Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසර සමග ම සමුගන්නා Google සේවාවන් 7ක්

අලුතෙන් මෘදුකාංගයක්, සේවාවක්, හෝ ව්‍යාපාරයක් අරඹන කෙනෙක්ට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි. මොකද, අපි ගොඩක් දෙනෙක් හිතන්නේ ගූග්ල්, ඇපල්, ඇමසන් වගේ ලොකු ලොකු අය කරන හැමදෙයක් ම හරියන නමුත්, අපි පොඩියට පටන් ගන්න දෙයක් කවදාවත් හරියන්නේ නැහැ කියා යි. ඒත් ඇත්තම තත්ත්වය, ලොකු සද්දයක් දාලා පටන් ගත්තු බොහෝ මෘදුකාංග හා සේවාවන් කාලය ගතවද්දී අසාර්ථක වෙලා අවසන් ගමන් යෑම යි. තාක්ෂණික දැවැන්තයෙක් වන ගූග්ල් සමාගමටත් එය පොදු කරුණක් බව, 2018 සමග ම අවසන් ගමන් යන මේ සේවාවන් සාක්ෂ්‍ය සපයනවා. මේ, 2018 වසරේ අපෙන් සමුගන්නා එම ගූග්ල් සේවාවන්හි මතකාවර්ජනය යි.

URL කෙටි කළ Goo.gl

වසර දහයක් පැවති සේවාවක් (sapo.pt)

2009 වර්ෂයේ දී ආරම්භ කරන ලද Goo.gl සේවාව 2018 මාර්තු මාසයේ දී නවතා දැමුණා. ඇනකොණ්ඩාවෙක් තරම් දිග URL එකක් යවන්නට කලින් ඒක URL shortening සේවාවක් හරහා කෙටි කරගත්තා ම එය ලබන කෙනාට බොහොම පහසුවක් වෙනවා. අන්තර්ජාලය පුරා මෙවන් සේවාවන් ගණනාවක් ම තිබෙනවා. BitLy, BlInk, TinyCC, ShortCM ආදිය ඒ අතරින් කිහිපයක්. ඒවායේ ප්‍රසිද්ධිය මෙන්ම පරිශීලකයන්ගේ භාවිතයේ වෙනස් කම් සැලකිල්ලට ගනිමින් ගූග්ල් සමාගම තම සේවාවේ ස්වභාවය වෙනස් කරන්නට තීරණය කළා.

Goog.gl ඒ අනුව තවදුරටත් ඍජු වෙබ් අඩවියක් නොවෙයි. එය Firebase සේවාවේ අනු-කොටසක් ලෙස Firebase Dynamic Links නමින් Appsවල පාවිච්චියට මෘදුකාංග සංවර්ධකයන්ට ලබා දුන්නා. Goog.gl වෙබ් අඩවිය දැන් 404 පිටුව පෙන්වූවත් වැසීමට පෙර ඉන් කෙටි කළ URL තවදුරටත් ක්‍රියා කරන බවට ඔවුන් සහතික වෙනවා.

ඡායාරූප ගැන සියල්ල දත් Google Goggles

නිෂ්පාදනය හඳුනාගෙන ගූග්ල් සෙවුමක් කරන්නට ඊට හැකියි (cbsistatic.com)

කිසියම් දෙයක ඡායාරූපයක් අරගෙන, එය Goggles ඇප් එක වෙත යොමු කළා ම ඡායාරුවේ තිබෙන දේවල් හඳුනාගන්නට ඊට හැකියාව තිබුණා. මේ අතරේ අකුරු පෙළක් දෙසට කැමරාව යොමු කළ විට එහි පරිවර්තනයක් පෙන්වන්නට Word Lens නමැති ඇප් එකක් සමත් වුණා. 2014 වර්ෂයේ දී ගූග්ල් සමාගම විසින් හෙළි නොකරන ලද මුදලකට එම ව්‍යාපෘතිය මිල දී ගෙන තමන්ගේ සේවාවන්ට ද එය යොදාගනු ලැබූ අතර, 2018 අගෝස්තු මාසයේ දී Goggles අවසන් ගමන් ගියා. ඒ, Google Lens බිහිකරමින්.

දැන් එය ස්වාධීන ඇප් එකක් ලෙස Google Lens නමින් තිබෙන අතර, Google Photos සේවාවට ද එහි විශේෂාංගයන් අනියුක්ත කර තිබෙනවා.

කෘත්‍රීම බුද්ධියෙන් යුතු චැට් සේවාව Google Allo

Chat app එකක අවසානය (9to5google.com)

ගූග්ල් සමාගමේ Hangouts නමැති Gmail හා Google+ හා සබැඳුණු චැට් සේවය තිබිය දී ම ඔවුන් Allo නමින් තවත් සේවාවක් හඳුන්වා දුන්නා. එහි මූලික අරමුණ වුණේ Google Assistant හි කෘත්‍රීම බුද්ධීමය හැකියාවන් ප්‍රදර්ශනය සහ ව්‍යාපාරික ප්‍රජාවට chat app එකක් හරහා පාරිභෝගිකයන්ට ළං වීමට අවස්ථාව සැලසීම යි. මේ ගැන උජාරුවට 2017 වසරේ Google I/O හි දී කතා වුණා. නමුත් SMSහි උත්ශ්‍රේණි ගත කිරීමක් වන RCS සේවාවට මුල පුරමින් Android Messages වෙත ස්ටිකර්ස් ආදිය හඳුන්වාදෙනු ලැබූ අතර, දැන් දුරකථන සේවා සමාගම් සමග RCS ප්‍රචලිත කිරීමෙහි ගූග්ල් සමාගම ද නියුක්ත ව සිටිනවා. RCS එන්නට නම්, Allo සමුගත යුතු යි.

2019 මාර්තු මාසයේ පටන් Allo සඳහා ප්‍රතිපාදන නවතිනවා. නමුත් ඊට සමගාමී ව ආ Duo නමැති වීඩියෝ ඇමතුම් සේවාව දිගටම පවතිනවා.

අසාර්ථක සමාජ ජාලය හෙවත් Google+

පරිශීලකයන්ගේ සිත් නොගත් G+ (netdna-ssl.com)

ඇන්ඩ්‍රොයිඩ්, Gmail, YouTube ආදී එදිනෙදා පාවිච්චි වන සේවාවන්ගෙන් අප ව බැඳ තබාගන්නට ගූග්ල් සමාගමට හැකි වූවත්, ෆේස්බුක් එකෙන් කළ සමාජ පෙරැළිය තමා යටතට ගන්නට Google+ ගෙන ඒමෙන්වත් ඔවුන්ට නොහැකි වුණා. අසාර්ථක බව නිසා ම එය නවතා දමා Project Strobe නමින් ගූග්ල් ගිණුම හරහා Sign-In වීම ආදී පහසුකම් සලසන සේවයක් පමණක් ඉතිරි කරන බවට ඔක්තෝබරයේ දී දැනුම් දුන්නා.

අඩු පිරිසක් පාවිච්චි කිරීම නිසා මෙම සේවාව ඉවත් කරන්නට යන බවට මතුපිටින් පෙනුණත්, පුද්ගල දත්ත පිටතට නිරාවරණය වන ආකාරයේ bug එකක් ඇති බවත්, එය පරිශීලකයන් දැනගතහොත් ගැටළුවක් වන නිසා සඟවන ලද බවත් පසුව හෙළිවුණා. නමුත් මෙතෙක් කිසිදු දත්ත අවභාවිතාවක් වාර්තා වී නැති බවට යි ගූග්ල් සමාගම කරුණු පැහැදිලි කළේ.

Gmailවලට තවත් ඇප් එකක් ගෙන ආ Google Inbox

දුරකථනයට ඇප් එකක් මෙන්ම web version එකක් ද තිබුණා (9to5google.com)

2014 වර්ෂයේ දී Gmail සඳහා ඇප් එකක් තිබිය දී ම තවත් එකක් Google Inbox නමින් ආවා. එය ලබා ගත යුතු වූයේ මුලින් ලියාපදිංචි වී, කාලයක් බලා හිඳ ඔවුන් එවන ලින්ක් එකක් හරහා වූ අතර, ඒ ලැබුණු කෙනාට යැවිය හැකි සීමිත invite සංඛ්‍යාවකින් තවත් අයට එය අත්විඳින්නට අවස්ථාව ලැබුණා. මෙහි තිබූ විශේෂත්වයන් වූයේ email එකක් ආවා ම ඊට යැවිය හැකි පිළිතුරක් එය විසින්ම යෝජනා කිරීම යි. ඒ වගේ ම, ඊමේල් group කිරීම්, පසුව කියැවීමට සිහිකැඳවුම් සැකසීම් ආදිය එහි ඇතුළත් වුණා. නමුත් පසුකාලීන ව ඒ විශේෂාංග Gmail වෙතට ම පවරමින් Inbox වෙතට සමුදෙන්නට ගූග්ල් සමාගම තීරණය කළා.

වැඩිදුර කියැවීමට: Gmailවල ඇති අප්‍රසිද්ධ විශේෂාංග 6ක්

2019 වර්ෂයේ මාර්තුවේ දී එය සම්පූර්ණයෙන් ම නවතා දැමෙන අතර, ඒ ගැන වැඩි දෙනෙක්ගේ පසුතැවීමක් ද නැහැ. මොකද, Gmail නමැති තනි සේවාවට තවත් ඇප් එකක් යොදාගන්නට සිදුවීම තවත් කරදරයක් පමණයි.

YouTube වීඩියෝ මත තිබුණු Annotations ඉවත් වෙයි

මතක ද මේ මැදින් ආපු ක්ලික් කළ හැකි කොටු? (ytimg.com)

Annotations හෙවත් වීඩියෝ එකක වැරදුණු තැන් නිවැරදි කරන්නට, කතා කරන දේට අදාල Link එකක් ආදිය දැක්වීමට තිබුණු, වීඩියෝ එක මත තැනින් තැන ආ කොටු ඉවත් කරන්නට ගූග්ල් සමාගම බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක්ට මේ ප්‍රවෘත්තිය සතුටුදායී වේවි. වීඩියෝ එකක් බලද්දී තිබෙන ඇඩ් ප්‍රමාණයට අමතර ව මේවාත් තැනින් තැන මතුවුණා ම මැච් එකක් බලනවා වගේ ඉතාම සුලු ඉඩක විතරයි යමක් නරඹන්නට හැකි වන්නේ.

නමුත් වීඩියෝ නිර්මාණකරුවන්ට නම් මෙය කනගාටුදායක ප්‍රවෘත්තියක්. 2017 මැයි මාසයේ දී ගූග්ල් සමාගම Annonation එකතු කිරීමට තිබූ editor එක ඉවත් කළ අතර, 2019 ජනවාරියේ සිට දැනට එක් කර තිබුණු annonation ද ඉවත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. එනිසා “ලින්ක් එක බලන්න මෙතන ක්ලික් කරන්න” කියලා ඇඟිල්ල දිගු කරමින් හදපු වීඩියෝ, annonations නැති වුණා ම විකාරරූපී බවට පත් වෙනවා.

ළඟපාත දේවල් ගැන කී Nearby Notifications

Google cast උපාංගයක් ළඟපාත ඇති විට ඊට සබැඳෙන්නදැ යි අසනවා (wccftech.com)

නොමිලේ සබැඳිය හැකි WiFi සබඳතාවක්, අසල ඇති බස් ගමන් වාර දත්ත, අවහන්හල් ආදිය ගැන ඕනෑම ඇප් එකකට Notifications හරහා දැනුම් දීමේ හැකියාව Nearby Notifications සේවාව හරහා ලබා දී තිබුණා. නමුත් මෘදුකාංග සංවර්ධකයන් විසින් තම ඇප්වල මෙය භාවිතා කරමින් spam කරනවාක් මෙන් තත්ත්වයක් උද්ගත වූ අතර, ඉන් පරිශීලකයාට ඇති වන කරදරය වැළැක්වීමේ අරමුණින් මෙම සේවාව නවතාලන්නට දෙසැම්බර් මාසයේ දී ගූග්ල් සමාගම කටයුතු කළා.

වසර තුනකට පසු එම සේවාව දැන් අවසන් ගමන් යන්නේ මෙතෙක් නිපදවා තිබූ ඇප්ස්වල නිර්මාණය කර තිබූ notifiacations ද නවතාලමින්. මෘදුකාංග නිපදවන්නන්ට ඒ වෙනුවට විකල්ප ද ඔවුන් යෝජනා කරනු ලැබුවා.

කවරය: mashable.com

Related Articles