Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දත්ත කොච්චර වටිනවා ද?

දත්ත ගැන අපි වැඩි තැකීමක් නොකළත් අනාගතය ගැන පෙරැයීම් කරන්නට, කිසියම් දෙයක් ගැන වඩාත් හොඳින් අවබෝධ කරගන්නට සහ එහි හැසිරීම පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීම ඇතුළු කාර්යයන් රැසකට ඉවහල් වන දත්ත කෙතරම් වටිනවා ද යත්, ඒවායේ මිල කළ නොහැකි බව නිසාම තමාට ලැබෙන දත්ත වෙනුවෙන් නොමිලේම සේවාව සපයන්නට තරම් ඇතැම් ආයතන ඉදිරිපත්ව ඉන්නවා.

අකුරු තුනක දෙයක් වුවත් ලෝකයේ අභිවෘද්ධිය වෙනුවෙන් වගේම කෙනෙක්ගේ ආත්ම ගරුත්වය කෙලෙසී යාම දක්වාම පුළුල් පරාසයකට දත්තවල බලපෑම දිවෙන ආකාරයත්, එය පෙන්වා දීම සඳහා Kaspersky ආයතනය කළ අත්හදා බැලීමේ වෙළඳසැලක් ගැනත් ඔබට මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

දත්ත විශ්ලේෂණයෙන් ගොඩ නැගෙන තොරතුරු

licdn.com

දත්තයක් කියන්නේ තොරතුරක තැනුම් ඒකකය කිව්වොත් නිවැරදියි. කිසියම් දෙයක් පිළිබඳව රැස් කරගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් තමයි තොරතුරක් ගොඩ නැගෙන්නේ. ඒ අනුව දත්ත ටිකක් කියන්නේ කිසියම් කරුණු ගොන්නක්. ඒවා අපි එකිනෙක සලකා බලා ගොඩනගා ඒවා ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ තොරතුරක් බවට පත් කරගත හැකියි. ඔබේ තොරතුරු කියන හැඳුනුම්පත කියන්නේ තොරතුරු පත්‍රිකාවක් හෝ කාඩ්පතක්. ඔබේ නම, ලිපිනය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී දත්ත එකතු කිරීමෙන් තමයි මේ තොරතුර ගොඩ නැගුණේ. තනිව දක්වන ලද ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිනය වැනි දෙයක් ගත් කල ඉන් අපට කිසිවක් වැටහෙන්නේ නැහැ. නමුත් ඒවා සියල්ල එකතු කළ විට ‘ඔබ’ නමැති පුද්ගලයා පිළිබඳ පූර්ණ විස්තරයක් ගෙන එන්නට ඒ දත්ත සමුදායට පුළුවන්.

දත්ත විශ්ලේෂණය කිරීම වෙළඳ ව්‍යාපාර වලට, නාසා ආයතනය වැනි විද්‍යාත්මක ආයතනවලට වැනි ඕනෑම විෂයයක ආයතනයකට මෙන්ම තනි කෙනෙක්ට පවා දත්ත රැස් කිරීම හරහා අපූරු ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්. Big data analysis හෙවත් විශාල දත්ත විශ්ලේෂණය කියන්නේ වෙනමම විෂයයක්. “මගේ ළඟ කාගෙ කාගෙත් ෆයිල්ස් තිබෙනවා” කියා පසුගිය කාලයේ දේශපාලන වේදිකාවෙන් පවා ඇසුණේ මේ දත්තවල වටිනාකම නිසාමයි.

අන් දත්ත ළඟ තබා ගැනීම අවදානම්

cbsistatic.com

ඩේටා යන වචනය කියූ සැණින් අපේ සිහියට එන්නේ අන්තර්ජාල කලාප-පළල (bandwidth) ගැන නමුත් එය අපි වචන වැරදි ලෙස වහරේ දී භාවිත කිරීමක්. ඒ අනුව ෆෝන් එකේ ඩේටා තිබේදැයි ඇසූවිට අන්තර්ජාල සබඳතාවක් තිබුණත්, නැතත් හැමවිටම පිළිතුර “ඔව්” වෙනවා. මන්ද, ඔබේ හෝ ඇප් එකක ඇති ඕනෑම දත්තයක් දුරකථනයේ ගැබ්ව පවතිනවා. මෙම දත්ත ගැබ් කරගැනීමට හැමවිටම storage එකක් අවශ්‍ය වෙනවා. අපේ මොළයේ මතකය මෙන්ම පේශිවල පවා muscle memory නමින් දත්ත හරහා ගොඩනගාගත් තොරතුරු හරහා ක්‍රියාකාරීත්වය පවත්වා ගන්නට දත්ත ගබඩා කරගැනීම් සිදුවෙනවා.

වාණිජ ලෝකයේ දී තම පාරිභෝගිකයෙකුගේ කැමැත්ත හරහා අවශ්‍යතාවයන් හඳුනාගැනීම අත්‍යාවශ්‍ය සාධකයක්. එවිට ඔවුන්ට වඩාත්ම ගැලපෙන නිෂ්පාදනය නිපදවන්නට හෝ එය සොයා දෙන්නට හැකියාව ලැබෙනවා. වෙළඳසලකට පිවිසුණු වහා වෙළඳ සහායකයන් විසින් අපෙන් නොයෙක් ප්‍රශ්න අසන්නේ මෙම දත්ත රැස් කරගැනීම සඳහායි. ‘වෙදාට බෙහෙත් හංගන්න එපා’ කියන්නට වගේ මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු අපි ලබාදුන්නොත් අපට වඩාත්ම උචිත තෝරාගැනීම කරන්නට ඔවුන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. හැබැයි ලබාදෙන තොරතුරු භාවිතයෙන් ගොනාට අන්දවන දේවල්වලටත් ඔබ මුහුණපා ඇති. මහා පරිමාණ ආයතන, රජයයන් හරහා පවා මෙවන් දත්ත අවභාවිත කරන අවස්ථා තිබිය හැකි අතර පාරිභෝගික දත්ත රැකගන්නට නොහැකිවීම නිසා ඒවා තෙවන පාර්ශවයක් අතට පත්වීමෙන් ඩොලර් මිලියන ගණනින් වන්දි ගෙවන්නට ද Equifax වැනි ආයතනවලට සිදුවුණා.

අවදානම දැන දැන දත්ත උකහා ගන්නේ ඇයි?

lynda.com

වෙනත් අයගේ දත්ත ළඟ තබා ගැනීම කොතරම් අවදානමක් සහ වගකීමක් වුවත් තමාගේ දත්තවත් නැතිව ව්‍යාපාරයකට ඉදිරි පැවැත්මක් නැහැ. මාසය අවසානයේ ගනුදෙනුවල ස්වභාවය අනුව වාර්තාවක් සැකසීමෙන් ඉදිරි මාසයට සූදානම් වීමටත් වසරාවසානයේ මාස 12 තුළම ලබා ගත් දත්ත අනුව ඉදිරි වසරේ ආදායම් හා වියදම් ගැන අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. පාසලේ ලකුණු සටහන් කොට දරුවන්ට ප්‍රගති වාර්තා පොතක් ලබා දෙන්නේ ද මේ නිසාමයි. හිතේ තිබෙන තරහ එවෙලේම අමතක කර නැති කරගැනීම හොඳ දෙයක් වුවත් සිද්ධියක් හරහා අපි උගත් පාඩම් හෝ අත්දැකීම් ඉදිරි අවස්ථාවන් සඳහා සිහි තබා ගැනීම කියන්නේ දත්ත භාවිතයෙන් තොරතුරු ගොඩනගා ඉන් ප්‍රයෝජන ගැනීමක්.

තමාගේ හෝ ආයතනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් සඳහා දත්ත ලබා ගැනීම ඉතා පහසු නමුත් තෙවන පාර්ශවයේ හෝ පාරිභෝගික දත්ත ලබාගැනීමට ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය වෙනවා. ෆෝර්ම් එකක් පුරවන්නට දී එයින් ඊමේල් උකහා ගැනීම, ඡායාරූප හා ක්‍රෙඩිට් කාඩ් දත්ත ආදිය ගබඩා කර ගැනීම ආදිය වෙබ් අඩවිවල බහුලව දකින්න ලැබුණත් අපේ දත්ත ඔවුන්ට දෙන්නට පෙර එහි විශ්වාසවන්තභාවය පිළිබඳ මූලික පරීක්ෂාවක් කළ යුතු වෙනවා. මන්ද, ඊමේල් එක ලබා ගැනීමෙන් ඒවා තෙවන පාර්ශවයකට විකුණා ස්පෑම් ගොන්නකින් ඊමේල් ගිණුම පිරීයාම, ඡායාරූප හෝ නිර්මාණ අයුතු ලෙස යොදා ගැනීම, මුදල් සොරාගැනීම් ආදී විවිධ දේවල් මේ හරහා සිදුවිය හැකියි.

ඔබේ මිතුරන්ගේ කැමැත්ත හරහා පවා ඔබව ඉලක්කගත පාරිභෝගිකයෙක් බවට පත්කරගත හැකියි (finance-monthly.com)

ගූග්ල් සමාගම ජීමේල්, මැප්ස්, ක්‍රෝම් ආදී සෑම පහසුකමක්ම සහ ෆේස්බුක් සමාගම විශාල වශයෙන් ඡායාරූප හා වීඩියෝ උඩුගත කරන්නට ඉඩදීම ආදී නොමිලේ ම සියලු දේ සඳහා ඉඩ සලසා බලා සිටින්නේ අපේ දත්ත හරහා අපේ ඕනෑඑපාකම් දැනගෙන ඒවා වෙළඳ දැන්වීම් පළ කරන්නන්ට අලෙවි කිරීමටයි. මේ නිසා තමයි ඔබ චොක්ලට් සඳහා ගූග්ල් සර්ච් කළ විට චොක්ලට් අඩු මිලට විකුණන වෙළඳ දැන්වීම් ෆේස්බුක් එකේ දකින්න ලැබෙන්නේ.

Data Dollar වෙළඳසැල

aolcdn.com

දත්ත පිළිබඳව සමාජාවබෝධය මඳ නිසාම පෞද්ගලිකත්වය රැක ගන්නට නම් ‘ඔබේ දත්ත ඔබ ම ආරක්ෂා කරගත යුතුය’ යන පණිවිඩය සමාජගත කිරීමේ අරමුණින් රුසියානු සම්භවයක් ඇති Kaspersky සමාගම අපූරු වෙළඳසලක් ඇරඹුවා. සාමාන්‍ය වෙළඳසලකට ගොස් අපි මුදල් ගෙවා භාණ්ඩ ලබා ගත්තත් මෙම වෙළඳසලේ මිල නියම කරන්නේ දත්ත අනුවයි. භාණ්ඩවල මිල දක්වන ටැග්වල සඳහන් කර ඇත්තේ “ගෙවන්නේ කොහොමදැයි දැනගන්නට Data Dollar වෙළඳ සහායක කණ්ඩායමට කථා කරන්න” ලෙසයි. එවිට ඔවුන් එම භාණ්ඩය වෙනුවෙන් ඔබෙන් දත්ත ඉල්ලා සිටිනවා.

ඒ සඳහා ඔබේ දත්තවලට වටිනාකමක් ඔවුන් තීරණය කරන අතර පෞද්ගලික ඡායාරූපයක්, චැට් history එකක් වැනි දෙයක් ඔවුන්ට ලබාදී කෝප්පයක්, ටී ෂර්ට් එකක් වැනි දෙයක් ලබා ගන්නට පුළුවන්. තමන්ගේ WhatsApp චැට් එකක Screenshot 3ක් ලබාදී කලා නිර්මාණයක් මිල දී ගත් බවට මෙයට පිවිසුණු අය Instagramහි පළ කර තිබුණා.

අපි බොහෝ වෙබ් අඩවිවල අපේ දත්ත ඔවුන්ට ලබා දෙන බවට කැමැත්ත පළ කරමින් Terms and Conditionsවලට කැමති බවට හරි ලකුණක් යොදන්නේ එහි තිබෙන්නේ මොනවාදැයිවත් කියන්නේ නැතිවයි. මේ නිසා අපේ දත්ත පසුකාලීනව ඔවුන් අවභාවිත කළත් ඉන් අපට වන්දියක්වත් ලබා ගන්නට නොහැකි ආකාරයට අපි අපිවම කොටු කරලනවා. ඒ නිසා ඔබේ දත්ත පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි Roar අපි ඔබට මතක් කරන්නේ. ටී ෂර්ට් එකක් ගන්නට ඔබ ඒ වෙළඳසලට දෙන්න කැමති ඔබේ කුමන දත්තයද?

කවරයේ ඡායාරූපය: tnwcdn.com

Related Articles