Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට වසර 10ක් සපිරෙයි

ලොව වැඩිපුර ම පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් සහිත දුරකථනයක් වෙළඳපොළට පැමිණ වසර 10ක් සපිරුණා. එය එතරම් ප්‍රචලිත වන්නට මූලික හේතුවක් වුණේ විවෘත කේත බවට පත් කිරීම යි. එනිසා ඕනෑ ම දුරකථන නිෂ්පාදකයෙක්ට එය තමාට අවශ්‍ය සේ, තම දුරකථන උපාංගයට ගැලපෙන සේ සකසා වෙළඳපොළට යවන්නට අවස්ථාව ලැබුණා. මෘදුකාංග සංවර්ධකයන්ටත් ගූග්ල් සමාගම Play Store එකෙහි දැක්වූ ලිහිල් ප්‍රතිපත්ති, ලාභදායී ගාස්තු නිසා වැඩි වශයෙන් ඊට ඇප්ස් හදන්නට පෙළඹවීමක් ලැබුණා. කේක් කපන්න කලින් අපි දැන් ඉතිහාසය පීරමු.

Android Inc. සැකසූ OS එක ගූග්ල් සමාගම මිල දී ගත්තා

Android දැන් ලොව වැඩිපුර ම භාවිතා වන ජංගම මෙහෙයුම් පද්ධතිය යි (bgr.com)

ඇන්ඩ්‍රොයිඩ් දැන් ගූග්ල් සමාගමේ ඉදිරිපෙළ නිෂ්පාදනයක් වුණාට, එහි මෙලොව එළිය දැකීම සිදුවුණේ ඇන්ඩි රූබින්, රිච් මයිනර්, නික් සියර්ස්, සහ ක්‍රිස් වයිට් යන සිව්දෙනාගේ Android Inc. ආයතනයේ දී යි. ඒ, දැනට ඇන්ඩ්‍රොයිඩ්වලට සිටින එක ම තරගකරුවා වන ඇපල් ආයතනයේ iPhone දුරකථනය (2007 දී) හඳුන්වාදීමටත් පෙර, මිනිසුන් ස්මාර්ට් දුරකථන ගැන වැඩිය දන්නේවත් නැති කාලයක දී යි. 2003 දී නිපැයුණු මේ මෙහෙයුම් පද්ධතිය සහිත ආයතනයේ අරමුණ වූයේ ඩිජිටල් කැමරාවලට මෙහෙයුම් පද්ධතියක් ලබාදීම බව යි රූබින් ටෝකියෝවේ දී 2013 දී කිව්වේ.

ඇන්ඩි රූබින් (wccftech.com)

2005 දී ගූග්ල් සමාගම විසින් Android Inc. තමා යටතට පවරා ගත්තා. කැමරාවල වෙළඳපොළ අගය වැටෙමින් දුරකථනවලට ඉදිරි ගමනක් ඇතිවීමත් සමග එය දුරකථන වෙනුවෙන් ඉලක්කගත කළත්, වින්ඩෝස් මොබයිල් වෙළුම හා සිම්බියන් ආදී මෙහෙයුම් පද්ධතිවල තරගය සහ දුරකථනයක් නිපදවීමට තිබූ නොහැකියාව මත OS එක නොමිලේ දෙන්නට ඔවුන් තීරණය කළා.

ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් වෙළුම: Android 1.0

android.com

ගූග්ල් සමාගම 2007 වන තුරුත් රහසිගත ව ඇන්ඩ්‍රොයිඩ් සමග කටයුතු කරමින් සිට එවසර නොවැම්බරයේ දී තම ඉදිරි පියවර ගැන හඬ නැගුවේ ඇන්ඩ්‍රොයිඩ් 1.0හි බීටා වෙළුමත් සමග යි. ඔවුන් දුරකථන නිෂ්පාදකයන් වන HTC, චිප් නිෂ්පාදක Qualcomm, ඇමෙරිකාවේ දුරකථන සේවා සම්පාදක T-Mobile වැනි සමාගම් එක් කරගෙන Open Handset Alliance නමැති සංගමය හදාගත්තා. ගූග්ල් සමාගම ඒ දිනවල Sooner නමැති බාහිරට, වෙළඳපොළට නොදුන් බ්ලැක්බෙරිවලට සමාන දුරකථනයක් පාවිච්චි කර තිබුණා. මූල ආකෘතියක් බඳු වූ එය HTC සමාගමේ EXCA 300 හෙවත් ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපිත දුරකථනය යි.

නිසි නමක් ලැබූ ප්‍රථම වෙළුම වන Cupcake (Android 1.5) සතු ව අපි අද දකින විශේෂාංග බොහොමයක් තිබුණා. සම්පූර්ණයෙන් ස්පර්ශක තිරයක් ඇති දුරකථනයකට අවශ්‍ය Virtual keyboard එකක්, App සඳහා widgets, copy සහ paste කිරීමේ හැකියාවන් මෙන්ම වීඩියෝ කර share කිරීමට හා upload කිරීමට එයට හැකියාව තිබුණා. අද ඔබ දකින Play Store එකට එකල (2012 දක්වා) කිව්වේ Android Market කියලා.

ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය: T-Mobile G1

T-Mobile G1 හෙවත් HTC Dream දුරකථනය (onextrapixel.com)

T-Mobile G1 යනු 2008 දී වෙළඳපොළට හඳුන්වාදුන් ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වූවා. එය HTC සමාගම විසින් නිෂ්පාදිත HTC Dream දුරකථනය නමුත් වෙළඳපොළට T-Mobile දුරකථන සමාගමේ නමින් නිකුත් වුණා. එහි Qualcomm 528 MHz ප්‍රොසෙසරයක්, මෙගාබයිට් 192ක රැම් එකක්, සහ පසුපස කැමරාව (එකල සෙල්ෆි කැමරාවක් තිබුණේ නැහැ.) මෙගාපික්සල් 3.15ක් වුණා. විශේෂත්වයක් වූයේ එහි යට Trackball එකක් ද තිබීම සහ තිරය සහිත කොටස දකුණු පසට slide කිරීමෙන් physical keyboard එකක් ලබාගත හැකි වීම යි. එම දුරකථනය Android 1.6 (Donut) ධාවනය කළ අතර, බැටරිය ද ගැලවිය හැකි වුණා. අභ්‍යන්තර ධාරිතාව 256 MBක් වූයේ මෙමරිකාඩ් දැමීමේ හැකියාව ද සමග යි. ඉතා ම මෑතක ආ දුරකථනවල මෙන්ම එහි ද 3.5 mm headphone jack එක තිබුණේ නැහැ. එහි ත්‍රිමාණ අත්දැකීමක් ඔබට මෙතැනින් ලැබිය හැකියි.

ඇන්ඩ්‍රොයිඩ් නාමකරණය

Android නම් කරන්නට යොදාගත් රසකැවිලි සහ අතුරුපස (techradar.com)

2004 දී නිකුත් වුණු උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ද්විපද නාමකරණයක් සතුන්ගේ නම්වලින් ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට ලබන්නට පටන්ගත්තේ Ubuntu 5.10 සිට වුවත් ඇන්ඩ්‍රොයිඩ් සඳහා මුල පටන් ම බාහිරට මුදාහැරීමේ දී එය සිදු කෙරුණා. ඇන්ඩ්‍රොයිඩ් සඳහා තෝරා ගැනුණේ රසකැවිලි සහ අතුරුපස වර්ගවලින් යුත් තනි නමක්. ඇන්ඩ්‍රොයිඩ් 1.0 සතු ව නමක් නොතිබූ අතර 2.6 ප්‍රංශ රසකැවිල්ලක් වූ Petit Four ලෙස නම් කෙරුණා. මෙතෙක් නිකුත් වූ Android 9 දක්වා නම් ලැයිස්තුව, එළිදැක්වූ වර්ෂය, සහ කෙටි විස්තරයක් මෙසේ යි:

  • Cupcake 1.5  (2009 අප්‍රේල්) – ස්පන්චි වැනි ආහාරයක්
  • Donut 1.6 (2009 සැප්තැම්බර්) – පැණිරස දැමූ උළුඳු වඩේ හැඩැති ආහාරයක්
  • Eclair 2.0 (2009 ඔක්තෝබර්) – චොක්ලට් උඩින් දැමූ බනිස් වර්ගයක්
  • Froyo 2.2 (2010 මැයි) – ශීතකළ යෝගට්
  • Gingerbread 2.3 (2010 දෙසැම්බර්) – ඉඟුරු පාන්
  • Honeycomb 3.0 (2011 පෙබරවාරි) – ටැබ්ලට් උපාංග වෙනුවෙන් සැකසූ වෙළුමක්
  • Ice Cream Sandwich 4.0 (2011 ඔක්තෝම්බර්) – බිස්කට් දෙකක් අතර යෙදූ අයිස්ක්‍රීම්
  • Jelly Bean 4.1 (2012) – බෝංචි හැඩැති ජෙලි
  • KitKat 4.4 (2013) – ප්‍රසිද්ධ කිට්කැට් නමැති චොක්ලට් අඩංගු නිෂ්පාදනය
  • Lollipop 5.0 (2014)
  • Marshmallow 6.0 (2015)
  • Nougat 7.0 (2016) – මී පැණි, පළතුරු, කජු ආදියෙන් සකසන ආහාරයක්
  • Oreo 8.0 (2017) – ප්‍රසිද්ධ ඔරියෝස් නමැති බිස්කට් වර්ගය
  • Pie 9.0 (2018) – විවිධ ආකාරයෙන් සකසා ගත හැකි පිටි කෑමක්

මෙතෙක් ආ වෙළුම්වල මූලික හැකියාවන්

ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප්කේක් වෙළුමේ තිරදසුනක් (googleapis.com)

වසර 10ක් තුළ පැමිණි මඟත් සමග ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ හැකියාවන් වැඩි වුණේ උපාංගවල සවිබලයේ වැඩිවීමට ද අනුගාමී ව යමින්. මේ වන විට කෘත්‍රීම බුද්ධියට පවා සහාය වන්නට හැකි ඇන්ඩ්‍රොයිඩ්වලට notch එකට ද සහාය දෙන්නට සිදුවුණේ 2018 දුරකථන ඒ වෙනුවෙන් ම පෙළගැසුණු නිසා යි. මුල් තිරය මතට Google search box එක ආවේ 1.6 Donut හිදී යි. Google maps සඳහා navigation හැකියාවන් Eclair සමග ලැබුණු අතර හඬ පාලනයෙන් ලැබෙන විධානවලට අවනත වන්නට Froyo වෙත හැකියාව තිබුණා. ඇප් එකක් කෙතරම් බැටරි ප්‍රමාණයක් පාවිච්චි කරනවාදැ යි බලාගන්නට හැකිවුණේ 2.3 Gingerbread ආවාටත් පසුව යි. App ෆෝල්ඩර්, Android beam (NFC තාක්ෂණයෙන් දුරකථන දෙකක් එකිනෙකෙහි පසුපස ස්පර්ශ වනසේ තැබුවා ම එකිනෙක සබැඳී දත්ත සංසරණය ඇරඹීම) වැනි පහසුකම් Ice Cream Sandwichවල තිබුණා.

මුල්වරට බැටරි භාවිතයන් දැක්වූ Android 2.3 ඉඟුරුපාන් මල්ලි (googleapis.com)

ලංකාවට තවමත් හරිහැටි නැති Google Now, Google Assistant ආවේ 2012 දී නිකුත් වුණු “ජෙලිබෝංචි”වලින්. Ok Google කියමින් ගූග්ල් සහායකයා පණ ගැන්වීම කිට්කැට්වල දී සිදුවුණු අතර ලොලිපොප්වලින් ආ Material Design සංකල්පය ලොව පුරා උඩුදිව්වේ වෙබ් අඩවිවල පවා වර්ණ හා සැලසුම් වෙනස් කරලමින්. ඇප්ස්වලට අවශ්‍ය permissions ධාවනය වන අතරතුර දී අවශ්‍ය අවස්ථාවේ දී ඇසීම Marshmellow හි දී ලැබුණා. සමේ වර්ණය අනුව ඉමෝජි වර්ගීකරණය, VR mode ආදිය Nougat වලිනුත්, වෙනත් ඇප් එකක් මත තවත් ඇප් එකකින් වීඩියෝ ධාවනය (Picture-In-Picture), සහ අඩු මිල දුරකථනවලත් අලුත් ම ඇන්ඩ්‍රොයිඩ් Go වෙළුම ධාවනය කිරීමේ අවස්ථාව Oreo සමග විශේෂණය වුණා.

ඉතින්, ඔබ මුලින්ම පාවිච්චි කරපු ඇන්ඩ්‍රොයිඩ් version එක සහ ෆෝන් එක මොකක්ද?

 

කවරය: Roar/@thambaru

Related Articles