Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණය ගැන උනන්දු හැම කෙනෙක්ම බැලිය යුතු TV Series

තාක්ෂණය ගැන කතා කරද්දී ඒ සඳහා මග පාදා දෙන විද්‍යා ප්‍රබන්ධ අඩංගු සාහිත්‍ය නිර්මාණ පිලිබඳව කතා නොකර බැහැ. ලොව දැනට බිහිවී තිබෙන බොහෝ තාක්ෂණික උපාංග වලට ඊට පෙර බිහි වුණ සාහිත්‍ය කෘති ඉවහල් වූ අතර, උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ද පුරවැසියකු ආතර් සී. ක්ලාක් මහතාගේ රචනා වල අඩංගු දේවල් මෙන්ම Star Wars වැනි චිත්‍රපට වල අඩංගු දේවල්වල සැලසුම් ද නූතන තාක්ෂණයේ උන්නතිය සඳහා භාවිතා කර තිබෙනවා.

RoboCop චිත්‍රපටයේ තිබූ වයිසරය Google Glass ලෙසින්, Terminator චිත්‍රපටයේ තිබූ රොබෝ අත්, ආතර් සී. ක්ලාක් මහතාගේ රචනයක් මත පදනම්ව තැනූ A Space Odyssey චිත්‍රපටයේ තිබූ ටැබ් පරිගණක, නයිට් රයිඩර් වගේ රියදුරු රහිත වාහන නිපදවන සමාගම් මේ වනවිටත් සාමාන්‍යකරණය වී අවසානයි. ඒ නිසා වර්තමානයේ තිබෙන විද්‍යා ප්‍රබන්ධ හරහා අනාගතයේ ඇතිවිය හැකි තාක්ෂණය පිළිබඳව අපට පුරෝකථනයන් ලබාගන්නට හැකියාව ලැබෙනවා.

Mr. Robot

cupofmoe.com

දහවල් කාලයේ සයිබර් ආරක්ෂණ ඉංජිනේරුවරයෙක් ලෙසත් රාත්‍රියේ දී හොඳ ආකාරයේ හැකර්වරයෙක් ලෙස කටයුතු කරන එලියට් ඇන්ඩර්සන් නමැත්තා වටා මේ කතාව ගෙතී තිබෙනවා. මූල්‍ය වංචාවන් සිදුකරන ඇමෙරිකාවේ විශාල සමාගමට එරෙහිව තම දැනුම සහ හැකියාව මෙහෙයවන හැකර්වරු කණ්ඩායමක් විසින් පරිගණක, ජංගම උපාංග සහ නවතම ආකාරයේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් ක්‍රියාත්මක වන ආකාරය මෙහි දැක්වෙනවා. මෙය හරහා තොරතුරු තාක්ෂණය විනයානුකූලව, සදාචාරාත්මකව යොදා ගන්නා ආකාරය සමාජගත කරන අතරතුරේ මත්ද්‍රව්‍ය හරහා ජීවිත විනාශ වී යන ආකාරයද සියුම්ව පෙන්වා දෙනවා.

මෙහි රූගත කිරීම් වඩාත් සත්‍ය ආකාරයෙන් ලබා ගැනීම සඳහා ‍සැබෑ ජීවිතයේ පරිගණක හැකර් වරුන්ගේ එදිනෙදා ජීවන රටාව අධ්‍යයනය කර ඇති අතර ඒ සඳහා වෙනම කණ්ඩායමක් කැඳවා ගනිමින් මෙහි සිටින නළුවන් පුහුණු කිරීම ද සිදු කර තිබෙනවා. පයිතන්, IRC චැට්, රැස්බරි පායි වැනි පරිගණක ක්‍රමලේඛ භාෂා සහ උපාංග භාවිත කරන ආකාරය මෙහි දැක්වෙන නිසා නරඹන්නකුට ඒවා පිළිබඳව උනන්දුවක් ඇති වීමද නිතැතින් ම සිදු වෙනවා.

Sillicon Valley

medium.com

අලුතෙන් තමන්ගේම කියල පරිගණක ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට මේ කතා මාලාව බොහොම වැදගත් වේවි.  ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ඇතිවිය හැකි විවිධ ගැටළු: සේවකයන් ඉවත් වී යාම, තමා කරන නිෂ්පාදන අසාර්ථක වීම, ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියා නිසා තමාගේ කටයුතුවලට බාධා වන ආකාරය, අනුග්‍රාහක භවතුන්ගේ පදයට නටන්න වීමට සිදුවීම වැනි බොහෝ දේවල් මෙහි අන්තර්ගත කර තිබෙනවා. මෙහි සිටින පරිගණක ක්‍රමලේඛකයන් කණ්ඩායම හැක් කිරීම හරහා පොරවල් වුණු අය නොවෙයි; ඔවුන් සතුව ඕනෑම ගොනුවක් ඉතා කුඩා පරිමාණ කොට උඩුගත කිරීමේ සහ බෙදාහදා ගැනීමේ ඇල්ගොරිතමයක් සහිත Pied Piper නමැති මෘදුකාංගයක් තිබෙනවා. ගරාජයක අරඹන මේ සමාගම එය හරහා අති ප්‍රසිද්ධියට ලක් වෙමින් අනිකුත් විශාල ආයතන පවා අභිබවා යන ආකාරය මෙහි දක්වා තිබෙනවා.

කතාව සමබර කිරීම සඳහා විවිධ ආකාරයේ සංකීර්ණ චරිත වල සිට ඉතාම සරල චරිත දක්වා මෙහි භාවිතා කරමින් ඕනෑම කෙනෙකුට කම්මැලි නැතිව බැලිය හැකි ආකාරයට  සැලසුම් කර තිබෙනවා. කතාව අතරතුර දී එවැනි සත්‍ය සමාගම් පිළිබඳව ද සඳහන් කරමින් ඔහු ඒවායෙන් ආදර්ශ ලබා ගන්නා ආකාරයද පෙන්වා දෙන්නේ ඔබටත් වන් සමාගම් වල අත්දැකීම් භාවිතා කරමින් තමන්ගේ ව්‍යාපාරය ගොඩනඟා ගන්න පුළුවන් බව හඟවමිනුයි.

Rick and Morty

imgur.com

ත්‍රාසජනක, බිහිසුණු අත්දැකීම් මෙන්ම විද්‍යාවේ තවමත් සිහිනයක් ව තිබෙන ක්‍රමවේදයන් ක්‍රියාවේ යෙදවෙන මේ කතාව තාක්ෂණයට පමණක් නොව කාටුන් වලටද ඇල්මක් දක්වන අයට වඩාත් හොඳ තේරීමක් බවට පත් වෙනවා නොඅනුමානයි. එක් තැනකින් ගිය විට වෙනත් ග්‍රහලොවක තැනකින් මතුවිය හැකි ද්වාර (portal) මැවිය හැකි තුවක්කුවක් සහිත රික් නමැති සීයා සහ ඔහුගේ ක්‍රියාදාම වැඩට සහය දෙන මෝර්ටි නම් මුණුබුරා වටා මේ කතාව ගෙතී තිබෙනවා. මෙම කතා මාලාව හරහා තථ්‍යතාවයන් (Realities) පිළිබඳව නව මානයන් සමාජගත කරන්නට උත්සාහ කරන නිසා ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් ගැන සිතන ආකාරය පවා වෙනස් කරන්නට එයට හැකිවේවි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් ඉතා විශාල වයස් පරතරයක් ඇති මෙම ප්‍රධාන චරිත දෙක සඳහාම හඬකැවීම සිදුකරනු ලබන්නේ එක් පුද්ගලයකු විසින් පමණක් වීමයි.

Scorpion

fanart.tv

වෝල්ටර් ඕ’ බ්‍රයන් කියන්නේ අයින්ස්ටයින්ටත් වඩා වැඩි 197ක IQ මට්ටමක් තියෙන කෙනෙක්. කුඩා කාලයේදීම රාජ්‍ය තොරතුරු හැක් කරන මොහු පොලීසියටත් අහු වෙනවා. ඉන්පසු කථාව දිවෙන්නේ ඔහු වැඩිවිය පැමිණ, තම දැනුම යහපත වෙනුවෙන් යොදවන ආකාරයේ මානසිකත්වයක් ගොඩනැගුණු වටපිටාවකයි. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ඇමෙරිකාවේ ආරක්ෂක අංශයේ සිටින මොවුන්ගේ මිතුරෙක් වන කේබ් ගැලෝ හරහා ජාතික සහ ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දැනුම මෙහෙය වන ආකාරයේ කතා මාලාවක් මෙහි අන්තර්ගත වෙනවා.

ඔවුන් සියල්ලෝම කෙතරම් බුද්ධිමත් ද යත් ඇතැම් අවස්ථාවලදී ඔවුනොවුන්ගේ අදහස් නොරුස්සන අවස්ථාවන් පවා බොහොමයක් දකින්නට ලැබෙනවා. මෙහි පළමු දිගහැරුම අතරතුරදී ම ඔවුන්ටත් වඩා ඉතා ලාබාල, කතාව අඩු, ඉහළ දැනුම් මට්ටමක් ඇති දරුවකු එක් වන අතර ඔහු ද වෝල්ටර් කුඩා කාලයේ ම මෙන් හැසිරෙන බව කියනවා. මෙහි හුදෙක් ත්‍රාසය දැනවීම මුල් කරගෙන ඇති නිසා කී බෝඩ් එක මත ඇඟිලි වේගයෙන් දුවවමින් කරන කේත ලිවීම්, මහා ගොඩක් ටයිප් කර එන්ටර් යතුරට උඩ පැන පයින් ගැසූ වහා හැක්වීම සිදුවීම වැනි දේවල් අඩංගු නිසා සමහර විට තාත්වික බව අඩු ගතියක් දැනෙන්නටත් පුළුවන්. හැබැයි දවසට එක කතාව බැගින් යන නිසා කම්මැලි කමක් දැනෙන එකක් නැහැ.

The IT Crowd

pop-verse.com

Mr. Robot හෝ ස්කෝපියන් තරම් හැකර් කරුවන් නොමැති වුවත්, තොරතුරු තාක්ෂණයේ එල්බ ගත් නර්ඩ්ස්ලාගේ අමුතු හැසිරීම් උපහාසයට ලක් කරමින් තනා ඇති මෙය තාක්ෂණික අංශයක සේවය කරන කෙනෙක්ට නම් තමන්ගේ කාර්යාලීය වටපිටාව සිහිපත් කරවන්නට තරම් සමත් වෙනවා. මෙය තිරගතවූ කාලය ටිකක් පරණ වුණත් ඉහළ ප්‍රතිචාර මැද 2006 සිට 2013 තෙක් වසර 8ක් දක්වා සාර්ථකව දිව ගිය ටෙලිකතා මාලාවක්. කාර්යාලය තුළ තමන්ගේ ඉදිරිපිටම මහත් ගින්නක් ඇතිවී තිබියදී ඒ ගැන ක්‍රියා නොකර රාජකාරී ලිපියකින් අදාල අංශවලට දැනුම් දෙන හැටි, චිත්‍රපටවල තිබෙන බොරු හැක් කිරීම් හාස්‍යයට ලක් කිරීම, ස්ත්‍රීන් පිළිබඳ දැඩි ඇල්මක් නොමැති බව වගේ නර්ඩ්ස්ලා සම්බන්ධ දේවල් මෙහි අන්තර්ගත වෙනවා. තාක්ෂණය ගැන ඇල්මක් දක්වනවා වගේ ම, ඒ තාක්ෂණය ලොවට ගොඩ නගා දෙන අයගේ පෞද්ගලික ජීවිත ගැන අදහසක් ගන්නට මින් සුවිසල් පිටිවහලක් ඔබට ලැබේවි.

The Big Bang Theory

alphacoders.com

එකම අපාට්මන්ට් එකක ඉන්න භෞතික විද්‍යාඥයන් දෙදෙනෙක්, අභ්‍යාවකාශ විද්‍යාව හැදෑරු ඉන්දීය විද්‍යාඥයෙක්, PhD එක නැතැයි නිතර අනෙක් අයගේ අවලාද වලට ලක්වන ඉංජිනේරුවරයෙක්, සහ විද්‍යාව ගැන අබ ඇටයක් නොදන්නා ප්‍රේමවන්තියක් ප්‍රධාන කොටගෙන මේ කථා මාලාව ගොඩ නැගෙනවා.

මෙය හරහා ද තාක්ෂණවේදීන්ගේ ඉහළ දැනුම නිසා සාමාන්‍ය ජන ජීවිතය හා ඇතිවන නොගැලපීම් වගේ ම ඔවුන් තුළ ඇති අමුතු ආශාවන්: නිවසින් බැහැර නොවී ගෙදර තුළම වීඩියෝ ගේම් සෙල්ලම් කිරීම, ප්‍රේමය වැනි අනවශ්‍ය දේට සිත යොමන්නේ නැතිව විද්‍යාව පිළිබඳව උනන්දු වීම, මහ රෑ පවා නැගිට ගණන් හැදීම වගේ දේවල් මෙහි අඩංගු කර තිබෙනවා. හාස්‍යෝත්පාදක ගණයෙහිලා සැලකුණත් මෙහි විශ්වයේ නිර්මාණය, භෞතික විද්‍යා මූලධර්ම, ජීව විද්‍යාත්මක සාධක පිළිබඳව නිතර සංවාදයට ගැනෙන අතර මෙම ටෙලිකතා මාලාවේ හොඳ රසිකයකු බවට පත්වූ ස්ටීවන් හෝකින් පවා පසුකාලීන කථාංගවලට ඇතුලත් කරගනු ලබනවා.

ඉතින් මේ වගේ ඔබ නරඹා තිබෙන විද්‍යා ප්‍රබන්ධ ගැන හැමෝටම දැනගන්න කමෙන්ට් එකකින් එකතු වෙන්න. මේ ලැයිස්තුවේ තිබෙන ඒවායෙන් කීයක් ඔබ නරඹා තිබෙනවාද?

කවරයේ ඡායාරූපය: needleinthehay.net

Related Articles