ට්‍රම්ප් බලයට එන්නට අනවසර ෆේස්බුක් දත්ත හරහා කළ මෙහෙයුම

ව්‍යාපාරයක් ආරම්භ කරද්දී එයට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කළ යුතු වෙනවා. මේ සඳහා තිබූ පත්තර, රූපවාහිනී ආදී සම්ප්‍රදායික මාධ්‍යයන් අභිබව මේ වන විට වැඩි ප්‍රතිඵල ගෙන එමින් ඉදිරියට පැමිණ තිබෙන්නේ ෆේස්බුක් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය යි. වැය කළ යුතු මුදල අවම වීම මෙන්ම තමාට වඩාත් ගැලපෙන පාරිභෝගික පිරිසක් වෙත පමණක් එම දැන්වීම පෙන්වා වැඩි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවීම නිසා ලොව සෑම සමාගමක්ම පමණක් නොව ඡන්ද අපේක්ෂකයන් පවා තම දැන්වීම් ප්‍රචාරණයට ෆේස්බුක් එක වැඩි වශයෙන් යොදාගන්නවා. නමුත් මෙය එතරම් සාර්ථක එකක් බවට පත්වුණේ කොහොමද?

ෆේස්බුක් විසින් දත්ත රැස් කරන ආකාරය

silicon.co.uk

ෆේස්බුක් ගිණුමක් සැකසීමේ දී නම, ස්ත්‍රී පුරුෂ භාවය, වෙසෙන නගරය, පාසල හා විශ්ව විද්‍යාලය, විවාහක හෝ පෙම් සබඳතාවක් ඇති බව ආදී දත්ත අපි විසින්ම ලබා දෙන නිසා ඍජුවම එම දත්ත ඔවුන්ට ලැබෙනවා. ඉන්පසු අපි ෆේස්බුක් භාවිත කරද්දී විවිධ Pages වලට Like කරන විට අපේ ඕනෑ එපාකම්, ආශාවන් පිළිබඳව අවබෝධයක් ගැනීමට ෆේස්බුක් එකට හැකියාව ලැබෙනවා. එසේම ෆේස්බුක් පාවිච්චි නොකරන කෙනෙක්ගේ දුරකථන අංකය, ඊමේල් ලිපිනය ෆේස්බුක් පාවිච්චි කරන කෙනෙක් සතුව තිබී ඔවුන් Contacts upload කළ විට ඒවා ලබා ගැනීමත් ඔවුන් සිදු කරනවා.

දුරකථනයෙන් පිවිසෙන විට එහි මෙහෙයුම් පද්ධතිය, දෘඪාංග දත්ත, ඔබ සතු ගොනුවල නම් සහ වර්ග, බැටරි ප්‍රමාණය, සිග්නල් තිබෙන ප්‍රමාණය, උපාංගය භාවිත කරන ස්ථාන (GPS, Bluetooth, හෝ WiFi භාවිතයෙන්), ඔබේ දුරකථන/ අන්තර්ජාල සේවා සම්පාදකයාගේ නම, බ්‍රවුසරයේ වර්ගය, භාෂාව සහ කාල කලාපය, දුරකථන අංකය, IP ලිපිනය ආදී සියළු දේ ඔවුන් ලබා ගන්නා බව දත්ත ප්‍රතිපත්තියෙහි දක්වා තිබෙනවා. ඡායාරූප උඩුගත කිරීමේදී ඒවා ලබාගන්නා ලද ස්ථාන සහ ඔබේ සහ මිතුරන්ගේ මුහුණු ටැග් කළ විට එම දත්ත භාවිතයෙන් මුහුණ හඳුනාගන්නා නිසා කවුරුන් විසින් ඔබ සිටින ඡායාරූපයක් උඩුගත කළත්, ඒ ඔබ බව හඳුනාගැනීමට සරිලන දත්ත ෆේස්බුක් ඇල්ගොරිතම වෙත ලැබෙනවා. මිතුරන්ගේ පෝස්ට්, විවිධ පිටු වලින් පළ කරන දේවල්, ඡායාරූප සහ වෙනත් වෙළඳ දැන්වීම්හි ඔබ තිරය මත ගත කරනු ලබන කාලය ගණනය කොට ඔබ ඒවාට දක්වන කැමැත්ත ද ලබාගෙන ඔබ පිළිබඳ දල අදහසක් ෆේස්බුක් කේත ලබා ගන්නවා. මෙය සිදුවන ආකාරය Data Selfie බ්‍රවුසර් දිගුව භාවිතයෙන් ඔබටම බලාගත හැකි යි.

මෙම දත්ත එක්රැස් කිරීම ෆේස්බුක් වෙතටම සීමා වන්නේ නැහැ. ඔබ පිවිසෙන වෙනත් වෙබ් අඩවිවල තිබෙන ෆේස්බුක් Like බොත්තම් හරහා ඔබ Like නොකළත්, එම අඩවි වලට නිතර පිවිසෙන බවට දත්ත ගොනු කරගනු ලබනවා. මෙය තහවුරු වන අවස්ථාවක් තමයි ඔබ කිසියම් අන්තර්ජාල භාණ්ඩ අලෙවිසලකට පිවිසුණු විට එම වෙබ් අඩවිවලට අදාල භාණ්ඩ පිළිබඳ වෙළඳදැන්වීම් ඔබට ෆේස්බුක් මත පෙනෙන්නට පටන් ගැනීම. එපමණක් නොව WhatsApp සහ Instagram ද ෆේස්බුක් සතු නිසා ඒවා හරහා ද ඔබේ සියළු දත්ත ඔවුන් සතු කරගන්නවා.

Cambridge Analytica විසින් ට්‍රම්ප් වෙනුවෙන් කළ මෙහෙයුම

medium.com

‘කූඹියෝ’ රසිකයෙක් නම් මල්දෙණිය බලයට එන්නට වසර ගණනක සිට කළ ‘ගේම් එක’ ගැන ඔබ දන්නවා ඇති. මෙය සත්‍ය ලෝකයේ සිදු වූ නිසා, පසුගිය දා ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කළ සමාගමක් වූ Cambridge Analytica වෙත එල්ල වූ චෝදනාවෙන් ඔවුන් පමණක් නොව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ටත් උසාවියට මෙන්ම තම සේවය භාවිතා කරන්නන්ට වග උත්තර බඳින්නට සිද්ධ වුණා.

අතීතයේ ෆේස්බුක්හි තිබුණු ඇප්ස් (ෆේස්බුක් ක්‍රීඩා ආදිය) වෙත එය ක්‍රීඩා කරන අයගේ පෞද්ගලික දත්ත මෙන්ම ඔවුන්ගේ මිතුරන්ගේ දත්ත පවා ලබා ගැනීමට ෆේස්බුක් විසින් හැකියාව ලබා දී තිබුණා. 2013 දී ඇලෙක්සැන්ඩර් කෝගන් නමැත්තා විසින් පෞරුෂත්වය මැනීමේ ප්‍රශ්නාවලියක් තිබෙන ක්‍රීඩාවක් ෆේස්බුක් ක්‍රීඩාවක් ලෙස ඉදිරිපත් කළා. මෙය ඇමරිකාවේ සිටි බොහෝ දෙනෙක් විසින් ක්‍රීඩා කළ අතර ඔවුන් එය ක්‍රීඩා කළ බව දැක අනෙක් අය ද එය අත්හදා බැලුවා. මෙලෙස කරද්දී 300,000කගේ පමණ පිරිසකගේ විස්තර මෙන්ම ඔවුන්ගේ සියළු යහළුවන්ගේ ද විස්තර සමඟ මිලියන 50කගේ පමණ පුළුල් ජාලයක විස්තර ප්‍රමාණයක් එහි හිමිකරු වෙත ලැබුණා. පසුව මොහු දත්ත කැණීම් සහ විශ්ලේෂණය කිරීම් කරන ආයතනයක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) ආයතනයට එම දත්ත විකුණූ අතර එය භාවිතයෙන් විවිධ අයට ගැලපෙන ආකාරයට ඔවුන්ගේ මනස සකසමින්, අදහස් වෙනස් කොට ට්‍රම්ප් හිතවාදී අය බවට පත් කරගන්නට ෆේස්බුක් දැන්වීම් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. [මූලාශ්‍රය: The Guardian]

ෆේස්බුක් නිර්මාතෘවරයාත් අසරණයි

splitsider.com

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාර්ක් සකර්බර්ග් “අපිට ඔබේ දත්ත පිළිබඳ විශාල වගකීමක් තිබෙනවා. එය නිසි ලෙස කරන්නට බැරි නම් ඔබට සේවය සැපයීමට අපි සුදුසු වන්නේ නැහැ. අපේ අතෙන් වැරදි සිද්ධ වෙනවා වගේම අනාගතයෙත් වේවි. ඒ හැම අවස්ථාවකදීම අපි ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නට පෙළඹෙනවා” යි සඳහන් කළා. මෙම සිද්ධි දාමය වර්ෂ සමඟ දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ 2014 වන විටත් මෙවන් ආකාරයේ අනවශ්‍ය දත්ත රැස්කිරීම් කළ ඇප්ස් තිබූ බවයි. මේ වන විට නම් මිතුරන්ගේ දත්ත ලබාදීමේ දී එම මිතුරන් එම ඇප් එක භාවිත කරනවා නම් පමණයි දැන් ඔවුන්ගේ තොරතුරු ලබා දෙන්නේ. එවන් විශේෂ තොරතුරු ලබා ගන්නා ඇප් එකක් ෆේස්බුක්හි එළිදක්වනවා නම් මෘදුකාංග සංවර්ධකයන් ෆේස්බුක් වෙතින් අවසර ලබා ගැනීම ද සිදුකළ යුතු යි.

මෙම කෝගන් සහ ඇනලිටිකා සිද්ධියේ දී ෆේස්බුක් සමාගම විසින් 2015 දී ඔවුන් දෙපාර්ශවයෙන්ම ඔවුන් එලෙස අයුතුව එක්රැස් කළ දත්ත මකා දමන ලෙස ඉල්ලා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් දත්ත මැකූ බවට ඔවුන් සහතික කොට තිබෙනවා. නමුත් මෑතක දී මෙය නැවත ඉස්මතු වීමෙන් ෆේස්බුක් සමාගම අපහසුතාවට පත්වූයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම දත්ත මැකූ බවට තමා වෙත අසත්‍ය තොරතුරු ද සපයා ඇති නිසායි. අනතුරුව ෆේස්බුක් විසින් අදාල සමාගමට සහ කෝගන්ට අයත් සියළුම ඇප්ස් තම සමාගමට අයත් සියළුම සේවාවන් භාවිත කිරීමෙන් බ්ලොක් කරලූවා. නමුත් පසුව අධිකරණ නියෝගයක් අනුව කරන ලද පරීක්ෂාවකට ද දත්ත මකාලූ බවට කරුණු දක්වන්නට කේම්බ්‍රික් ඇනලිටික්ස් සමාගම එකඟ වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය: fortworthbusiness.com

Related Articles