Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iPhone 8 ගැන කටකතා

2017 වර්ෂය කියන්නේ iPhoneවල දහවැනි සංවත්සරය යි. මේ සඳහා ඇපල් සමාගම ටිකක් වෙනස් අත්දැකීමක් ලබා දෙනු ඇතැයි ලොව පුරා ඇපල් රසිකයන් පුල පුලා බලා සිටින්නේ iPhone 8 එක නිකුත් වන පෙරමඟ බලා ගෙන යි. ඉතින් වෙනදා වගේ ම අයිෆෝන් එක ගැන කටකතා පැතිරෙද්දී මෙවර සංවර්ධකයන් (developers) වෙත නිකුත් කිරීමට නියමිතව තිබූ කොටස් කලින් ම නිරාවරණය වී තිබුණා. දුරකථනයේ ප්‍රමාණය, මෘදුකාංග සඳහා භාවිත කළ යුතු තිරයේ ප්‍රමාණය ආදී බොහෝ දේවල් මේ සමඟ අන්තර්ගත වීමෙන් පැමිණීමට නියමිත දුරකථනයේ පෙනුම ගැන පූර්වකථනයන් කරන්නට ලොව වටා ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් ද ඉදිරිපත් ව තිබෙනවා.

සංවිධානාත්මක ලෙස ඇපල් සමාගම විසින් ම පුවත් මැවීමට මෙය කරන ලද දැයි සැක සහිත වුවත් සාමාන්‍යයෙන් දුරකථනය නිකුත් කිරීමට ප්‍රථම ඊට මෘදුකාංග සැලසුම් කිරීම සඳහා පහසුවක් වන්නට එහි ප්‍රොසෙසර වේගය, රැම් එක, තිරයේ පරිමාණයන් නිකුත් කළ යුතු වෙනවා. ඒත් ප්‍රලේඛනයටත් (documentation) කලින් මෙහෙම ටික ටික එන එක නම් සැක සහිත යි.

ෆෝන් එක පුරා ම තිරය

macrumors.com

iPhone 6 එකේ විතර ඉඳලා හැම කෙනෙක්ට ම අවශ්‍ය වුණේ දාර නොමැති ව දුරකථනය පුරා ම තිරය තිබෙන ආකාරයේ අත්දැකීමක් ලබා ගන්නට යි. ඇන්ඩ්‍රොයිඩ් වෙත මෙම අත්දැකීම LG, Mi සමාගම් සහ Samsung S8 හරහා ඉතා මෑතකදී ලැබුණත් ඇපල් රසිකයන්ට නම් iPhone 7 එකෙන් වත් පිහිටක් ලැබුණේ නැහැ. හැබැයි ස්ටීව් නමැති (මෘදුකාංග) සංවර්ධකයා විසින් පළ කරන ලද ට්වීට් එකකින් ඔහු ඇපල් ප්‍රලේඛනයක තිබෙන තිර ප්‍රමාණයන් ගැන දක්වන ලද කමෙන්ට් එකක් ලෝකයට නිරාවරණය කරනු ලැබුවා. ඔහු මෙය උකහා ගෙන තිබෙන්නේ HomePod එකට අලුතින් නිකුත් කරන ලද ෆර්ම්වෙයා එකක තිබූ කේතයන් අතරේ තිබිය දී යි.

Twitter/@stroughtonsmith

 

එහි දැක්වෙන තිර ලක්ෂ්‍යයන්ගේ ප්‍රමාණ අනුව මෙතෙක් නිකුත් කළ අයිෆෝන්වලින් අඟල් 5.8ක් සමඟ විශාලත ම තිරය සහිත දුරකථනය බවට පත් වන්නේ iPhone 8 දුරකථනය යි. iPhone 7 එකටත් වඩා 8 එක විශාල වන අතර ම iPhone 8 Plus මාදිලිය අඟල් 7කට කිට්ටු ප්‍රමාණයක් තරම් වන බවයි අපේක්ෂා කළ හැක්කේ. ඉතින් තිරය මෙතරම් විශාලත්වයක් ගන්නවා නම් දාරයන් ද එකතු වුණා ම එය තවත් විශාල වෙනවා.

භාවිත අත්දැකීම්වලදී එය ටිකක් කරදරයක් වන බව නිසැක නිසා ඊට විසඳුම විය යුත්තේ දාරයන් අවම කොට තිරය දුරකථනය පුරා විහිදුණු එකක් බවට පත් කිරීම යි. අනිකුත් සමාගම් දැනටමත් එම විසඳුම යොදාගෙන ඇති නිසා තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇපල් සමාගම එය නොකර හිඳිවී යැයි මෙවර අපේක්ෂා කරන්නට බැහැ. එසේ ම මෙහි තිබෙන මිනුම් අනුව දුරකථනය ඉහළ කෙළවරේ තිබෙන status bar එකත් දෙකට බෙදෙනවා. දුරකථනය ඉහළ තිබෙන ආලෝක සංවේදක, ඉදිරිපස කැමරාවට ඉඩ සලසමින් තිර ප්‍රමාණය සඳහා මිනුම් ලබාදී තිබෙන නිසා තිරය පහත ආකාරයේ එකක් වනු ඇතැයි ස්ටීව් අනුමාන කරනවා.

Twitter/@stroughtonsmith

LCD වෙනුවට සුනම්‍ය ප්ලාස්ටික් OLED තිරයක් සමඟ සුපැහැදිලි දසුන් සහ වැඩි බැටරි ආයු කාලයක් ලබා දෙනු ඇති iPhone 8 දුරකථනය ඉහත මිනුම් සටහනේ දක්වා ඇති පරිදි iPhone 7 හි මෙන් ම කවාකාර තිරයක් ද නිසැකයෙන් ලබා ගන්නවා.

ඇඟිලි සලකුණු ගෙන ආ TouchID එක නැති වෙයි ද?

දුරකථනය පුරා ම තිරය පැමිණියහොත් මෙතෙක් කල් අයිෆෝන්වල ආවේණික ලක්ෂණයක් වූ නිවස්න (home) බොත්තම නැතිව යනවා. මුල් කාලයේදී හුදෙක් එය බොත්තමක් වුවත් iPhone 6හි දී එය ඇඟිලි සලකුණු සංවේදකයක් බවට ද පත්වුණා. එතකොට තිරය නිසා මේ බොත්තම නැතිවුණොත් ඇඟිලි සලකුණු සංවේදකය එහෙමත් නැත්නම් Touch ID එකත් නැතිව යන්නට පුළුවන්.

මෙය ක්‍රම තුනකට අපේක්ෂා කළ හැකියි. එකක්, තිරයේ මිනුම් පමණක් හෙළිදරව් කොට ඇති නිසා පහළ දාරය තවත් දික්ව බොත්තමට ඉඩ සලසා ගනීවි. අනෙක, තිරය මත ම ඇඟිලි සලකුණු සංවේදකය ඇතුලත් කරාවි. තෙවැන්න, මුහුණ හෝ Samsung S8හි මෙන් කළු ඉංගිරියා පරීක්ෂකයක් ඇතුලත් කරනු ඇති බවට ද හෙළිදරව්වී ඇති නිසා Touch ID එක සම්පූර්ණයෙන් ම ඉවත් කර දමාවි.

iDrop News

ඇපල් සමාගම අනුව යමින් මෙතෙක් කාලයක් නිවස්න බොත්තමක් දැරූ සැම්සන්ග් සමාගම එම බොත්තම අත හරිමින් එම කොටසේ ද තිරයට ඉඩ සලසා ගත් නිසා ඇතැම්විට අයිෆෝන් එකටත් එසේ ම සිදුවන්නට පුළුවන්. තිරය මත ම ඇඟිලි සලකුණු සංවේදක අඩංගු කිරීමත් මේ වන විටත් ක්වැල්කොම් (Qualcomm) සමාගම විසින් තිරය තුළ ම ඔබ්බවන ලද ඇඟිලි සලකුණු ස්පර්ශකයට අනුගාමීව වීවෝ නම් චීන සමාගමක් විසින් එළිදක්වන ලද දුරකථනයක දක්නට ලැබුණු නිසා එවන් අත්දැකීමක අපේක්ෂාවක් ද තිබෙනවා. හැබැයි Apple Pay උපාංග සහ මෘදුකාංග මෙන් ම මෙතෙක් බිහිව ඇති බොහෝ ඇප්ස් iPhone එක හරහා ලබාදෙන ඇඟිලි සලකුණු තහවුරු කිරීම අපේක්ෂා කරන නිසා එකවර ම Touch ID එකට තිත තැබීම එතරම් හොඳ අදහසක් වෙන එකක් නැහැ.

වෙනත් විශේෂාංග සහ අභ්‍යන්තර සැකැස්ම

Twitter/@bensen

iPhone 7 දුරකථනය IP67 සහතිකකරණය සහිතව දුහුවිලිවලින් ආරක්ෂාවත් මීටර් 1ක් සහ මිනිත්තු තිහක් වන තෙක් ජලය කාන්දු වීමෙන් ආරක්ෂාවීමත් දැරූ අතර සැම්සන්ග් S8 දුරකථනය IP68 සහතිකකරණයෙන් දුහුවිලි සහ මීටර් 1.5ක්, මිනිත්තු 30ක් තුළ ජලයෙන් ආරක්ෂා වීමේ හැකියාව දැරුවා. The Investor සඟරාව වෙත නිර්නාමිකව කාර්මික අංශයෙන් ලැබුණු තොරතුරක් අනුව දැක්වෙන්නේ iPhone 8 වෙත ද සැම්සන්ග් දුරකථනයේ මෙන් ම IP68 සහතිකය ලැබෙන බව යි.

කැමරා

ඉදිරිපස කැමරාව PrimeSense තාක්ෂණය සමඟින් කැමරා දෙකකින් යුතුව ත්‍රිමාණ ඡායාරූප ගැනීමේ හැකියාව මෙන් ම ඇතැම්විට අධෝරක්ත කිරණ භාවිතා කිරීම් සමඟ ත්‍රිමාණව හොඳින් මුහුණ හඳුනාගැනීමේ හැකියාව ලබනවා. පසුපස කැමරා දෙක සිරස් අතට ෆ්ලෑෂරය සමඟ පිහිටුවා තිබෙනවා. මෙම නවතම විශේෂාංග සමඟ iPhone 8 දුරකථනය වර්ධිත තථ්‍යතාව (AR) සඳහා ඉහළ හැකියාවන් හිමි කර ගන්නවා. එසේ ම පසුපස කොටස වීදුරුවලින් සැකසෙනු ඇති අතර රැහැන් රහිත ආරෝපණය කිරීම් ලබා ගනු ඇති.

ප්‍රොසෙසරය

chinatopix.com

තායිවානයේ මයික්‍රොප්‍රොසෙසර නිෂ්පාදක TSMC ආයතනය විසින් පසුගිය මැයි මාසයේදී Apple A11 ප්‍රොසෙසර තැනීම ආරම්භ කළ බව වාර්තා වුණා. ඒ අනුව නැනෝමීටර 16ක ක්‍රියාවලියක් ඔස්සේ තැනෙන මෙම වැඩි වේගයක් සහ අඩු බැටරි බල භාවිතයක් සහිත A11 ප්‍රොසෙසර නව අයිෆෝන් දුරකථනයේ යෙදවෙනු ඇති බවට අනුමාන කරන්නට පුළුවන්.

අභ්‍යන්තර ධාරිතාව

phonearena.com

අභ්‍යන්තර ධාරිතාව සඳහා NAND ෆ්ලෑෂ් මතකයන් භාවිතා වනු ඇති අතර ඒවා සැම්සන්ග් සමාගම විසින් ඇපල් සමාගමට සපයනු ලබන බවට 2016 වසරේ අප්‍රේල් මාසයේදී පුවත් සටහන්වල දැක්වුණා. ඔවුන්ට අමතරව SK Hynix සහ Toshiba සමාගම් ද ඇපල් වෙත ධාරිතාවන් සකසා දෙන අතර දැනට යන රටාව අනුව iPhone 8 දුරකථනය සමඟ 64GB සහ 256GB ධාරිතාවන්ගෙන් යුත් දුරකථන මාදිලි නිකුත් වීමට ඉඩ තිබෙනවා. මෙම නවතම NAND මතකයන් හරහා ඔවුන්ගේ අපේක්ෂාව පැහැදිලිව සටහන් නොවුණත්, මෙමගින් අඩු භෞතික ඉඩ ප්‍රමාණයකින්, වැඩි ධාරිතාවක් සහ ඉහළ කියැවීමේ-ලිවීමේ වේගයක්, අඩු බැටරි බල භාවිතයකින් ලබාගන්නට ඔවුන් අපේක්ෂා කරන බව මොනවට පැහැදිලි යි.

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී මේ කටකතා කෙතරම් දුරට හරි ද කියලා දෑහින් ම අපිට එහි එළිදැක්මත් සමඟ දැකගන්නට ලැබේවි. ඉතින් ඔබ ඇපල් රසිකයෙක් විදියට හෝ තාක්ෂණයේ නවතම දේවල් ගවේෂණය කරන්නෙක් ලෙස මේ ඇපල් සමාගමේ තීරණය කුමක් වේවි කියලා ද හිතන්නේ? සමහර විට, හැම දුරකථන සමාගමක් ම දැන් එක ම විදිහේ දුරකථන තනන බව ඔබ සිතනවා ඇති. Comment එකකින් අපිත් එක්කත් ඒ අදහස් බෙදාහදා ගන්න.

කවරයේ ඡායාරූපය: 9to5mac

Related Articles