Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොලර් බිලියන 10ක Bitcoin සුරකින අමුතු බැංකුව

ලොකු මුදලක් හෝ වෙනත් වටිනා වස්තුවක් තියෙනවා නම් අපේ පුරුද්දක් තමයි ඒක බැංකුවක තැන්පත් කරන එක, හෝ බැංකුවක තියෙන පෞද්ගලික සේප්පුවක තැන්පත් කරන එක. අපිට තනිවම ඒවා ආරක්ෂා කර ගන්න බැරි වුණාට වටිනා වස්තූන් ආරක්ෂා කරන්න හොඳ පළපුරුද්දක් සහ වගකීමක් සහිත බැංකුවක, ඒවා තැන්පත් කරාම අපිට ඒවා නැති වෙයි කියලා බය නොවී ජීවත් වෙන්න පුළුවන්. මේ නිසාම විශාල ප්‍රමාණයේ මුදල් සම්භාරයන් වගේම වස්තුව සුරැකිව තබා ගන්නත් බැංකු බිහි වීම අතීතයේ සිටම සිදු වෙන දෙයක්.

මුදල් හෝ රන් වැනි වටිනා දේ සුරකින්න බැංකු තුළ විශේෂයෙන් සකස් කළ ආරක්ෂක කාමර  (vaults) පවතිනවා. (vimeocdn.com)

නමුත් මෑත කාලයේ හැම දෙයක්ම ඩිජිටල්කරණය වන එකේ වස්තුව සහ ධනයත් ඩිජිටල්කරණය වෙලා. බිට්කොයින් ප්‍රධාන crypto මුදල් ඒකකවල තමන්ගේ ධනයෙන් සැළකිය යුතු කොටසක් තැන්පත් කරලා තියන්න බොහෝ දෙනෙක් පෙළඹිලා. නමුත් වෙනත් වස්තූන් සහ මුදල් වගේම මේවා වුණත් සොරකම් කිරීමකට ලක් විය හැකියි. මේ නිසා තමන් ගාව තියෙන බිට්කොයින් සුරැකිව තබා ගන්නත් ලොකු ලොකු සල්ලිකාරයෝ විවිධ ආරක්ෂක ක්‍රම පාවිච්චි කරනවා.

නමුත් අද වන විට ඒ බිට්කොයින් රැක දෙන්නම සුවිශේෂී වූ බැංකු පවා තියෙනවා. මින් ප්‍රධානතම වන Xapo මෑතක දී බිහි වුණු එකක් වුණත්, මේක එසේ මෙසේ බැංකුවක් නෙවෙයි. ඩොලර් බිලියන 10 ක වටිනාකමක් ඇති, තවත් විදිහකින් කිව්වොත් ශ්‍රී ලංකාවේ මුළු විදේශ සංචිත ප්‍රමාණයටත් වඩා වැඩි වටිනාකමක් ඇති බිට්කොයින් සම්භාරයක් මෙය සතුයි. සාමාන්‍ය බැංකුවට වඩා වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වෙන මේ Xapo බැංකුව ගැනයි අද ලිපියෙන් කතා කරන්නේ.

ආජන්ටිනාවෙන් ආ මොළකාරයා – වෙන්සස් කසාරස්

xapo.com

මේ බැංකුවේ නිර්මාතෘ වන්නේ ආජන්ටිනා ජාතික වෙන්සස් කසාරස්. ප්‍රසිද්ධ ව්‍යවසායකයෙක් වන ඔහු බිට්කොයින් අනාගතයේ විශාල වටිනාකමක් ලබන බවට පුරෝකථනය කරමින්, ඇමරිකාවේ සිලිකන් වැලීහි ධනවතුන් බොහෝ දෙනෙක්ට තම ධනයෙන් කොටසක් බිට්කොයින් ලෙස තබා ගන්න කියලා උනන්දු කරවන කෙනෙක් විදිහට ප්‍රසිද්ධ යි. අනාගතයේ ලොව ප්‍රධානම මුදල් ඒකකය බිට්කොයින් වනු ඇති බවටත්, ඒ නිසාම එය දැන්ම මිල දී ගත යුතු බවටත් ඔවුන්ට උපදෙස් දෙන ඔහු, එය ආරක්ෂා කිරීමේ කාර්යභාරය තමන් භාර ගන්නා බව කියමිනුයි මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් මේ විදිහට ධනය හෝ වස්තුව සුරකින්න කටයුතු කරන බැංකු හෝ ආයතන ඒ ගැන පිටස්තර පුද්ගලයන්ට කිසිවක් දැන ගන්න තියන්නේ නැහැ. නමුත් කසාරස් ඊට තරමක් වෙනස් ක්‍රමයක් අනුගමනය කරමින්, ඇතැම් මාධ්‍යවේදීන්ට මේ බැංකුව පවත්වා ගෙන යන හැටි ගැන සොයා බලන්න අවසර ලබා දෙනවා. එහිදී බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වන්නේ බිට්කොයින් ආරක්ෂා කරන්න ගෙන තිබෙන පියවර මොනවා ද කියන එකයි. ඒ ගැන ප්‍රසිද්ධ වීම තමන්ගේ අනාගත සේවාදායකයන්ගේ විශ්වාසය වැඩි දියුණු වෙන්න හේතු වෙනවා කියලයි කසාරස් මේ ගැන හිතන්නේ. ඒ වගේම තවත් crypto මුදල් ඒකක මොන තරම් තිබුණත් කවදා හරි බිට්කොයින් විතරක් ඉතිරි වේවි කියලයි ඔහු කියන්නේ. මේ නිසාම ඔහු සුරකින්න භාර ගන්නේ බිට්කොයින් විතරයි.

බිට්කොයින් සුරකින්නේ කොහොම ද?

Private Key එක කෙටි කාලයකදී අතින් වුවත් ලිවිය හැකි තරම් කුඩා එකක් වුණත් එය ගණුදෙනු කිරීමේ හැකියාව නිසා වටිනාකම අතින් ඩොලර් බිලියන ගණනක් වෙන්න ඉඩ තියෙනවා. (bitfall.com)

සාමාන්‍යයෙන් භෞතික වස්තුව හරි, මුදල් හරි සුරකින්නේ සේප්පුවක දාලා නේ. නමුත් බිට්කොයින් ඩිජිටල් මුදල් ඒකකයක් නිසා එය පවතින්නේ පරිගණක දත්තයක් විදිහට යි. මෙහි දී වඩාත්ම වැදගත් වෙන්නේ තමන්ට හිමි පෞද්ගලික කේතය යි. බිට්කොයින් ගණුදෙනු කරන්න වගේම තමන්ගේ බිට්කොයින් ආරක්ෂා කරගන්නත් අවශ්‍ය නම්, මේ කේතය කාටවත් ලබා ගන්න නොදෙන එක අත්‍යාවශ්‍ය යි. මේ කේතය බයිට් 32ක ඉතා කුඩා එකක් වුණත් වටිනාකම අතින් නම් කෙනෙක් සතු මුළු බිට්කොයින් ප්‍රමාණයටම සමාන යි. සියලු බිට්කොයින් ගණුදෙනු සඳහා මෙය අවශ්‍යයි වගේම, මෙය තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ මුළු බිට්කොයින් ප්‍රමාණයම සොරා ගන්නත් පුළුවන්.

මේ කේතය අන්තර්ජාලයට සම්බන්ධ උපාංගයක තිබුණොත් සොරකමට ලක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි. මේ නිසා බොහෝ දෙනෙක් මෙය තබා ගන්නේ encrypt (ගුප්ත කේතනය) කළ පෙන් ඩ්‍රයිව් එකක් වැනි උපාංගයක. නමුත් තමන් ළඟ විශාල බිට්කොයින් ප්‍රමාණයක් තියෙනවා නම් එය සොරකම් කරන්න හෝ පරිගණක වැඩසටහන් හරහා එහි දත්ත සොයා ගන්න උත්සාහ කරන පුද්ගලයන්, හැකර්වරු බිහි වෙන්න ඉඩක් තියෙනවා. මේ නිසා ඇතැම් ධනවත්තු මේ කේතය ආරක්ෂා කරන්න වෙනම සේප්පු, ඝන බිත්ති සහිත කාමර සහ සමහර විට ආරක්ෂාව තර කළ නිවාස පවා පවත්වා ගන්නවාලු.

Xapo හි සුවිශේෂී විසඳුම

Xapo හි ස්විස් බංකරයක් තුළ ඇති සර්වර් වෙත යාමට රැකවල් බොහොමයක් පසු කළ යුතුයි. (zerohedge.com)

යුධ බංකරයක් වගේ ඉතා ශක්තිමත්ව සාදපු බිත්ති තුළ, ආරක්ෂක රැකවල් බොහොමයක් මධ්‍යයේ තියෙන පරිගණක සර්වර් තුළ මේ කේත ගබඩා කර තැබීම තමයි කසාරස්ගේ Xapo බැංකුවෙන් සිදු කරන්නේ. මහද්වීප පහක පවත්වාගෙන යන මෙවැනි ඒකකවලින් එකක් පවත්වාගෙන යන්න ඔහු ස්විටර්ලන්තයේ පැරණි යුධ බංකරයක් පවා පාවිච්චියට ගෙන තිබෙනවා. Xapo හි තැන්පත් කළ කේතයකින් ඕනෑම ගණුදෙනුවක් කිරීම සඳහා තමන්ගේ අනන්‍යතාව හරියටම තහවුරු කරන්න පියවර ගණනාවක් පසු කිරීම අවශ්‍ය යි. එහි දී අවමයෙන් සර්වර් තුනකින්වත් මේ විදිහට අනන්‍යතාව තහවුරු කිරීම වෙන වෙනම සිදු කර ගත යුතු යි. එක අවස්ථාවක හෝ යන්තම්වත් සැකයක් තිබුණොත් ඒ ගණුදෙනුව අක්‍රීය කෙරෙනවා.

ගණුදෙනුවේ වටිනාකම අනුව මේ සියල්ලටම අමතරව වීඩියෝ කෝල් තුළින්, හඬ පරීක්ෂා තුළින්, සමහර විට නියෝජිතයෙක් ගණුදෙනුකරුවා වෙත ගුවන් මගින් එවීම තුළින් වුවත් අනන්‍යතාව හරියටම තහවුරු කර ගන්න Xapo ආයතනය කටයුතු කරනවා. මීට අමතරව ඇමරිකානු රේගුවේ ලියාපදිංචි ආයතනයක් හරහා සියලුම ඇමරිකානු බිට්කොයින් ගණුදෙනු කරන Xapo ආයතනය තම ආයතනයේ පාරිභෝගිකයන් යොදවන මුදල් ලැබෙන ආකාරය තහවුරු කරගන්නත් කටයුතු කරන නිසා නීතිමය අතිනුත් ඔවුන් ආරක්ෂා වෙලා. මේ සියල්ලම නිසා ඉතා ප්‍රසිද්ධ, අතිශය ධනවතුන් පවා මේ සේවාව විශ්වාස කරමින් බිලියන ගණන් වටිනා බිට්කොයින්වල පෞද්ගලික කේත මෙහි තැන්පත් කර තිබෙනවා. මෙහි ඇති සම්පූර්ණ බිට්කොයින් ප්‍රමාණය Xapo ආයතනය රහසක් ලෙස තබා ගත්තත් blockchain එකේ ගණුදෙනු ඇසුරෙන් එහි අවම වශයෙන් ඩොලර් බිලියන 10ක වටිනාකමක් ඇති බිට්කොයින් පවතින බව සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ලොව පවතින මුළු බිට්කොයින්වලින් 7% ක්ම ඇත්තේ Xapo සතුව යි.

මේ ලිපිය ලියන විට ලොව පුරා ඇති Bitcoin වල මුළු වටිනාකම ඩොලර් බිලියන 145 කට ආසන්නයි. එයින් 7% ක් පමණ Xapo භාරයේ පවතිනවා. (investopedia.com)

ඒ වගේම මේ වන විට ආරම්භ කර වසර හතරක් පමණක් ගත වී ඇති Xapo ආයතනය සතු වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වත්කම් හිමි සාම්ප්‍රදායික බැංකු මුළු ඇමරිකාවේම පවතින්නේත් 2%ක පමණ සුළු ප්‍රමාණයක් විතර යි. ඉතින් ඇත්තටම කසාරස් මේ කෙටි කාලය තුළ ලබා තිබෙන සාර්ථකත්වය හිතා ගන්නත් බැරි තරම්. අලුත් විදිහට හිතමින් නව ව්‍යාපාර බිහි කරන ව්‍යවසායකයෙකුට ලබා ගත හැකි සාර්ථකත්වයටත් මේ නිසා කසාරස් ඉතාම හොඳ නිදසුනක්.

කවරයේ රූපය : (gigaom.com)

Related Articles