Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනය අභිබවා කෘත්‍රීම බුද්ධිය වෙනුවෙන් ඇමරිකාව ගත් විධායක නියෝගය

ඇමරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය අනුග්‍රහය යටතේ කෘත්‍රීම බුද්ධිමය කටයුතු ඇරඹීමට පියවර ගෙන තිබෙනවා. ධවල මන්දිරය American AI Initiative ලෙස හඳුන්වන විධායක නියෝගයක් අනුව මෙතැන් පටන් ඔවුන් කෘත්‍රීම බුද්ධියෙහි ඉදිරි ගමන අරඹන්නට සූදානම් වෙනවා. මේ වන විට චීනය කෘත්‍රීම බුද්ධියෙහි ඉදිරියෙන් සිටින නිසා ඊට කරට කර නැඟී සිටීම මෙහි මූලික අපේක්ෂාවක් වෙනවා.

නව වැඩසටහන කෘත්‍රීම බුද්ධිය හා රැකියාවන්, අමෙරිකානු කෘත්‍රීම බුද්ධිමය ගවේෂණයන් හා ජාත්‍යන්තර ප්‍රජාව වැනි ගැටළු මත පදනම් වූ මූලධර්ම මත ගොඩනැඟෙනවා. මින් අමෙරිකානු රජය, නිෂ්පාදන ක්ෂේත්‍ර්‍රය, සහ අධ්‍යාපන ක්ෂේත්‍රය ඵල ගන්වමින් කෘත්‍රීම බුද්ධිමය තාක්ෂණයේ නව මංපෙත් සොයා යාම මඟින් විද්‍යාත්මක සොයාගැනීම්, ආර්ථික තරගකාරීත්වය, සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම යි අපේක්ෂා කරන්නේ. සරලව කිවහොත්, මේ විධායක නියෝගයෙන් ‍ෆෙඩරල් රජයට, පර්යේෂකයන්ට, සහ පෞද්ගලික අංශයට කෘත්‍රීම බුද්ධිය සමග කටයුතු කිරීමට අවශ්‍ය දිරි ගැන්වීම ලබා දෙනවා.

මේ වෙනුවෙන් රජයෙන් විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමක් නැහැ. නමුත්, ධවල මන්දිර කළමනාකරණ හා අයවැය කාර්යයාලයට මේ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමේ දී වැඩි අවධානයක් යොමු කරන ලෙස දන්වා තිබෙනවා.

අවධානය යොමු කරන ක්ෂේත්‍ර

අමෙරිකානු ජනපති ට්‍රම්ප් නියෝගයට අත්සන් තබමින් (venturebeat.com)

මෙම විධායක නියෝගය තුළින් පහත කාරණා පිළිබඳව සැලකිල්ලට ගනු ලබනවා.

ප්‍රතිපාදන

රජය විසින් ෆෙඩරල් ආයතන වෙත කෘත්‍රීම බුද්ධිය සඳහා වූ පර්යේෂණ හා සංවර්ධනයන් වෙනුවෙන් මුදල් ලබා දීමේ දී වැඩි ස්ථානයක් ඒ වෙනුවෙන් යොමු කිරීමට උපදෙස් දෙනු ලබනවා. ප්‍රතිපාදන ලබාදෙන්නේ කාට ද, සහ කෙතරම් ප්‍රමාණයක් ලබා දිය යුතු ද යන්න එහි සඳහනක් නැහැ.

රාජ්‍ය සම්පත්

නව වැඩසටහන AI පර්යේෂණකයන්ට රාජ්‍ය දත්ත සහ සම්පත් භාවිතයට ඉඩ සලසනවා. ඉන් යාන්ත්‍රික ඉගෙනුම් (machine learning) ඇල්ගොරිතම සහ ආකෘතීන් AIවල දියුණුවට යොදාගන්නට පර්යේෂකයන්ට අවස්ථාව ලැබෙන අතර, ඉන් ගැඹුරු ඉගෙනුම් (deep learning) ආකෘති සහ ස්නායුක ජාල (neural networks) වඩාත් හොඳින් පුහුණු කරවන්නට හැකි වෙනවා. තවදුරටත්, මෙම වැඩසටහන AI සම්බන්ධ යෙදුම්වලට සහ පර්යේෂණ ව්‍යාපෘතිවලට අවශ්‍ය පරිගණක පහසුකම් ලබාදෙනවා. මේ සඳහා රජයේම සර්වර් ලබාදෙනවා ද නැතහොත් ඇමසන් හෝ මයික්‍රොසොෆ්ට් වැනි ආයතනයක් සමග රාජ්‍ය-පෞද්ගලික සබඳතාවක් සමග සහාය වනවා ද යන්න තවම නිශ්චය කර නැහැ.

ස්වයංක්‍රීයකරණය

AI නිසා රැකියා නැතිවීමේ අවදානම (ibtimes.co.uk)

කෘත්‍රීම බුද්ධිය නිසා ශ්‍රම බලයෙහි විශාල වෙනසක් සිදුවීම නොවැළැක්විය හැකි කාරණයක්. ඉන් මානව රැකියාවන් බොහොමයක් අහිමිවන අතර, නවමු ආකාරයන්ගේ රැකියාවන් බිහි කරනවා. ඒ ගැන සැලකිල්ලට ගනිමින් ෆෙඩරල් ආයතනවලට එහි සේවකයන්ව නව රැකියා වෙළඳපොළ වෙත සූදානම් කිරීම සිදු කෙරෙනවා. දක්ෂතාවන්ට ගැළපෙන තාක්ෂණික අධ්‍යාපනය, ආධුනිකයන් වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාවන්, ශිෂ්‍යත්ව ආදිය මෙමඟින් සපයනු ලබනවා. මෙය බලපාන රැකියා වර්ග හෝ රාජ්‍ය තනතුරු පිළිබඳව සඳහනක් නැතත්, ශ්‍රම බලකායට අවශ්‍ය STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරුමය හා ගණිතමය) අධ්‍යාපනය ලබාදීම හා එය කෘත්‍රීම බුද්ධියට ගැළපෙන දක්ෂතාවන් අඩංගු කරමින් සිදුකිරීම පිළිබඳව විධායක නියෝගය දක්වා තිබෙනවා.

අන්තර්ජාතික සබඳතා

මෙම වැඩසටහන ඇමරිකාවට වෙනත් රටවල් සමග ද සම්බන්ධ වෙමින් කෘත්‍රීම බුද්ධිය සංවර්ධනය කරන ලෙස දන්වා තිබෙනවා. ඒ වගේ ම, එය කළ යුත්තේ “අමෙරිකානු වටිනාකම් සහ අයිතිවාසිකම්” ආරක්ෂා කරගෙන බවට ද දක්වමින් චීනය ගැන ඉඟි කරනවා.

සම්මතකරණය

කෘත්‍රීම බුද්ධියෙන් ඇතිවිය හැකි අහිතකරතාවන් වැළැක්වීමට ඒ වෙනුවෙන් සම්මතයන් ගොඩනැඟීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා. එනමුත් ISO සහ IEEE වැනි සම්මතයන් පැණවීමේ සමාගම් ‍තාක්ෂණය වෙත තම කටයුතු යොමු කර වසර කිහිපයක් පමණයි ගතව ඇත්තේ. වෙනත් ආයතන විසින් දැනටම AI සම්බන්ධ කටයුතු සිදුකරමින් තමන්ට සිතැඟි ආචාරධර්ම මට්ටම් අනුව ක්‍රියා කරමින් සිටිනවා. නව වැඩසටහන හරහා එරට ‘සම්මතයන් හා තාක්ෂණියන් පිළිබඳ වූ ජාතික ආයතනය’ සහ ධවල මන්දිර විද්‍යා හා තාක්ෂණික පිළිවෙත් කාර්යාලය AI සඳහා වූ සම්මත රෙගුලාසි සැකසීමට පත් කර තිබෙනවා. ඉන් විශ්වාසදායී, ශක්තිමත්, ආරක්ෂිත, ජංගම, සහ එකිනෙක හා ක්‍රියාකළ හැකි AI පද්ධතීන් ගොඩනැඟීමට පසුබිම් සැකසීම සිදුකරනවා.

වැඩසටහනෙහි ඇති ගැටළු

ඍජුව නොකීවත්, චීනය අභිබවා යෑම මූලික අරමුණ බව දක්වන හාස්‍යය ඡායාරුවක් (morningbrew.com)

ඇමරිකාවට වෙනත් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් මහත් කතා බහකට ඇති අවස්ථාවක මෙම විධායක නියෝගයෙහි ඒ ගැන සඳහනක් නොවීම පුදුමයට කරුණක්. එරට පරිගණක විද්‍යාඥයන් වැඩි පිරිසක් එවන් සංක්‍රමණිකයන් වන අතර, ඔවුන්ගෙන් කෘත්‍රීම බුද්ධිය වැනි පුළුල් විෂයයකට ලැබිය හැකි දායකත්වය ඉහළයි. කැනඩාව ද සංක්‍රමණිකයන්ට තාවකාලික රැකියා අවස්ථාවන් ලබා දෙමින් ඔවුන්ගේ පැමිණීම වැඩි කරගෙන තිබෙන අතර ඇමරිකාව විසින් පණවා ඇති දැඩි නීතිවලින් ඔවුන් වාසි ලබා ගත්තා. අර්ථ ශාස්ත්‍රඥයන් මෙය ධනාත්මක පිටාරගැලීම් (positive spillovers) ලෙස හඳුන්වනවා.

කෘත්‍රීම බුද්ධිය මූලික වශයෙන්ම ගොඩනැඟෙන්නේ තොරතුරු මත යි. වැඩිපුර තොරතුරු ලැබෙද්දී එය තව තවත් ඉගෙන ගන්නවා. මේ නිසා දැනට තිබෙන තොරතුරු පමණක් නොව තවත් හැකිතාක් තොරතුරු ලබා ගැනීම වැදගත්. නව වැඩසටහන මේ ගැන අවධානය යොමු කර නැහැ. තොරතුරු එක්රැස් කිරීමේ නියෝජිතායතනවලට ලැබෙන ප්‍රතිපාදන වැඩි කරමින් කෘත්‍රීම බුද්ධියට අනුබද්ධ වීම, රොබෝ තාක්ෂණය, හා වෙනත් උසස් තාක්ෂණයන්ට අනුගත වීම හා එම ක්ෂේත්‍රයන් සම්බන්ධ දත්ත රැස් කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. එරට ජනසංඛ්‍යාන කාර්යාංශය ව්‍යාපාරවල අලෙවිය, අන්තර්ජාලය ගනුදෙනු, වියදම්, වැටුප් දත්ත, සහ වෙනත් දත්ත සංගණනයන් හරහා ලබා ගන්නවා. මෙම දත්ත රජයේ භාවිතයට මෙන්ම ප්‍රසිද්ධ භාවිතයන් වෙනුවෙන් ගොඩනඟන GDP, විරැකියා වාර්තා ආදියට යොදා ගැනෙනවා.

කෘත්‍රීම බුද්ධිය අපිට කොහොම සලකාවි ද? (internapcdn.net)

රජය විසින් මෙම වැඩසටහන හරහා පර්යේෂකයන්ට දත්ත හා ඇල්ගොරිතම කුමන සීමාවන් යටතේ ලබා දෙන්නේ ද යන්න තවත් ගැටළුවක්. පසුගිය කාලයේ ට්‍රම්ප් බලයට ඒමට ද දත්ත පදනම් කරගත් කූට උපායයක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම, මෙලෙස ලබා දෙන දත්ත රාජ්‍ය පක්ෂපාතී ඒක-පාර්ශවීය වීමට ඇති ඉඩකඩ වැඩි යි.

ආචාර ධර්ම සම්බන්ධයෙන් ද මෙම වැඩසටහනෙහි අරමුණුවල නිශ්චිත දැක්වීමක් නැහැ. “විශ්වාසදායී, ශක්තිමත්, ආරක්ෂිත, ජංගම, සහ එකිනෙක හා ක්‍රියාකළ හැකි” ලෙස එහි සඳහන් වන නමුත්, “ආචාරශීලී” (ethical) යන වචනය එහි දක්වා නැතිවීම ගැටළුවක් බව, සහ මෙම නිෂ්පාදන එරට ජනතාවටම එරෙහිව යොදාගැනීමේ අවදානමක් ඇති බව යි කොලරාඩෝ බෝල්ඩර් සරසවියේ පර්යේෂකයෙකු උපුටා දක්වමින් FastCompany වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

කවරය: vox-cdn.com

Related Articles