දිනෙන් දින ඈතට යන චන්ද්‍රයා අපිට අහිමිව ගියොත්?

වසරකට අඟල් එකහමාරක් (සෙ.මී. 3.78ක්) පමණ බැගින් දිනෙන් දින ඈතට යන ‘සඳ’ අහිමි වූ සඳ පෘථිවියේ ස්වභාවය මොනවගේ වෙන්න පුළුවන් ද? දිනපතා රෑට පායන නිසා හැමදාම දකින කුකුළාගේ කරමලය සුදුය කියන්නට වාගේ අපි වැඩිය තැකීමක් නොකළත්, මව් සිහිවන්නට මව් දිනයක්ම පැමිණිය යුතුවා වාගේ සුපිරි සඳ වැනි විශේෂ කතිකාවතක් ඇතිවුණොත් පමණයි අපට ‘චන්ද්‍රයා’ මතක් වන්නේ. ප්‍රේමයට සහ ශෘගාරයට මනුෂ්‍යයාට පමණක් නොව ගැඹුරු මුහුදෙහි සිටින ජීවීන්ට පවා ප්‍රබෝධයක් ගෙන එන ‘සිසි’ වනාහි ‘සොමි’ ගුණ වර්ණනාවටත් උපමාවක් වශයෙන් යොදාගන්නට සාහිත්‍යය අමතක කරන්නේ නැහැ. ධීවර ආදී කර්මාන්ත හරහා ආර්ථිකයට, භූ විද්‍යාත්මක බලපෑම්, ඓතිහාසික තොරතුරු පමණක් නොව සරලම දේ වශයෙන් රාත්‍රියට මඳ හෝ එළියක් ගෙන එන සඳ ගැනයි මේ කතාව.

සඳේ උපත

පෘථිවිය වෙත ඍජුව නොව, ආනතියකින් ඇතිවූ ඝට්ටනයක් නිසා සඳ ඇතිවූ බවයි වර්තමාන මතය වන්නේ (sciexaminer.com)

චන්ද්‍රයා පෘථිවියේ ආරම්භය සිදුවන සමයේ නොතිබූ එකක් වන අතර එහි ඇතිවීම පිළිබඳව විවිධ මති මතාන්තර තිබෙනවා. පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ ග්‍රහකයක් පෘථිවි ගුරුත්වය නිසා රැඳී කාලානුරූපව අද තිබෙන තත්ත්වයට පත්වූ බව, විශාල ග්‍රහකයක් පැමිණ පෘථිවියේ වැදී සෙනසුරුගේ මෙන් පෘථිවිය වටා ඇස්ටරොයිඩ වළල්ලක් ඇති වූ අතර, එම දූවිලි අංශු කල් ගතවීමේ දී එකිනෙක ගැටී එකතු වී අද තිබෙන තත්ත්වයට පත් වූ බව මෙම කල්පිතයන් අතර තිබෙනවා. චන්ද්‍රයා සතුව පෘථිවි සංයුතියට ආසන්න සංයුතියක්; එනම් සඳ මතුපිට ඔක්සිජන් 43%ක්, සිලිකන් 20%ක්, මැග්නීසියම් 19%ක්, සහ 10%ක් යකඩ පවතින නිසා පළමු කල්පිතය බිඳ වැටෙනවා. පෘථිවිය වටා ධූලි වලාවක් තිබුණා නම් එය ද ක්‍රම ක්‍රමයෙන් පෘථිවිය ආසන්නයට පැමිණ මතුපිටෙහි ගැටී එයට එක්වෙනවා. ගැලීලියෝ ගැලීලි 1612 දී සෙනසුරු පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිය දී ක්‍රමයෙන් නැතිව ගිය ධූලි වළලු ගැන සිතා ගැනීමට නොහැකිව එම පර්යේෂණයන් ද නවතා දැමුවා. නමුත් මෙහි දී සිදුව ඇත්තේ එම වළලු කෙමෙන් මතුපිට වැදී ක්ෂයවී යාම වන අතර, වසරක් තුළ විශාල වශයෙන් මෙලෙස වළලු අහිමිවීම සෙනසුරු මත දකින්නට ලැබෙන බව නාසා ආයතනය පෙන්වා දෙනවා. එවන් තත්ත්වයක් යටතේ පෘථිවිය වටා වූ වළල්ලකින් සඳ ගොඩනැගුණු බව විශ්වාස කරන්නට බැහැ.

මේ නිසා දැනට විශ්වාස කරන්නේ පෘථිවිය ආසන්නයෙන් ගිය අඟහරු ග්‍රහයා තරම් වූ ග්‍රහකයක් පෘථිවිය ආසන්නයෙන් යමින් ආනතියකින් මතුපිට වැදී නැවත ගුරුත්වාකර්ෂණය හරහා පැමිණ තවත් පසෙකින් වැදී පෘථිවියේ ද කොටසක් ගලවාගෙන පෘථිවිය වටාම කක්ෂගත වූ බව යි. දැනට පෘථිවියෙන් ගිලිහෙමින් යන වේගය සැලකීමට ගත් විට එකල සඳ පෘථිවියට කිලෝමීටර් 22,500ක් පමණ ආසන්නයෙන් තිබෙන්නට ඇතැයි අනුමාන කරනවා.

ශීඝ්‍ර ඍතු විපර්යාස

අඟහරු මත තත්ත්වය agu.org

පෘථිවිය තම අක්ෂයෙන් අංශක 231/2 ක ආනතියකින් යුතුවයි පවතින්නේ. මෙම ඇලව පිහිටීම නිසා උත්තර ධ්‍රැවයට සහ දක්ෂිණ ධ්‍රැවයේ හිම මිදෙන්නටත්, සමකාසන්න අපිට සූර්යයාගේ බලපෑම වැඩිපුර ලැබෙන්නටත්, යුරෝපීය රටවලට සූර්යයාගේ බලපෑම වෙනස්වීමෙන් ඍතු භේදයන් ඇතිවීමත් ඇතිව තිබෙනවා. ජෛව ව්‍යාප්තියට හා පැවැත්මට මෙලෙස විවිධ ඍතු පැවතීම හා වසර තුළ වෙනස්වීම වැදගත් දෙයක් වන අතර මෙය ස්ථාවරව පවත්වා ගැනීමට සඳ බෙහෙවින් ඉවහල් වෙනවා.

අඟහරු ග්‍රහයාට සඳවල් දෙකක් තිබුණත් ඒවාට තම මව් ග්‍රහයාව ස්ථාවර කරන්නට තරම් හැකියාවක් නැහැ. මේ නිසා අඟහරු ග්‍රහයා පරිභ්‍රමණය වීමේ දී අංශක 15 සිට 35 දක්වා චලනයක් ද දක්වනවා. එවිට එහි ධ්‍රැවයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපේ සඳ අපිට අහිමි වුණොත් මෙම ස්ථාවරත්වය බිඳ වැටී වසරේ විවිධ කාලවල දී ආක්ටික්-ඇන්ටාර්ක්ටික් වියළි කාන්තාර බවටත්, සමකාසන්න අපි හිමෙන් මිදී ගිය රටවල් බවටත් පත් වෙනවා.

මුහුද රට තුළට

අපට ගං වතුර ගලන්නාක් මෙන් අන් රටවලට දැනට ද මුහුදු වතුර ගලනවා. පිලිපීනයේ එවන් අවස්ථාවක් (nationalgeographic.com)

වඩදිය, බාදිය ඇතිවීම සඳහා සඳේ ගුරුත්වය බලපාන අතර සඳ නැතිව ගියහොත් මුහුදේ පාලනය භාර වන්නේ ඊට වඩා 400 ගුණයක් පමණ විශාල විෂ්කම්භයක් ඇති සූර්යයාට යි. නමුත් එය ඉතා දුරින් පිහිටි නිසා මුහුදු රළෙහි ප්‍රමාණය තුන් ගුණයකින් පමණ අඩුවී යනවා. එසේම, සඳේ බලපෑමෙන් මුහුදු ජලය සමකය දෙපසින් ඉහළට එසැවී තිබෙන නිසායි අයිස් දියවීම් නිසා මුහුදු ජල මට්ටම වැඩිවීම දැනට පාලනය වී තිබෙන්නේ. බොහෝ කල් ගතවීමේ දී මෙම වතුර මට්ටම් වැඩිවීම නිසා සහ දැනට හෝ සඳ එක්වරම අහිමිව ගියහොත් මේ ජල කඳ පාලනයෙන් මිදී ගොඩබිම් මායිම් වෙනස් කර දමනවා.

වසර දික්වෙනවා

දැනට ගෙදර තිබෙන ඔරලෝසුව මාරු කරන්නට අකමැති නම් එයට වේගවත් මෝටරයක් සවි කරන්නට සිදුවේවි (omegahrsolutions.com)

සතියක් බොහොම දිග බව දැනෙන්නේ සුවපහසුවෙන් සති අන්තය ගත කොට සඳුදා සහ අඟහරුවාදා එළැඹුණු විට යි. පැය 24කින් යුතු දින අපට ලැබී තිබෙන්නේ පෘථිවිය තම පරිභ්‍රමණය ඒකාකාරීව පවත්වා ගන්නා නිසා යි. එයට මහත් පිටිවහලක් සපයන්නේ චන්ද්‍රයා යි. සඳ අහිමිව යාමෙන් පෘථිවි පරිභ්‍රමණ වේගය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එවිට දිනකට ලැබෙන්නේ පැය 6ක් හෝ 8ක් පමණක් වන අතර වසරක් දින 1100 සිට 1400ක් පමණ ප්‍රමාණයක් අයත් කරගනු ලබනවා.

වේගයේ වැඩිවීම එතැනින් නවතින්නේ නැහැ. එමඟින් සුළං වේගය වැඩිවී මහත් කුණාටු තත්ත්වයන් ඇති වෙනවා. මෙය හරහා නිරන්තර ජීවිත හා දේපළ හානි ඇතිවිය හැකි අතර දැනට තිබෙන ශාකවලට එම අසීරු කාලගුණික තත්ත්ව දරාගත නොහැකිව විනාශ වී යනු ලබනවා.

පසුවදන: මිහිපිට ජීවය අපහසුයි

නිරන්තර කුණාටු spectruminvest.com.au

මේ සියල්ල එක්තැන් වූ විට එය පෘථිවි වාසීන්ට දරාගැනීමට ඉතා අසීරු තත්ත්වයක් බවට පත් වෙනවා. පැය 6ක් පමණ ඇති දිනයක වසර තුළ නානාවිධ ඍතූන් දකින්නට ලැබෙනවා. දිනෙක හොඳින් හිරු පායා තිබිය දී ශීඝ්‍ර ඍතු විපර්යාසයන්ගෙන් පසුදින සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යන්නට පටන් ගන්නවා. එනිසා ගොවිතැන් ආදී කටයුතු නිසි පරිදි කරගැනීමට නොහැකි වීමෙන් ස්වයංපෝෂිත ආර්ථිකයන්ගෙන් යුත් රටවල් බිඳ වැටෙන අතර සතුන් හා ශාක මෙම ශීඝ්‍ර දේශගුණ වෙනස්වීම් දරාගැනීමට නොහැකිව වඳ වී යා හැකියි. මුහුදු රළ අඩුව යාමෙන් ධීවර කටයුතුවලට බාධා ඇතිවී ශාක හෝ සත්ත්ව ආහාර ලබා ගැනීමට නොහැකිව මිනිසාට ද ආහාර සපයාගැනීමේ අපහසුතාවන් ඇති වෙනවා. රාත්‍රියේ දැඩි අන්ධකාරයක් ඇතිවීම සහ ප්‍රජනනය සඳහා ඇති කරනු ලබන බලපෑම සාගරයේ සිට ගොඩබිම දක්වාම වූ ජීවීන්ට ඇති වන අතර රාත්‍රියේ පිපෙන මල් වර්ගවලට, නිශාචර සතුන්ට සුබදායි කාල වකවානුවක් වන එකක් නැහැ.

සඳ මත ඇති ආවාට සාක්ෂි දරන්නේ පෘථිවිය වෙත ඉතා වේගයෙන් පැමිණි වස්තූන් සඳෙහි වැදී පුපුරා යාම් විශාල වශයෙන් සිදුවී ඇති බවයි. එවිට සඳ නොතිබුණහොත් එම සියළු ආකාශ වස්තූන්ගේ ඝට්ටනයන් ද පෘථිවියට දරාගන්නට සිදු වෙනවා. ජනගහනය වැඩිවෙමින් යන සමයක මුහුදු ජලය ගලාවිත් බිම් ප්‍රමාණය අඩු කොට දැමුවහොත් ජීවත් වීමට ඉතිරි වන්නේ තවත් කුඩා බිම් ප්‍රමාණයක් පමණයි. දැනට ද පර්චසයක මිල අහස ඉහළට ගොස් ඇති තත්ත්වයක එවන් කාලයක් ගැන සිතීමත් උගහට යි. මේ සියල්ල සමඟ නිරන්තර චණ්ඩ මාරුතයන්ට ද ගැලපෙන ලෙස ජීවත්වීමට සිදුවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ වනු ඇති. නමුත් ඒ කාලය වන විට නගින්න ගසක් හෝ අනින්න ගොනෙක්වත් ඉතුරු වේදැයි කියා නම් සැක සහිතයි.

මූලාශ්‍ර: NASA වෙබ් අඩවිය, howstuffworks.com, space.com, bbc.com

කවරයේ ඡායාරූපය: ytimg.com

Related Articles