Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමුතුම අභ්‍යාවකාශ වස්තුවක් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටෙන බව කියලා හරියටම අවුරුදු දෙකයි

උල්කාපාතයක් කඩාගෙන වැටිලා ලෝකයේම ජීවය නැති වෙලා යනවා කියන කතාව විද්‍යාඥයන්ට, වාර්තා වැඩසටහන් හදන අයට සහ හොලිවුඩයට නම් හරිම රසබර මාතෘකාවක්. හැබැයි ඇත්තටම එවැනි දෙයක් වෙන්න තියෙන හැකියාව ඉතාම අල්පයි. කොහොම නමුත් ලෝකය පුරාම විටින් විට ප්‍රවෘත්ති වාර්තා මවන තරමේ උල්කාපාත ගැන නම් අහන්න ලැබෙනවා. මෑත කාලීනව ශ්‍රී ලංකාවත් මේ වගේ දේවල්වලට ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පටන් අරන්.

මෑත ඉතිහාසයේ මුල්ම වරට එහෙම දෙයක් ශ්‍රී ලංකාව අවටින් අහන්න ලැබුණේ අදට හරියටම අවුරුදු 2 කට කලින්, ඒ කිව්වේ 2015 අවුරුද්දේ නොවැම්බර් 13 වැනිදා. අභ්‍යාවකාශයේ ඉඳලා ආපු හඳුනා නොගත් වස්තුවක් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට තරමක් ඈතින් මුහුදට වැටෙන බවට NASA ආයතනය පවා පුරෝකථනය කළා. ධීවරයන්ට රැකියාවට යන එක පවා තහනම් කරලා හැමෝම මේක බලන්න එකතු වුණත් කණගාටුවට වගේ එය දකින්න ලැබුණේ නම් නැහැ.

මේ ප්‍රවෘත්තිය අහලා අවුරුදු දෙකක් ගියාද කියලත් වෙලාවකට හිතෙනවා ඇති. කොහොම නමුත් මෑත කාලයේ තවත් උල්කාෂ්මයක් පුපුරා ගිය කතාවකුත් අහන්න ලැබුණා.

මෑතකදී දකින්න ලැබුණු උල්කාෂ්මය (dailynews.lk)

ඒවා කොහොම වෙතත් ශ්‍රී ලංකාව ලෝකයේම අවධානයට ලක් කරපු මේ සිද්ධිය ගැන ටිකක් මතක් කරගන්න ගමන් ලංකාව වගේ කුඩා රටකට නිතර මේවා අත්දකින්න වෙන යම් හේතුවක් තියෙනවාද, මේක අහම්බෙන් සිද්ධ වුණු දෙයක්ද කියන එක ගැන පොඩි විපරමක් කරන්නත් එක්ක තමයි ලිපිය සැකසෙන්නේ.

අපිම උඩ යවපු දේක කොටසක්?

2015 දී ශ්‍රී ලංකාවට කඩාගෙන වැටෙන්න නියමිතව තිබුණු වස්තුව ඇත්තටම මීට අවුරුදු 50 කට විතර කලින් යවපු රොකට්ටුවක හරි, 1998 දී සඳ මත මෙහෙයුමකට යවපු යානයක හෝ වෙනත් යමක කොටසක් හරි බවට බොහෝ දෙනෙක් මුලදීම මත පළ කරලා තිබුණා. මේකට බොහෝ දුරට හේතු වුණේ ඒ ප්‍රමාණයේ වස්තුවක් ඈත විශ්වයේ ඉඳලා ආවා නම් මීට වඩා කලින් දර්ශනය වෙන්න ඉඩ තිබුණු එකයි. නමුත් මෙය ඇත්තටම හඳුනා ගන්නකොටත් පෘථිවිය වටා කක්ෂ ගත වෙලයි තිබුණේ.

පෘථිවිය වටේ අපිම අභ්‍යාවකාශයට යවපු දේවල් කසල විදිහට ගොඩ ගැහිලා. (Nasa.gov)

පෘථිවියේ ගුරුත්වයට හසු වෙලා ඒ වටේ පරිභ්‍රමණය වීමට තමයි කක්ෂගත වෙනවා කියන්නේ. මිනිසා අභ්‍යාවකාශයට යවන චන්ද්‍රිකා ඇතුළු දේවල් නිවැරදි ගණනයන් සිදු කරලා හරියටම සිදු කරන නිසා කක්ෂගතව පැවතුණත් ඈත ඉඳලා වේගයෙන් එන අභ්‍යාවකාශ වස්තූන් කක්ෂගත වෙන්න තියෙන ඉඩ ටිකක් විරලයි. තාවකාලිකව කක්ෂගත වුණත් ඒවා බොහොම ඉක්මණින් පොළොවට කඩා වැටෙනවා. අනිත් කාරණාව තමයි මෙහි හැසිරීම අනුව මෙය විශාල කුහරයක් සහිත බවක් ඒත්තු ගිය එක. ස්වභාවික වස්තුවක ඒ වගේ කුහරයක් තියෙන්න ඉඩ හරිම අඩුයි.

ඒ අනුව තමයි බොහෝ දෙනා මෙය අපිම යවපු දේක කොටසක් කියලා හඳුන්වන්න ගත්තේ. අවසානයේදී තහවුරු වුණේ මේක 1998 දී හඳට යානයක් යවපු Prospector වැඩසටහනේ රොකට් අදියරක ඉවත් කරපු කොටසක් කියලයි.

හරියටම මග හෙළි කරගත් මුල්ම අභ්‍යවකාශ වස්තුව

හොලිවුඩ් චිත්‍රපටවලයි, සමහර වාර්තා වැඩසටහන්වලයි නම් ඈත ඉඳලාම එන උල්කාපාත හඳුනාගෙන ඒවායින් බේරෙන්න පවා සැලසුම් කරන හැටි පෙන්වුවත් ඇත්තටම කතාව මේ වන තුරු පෘථිවියට කඩා වැටෙන උල්කාපාතයක හරි වෙනත් අභ්‍යාවකාශ වස්තුවක හරි ගමන් මග නිශ්චය කරගෙන තිබුණේ නැහැ. නිල වශයෙන් WT1190F කියලා හැඳින්වුණු මෙය තමයි පෘථිවියේ කොතැනට, කවදා කඩාගෙන වැටෙනවාද කියලා හරියටම හඳුනා ගත්තු මුල්ම වස්තුව. ඒ අනුව මෙය නොවැම්බර් 13 වන දා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වෙරළට කිලෝමීටර් 100 ක් පමණ ඈතින් මුහුදට කඩා වැටෙන බවට වාර්තා පළ වුණා.

කඩා වැටීමට නියමිතව තිබූ ප්‍රදේශය. (dailymail.co.uk)

ලෝකය පුරාම අභ්‍යාවකාශ විද්‍යාඥයින් මේ දිහා බලාගෙනයි හිටියේ. මේක ගැන දැන ගත්තු ශ්‍රී ලංකා රජය සහ කාලගුණ දෙපාර්තමේන්තුවත් එදා දිනයේ දකුණේ ධීවරයන්ට මුහුදට යන්න එපා කියලා අනතුරු ඇඟවීමක් නිකුත් කළා. සමහරු මෙය දැක ගන්නම ශ්‍රී ලංකාවට ආ බවත් කියවෙනවා. කොහොම නමුත් වළාකුළු නිසා හැම දෙනාගේම බලාපොරොත්තු සුන් කරමින් එවැන්නක් සිදු වූ බවට නිශ්චිත තොරතුරක් ලැබුණේ නැහැ. විද්‍යාඥයින් පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයකට නම් මෙය ගිනි බෝලයක් අැති කරමින් පුපුරා යනවා දකින්න ලැබිලා.

“මේ මොන මගුලක්ද​?”

නිල නාමය WT1190F වුණත් ඒ නමේ තියෙන WTF කියන අකුරු තුනෙන් තමයි හැමෝම වගේ මේක හැඳින්වුවේ. කට්ටියම සූදානම් වෙලා බලාගෙන හිටියත් අන්තිමට දැක ගන්න බැරි වුණු නිසාත් මේ අකුරු ටිකට සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වචනවලට හොඳ අරුතක් ලැබුණා. ඉංග්‍රීසියෙන් “What the F….” කියලා හඳුන්වපු මේකට සිංහලෙන් කියනවා නම් කියන්න තියෙන්නේ “මේ මොන මගුලක්ද​?” කියලා තමයි.

අවාසනාවකට වගේ එදා අහස වලාකුළුවලින් බර වෙලයි තිබුණේ. බිම ඉඳලා බලාගෙන හිටපු කිසිම කෙනෙක්ට මෙය දකින්න ලැබිලා නැහැ. මීට ටික දවසකට කලිනුත් දකුණු පළාතටම තවත් උල්කාෂ්මයක් ආපු බව සහ එය ඉහළ අහසේ පුපුරා ගිය හඬ ඇසුණු බව කියවුණා. නමුත් මීට අවුරුදු 2 කට ඉහත සිදු වුණු සිදුවීමේදී නම් එවැන්නක් ඇහුණු බවට විශ්වාසවන්ත සාක්ෂි ලැබුණේ නැහැ.

පෘථිවියේ ගැටෙන දේක ස්කන්ධය තමයි විනාශයට වඩාත්ම හේතු වෙන්නේ. (independent.co.uk)

මේකට එක ප්‍රධාන හේතුවක් තමයි ප්‍රමාණය. 2015 දී කඩා වැටුණු කොටස ඇත්තටම මීටරයක් දෙකක් තරමේ ප්‍රමාණයක එකක්. රොකට් මගින් ගෙන ගිය කොටසක් නම් එයට විශාල ස්කන්ධයක් තියෙන්නත් ලොකු ඉඩක් නැහැ. නමුත් මෑතකදී පුපුරා ගිය උල්කාෂ්මය ටොන් සියයක් විතර බර, සාපේක්ෂව ඉතා විශාල එකක්. මේ නිසා කීයටවත් ළඟදී ඇසුණා වගේ විශාල ශබ්දයක් ඇහෙන්න එදා ඉඩක් තිබුණේ නැහැ. කොහොම වුණත් මෙය ඇත්තටම මුහුදට කඩා වැටුණා නම් විද්‍යාඥයන්ට බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණා. විශාල වියදමක් දරලා එයට ඔවුන් සූදානම් වුණේත් ඒ නිසයි. නමුත් අන්තිමට එයින් වැඩි ප්‍රයෝජනයක් නැති වුණා.

කවුරුත් නොහිතපු විදිහට අන්තිමේ මේකට විහිලුවට වගේ යොදා ගත්තු නම සාධාරණ එකක් බවට පත් වුණේ ඒ විදිහටයි.

එන්න එන්නම ශ්‍රී ලංකාවේ මේවා අහන්න ලැබෙන විශේෂ හේතුවක් තියෙනවාද?

කලිනුත් කිව්වා වගේ ළඟ ළඟ මේ වගේ ප්‍රවෘත්ති කිහිපයක්ම රටේ දකුණු ප්‍රදේශයේ අහන්න ලැබුණ එක ස්වභාවික දෙයක්ද, එහෙමත් නැත්නම් ඒ පිටුපස විශේෂ හේතුවක් තියෙනවාද කියන එක ගැනත් කතාබහක් ඇති වුණා. සමහරු කියන්නේ ළඟදී නැගිටින්න ඉන්න රාවණා නිසා මේවා දකින්න ලැබෙනවා කියලා. තවත් අය කියනවා මේක රටට වෙන්න තියෙන විනාශයක පෙර නිමිත්තක්ලු. ඒවා කෙසේ වෙතත් ඒ ගැන පොඩි විද්‍යාත්මක විපරමකුත් කරලා බලමු.

පෘථිවියත් එක්ක බැලුවාම ලංකාව කුඩා තිතක් වගෙයි. (nouahsark.com)

ශ්‍රී ලංකාවේ වර්ගඵලය ගත්තොත් බොහෝ දෙනෙක් දන්නා විදිහට එය වර්ග කිලෝමීටර් 65,610ක්. නමුත් අපි වෙසෙන පෘථිවියේ සම්පූර්ණ වර්ගඵලය වර්ග කිලෝමීටර් මිලියන 510 ක්, එහෙමත් නැතිනම් ශ්‍රී ලංකාව වගේ 7800 ගුණයක් විතර වෙනවා. ඒකෙන් කියන්නේ පෘථිවියට වැටෙන අභ්‍යාවකාශ වස්තුවක් ලංකාවට වැටෙන්න තියෙන සම්භාවිතාව 0.013% වගේ අගයක් කියන එකයි. ඊට අමතරව අගක් මුලක් නොදන්නා විශ්වය හරහා ඉතා වේගයෙන් ගමන් කරන, සාපේක්ෂව හිතා ගන්නත් බැරි තරම් පුංචි පෘථිවියට වුණත් උල්කාවක් ගැටෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි. මේ නිසා ඇත්තටම බැලුවොත් නම් ළඟ ළඟ කිහිප වරක් මේ වගේ දේවල් ශ්‍රී ලංකාවේදීම සිදු වෙන එකේ පොඩි අමුතු බවකුත් තියෙනවා.

බොහෝ දුරට කිසිම විශේෂත්වයක් නැතිව ස්වභාවිකවම එවැන්නක් සිදු වෙනවා වෙන්නත් හොඳටම ඉඩ තියෙනවා. සමහරවිට අප නොදන්නා භෞතික විද්‍යාත්මක බලපෑමක් නිසා එහෙම වෙනවාද දන්නෙත් නැහැ. මේ සිද්ධියට වසර දෙකක් වුණු අද දිනයේ ඒ ගැන ඔබත් ටිකක් සිතා බලන්න.

මේ ලිපිය වැදගත් විය හැකි අය වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා.

කවරයේ රූපය : WT1190F හි ගිනි බෝලය (nasa.gov)

මූලාශ්‍ර:

  1. nasa.gov
  2. pbs.org
  3. forbes.com
  4. astronomycenter.net
  5. space.com
  6. dailymirror.lk

Related Articles