Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙබ් Hosting එකක් මිලදී ගැනීමට පෙර සොයා බැලිය යුතු දේවල්

වෙබ් අඩවියක් පවත්වාගෙන යාම සඳහා අපිට ප්‍රධාන දේවල් දෙකක් අවශ්‍ය වෙනවා. එකක් ඩොමේන් එක හෙවත් වසම් නාමය, අනෙක hosting හෙවත් අපෙන් ගොනු ගබඩා කොට තැබීම සඳහා ඉඩකඩ ‍යි. වෙබ් අඩවියක් බ්‍රවුසරය මත දර්ශනය වීමේදී ඉතා සරලව සිදුවන්නේ කෙනෙක් ඔබේ ඩොමේන් නාමය බ්‍රවුසරය මත ටයිප් කළ විට එයට අදාළ server එකේ IP ලිපිනය DNS හරහා සොයාගෙන එම ඩොමේන් නාමයට අදාල ගොනු දර්ශනය කරවීමයි. මෙන්න මේ ගොනු ගබඩා කිරීමට අදාළ hosting එකක් සොයා ගැනීමේදී කල්පනාකාරී විය යුතු කාරණාවක් රැසක් තිබෙනවා. නැත්නම් අන්තිමට සිදු වෙන්නේ අමාරුවෙන් හදපු සයිට් එක ටික කාලයක් තිබිලා නැති වී යාමයි. ආර්ථික වශයෙන් පමණක් නොව සමාගමක හෝ ඔබේ කීර්ති නාමයට ද කැළලක් එක් වීමයි එහි ප්‍රතිඵලය.

මොකක්ද hosting සේවාව සපයන්නා කරන්නේ?

සර්වර් පරිගණක රැක් වශයෙන් තබා ඇති ආකාරය (iconswebsite.com)

 

 

Host එකක් මිලදී ගැනීමේදී සිදුවන්නේ ඔබ කුලියට වෙනත් කෙනෙක්ගේ පරිගණකයක් (server එකක්) ලබා ගැනීමයි. ඔවුන් එය පැය 24 ම ධාවනය කරමින් ඔබේ ගොනු වෙනත් අයට පාවිච්චි කිරීමට හැකි ආකාරයට හෙවත් බ්‍රවුසරය මත load කිරීමට හැකි ආකාරයට තබා ගෙන සිටිනවා. මෙහිදී ඔබ ඔබේ වටිනා ගොනු රැඳවීම සඳහා ඔවුන් විශ්වාසදායී විය යුතු අතර අඛණ්ඩ සේවයක් පවත්වා ගැනීම සඳහා ද වගකිව යුත්තෙක් විය යුතුයි.

අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුවන වෙබ් අඩවියක් නම් නිරන්තරයෙන් එහි ගනුදෙනු කිරීම් සිදුවන නිසා ඔබේ පාරිභෝගිකයා සහ ඔබ අතර අඛණ්ඩ සහ සුමට සබඳතාවක් පවත්වා ගන්නට hosting provider වගකිව යුතු වෙනවා.

Host එකක් තෝරා ගැනීමේදී වේගය (Speed), උපකාර කිරීම් (support) සහ ආරක්ෂාව (security) යන S3 නීතිය ගැන අනිවාර්යයෙන් ම සපුරාලන්නේ දැයි තහවුරු කරගත යුතු වෙනවා.

වේගය

bitcatcha සේවාව අපේ Roar වෙබ් අඩවියේ වේගය පිළිබඳව දක්වන වාර්තාවක්

ඔබේ නිවසේ ඇති අන්තර්ජාලය සබඳතාවයේ වේගය වගේම සර්වර් පරිගණකවලට ද අන්තර්ජාල සබඳතාවක් සහ ඊට අදාල වේගයක් තිබෙනවා. ඔබේ ගොනු තිබෙන සර්වරයේ හෙවත් වෙබ් අඩවියේ සිට ඊට පිවිසෙන අයට මෙම වේගය බලපාන අතර තමන්ගේ නිවසේ අන්තර්ජාල වේගය කොතරම් වේගවත් වූවත් ස්වරයෙන් එම ඉල්ලුමට හරි යන සැපයුමක් නැත්නම් ඊට පිවිසෙන්නන් අපහසුතාවයට පත්වෙනවා.

ඒ වගේම මෙම වේගය යන කාරණයට අදාළ සර්වර් පරිගණකයේ processing speed එක සහ එයට වරකට ලැබෙන request ප්‍රමාණය handle කිරීමේ හැකියාව බලපානවා. එක් සර්වරයක වෙබ් අඩවි ගණනාවක් ගබඩා කොට තැබිය හැකියි. ඉතින් ඔබේ වෙබ් අඩවිය මෙන්ම ලොව ඕනෑම රටක ඕනෑම කෙනෙක්ට අයත් වෙබ් අඩවි එහි ගබඩා වී තිබෙන්නට පුළුවන් නිසා ලෝකේ වටෙන්ම එහි තිබෙන වෙබ් අඩවිවලට පිවිසෙන අය ඔබේ ගොනු තිබෙන සර්වරයටම සබැඳෙන නිසා එයට ලැබෙන request ප්‍රමාණය ඉහළ යනවා. මෙයට ප්‍රතිචාර දක්වා ගන්නට බැරි වුනොත් සුදු පාට පිටුවක් දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නට ඉඩ පිවිසෙන අයට සිදු වෙනවා. අපේ රටෙත් විභාග ප්‍රතිඵල එන කාලයේදී නම් මේ වගේ අත්දැකීමක් පසුගිය කාලයේ ම ලැබුණා. මුළු රට ම එකවර විභාග ප්‍රතිඵල තිබෙන සර්වරයට සම්බන්ධ වෙන්නට යාමේදී එය දරාගන්නට බැරි නිසා තමයි අපිට බොහෝ වේලා බලාගෙන ඉන්නට සිදු වන්නේ.

මින් අදහස් වන්නේ ඔබේ වෙබ් අඩවියට පිවිසෙන ප්‍රමාණය අනුව ඊට මුහුණ දිය හැකි සර්වරයක් ඔබ තෝරා ගත යුතු බවයි.

අලෙවියන් පසු සේවය

(business2community.com)

සේවාවක් ලබා දීමෙන් පසු ඇතිවන ගැටලු නිරාකරණය සඳහා hosting පමණක් නොව බොහෝ සේවා සපයන්නන් විසින් පාරිභෝගිකයාට උපකාර කිරීම සිදුකරනු ලබනවා. හැබැයි හොස්ටිංවල නම් මිලදී ගැනීමෙන් පසු උපකාර ලබා නොදෙන සේවාවන් ද දැකගන්නට පුළුවන්. මේවායේ මිල අඩු නමුත් ඔබගේ තාක්ෂණික හැකියාව මඳක් අඩු නම් ඒ ගැන සැලකිලිමත් විය යුතු වෙනවා.

එසේම එම ලබාදෙන තාක්ෂණික සේවාවේ ගුණාත්මක භාවය කොතරම් දැයි මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු වෙනවා. ඔබ ප්‍රශ්නයක් ඇසීමෙන් පසු එයට ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය සහ ඔබේ ප්‍රශ්නය නිරාකරණය කර දීමට ඔවුන් කෙතරම් ඇපකැප වනවාද යන්න සලකා බැලිය යුතු වෙනවා. ඔබේ දැනුම මට්ටම කොපමණ වුවත් ඔබට ඔවුන්ගේ සේවාව ‍සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටළුවකට පිළිතුරු දීමට ඔවුන් බැඳී සිටින අතර කිසියම් ආකාරයකින් හෝ ඔවුන් ඔබ නිතර නිතර ප්‍රශ්න ඇසීම වධයක් සේ සලකනවා නම් හෝ ඔවුන් ඉතාමත් හොඳින් හැමදේම දන්නවා යයි උද්දච්චකමින් සිටිනවා නම් ඒ හොඳ පාරිභෝගික සේවා සපයන්නෙක් නොවෙයි.

මෙය සොයා බලා ගන්නට ක්‍රම දෙකක් තිබෙනවා. එකක් මිලදී ගැනීමට ප්‍රථම ඔබ ඔවුන්ව සම්බන්ධ කර ගෙන email හෝ ඔවුන්ගේ ප්‍රශ්න යොමු කිරීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීම හෝ දැනට මෙම සේවාව භාවිතා කරන කෙනෙක් සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් මේ ගැන අසා දැන ගැනීමයි.

ආරක්ෂාව

(poweradmin.com)

අන්තර්ජාලය තුල මිනිත්තුවකදී පහරදීම් දස දහස් ගණනින් සිදු වෙනවා. මේවායින් බොහොමයක් වෙබ් අඩවි සහිත සර්වර්වලට යොමුවන අතර මෙවන් පහර දීමකට ලක් වූ වෙබ් අඩවි Hack වූ වෙබ් අඩවියක් යැයි කතා කරමින් අපි ෆේස්බුක් හරහා ද බෙදා ගනු ලබනවා. වෙබ් අඩවියක් හැක් වෙනවා කියන්නේ හරියට ගෙදරට හොරු පැන්නා වගේයි. එක අතකින් ඔබ ඔබේ අඩු ආරක්ෂාව ගැන ලැජ්ජා විය යුතු වෙනවා. අනෙක් අතට ඔවුන් කරන විනාශය නිසා ඔබට මහත් පාඩුවක් විඳ දරා ගන්නට සිදු වෙනවා. වෙබ් serverවලදී ද සිදුවන්නේ මෙවන් දෙයක් ම වන අතර එහිදී සර්වරයේ තිබූ සියලුම රහස් ගොනු, පරිශීලක දත්ත වෙන කෙනෙකුගේ අතට පත්වීම සහ ඒවාට හානි පැමිණවී තිබීම සිදුවිය හැකියි.

මේ නිසා ඔබේ password මෙන්ම ඔබේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටිය අයගේ ද මුරපද සහ ඊමේල් ලිපින වෙනත් අයෙකුගේ අතට පත්වීම නිසා ඔබ කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන්ට spam email ලැබීම සහ ඔවුන් වෙනත් වෙබ් අඩවි සඳහා ද එම මුරපදයම භාවිත කර තිබුණා නම් ඒ ගිණුම්වලට ද තර්ජනයක් එල්ල වීම සිදු වෙනවා. මෙවන් අවස්ථාවලට මුහුණ දීම සඳහා ඉතා හොඳින් ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් නඩත්තු කරන ලද සර්වරයක් අවශ්‍ය වන අතර ඔබේ වෙබ් අඩවි අවශ්‍යතාවය හුදෙක් පෞද්ගලික වෙබ් අඩවියක් වුවත් මේ ගැන නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා.

ඔබට අවශ්‍ය පද්ධති අවශ්‍යතාවන් කොපමණ දැයි තීරණය කරන්න

අපිළිවෙලට Networking සිදුකළ සර්වර් රැක් එකක් (pinimg.com)

වෙබ් අඩවියක් මුදාහැරීමේදී ඒ සඳහා ඔබේ ගොනුවලට අවශ්‍ය ඉඩ ප්‍රමාණය, bandwidth එක, email පහසුකම් අවශ්‍ය නම් ඒවාට සහාය දක්වනවාද යන්න, Uptime එක සහ බැකප් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා.

Bandwidth කියන්නේ ඔබේ නිවසේ අන්තර්ජාල සබඳතාවයේ හෝ දුරකථනයේ mobile data සඳහා ලබා දී ඇති ගිගා බයිට් ප්‍රමාණය වගේම ඔබේ වෙබ් අඩවිය සඳහා සර්වරය මගින් වෙන් කරනු ලබන අන්තර්ජාල දත්ත ප්‍රමාණයයි. වෙබ් අඩවියට පිවිසෙන අයට ඩවුන්ලෝඩ්, අප්ලෝඩ් ආදී දේ වැඩිපුර සිදුකරන්නට ඉඩ දෙනවා නම් ඔබට ටිකක් වැඩිපුර අගයක බෑන්ඩ්විත් එකක් අවශ්‍ය වෙනවා. මෙය මාසික අගයක්.

Uptime කියන්නේ සර්වරය කෙතරම් කාලයක් අඛණ්ඩව ධාවනය වෙනවා ද යන්නයි. මන්ද, නඩත්තු කටයුතු සඳහා හෝ අධික ධාරිතාවක් දරා ගැනීමට නොහැකිකම නිසා සාමාන්‍යයෙන් මසකට තත්පර කිහිපයක් server එකක් down වී තිබිය හැකියි. එහෙත් ඊට වඩා එය සිදු වෙනවා නම් හොඳ සර්වරයක් නෙවෙයි. මේ බොහෝ ඒවායේ 99.9% අගයක් සඳහන් කර තිබෙනවා.

Life time කතාවලට රැවටෙන්න එපා

(corporatetravelsafety.com)

ඇතැම් සේවා සපයන්නන් විසින් ජීවිත කාලයටම එක් වරක් මුදල් ගෙවා ලබාගෙන භාවිතා කළ හැකි යැයි පවසමින් hosting විකිණීම සිදු කරනවා. මේවායින් හොඳ අලෙවියෙන් පසු සේවාවක් නොලැබෙන අතර ඔවුන් ලබා දෙන වගකීම ද කෙතරම් දැයි අපට කියන්නට බැහැ. මන්ද, වරක් පමණක් ඔවුන්ට මුදල් ලැබෙන නිසා එය ලබා ලබාගැනීමෙන් පසු කිසිදු වගකීමක් ඔවුන් දරනවා යැයි විශ්වාස කළ නොහැකියි. එතරම් ප්‍රසිද්ධ ආයතන නොවන මේවා කෙටි කාලයක් තිබී හදිසියේ ම නැති වී ගියහොත් ඔබේ වෙබ් අඩවිය මෙන්ම දත්ත ද සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ ඉහළ අවධානමක් තිබෙනවා. ඒ වගේ ම Unlimited කියා දෙයකුත් මෙලොව නැති බව සිහි තබාගත යුතු වෙනවා. ඒවා හුදෙක් වෙළඳ ප්‍රචාරණ බොරු කතා පමණයි.

සාමාන්‍යයෙන් ලංකාව තුළ රුපියල් එක්දහස් පන්සියයකට වගේ සාමාන්‍ය වෙබ් අඩවියක් සඳහා hosting එකක් සොයා ගත හැකියි. ඔබේ පද්ධති අවශ්‍යතාවයන් ඉහළ යන විට වඩාත් හොඳ hosting එකකට යා යුතුදැයි තීරණය කරන්න දැන් ඔබට දැනුම තිබෙනවා. යාළුවන්වත් දැනුවත් කරන්න මෙය එයාලා එක්කත් Share කරන්න.

කවරයේ ඡායාරූපය: 3benefitsof.com

Related Articles