. තවමත් හෙළි නොවූ තවත් මේ හා සමාන අප්‍රසන්න සිදුවීම් කොපමණ ප්‍රමාණයක් පසුගිය කාලයේ දී සිදුවෙන්න ඇතිද? ඒ ප්‍රශ්නයට පිළිතුරක් සපයන්න කිසිවෙකුට හැකියාවක් නැහැ කියන එකයි අපේ අදහස.

එමෙන්ම ලිංගික අඩන්තේට්ටම් හෝ සංචාරකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ සිදුවීම් වාර්තා වූ සෑම හෝටලයක් සඳහාම රතු පැහැති අවවාදාත්මක සටහනක් ප්‍රදර්ශනය කිරීමටත් TripAdvisor කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙක්සිකෝවේ වෙරළබඩ සංචාරක පුරයක පිහිටා ඇති Iberostar Paraiso Maya, Iberostar Paraiso Lindo, සහ Grand Velas Riviera Maya යන තරු පංතියේ හෝටල් 3ම TripAdvisor review පිටුවෙහි ඉහළින්ම අවවාදාත්මක පණිවිඩයක් ප්‍රදර්ශනය කිරීම සිදු කර තිබෙනවා. මේ නිසා මින් ඉදිරියට එම හෝටල්වල සංචාරයේ යෙදෙන්නන්ට පසුගිය කාලයේදී එම හෝටල් තුළ සිදුවූ අප්‍රසන්න සිදුවීම් පිළිබඳව මැනවින් දැනුවත් වී තමන්ගේ සංචාරය සිදුකළ හැකියි. මේ මොන දේ සිදුකෙරුවත් TripAdvisor වෙබ් අඩවිය පිළිබඳව මහජනතාව තුළ පැවති විශ්වාසය දැන් බිඳවැටී අවසානයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් ඇති වැඩකුත් නැහැ නේද?

TripAdvisor මඟින් රතු නිවේදන නිකුත් කර ඇති ආකාරය – tripadvisor.com

තොරතුරු යුගයේ ජීවත්වෙන අපි අපගේ බොහෝ කටයුතු සඳහා තොරතුරු ලබාගන්නේ අන්තර්ජාලය හරහායි. ඒ ලබාගන්නා තොරතුරු වඩාත් විශ්වාසනීය මූලාශ්‍රවලින්ම ලබාගන්න අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. සංචාරක තොරතුරු ලබාගත හැකි විශ්වාසනීයම වෙබ් අඩවියක් වශයෙන් නම් දරා තිබෙන TripAdvisor වෙබ් අඩවිය මේ ආකාරයේ සත්‍ය තොරතුරු සඟවා පාඨකයන්ව නොමඟ යැවීම ඉතාම වැරදි ආදර්ශයක් බවයි අපේ අදහස. එමෙන්ම පුරවැසියන්ගේ නිදහස, පුරවැසි අයිතිවාසිකම්, තොරතුරු දැනගැනීමේ නිදහස වැනි දේවල් පිළිබඳව ඉතා ඉහළින් සැළකිළිමත් වන ඇමරිකා එක්සත් ජනපද නීතිය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව බලාසිටීමත් බොහොම සිත්ගන්නා සුළුවේවි. ඒ කෙසේ වෙතත් මේ සිද්ධි හරහා කෙළෙසී ගිය TripAdvisor වෙබ් අඩවියේ කීර්ති නාමය තව බොහෝ කාලයකට ගොඩනගාගන්නට නම් හැකිවෙන එකක් නැහැ.

ආශ්‍රිත ලිපි:

jsonline.com

dailymail.co.uk

businessinsider.com

chicagotribune.com

tripadvisor.mediaroom.com

Cover.jpeg – tripadvisor.com

Related Articles