තිර ලෝකයේ සැබෑම විප්ලවකරුවා – AMOLED

යම් රූපයක් දර්ශනය කරන මුල්ම තිරය බවට පත් වුණේ කැන්වස්. සේයාපටල හරහා ආලෝක ප්‍රක්ෂේපණයෙන් තමයි ඒවා මත රූප මැවුණේ. කොහොම නමුත් රූපවාහිනිය කරළියට ඒමත් එක්ක තිරයක් මත ඍජුවම රූප රටා මැවීම ආරම්භ වුණා. මේ තාක්ෂණයේ දී භාවිත වුණේ කැතෝඩ කිරණ නලයක්. පසුකාලීනව තවත් තරගකාරී තාක්ෂණයක් විදිහට ප්ලාස්මා තිර කරළියට ආවත් විදුලි භාවිතය ඉහළ වීම නිසා එය ඉක්මණින්ම ඉවත් වී ගියා.

තුනී තිර අවශ්‍ය ලැප්ටොප්වල ආගමනය CRTවලින් ඉවත්වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. (poradykomputerowe.pl)

පසුකාලීනව ලැප්ටොප් පරිගණක පැමිණීමත් එක්ක පැතලි සහ තුනී තිරවල ලොකු අවශ්‍යතාවක් මතු වුණා. මෙයට මුලින්ම පැමිණි තාක්ෂණය වූයේ අදටත් භාවිත වන LCD තාක්ෂණය යි. විදුලි ධාරාවක් මඟින් ඝන බවට පත් කළ හැකි විශේෂ ද්‍රවයක් භාවිතයෙන් පසුපසින් පැමිණි ආලෝකය විවිධ මට්ටම්වලින් අවහිර කිරීම යි මෙහි දී සිදුවෙන්නේ. කොහොම නමුත් LED ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක පැමිණි OLED තිර විශේෂ වාසි රැසක් තිර වෙත ගෙන ආවා.

OLED තිරවල ප්‍රයෝජනවත් බව වැඩි කරමින් ඉතා ඉක්මනින් වර්ණ මාරු කළ හැකි AMOLED තාක්ෂණය පැමිණීම තමයි මෙහි සැබෑම වෙනසක් සනිටුහන් කළේ. අද වන විට හොඳ මට්ටමේ නිෂ්පාදන සියල්ලේම පාහේ තිර AMOLEDවලට මාරු වීමේ ප්‍රවණතාවක් තියෙනවා. මේ අපූරු තාක්ෂණයේ ඉතිහාසය, එය ක්‍රියාත්මක වන විදිහ සහ එහි අනාගතය ගැන යි අද ලිපියෙන් කතා කෙරෙන්නේ.

දර්ශකවලට පමණක් සීමා වුණු LED එළියක් දෙන හැම තැනකටම

රුසියානු ජාතික ඔලෙග් ලොස්ව් විසින් LED ක්‍රියාත්මක කරන තාක්ෂණය සොයාගැනීමේ සිට එය දර්ශක සඳහා යොදාගන්නා ප්‍රධානතම බල්බ වර්ගය බවට පත් වූ හැටිත්, 1990 දශකයේ දී ජපාන ජාතික විද්‍යාඥයන් පිරිසකගේ සොයාගැනීමක් නිසා එය ආලෝකය ලබාදෙන හැමතැනකටම ආදේශ වූ හැටිත් ගැන සවිස්තරාත්මක ලිපියක් අපි මීට පෙර පළ කළා.

අද වෙනකොට ගෙවල්වල විදුලි බුබුළු, වාහනවල විදුලි බුබුළු වගේම ප්‍රොජෙක්ටර් වගේ උපකරණ පවා LEDවලට මාරු වෙලා. මේකට ප්‍රධානතම හේතුව තමයි යම් විදුලි ප්‍රමාණයකට ලබාදෙන ආලෝක ප්‍රමාණය ඉතාම ඉහළ වීම. මේ නිසා ලෝකය පුරාම ආලෝකකරණයේ විශාල විප්ලවයක් කරමින් සුවිසල් විදුලි ප්‍රමාණයක් ඉතිරි කර දෙන්න LED බල්බ සමත් වෙලා.

LED ෆ්ලෑෂ් ලයිට් එකක් (bhphotovideo.com)

කොහොම නමුත් අනාගතයේ LEDවල සැබෑ විප්ලවය තිබෙන්නේ තිර අංශයෙන් කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි.

LED තිරවලට යොදාගැනීම සාර්ථක කළ OLED

LED එකක් කියන්නේ ආලෝකය විමෝචනය කරන ඩයෝඩ් එකක්. සාමාන්‍ය ඩයෝඩ් එකක් වගේම අර්ධ සන්නායක භාවිතයෙන් නිර්මාණය වන මේවායේ වෙනසකට තියෙන්නේ ශක්තිය මුදාහැරීම දෘශ්‍ය ආලෝක පරාසයේ සිදුවන රසායනික සංයෝගවලින් මාත්‍රණය (doping) කිරීමත්, ආලෝකය පිටවීමට පාරදෘශ්‍ය මතුපිටක් යොදාගැනීමත් පමණ යි. අර්ධ සන්නායක සහිත ට්‍රාන්සිස්ටර් වගේම LEDත් කුඩා කළ හැකි ප්‍රමාණයේ සීමාවක් නැති තරම්. මේ නිසා ඉතාම ඉහළ විභේදනයේ තීරයකට LED ඉතාම පහසුවෙන් යොදාගන්න හැකියාව ලැබෙනවා. තීරයකට සුදුසු විදිහට වර්ණ ගණනාවක් පෙන්වන එක තමයි ගැටලුව වුණේ. මොකද මුල්කාලීන LEDවලින් පිටවුණේ ඒවාට යොදන මාත්‍රණ සංයෝගවලට අදාළ වර්ණය පමණ යි.

මුල්කාලීන OLED කිහිපයක් (Wikimedia.org)

කොහොම නමුත් ඇම‍ෙරිකානු භෞතික රසායන විද්‍යාඥයන් වන චින්ග් ඩබ්. ටෑන්ග් සහ ස්ටීවන් වෑන් ස්ලයික් 1987 දී මුල්වරට LED මාත්‍රණය කිරීමට කාබනික සංයෝග යොදාගනිමින් වොල්ටීයතාවයේ සුළු වෙනස්කමකින් එකම LED එකකින් විශාල පරාසයකට අයත් වර්ණ දක්වන්නට ඉඩ සලස්වා දුන්නා. කාබනික සංයෝග (Organic compounds) යොදාගැනීම නිසා මේවා Organic LED හෙවත් OLED ලෙස නම් කෙරුණා.

වේගයෙන් වර්ණ වෙනස් කරන්න ඉඩකඩ සලසා දුන් Active Matrix තාක්ෂණය

OLED නිසා වර්ණ පරාසයක් පෙන්වීම සාර්ථක කර ගත්තත් මේවා පමණක් භාවිතයෙන් හැදුණු තීරයකට සාමාන්‍යයෙන් චලන රූපයක් පෙන්වන්න තරම් වේගයෙන් වර්ණ මාරු කිරීමට මේවාට හැකියාවක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් තිරයක ස්වභාවික විදිහට චලන රූප පෙන්වන්න නම් වර්ණ වෙනස් වීමේ ශීඝ්‍රතාව තත්පරයට වාර 24ක් වත් තිබිය යුතු යි (24 Hz). නමුත් හොඳ තත්ත්වයේ රූප පෙන්වන්න නම් මෙය 60 Hzවත් විය යුතු බව සැලකෙනවා.

අද වන විට 120 Hz තිර වඩාත් ජනප්‍රිය වන්නේ පරිගණක ක්‍රීඩා වැනි වේගවත් චලන පෙන්වීම වඩා හොඳින් කළ හැකි නිසා යි (funnyjunk.com)

මේ හපන්කම කරන්න හැකියාව ලැබුණේ මුළු තිරයේම තිබෙන OLED හෙවත් පික්සල් එකක වර්ණය සක්‍රීයව පාලනය කරන Active Matrix තාක්ෂණය හරහා යි. සාමාන්‍යයෙන් පික්සල් එකක් පෙන්වන වර්ණය වෙනස් කළ යුතු බවට විධානයක් ලැබුණේ නැති නම් එය එසේම පවතිනවා. කොහොම නමුත් මේ Passive Matrix ක්‍රමයට සියලුම පික්සල් වේගයෙන් වෙනස් කරන්න අපහසු යි. ඒ වෙනුවට හැම පික්සල් එකකම වර්ණය හැම මොහොතේම සක්‍රීයව පවත්වා ගැනීමක් තමයි Active Matrix එකේ දී සිදුවන්නේ. මේ වෙනුවෙන්ම OLED තිරයට අමතරව අර්ධ සන්නායකවලින් සැදුණු විශේෂ ලේයරයක් භාවිත වෙනවා. Active Matrix තාක්ෂණය නිසා වර්ණ පෙන්වන ශීඝ්‍රතාව 1000 වාරයකින් පමණ වැඩි වුණා.

මේ විදිහේ Active Matrix එකක් සහිත OLED තිරයක් තමයි AMOLED තිරයක් ලෙස හඳුන්වන්නේ.

AMOLED අනෙක් තිර තාක්ෂණයන්ට සාපේක්ෂව ඇති වාසි

AMOLED තිරවල ප්‍රධානම වාසිය තමයි එහි එක් එක් පික්සලය හෙවත් OLED එක වෙන වෙනම වර්ණ පෙන්වන එක. කළු වර්ණය අවශ්‍ය වුණාම අදාළ පික්සල් එක අක්‍රීය කිරීමට හැකියි. මේ නිසා AMOLED තිරයක ආලෝක අසමතා අනුපාතය හෙවත් Contrast ratio එක අනන්තයක් වෙනවා. (ආලෝක අසමතා අනුපාතය කියන්නේ නිකුත් කළ හැකි උපරිම හා අවම ආලෝක තීව්‍රතා අතර අනුපාතය යි) ඒ නිසා පෙන්විය හැකි වර්ණ පරාසය අතින් AMOLED තිර ඉතාම ඉදිරියෙන් ඉන්නවා. LCD එකක කිසිසේත් නියම කළු වර්ණය පෙන්වන්න බැරි නිසා මේ හැකියාව නැහැ. අඳුරේ කියවන අයටත් මුළු තිරයම ආලෝකමත් නොවීම විශාල වාසියක්.

LCD එකකට නියම කළු වර්ණය පෙන්වන්න බැහැ (techhive.com)

OLED පික්සල් සියල්ලම එකම මට්ටමක පවතින නිසා AMOLED තිරයක් දෙස මොන දිශාවෙන් බැලුවත් වර්ණ වෙනස් වීමක් නැහැ. IPS නොවන හෙවත් එකම මට්ටමේ පික්සල නොපවතින LCD තිරයක් දෙස විවිධ පැතිවලින් බලද්දී වර්ණ විකෘති වී පෙනෙන ගැටලුව මෙහි නැහැ.

LCDවලට වඩා තුනීව සකසන්න හැකි වීමත්, නැමීමට හැකි ලෙස සහ විනිවිද පෙනෙන විදිහට සකසන්න හැකියාව තියෙන එකත් AMOLED තිරවල තවත් වාසියක්.

Samsung හි Super AMOLED සහ AMOLEDවල අනාගතය.

අද වන විට ස්පර්ශ සංවේදී තිරවලට පවතින්නේ විශාල ඉල්ලුමක්. සාමාන්‍යයෙන් ඒ වෙනුවෙන් විශේෂ ස්පර්ශ සංවේදී ලේයරයක් AMOLED තිරයට ඉහතින් යොදනු ලැබුවත් Samsung සමාගම එය AMOLED කොටසෙන්ම සිදුකරන තාක්ෂණයක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඔවුන් මෙය හඳුන්වන්නේ Super AMOLED නමින්. අඩු නිෂ්පාදන වියදම, ලේයරයක් අඩු වීම, තුනී වීම, බරින් අඩු වීම, විදුලි භාවිතය අවම වීම, උපරිම ආලෝක තීව්‍රතාව වැඩි වීම, හිරු එළිය පරාවර්තනය අඩු නිසා එළිමහනේ භාවිතයට ඉතා සුදුසු වීම වගේ අතිරේක වාසි රැසක් Super AMOLED තිරවලින් ලබාගන්න පුළුවන්.

AMOLED තිර පහසුවෙන්ම විනිවිද පෙනෙන ලෙස සකසන්න පුළුවන් (phys.org)

අනාගතයේ එන බොහෝ තිර සහිත උපාංග AMOLEDවලට මාරු වේවි කියන එක යි වැඩි දෙනෙක්ගේ විශ්වාසය. ඇපල් ආයතනය පවා අද iPhone X එක හරහා AMOLEDවලට මාරු වෙලා.

ආලෝකකරණය තුළ LED නිසා ඇති වූ විප්ලවයට සමාන විප්ලවයක් AMOLED නිසා තිර ක්ෂේත්‍රයේත් සිදුවනු ඇති බවට කිසිම සැකයක් නැහැ.

කවරයේ රූපය : appleinsider.ru

Related Articles