මාතරට ඉහළ අහසේ පෙනුණේ උල්කාෂ්මයක්ද, මිසයිලයක්ද? අපි දැකපු අහපු දේවල්වලට හේතු මොනවාද?

ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවේ දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට දකින්න ලැබුණු ආලෝකයක් විහිදුවන ආකාශ වස්තුව ගැන දැනටමත් ඔබ විවිධ කතා අසා තියෙනවා වෙන්නට පුළුවන්. මේ ගැන තොරතුරු පළ වුණු මුල්ම අවස්ථාවල වැඩි දෙනෙක් මේක උතුරු කොරියාවේ මිසයිලයක් වෙන්න පුළුවන්ද කියන එක ගැනත් කතා කළා. බොහෝ දෙනෙක් අතර හුවමාරු වෙන වීඩියෝවක කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දන ජයරත්න මහතාගේ හඬ පටයක් අසන්න ලැබෙනවා. එහිදී එතුමා කියා සිටි වැදගත් දෙයක් තමයි මෙය බොහෝ දුරට උල්කාෂ්මයක් වෙන්න පුළුවන් බව.

ඉතින් ඇත්තටම ඊයේ දකින්න ලැබුණේත්, මාතරට ආසන්න ප්‍රදේශයේදී ඉහළ අහසේ පුපුරා ගියේත් උල්කාෂ්මයක්ද? බොහෝ දෙනෙක් විහිලුවට කිව්වා වගේ ඇත්තටම මෙය මිසයිලයක් වෙන්න සුළු හෝ හැකියාවක් තියෙනවාද? අපි මේ අහපු දැකපු දේවල්වලට හේතු මොනවාද? මේ ලිපියෙන් සලකා බැලෙන්නේ ඒ කරුණු ගැනයි.

මිසයිලයක් වෙන්න බැරි හේතු බොහොමයි

ලෝකයේ විශාලතම ICBM එකේ පවා වේගය, ප්‍රමාණය සහ ස්කන්ධය උල්කාෂ්මයක අහලකවත් නැහැ. (ISC Cosmotras)

බොහෝ දෙනෙක් විහිලුවට කියන උතුරු කොරියාවේ මිසයිල කතාව ගැන මුලින්ම සලකා බලමු. වාර්තා පළ වුණු විදිහ බැලුවත් බොහෝ තැන්වල දැක්වුණු විදිහට මාතර අහසේ පුපුරා යන්න කලින් කොළඹ, රත්නපුර ඇතුළු ප්‍රදේශවල ජනතාව මෙය අහසේ ගමන් කරනවා දැක තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිතියමක් අරගෙන කොළඹ, රත්නපුර, මාතර කියන ප්‍රදේශ දිහා බැලුවොත් මෙය ගමන් කරලා තියෙන මාර්ගය බොහොම පහසුවෙන් වටහා ගන්න පුළුවන්. ලෝක ගෝලයක් අරගෙන බැලුවොත් මෙය මිසයිලයක් වුණත් උතුරු කොරියාව පැත්තෙන් ආපු එකක් නොවෙන බව ලේසියෙන්ම වටහා ගන්න පුළුවන්.

freeworldmaps.net

අනික් කාරණාව තමයි මෙය දැක ගන්න ලැබුණු අති විශාල ප්‍රදේශය. මේ තරම් දුරක් විශාල ආලෝකයක් විහිදුවමින් ගමන් කරන්න නම් අදාළ වස්තුව පෘථිවි පෘෂ්ඨයට සාපේක්ෂව ඉතාම ආනතව ගමන් කරන්නත්, ප්‍රමාණයෙන් ඉතා විශාල වෙන්නත් අවශ්‍යයි. ලෝකයේ දැනට නිර්මාණය කරලා තියෙන විශාලතම ICBM වල පවා ආපසු පෘථිවියට පැමිණෙන කොටස ටොන් කිහිපයකට වඩා විශාල නැහැ. ටොන් සිය ගණනක ස්කන්ධයක් නැති වස්තුවකට මේ ප්‍රමාණයේ ආලෝකයක් විහිදුවන්න හැකියාවක් නැහැ.

අනිත් කාරණාව තමයි වේගය. මේ වස්තුව දැකගන්න ලැබුණු විවිධ ප්‍රදේශවල ජනතාවගේ වාර්තා දිහා බැලුවාම සියලුම මිසයිලවලට වඩා වේගය අතින් ඉතාම ඉහළ බව තහවුරු වෙනවා. ලොව වේගවත්ම මිසයිලවල පවා වේගය තත්පරයට කිලෝමීටර් 10කට අඩුයි. නමුත් මෙය ඊට වඩා සෑහෙන වේගයෙන් ගමන් කරලා තියෙනවා.

මීට අමතරව ලෝකය පුරා මිසයිල දියත් කිරීම් කිසිවක් වාර්තා වෙලාත් නැහැ. මේ නිසා මිසයිලයක්  කියන කතාව සම්පූර්ණයෙන්ම අතහරින්න පුළුවන්.

උල්කාෂ්මයක් බව තහවුරු කරන්නත් හේතු ඕන තරම්

ග්‍රොනිගන් ප්‍රදේශයේ 2009 දී දකින්න ලැබුණු විශාල උල්කාෂ්මය. (NASA/Robert Mikaelyn)

චන්දන ජයරත්න මහතා කියපු විදිහටම මෙය මෙය උල්කාෂ්මයක් කියලා තහවුරු කරන්න නම් හේතු ඕන තරම් සොයා ගන්න පුළුවන්. ටොන් සියයකට ආසන්න ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වුණාම දකින්න අපේක්ෂා කළ හැකි සියලුම දේවල් මේ ආකාශ වස්තුව තුළින් දැක ගන්න ලැබුණා.

මුලින්ම උල්කාෂ්මයක් කියන දේත් දැනගෙන ඉමු. සාමාන්‍යයෙන් අපි මේ වගේ දේකට කියන්නේ උල්කාපාතයක් කියලා වුණත් ඇත්තටම උල්කාපාතයක් (Meteorite) වෙන්නේ පෘථිවි පෘෂ්ඨයේ ගැටෙනවා නම් විතරයි. උල්කාෂ්ම (Meteor) කියන්නේ වායුගෝලය තුළදීම දැවී අළු වෙලා යන වස්තුවකටයි. අපි උල්කා වැසිවලදී දකින හැම එළියක්ම ඇත්තටම උල්කාෂ්ම. විශාල උල්කාෂ්මයක් නිසා කුඩා ප්‍රමාණයේ කොටස් උල්කාපාත විදිහට පොළොවට වැටෙන්නත් ඉඩ තියෙනවා.

පුපුරා ගිය උල්කාෂ්ම නිසාත් කුඩා උල්කාපාත කොටස් විසිරෙන්න පුළුවන්. (Pete Glastonbury)

ඊයේ දැක්කේ උල්කාෂ්මයක් වෙන්න හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි මෙහි ගමන් මාර්ගය. බොහෝ දුරක් අහස හරහා ගමන් කරපු නිසාම මෙය පෘථිවියට අඩු ආනතියක් ඇතිව ගමන් කළ බව තහවුරු වෙනවා. ඒ වගේ අවස්ථාවක උල්කාෂ්මයකින් බලාපොරොත්තු වන පිපිරී යාමත් අවසානයේදී සිදු වුණා. අනික තමයි මේ කාලයේ පෘථිවිය අභ්‍යාවකාශ කොටස් වැඩිපුර පවතින ධූමකේතුවක කක්ෂයක් හරහා ගමන් කරන්න ආසන්න එක. ඒ නිසාම මේ අභ්‍යාවකාශ වස්තූන් උල්කාෂ්ම විදිහට වැටෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මීට අමතරව ඊයේ පෙනුණු වස්තුවේ වේගය, දර්ශනය වූ ආකාරය, මීට පෙර දුටු උල්කාෂ්ම හැසිරී තිබෙන ආකාරය දිහා බැලුවාම එය උල්කාෂ්මයක්මයි කියලා විශ්වාසයෙන් මත පළ කරන්න පුළුවන්.

ඊයේ දැකපු දේවල්වලට හේතුව

ඉතින් මේ වගේ උල්කාෂ්මයක් නිසා ඊයේ අහපු දැකපු කාරණා සිදු වුණු හැටි ගැන යම් විද්‍යාත්මක පැහැදිලි කිරීමකුත් සලකලා බලමු.

උල්කාෂ්මවල වේගයට ප්‍රධාන හේතුව පෘථිවියේම අධික වේගයයි (Henry Norman)

පෘථිවිය අපේ සූර්යයාට සාපේක්ෂව තත්පරයකට කිලෝමීටර් 30ක විතර වේගයකින් අභ්‍යාවකාශය හරහා ගමන් ගනිමින් සිටිනවා. සූර්යයා ඇතුළු අපේ ක්ෂීරපථය ඊටත් වඩා වේගයෙන් ගමන් ගන්නවා. මේ නිසා අභ්‍යාවකාශයේ නිකන් තියෙන ගල් කැටයකට වුණත් ඉතා විශාල වේගයක් ලැබිලා පෘථිවියට කඩා වැටෙන්න පුළුවන්. අනික් දේ තමයි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය. පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටර් 400,000 ක් දුරින් ඇති හඳ පවා ඇද බැඳ තියාගන්න තරම් ශක්තිමත් ගුරුත්වයක් පෘථිවිය සතුයි. මේ නිසා ඉතා වේගයෙන් අභ්‍යාවකාශ වස්තූන් පොළොවට ඇදී එනවා.

Robert Lunsford

පෘථිවියේ වේගය, ගුරුත්වයට අමතරව අදාළ අභ්‍යාවකාශ වස්තූන්ගේ පවතින වේගයත් එකතු වෙලා සාමාන්‍යයෙන් තත්පරයට කිලෝමීටර් 11 – 72 අතර වේගයකින් මේවා පොළොවට කඩා වැටෙනවා. ඒ වේගය නිසා හට ගන්නා අධික ඝර්ෂණය නිසා විශාල උෂ්ණත්වයක් හට ගෙන මතුපිට පෘෂ්ඨය වාෂ්ප වෙවී ගිනි ගන්නවා. අධික ආලෝකයක් ඇති වෙන්නේ ඒ වාෂ්ප ගිනි ගැනීම නිසායි. අති බහුතරයක් වස්තූන් ප්‍රමාණයෙන් කුඩා නිසා වායුගෝලයේ ගැටුණු සැරින් ගිනි ගෙන වාෂ්ප වෙලා යනවා. නමුත් ප්‍රමාණයෙන් විශාල වස්තූන්වලට වායුගෝලය හරහාත් සැලකිය යුතු දුරක් එන්න පුළුවන්.

ඊයේ දැක ගන්න ලැබුණු අධික ආලෝකය ඇති වුණේ ඒ නිසායි.

පොළොවේ නොගැටී පුපුරා ගියේ ඇයි?

බොහෝ උල්කාෂ්ම වැටෙන්නේ විශාල ආනතියක් සහිතවයි (someonesbone.com)

කලින් කියපු හේතූන් නිසා මේ උල්කාෂ්මවල වේගය වගේම පෘථිවි පෘෂ්ඨයට තියෙන ආනතියත් තීරණය වෙනවා. අපිට එකපාර හිතෙන්නේ උඩ ඉඳන් කෙළින්ම පහළට (පෘෂ්ඨයට ලම්භකව) කඩා වැටෙනවා කියලා වුණත් එහෙම වෙන්නේ නැතිම තරම්. බොහෝ විට අංශක 45° ක වගේ කෝණයක් පවතින විදිහට තමයි උල්කාෂ්ම පැමිණෙන්නේ.

ඊයේ සිදු වුණා වගේ පෘථිවියේ නොගැටී ඉහළ අහසේ පුපුරා යන්නත් ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ආනත ගමන් මාර්ගය. ඉහළ අහසේ ඉඳලා පහළට එන්න එන්න වායුගෝලයේ ඝනත්වය වැඩි වෙන හින්දා උල්කාෂ්මයේ ඉදිරිපස අධික ප්‍රතිරෝධී බලයක් හට ගන්නවා. උල්කාෂ්මයේ වේගයත් එක්ක මේ ඇති වෙන බලය මොන තරම්ද කියනවා නම් උල්කාෂ්මයේ හැඩය පවා වෙනස් වෙලා පැතලි තැටියක හැඩයක් ගන්න බලනවා. හැබැයි එහෙම වෙනවාත් එක්කම ඉදිරිපස කොටසේ වර්ගඵලය වැඩි වෙනවා. එතකොට ඇති වෙන පීඩනය වැඩි නිසා තව තවත් යෙදෙන බලය වැඩි වෙනවා. මේ නිසා අන්තිමට සිද්ධ වෙන්නේ උල්කාෂ්මය කුඩා කෑලි ගණනාවකට කැඩී යන එකයි. වාතය හරහා වැටෙන ජල බින්දුවක් විසිරෙන අයුරු බැලුවාම මෙය වඩා හොඳින් වටහා ගන්න පුළුවන්.

වාතයේ ප්‍රතිරෝධය නිසා ජල බින්දුවක් හැඩය වෙනස් වී තැලී විසිරී යාම ඒ ආකාරයෙන්ම උල්කාෂ්මයකත් සිදු වෙන්න පුළුවන්. (BBC/Wild Weather)

විශාල පිපිරීමක් සිද්ධ වෙන්නේ ඊළඟට සිදු වෙන දේ නිසා. මේ වන තෙක් ඉතා වේගයෙන් ආව උල්කාෂ්මය කුඩා කොටස්වලට වෙන් වීමත් එක්ක ඒවායේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන නිසා උණුසුම ඉහළ යන වේගයත් එකවර වැඩි වෙනවා. ඒත් එක්කම උල්කාෂ්මය ඉතා ඉක්මණින් වාෂ්ප බවට පත් වෙලා ගිනි ගන්නවා. විශාල ගුලියක් විදිහට තියෙන උල්කාෂ්මය මේ ක්ෂණික ගිනි ගැනීමට ලක් වෙන නිසා තමයි විශාල පිපිරුමක් ඇති වෙන්නේ. මෙවැන්නක් සාමාන්‍යයෙන් උල්කාෂ්මයක් නොව ගිනිබෝලයක් (fireball) ලෙසත්, ඉතා විශාල ප්‍රමාණයේ පිපිරුමක් බෝලයිඩයක් (Bolide) ලෙසත් හැඳින්වෙනවා.

අවට තියෙන වාතය මේ  හට ගන්න විශාල තාප ප්‍රමාණය නිසා එකවර ප්‍රසාරණය වෙලා පීඩන තරංගයක් ඇති කරනවා. අධික ශබ්දයක් ඇති වෙන්නේ ඒ නිසායි.

ඉතින් දැන් ඔබට ඊයේ සිදු වුණු කාරණා ගැන තරමක් හෝ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපේක්ෂා කරනවා.

බේරෙන්න ක්‍රමයක් නැහැ

රුසියාවේ චෙල්‍යාබින්ස්ක් ප්‍රදේශයේ සිදු වුණු මෑත ඉතිහාසයේ විශාලතම උල්කාෂ්ම පිපිරුම (Aleksandr Ivanov)

මේ වගේ සිදු වීම් ඇත්තෙන්ම නිරන්තරයෙන් සිදු වෙන දේවල්. අපේ වාසනාවට ගොඩබිම් ආසන්නයේ හෝ ජනාකීර්ණ ප්‍රදේශවල ඒවා සිදු වෙන්න තියෙන අවදානම තරමක් අඩුයි. නමුත් උල්කාපාතයක් ගැටීම ඕනෑම අවස්ථාවක සිදු වෙන්න පුළුවන්. මෙය මීට වඩා අඩු උසකදී සිදු වුණා නම් මෙයින් 2013 දී රුසියාවේ වගේ අනතුරක් පවා සිදු වෙන්න තිබුණු බව අමතක කරන්න හොඳ නැහැ.

උල්කාපාතවලින් බේරෙන්න දැනට අපිට කිසිම හැකියාවක් නැති නිසා ඒ වගේ අවාසනාවන්ත දේවල් සිදු නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි අපිට පුළුවන් කම තියෙන්නේ.

කවරයේ රූපය : pbs.org

Related Articles