Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 දී භාෂා, ව්‍යාපාර සහ හමුදා බලය අත්පත් කරගන්නා කෘත්‍රීම බුද්ධි‍ය

නව වසර සඳහා කෘත්‍රීම බුද්ධිය සුබදායී මෙන්ම අසුබදායී ආරංචි ද ගෙන එනු ඇති බවට දැනටමත් ඉඟි පළවී තිබේ.‍ ව්‍යාපාරවල සහ එදිනෙදා මානව කටයුතු සඳහා වැඩි පහසුවක් ගෙන දෙන දහසක් සේවාවන් සුබ සිහින මවන අතරේ, අසත්‍ය ප්‍රවෘත්ති ගොඩනැගීම්, Deepfakes හෙවත් පුද්ගල ඡායාරූප ගෙන ඒවායෙන් නව නිර්මාණ කරමින් අසත්‍ය මෙන්ම අසභ්‍ය ඡායාරූප‍ හා වීඩියෝ ගොඩනැගීම්, රියදුරු රහිත වාහනවලින් සිදු වූ රිය අනතුරු වැනි දෑ ගෙවුණු වසරවල දකින්නට ලැබිණි.

එබැවින් 2020 යනු ලොව AI ක්ෂේත්‍රය තුළ හොඳ සහ නරක යන දෙපසෙහිම තවත් වර්ධනයන් ඇති වන වසරක් බව නෙ‍ාරහසකි.

ස්වාධීන උපාංග නිසා අඩු කාලයක්, වැඩි හැකියාවක්

Image Processing සඳහා වැඩි කාර්යක්ෂමතාවක් (medium.com)

2019 අවසානය වන විට, දෘඪාංග අතින් ගත් කල මහජනයා අතරට AI ගමන් කළ හැකි තරම් පුළුල් පසුබිමක් නිර්මාණය වෙමින් පවතිනු දකින්නට ලැබිණි. Kirin 980 ප්‍රොසෙසරය සතුව NPU (Neural Processing Unit) දෙකක් තිබූ අතර, එය දුරකතනයකට AI හැකියාවන් පාන්නට සර්වරයක් මත යැපීමට ඇති අවශ්‍යතාව අවම කළ හැකි බවට පුරෝකථනයක් විය.

AI හැකියාවන් නොමැති පූර්ව දුරකතනවල මේ ගැටළුව බෙහෙවින් තිබිණි. උදාහරණයක් වශයෙන්; ඔබ දුරකතන කැමරාව ඇඳුමක් දෙස යොමු කළ විට එය මිල දී ගත හැකි ළඟම වෙළඳසලෙහි වෙබ් අඩවිය විවෘත වන ආකාරයේ AI මෘදුකාංගයක් ඇතැ යි සිතමු. මෙය ක්‍රියාත්මක වීමට නම්, ඔබ කැමරාව යොමන වාරයක් පාසා ඡායාරූප විශාල ප්‍රමාණයක් එයට සර්වරය වෙත යවා, එය ගැළපේදැ යි පරීක්ෂා කරවා ගත යුතු වේ.

මේ සඳහා විශාල මොබයිල් ඩේටා ප්‍රමාණයක් සහ දත්ත සංසරණයට කාලයක් ගත වේ. (ඔබ Google Lens භාවිතා කර ඇත්නම්, එහි තොරතුරු ලැබීමට කල්ගත වන ආකාරය දැක ඇති.) මෙවන් App එකකින් පිළිතුරු ලැබෙන විට ඇතැම් විට ඔබ වෙනත් ඇඳුමක් දෙස කැමරාව යොමා තිබෙනවා විය හැකිය. එවිට පෙර ඇඳුමට අදාළ වෙළඳසලක් පෙන්වීම වැරදි දත්තයක් ලැ‍බුණාක් සේ පෙනී යා හැකිය.

2020 යනු 5Gවල වසර යි. ‍එනිසා දත්ත සංසරණ කාලය (latency) බෙහෙවින් අඩුවන අතර, ‍දුරකතන වෙත AI ප්‍රොසෙසර ලැබීමෙන් සර්වරයක් නොමැතිවම දස්කම් පාන්නට හැකි වනු ඇත. TensorFlow JS මඟින් ද සර්වරයක් නොමැතිව AI හැකියාවන් පරිගණක බ්‍රවුසරය මත ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දෙන්නේ 2020 සඳහා සුබ ග්‍රහයෙක් බවට පත් වෙමිනි.

AI වෙත යොමු නොවන ව්‍යාපාර අමාරුවේ

ව්‍යාපාරවලට පහසුවෙන් පාරිභෝගික අවශ්‍යතා හඳුනාගැනීමට අවස්ථාව (blog.quuu.co)

තාක්ෂණයේ නව ප්‍රවණතාව වන කෘත්‍රීම බුද්ධිය වෙත තම දෑත් දිගු කරන්නට ව්‍යාපාරයක් අපොහොසත් වන්නේ නම්, නුදුරේ දී ම ඇති වන දැවැන්ත තරගය සමග අනුගත වන්නට නොහැකි වනු ඇති බව ප්‍රවීණයන්ගේ අදහස යි.‍‍

පරිගණකාශ්‍රිත දෘෂ්ටියක් ව්‍යාපාර වෙත ගෙන එන සේවාවක් වන Deepomatic හි උතුරු ඇමරිකාවේ මෙහෙයුම් ප්‍රධානී ජෙසී මෞලෙක් TNW වෙත පවසන්නේ; “AI හි වර්තමාන ප්‍රවණතාවන්ට සමාගම් අනුගත නොවන්නේ නම්, ඔවුන්ගේ අනාගතය දුෂ්කර වේවි. ඵලදායිතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, වෙළඳපොළ කොටස් සහ ආදායම යනාදිය ඔවුන්ට 2020 දී (AI යොදාගතහොත්) ඉහළ නංවන්නට හැකි වේවි, නැත්නම් අඩු කරගන්නට සිදුවේවි” කියා යි. 

“ස්නායුක ජාල (Neural networks), පරිගණකාශ්‍රිත දෘෂ්ටිය, සහ 5G සඳහා දෘඪාංගමය සහාය ලැබෙන නිසා ආයතනවලට තාක්ෂණය නවමු ආකාරයෙන් යොදාගන්නට හැකි වේවි,” ඔහු තවදුරටත් පවසයි.

O’Reilly වෙබ් අඩවිය ඔවුන්ගේ AI Adoption in the Enterprise ග්‍රන්ථය සඳහා කළ සමීක්ෂණයක දී ව්‍යාපාරිකයන් 54%ක් පවසා ඇත්තේ, ඔවුන් තම ව්‍යාපාරය සඳහා AI ශක්‍යතාවය අධ්‍යයනය කරමින් සිටින බව යි. 27%ක් ඒ වන විටත් AI භාවිතා කරමින් සිටියහ.

ශ්‍රී ලංකාවට AI යනු මැජික් එකක් විය හැකි නම් ඒ, කෘත්‍රීම බුද්ධියෙන් ලද හැකි වාසි පිළිබඳව ජනතාව තුළ ඇති නොදැනුවත්කම විය හැකිය. එබැවින්, ඔවුන්ගේ ගැටළු නිරාකාරණය කළ හැකි මෘදුකාංගමය AI විසඳුම් ඔබට දායාද කළ හැකි නම් එය කාලීන අවශ්‍යතාවයක් වනු ඇත.

ජන සන්නිවේදනය සහ භාෂා භාවිතය ජයගැනීම

 සංචාරක කර්මාන්තයට අත්වැලක් (medium.com)

විවිධ රටවල විවිධ භාෂාවන් තිබීම දැනුම හුවමාරු වීමට ද බාධකයක්ව තිබේ. මෙතෙක් කල් එහි අතරමැදියා වූයේ ඉංග්‍රීසි භාෂාව නමුත්, කෘත්‍රීම බුද්ධියේ මැදිහත් වීම තුළ තමන්ගේ මව් භාෂාවෙන්ම කටයුතු කරන්නට ලොව පුරා ජනතාවට හැකි වනු ඇත.

ගූග්ල් සමාගම තම සෙවුම් යන්ත්‍රය සඳහා මෑතක දී BERT (Bidirectional Encoder Representations from Transformers) ශිල්ප ක්‍රමය යොදාගති. එමඟින් Keywords සමග රොබෝවෙක් සේ කටයුතු කරනවා වෙනුවට වාක්‍යයක් දෙස මිනිසකු සේ සංවේදීව බලන්නට Google Search එකට හැකි විය. ස්වාභාවික භාෂා හැසිරවීම සඳහා යොදාගන්නා ලද මෙය විවෘත කේත (Open Source) කොට නිදහස් කරන්නට ද ඔවුන් කටයුතු කර තිබේ.

‍රචනා ශිල්පය ද අබිබවන්නට කෘත්‍රීම බුද්ධිය සමත් වනු ඇති බව GPT-2 ආකෘතිය පෙන්වා දෙයි. එය ගිගාබයිට් 40ක අන්තර්ජාල රචනාවන් යාන්ත්‍රික ඉගෙනුම (Machine Learning) වෙත යොමු කොට සකසන ලද්දකි. මෙම ආකෘතිය වෙත වාක්‍ය දෙකක් පමණ ලබා දුන් විට එය වර්ධනය කොට දිගු රචනාවක් බවට පත් කරන්නට ඊට හැකියාව තිබේ. ඔබට talktotransformer.com වෙබ් අඩවියෙන් එහි අනුරුවක් අත්හදා බැලිය හැක. එයට HTML ගොඩනගන්නට හැකියාව තිබේ.

මෙම ප්‍රවණතාවන් සිනමාව, රංග කලාව මෙන්ම සංචාරක ක්ෂේත්‍රය ද බලගන්වනු ඇති බවට පෙරනිමිති පළ කරයි.

යුද්ධ ජයගන්නට කෘත්‍රීම බුද්ධිය යොදා ගැනේ

ඇමරිකාව සතු ‘සී හන්ටර්’ රොබෝ නෞකාව (twimg.com)

2020 ඇරඹුණේම ඇඟ සලිත කරවන තුන්වන ලෝක යුද්ධය ගැන කතාබහක් සමග ය. එසේම, ලොව බලකාමී රටවල් බොහොමයක් තමන්ගේ හමුදාවන් කෘත්‍රීම බුද්ධියෙන් සවිබල ගන්වන්නට කටයුතු කරමින් සිටිනු දකින්නට ලැබේ.‍

ඇමරිකාව සතුව Sea Hunter නම් සබ්මැරීන නාශක රොබෝ යාත්‍රාවක් තිබේ. මෙම නෞකාව ධාවනය කිරීමට අවශ්‍ය හැකියාව කෘත්‍රීම බුද්ධිය හරහා ලබා දී ඇත. එනිසා කපිතාන්වරයාට ද මඳකට ඉවත්ව ගොසින් සටනට දායක වන්නට අවස්ථාව ලැබෙනු ඇත.

එහෙත් ඒ, පහරදීමේ හැකියාවන් ද කෘත්‍රීම බුද්ධිය භාර ගන්නා තෙක් පමණි. එකල්හි මේ රොබෝ නෞකාවන් යුද්ධ පෙරමුණට ගොස් සෙබළුන්ගේ ජීවිත රැකගනු ඇත. අනෙක් රට සතුව එවන් තාක්ෂණයක් නොතිබුණහොත් ජන සංහාරයක් සිදුවනු ඇත.

චීනය සතු ඩ්‍රෝන යානා (ytimg.com)

චීනය ද කෘත්‍රීම බුද්ධියෙන් බල ගැන්වූ කුඩා රොබෝ යානා රෑනක් ගොඩ නගමින් සිටියි. මී මැසි සේනාවක් සේ එක්වර කුඩා යානා රංචුවක් යුද්ධ බිමට පිවිස අහඹු ලෙස මර්මස්ථානවලට පහර දීම විරුද්ධ පාර්ශවයට මහත් අභියෝගයක් වනු ඇත. අදියර කිහිපයක් වශයෙන් 2020, 2035 සහ 2050 වන විට චීන සන්නද්ධ බලකාය වෙත මෙම තාක්ෂණය මුසු කරවන බව, එම ව්‍යාපෘති මෙහෙයුම් ආයතනයේ කෘත්‍රිම බුද්ධි විද්‍යා අංශ සභාපති මහාචාර්ය ෂෙන් ලින් චෙන්ග් The Drive වෙබ් අඩවියට පවසයි.

මේ අතරේ ඊශ්‍රායලය ද ගුවනින් ගත් ඡායාරූප විශ්ලේෂණය සඳහා Stargate නම් වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. අනෙකුත් ඡායාරූප සඳහා Startrek නම් තවත් ව්‍යාපෘතියක් වෙයි.

තෙවන ලෝක යුද්ධය ගැන කතිකාවතක් බිහිවන 2020 වෙත අහිතකර ග්‍රහ චාරයක් ලබන්නේ එලෙස ය.

කෘත්‍රීම බුද්ධිය ප්‍රචලිත කිරීම

හරිත ලොවක් සොයා යන ‍කෘත්‍රීම බුද්ධිය (venturebeat.com)

කාසියක දෙපැත්ත සේ හොඳ සහ නරක සෑම දෙයකින්ම නොඅඩුව ලැබේ. ගල් යුගයේ දී ගල් ආයුධවලින් මිනීමැරුම් සිදුවිය හැකිය කියා ඒවා ඉවතලූවා නම්, අද අපි තවමත් සත්තු පස්සේ එළවමින්, තුරු හිස් මත සිට පළතුරු කකා සිටිනු ඇත. එබැවින් කළ යුත්තේ; යහ ආකල්පමය වර්ධනයක් සමග තාක්ෂණය හා ඉදිරියට ගමන් කිරීමයි.

‍එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථයන් (SDG) සපුරා ගැනීමට දැන් සාමාජික රටවල් කටයුතු කරමින් සිටියි. ඒවා සපුරා ගැනීමට කෘත්‍රීම බුද්ධියෙහි සහභාගීත්වය පහසුවෙන්ම යොදාගත හැකි වේ. ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනැගීමට පසුගිය වසරේ අන්තර්ජාතික විදුලි සංදේශන සංගමය (ITU) ජිනීවා හි දී පැවත්වූ ‘යහපත උදෙසා කෘත්‍රීම බුද්ධිය’ (AI for Good) නම් ගෝලීය සමුළුව කටයුතු කර තිබේ.

මානවයන් හා යන්ත්‍ර මඟින් ක්‍රියාත්මක වන පරිසර පද්ධතියක් පිළිබඳ අවබෝධයෙන් යුත් සහ මානව වර්ගයාගේ යහපතට හේතු වන චිත්තවේගීය විනිශ්චයන් කළ හැකි විශේෂඥයන් මේ සඳහා ලොවට අවශ්‍ය වනු ඇත. ශ්‍රී ලංකාව ද AIවලට වඩා වෙනත් ප්‍රශ්න ඇතැ යි සිතමින් පසුබානවාට වඩා තිබෙන ප්‍රශ්න ද විසඳා ගන්නට ‍කෘත්‍රීම බුද්ධිය භාවිතයට පෙළඹීම අනාගතය වෙනුවෙන් ගත යුතු නිවැරදි පියවරක් බව නිසැක ය.

එසේ නොකළහොත්, 2020 තවත් එක් කම්මැලිකමින් පිරුණු වසරක් සේ නිකරුණේ ගෙවී යනු ඇත. එය එසේ වීමට ඔබ ඉඩ දෙනවා ද?

කවරය: duke.edu

මූලාශ්‍රයයන්:

    • thenextweb.com
    • giplatform.org
    • haaretz.com
    • indiatimes.com
    • fortune.com
    • cnn.com
    • blog.google
    • theconversation.com
    • Ben Lorica and Paco Nathan. (2019). AI Adoption in the Enterprise. Sebastopol, CA: O’Reilly Media, Inc.

Related Articles