Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Akon නිර්මාණය කරන අපූර්ව නගරය

ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් නිතර නිතර දෙස් විදෙස් පුවත් මැවීම සාමාන්‍යකරණය වී හමාරයි. මේ ලිපිය හරහා දිගහැරෙන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයෙකු වන Akon නිර්මාණය කරන්නට සුදානම් වෙන අපූර්ව නගරය පිළිබඳව යි. පසුගිය වසර කිහිපය තුළ Akon පිළිබඳව විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළත් නිතර නිතර කතා බහට ලක් වුණා. විශේෂයෙන්ම ඔහු නිර්මාණය කරන්නට සුදානම් වන AKoin නම් cryptocurrency එක ඉන් ප්‍රධාන හේතුවක්. Cryptocurrency කියන්නේ භෞතිකව අපි පාවිච්චි කරන මුදල් වෙනුවට ඉලෙක්ට්‍රොනිකව සංසරණය වන ආකේතිත මුදල් වර්ගයක්. Akonගේ අරමුණ මේ Cryptocurrency එක ඔස්සේ අප්‍රිකාවේ ජිවන තත්ත්වය නගා සිටවීම යි. Cryptocurrency සහ blockchain ඉතාම නුදුරු අනාගතයේ දී අප්‍රිකාවේ ගැලවුම්කරුවා බවට පත් වන බව ඔහු විශ්වාස කරනවා. අප්‍රිකාවට බෙහෙවින් ආදරය කරන පුද්ගලයෙක් ලෙස සැලකෙන Akon, අප්‍රිකා මහාද්වීපයේ මිලියන 600ක් ජනතාවට විදුලිය ලබාදීමට දරන ප්‍රයත්නයන් ජාත්‍යන්තරයේ ඉහළින් පැසසුම් ලැබුවා. 

Senegal හි බිහි වන අපූර්ව නගරය 

නගරයේ අවසන් අදියර මෙලෙසින් වේයැ යි විශ්වාස කෙරෙනවා. (mockup)- standard.co.uk

ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට හෝ කතා මාලාවන් හි දැක ඇති අන්දමේ නගරයක් නුදුරු අනාගතයේ දී නිර්මාණය කිරීමට මේ සංගීතඥයා සුදානම් වෙනවා. මේ පිළිබඳව ඔහු පළමු අනාවරණය සිදුකළේ Nick Cannonගේ  Power 106 Nick Cannon Mornings නම් රේඩියෝ වැඩසටහනට එක් වෙමිනුයි. සියයට සියයක් Cryptocurrency භාවිතයෙන් ගනුදෙනු කළ හැකි ලෙස මෙම නගරය සැලසුම් කරන බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ නගරය නම් වෙන්නේ Akon City යන නමිනුයි. ඒ වගේම මේ නගරය සම්පුර්ණයෙන්ම පාහේ පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදයන් භාවිත කර බල ගැන්වෙන ලෙස නිර්මාණය කරන්නට තමයි ඔහුගේ අදහස. (2014 වසරේ සිට ක්‍රියාත්මක වන Akon Lighting Africa ව්‍යාපෘතිය යටතේ මේ වෙද්දීත් ඔහු අප්‍රිකානු මහද්වීපයේ රටවල් 18කට සූර්ය බලයෙන් විදුලිය නිපදවා ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා.)  ඔබ Marvel රසිකයෙකු හෝ Black Panther චිත්‍රපටය නරඹා තිබෙනවා නම් Wakanda රාජ්‍ය පිළිබඳව අසා ඇති. Akon මේ වෙර දරන්නේ සැබෑ ලෝකයේ Wakanda රාජ්‍යයක් නිර්මාණය කිරීමට බව තමයි බොහෝ මත පළ කරන්නේ.

අප්‍රිකානු ජනජීවිත නගා සිටවීමට බිහි වන අනාගතයේ නගරය- standard.co.uk

බටහිර අප්‍රිකාවේ පිහිටි Senegal ජනරජය පදනම් කරගෙන මේ Akon City එක නිර්මාණය වෙනවා. අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිත ක්‍රියාවලියේ පළමු අදියර එළඹෙන මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත යි. වසර 10ක් ඇතුළත නගර ගොඩනැගීම අවසාන කිරීම අරමුණු කරගත් මේ ව්‍යාපෘතියේ දෙවන අදියර 2025 දී ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ නගරය ඉදිවෙන්නේ සෙනෙගල් හි ජනාධිපතිවරයා වන Macky Sall විසින් Akon වෙත තෑගී දුන් අක්කර 2,000ක භූමියක බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ නගරයට ඉහළ මට්ටමේ ගුවන්තොටුපොළක් පවා අන්තර්ගත වන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. 

AKoin අන්තර්ජාතික තලයකට පැමිණෙනු ඇතැ යි තමන් අපේක්ෂා කරන බවත්, ඔහුගේ නම සඳහන් නගරයක් ඉදිකරනවාට වඩා මේ හරහා අප්‍රිකානු ජන ජීවිත නගාසිටුවීම ඔහුගේ අරමුණ බව තමයි Akon සඳහන් කරන්නේ. මේ නගරය තුළ ඉතාම දියුණු තාක්ෂණික වෙනස්කම් දැකගන්නට හැකි වෙන බවට මේ වෙද්දීත් මත පළ වෙනවා. 

සබැඳි ලිපි: 

අන්තර්ජාලයෙන් සල්ලි ගැරිය හැකි Cryptocurrency, Mining, සහ Cryptojacking 

තොරතුරු යුගයේ මූල්‍යකරණයේ ප්‍රමුඛයා – Bitcoin

ඩොලර් බිලියන 10ක Bitcoin සුරකින අමුතු බැංකුව

බලශක්තිය ගබඩා කිරීමේ ක්ෂේත්‍රයේ හැමෝම හොයන තාක්ෂණික පෙරළිය

මූලාශ්‍රයයන්: 

Blackenterprise.com 

Standard.co.uk 

Youtube.com 

Lonelyplanet.com 

Cia.gov   

කවරය- Standard.co.uk 

Related Articles