Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසර නයිට් රයිඩර් කාර්වල වර්ෂය ද?

පොඩි කාලේ නයිට් රයිඩර් බලද්දි ගෙදර වාහනේ ළඟට ගෙන්වා ගන්න අතේ බැඳගෙන හිටපු කැසියෝ ඔරලෝසුවට කොයි තරම් කතා කරලා ඇති ද! ඒ කාලයේ අපි ලොකු වුණාම විද්‍යා ප්‍රබන්ධය ඇස් දෙකෙන්ම දැකගන්නට ලැබේවි කියා කොහෙත්ම හිතුවේ නැහැ. ස්මාර්ට් ෆෝන්වත් නොතිබුණු අපි වැලි කෑවා! දෛවයේ වාසනාවකට, අපි ආදරය කරපු රියදුරු රහිත වාහන තාක්ෂණය සැබෑවක් බවට පත් කරන්නට පසුගිය වසර කිහිපයට හැකි වුණා. ඒ කියන්නේ 2019 වසරේදී ස්වයංක්‍රීයව ධාවනය වන වාහනවලින් ලොව මංමාවත් පිරී යාවිද?

සංවේදක මත ගොඩනැගුණු තාක්ෂණය

සංවේදක හරහා රථය මාර්ගය දකින ආකාරය (ttnews.com)

ස්වයං ධාවන රථ මූලික වශයෙන් ම LIDAR තාක්ෂණය යොදාගන්නවා. ශ්‍රී ලංකාවේ සීගිරිය ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් ද මෙම තාක්ෂණය හරහා සිතියම්ගත කෙරුණා. මෙහි සිදුවන්නේ RADAR හෙවත් රේඩියෝ තරංග යවන තාක්ෂණයේ මෙන් ඒ වෙනුවට ලේසර් කිරණ පාවිච්චි කිරීම යි. යවන ලද කිරණය යළි පරාවර්තනය වීමට ගතවන කාලය අනුව මතුපිට පිහිටීම හඳුනාගන්නවා. ස්වයං ධාවන රථවල භ්‍රමණය වන ලිඩාර් මෙන්ම solid-state LiDAR හෙවත් ඝන/නොසෙල්වෙන කොටස් සහිත ලිඩාර් සංවේදක තිබෙනවා. ගිලන් රථවල ඉහළ ඇති බල්බය වැනි කොටසක් ස්වයං ධාවන රථවල ඇත්තේ මෙම කොටසයි. කැමරා මත ම යැපෙනවා වෙනුවට ලිඩාර් ද යොදාගැනීමෙන් දිවා/රාත්‍රී වෙනසකින් තොරව නිවැරදි දත්ත ලබාගන්නට හැකි වෙනවා. ඊට අමතරව බොහෝ රථවල පැති කණ්ණාඩියට යටින් සවි කරන ලද තවත් සංවේදක දකින්නට ලැබෙනවා.

මෙම දෘඪාංගවලින් ලැබෙන දත්ත උපයෝගි කරගෙන අනතුරුව මෘදුකාංගය විසින් තීරණ ගැනීම සිදු කරනවා. එය පද්ධතිය මතම යොදන ලද හෝ අන්තර්ජාලය හරහා සමාගම විසින් සපයන ලද Cloud සේවාවක් මඟින් ලබා ගත් දත්ත යොදාගෙන කරන තීරණ ගැනීමක් විය හැකියි. බොහෝ සමාගම් උත්සාහ කරන්නේ බාහිර සර්වරයක සහභාගීත්වයක් නොමැතිව රථය තුළම මෙය සිදුකිරීමට යි. (දුරකතන ප්‍රොසෙසර වලටත් NPU කොටස් එක්වූයේ එම හේතුව නිසාම යි.) මෘදුකාංගයට රෝදවල වේග, රෝදවල ආනතිය, RPM අගය, ත්වරණමානයන්, පීඩන හා කම්පන ආදී සංවේදකවලින් ලැබෙන දත්ත සියල්ලම විශ්ලේෂණය කළ යුතු වෙනවා.

අභියෝග නොසලකා හැරීම

සංවේදකවලින් එලෙස ලැබෙන දත්ත තවමත් සම්පූර්ණයෙන් නිරවද්‍ය නැහැ. 2018 මාර්තු මාසයේ දී ස්වයං ධාවන Uber රථයක් නිසා කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මරණයට පත් වුණා. එම අවස්ථාවේ එහි රියදුරා සිටින නමුත් ඔහු තම දුරකතනයට අවධානය යොමු කරගෙන සිටින ආකාරය ඉහත වීඩියෝවේ දැකගත හැකියි. සංවේදක මඟින් බාධකය නොසලකා හැරි අවස්ථාවේ ඔහුගේ අවධානය තිබුණා නම් රථයේ වේගය අඩු කරගන්නට තිබුණා.

මෙහිදී සිදුව තිබුණේ බාධකය වාහනයට අභියෝගයක් නොවන බවට මෘදුකාංගය තීරණය කර තිබීම යි. මේ තීරණය නිවැරදි වන අවස්ථාවක් කිව්වොත්: පාරේ තිබෙන පත්තර පිටුවක් සුළඟට එසැවී වාහනයේ ඉදිරියට දිග හැරුණොත් ප්‍රමාණය වැඩි වීමෙන් සංවේදකවලට එය බාධකයක් ලෙස දැනෙනවා. නමුත් ඇත්තටම එය නොසලකා හැරිය යුත්තක්. මේ අවස්ථාවේදීත් බයිසිකලය තල්ලු කරන කාන්තාව මෘදුකාංගය නොසලකා හැර තිබුණා.

මීට පෙර ද Auto drive mode එකේ ගිය ටෙස්ලා වාහන කිහිපයක්ම ට්‍රක් රථ යටින් ගමන් කිරීම්, කොන්ක්‍රීට් බාධක වෙතට ගමන් කිරීම් කරමින් ජීවිත අනතුරේ දැම්මා. එනමුත් තාවකාලිකව සේවය නවතන මේ සමාගම් ඒ අභියෝග ජයගනිමින් තමන්ගේ ඉලක්කය වෙත රිය පදවනවා.

දත්ත ගෝනි සහ නව රැකියා බිහිවීම

වාහනය ස්වයංක්‍රීයව යන අතරේ නව ව්‍යාපාර අදහසකට සිත යොමුකළ හැකියි (internapcdn.net)

අනාගත මුදල් සේප්පුවල යතුරු බඳු ‘දත්ත’ පිපාසයෙන් යුත් සමාගම් දැන් ශීඝ්‍රයෙන් ස්වයං ධාවන රථ සහිත සමාගම්වල තම ආයෝජනයන් රඳවනවා. Intel සමාගම පෙරැයීම් කරන පරිදි දිනකට ගිගාබයිට් 4000ක දත්ත ස්වයං ධාවන රථවලින් නිපැයෙනවා. මේ දත්ත නිසි පරිදි තම වෙළඳ කටයුතු, පෙරැයීම් ආදියට යොදා ගැනීමට මෙන්ම යාන්ත්‍රික ඉගෙනුම (machine learning) හරහා ස්වයං ධාවන පද්ධතියට නව දත්ත එක් කරගන්නට ද අවස්ථාව ලැබෙනවා.

තාක්ෂණයේ දියුණුව සමග පැරණි රැකියාවන් හැම විටම තර්ජනයට ලක් වෙනවා. රියදුරු රහිත මෝටර් රථ නිසා රියදුරන්ට පමණක් නොව රියදුරු පාසල්වල ඇති රැකියා විශාල ප්‍රමාණයක් ඉවත් වන අතර Delivery සේවාවන්හි නියුතු රියැදුරන් අමාරුවේ වැටෙනවා. නමුත් ඒ වෙනුවට නව රැකියා ක්ෂේත්‍රයන් බිහිවෙනවා. රියදුරු රහිත මෝටර් රථ නිපැයීම දැනටම ඇමරිකාවේ ටොරොන්ටෝ සරසවියේ විෂයයක් බවට පත්වී හමාරයි. ඉංජිනේරු ශිල්පය මේ සමග නවමු මාවතකට යොමු වන අතර එම වාහන අලුත්වැඩියා කිරීමට උගත් අයට ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නට අවස්ථාව ලැබෙනවා. මෘදුකාංග අතින්, ඒවා ක්‍රමලේඛගත කිරීමට හැකි අය සහ පද්ධති වැඩිදියුණු කිරීම් හෝ වාහනය යොදාගන්නා සේවාවට අදාලව නව මෘදුකාංග එක් කිරීම් (යෙදුම්, ප්ලගීන ආදී) සඳහා වැඩි තැනක් ලැබෙනවා. කොහොමටත් එය තවමත් ‘වාහනයක්’ නිසා ගරාජයට, ටයර් නිෂ්පාදනයට සහ අමතර කොටස් නිෂ්පාදකයන්ට ගැටළුවක් වන්නේ නැහැ.

ගූග්ල්, ටෙස්ලා, Ford ඇතුළු සමාගම් රැසක් උනන්දුවෙන්

Waymo ස්වයං ධාවන රථයක් (timeincapp.com)

Google හි මව් සමාගම වන Alphabet සතු Waymo උප-ආයතනය ගූග්ල් සේවාවන්ගෙන් ද ලබන දත්තවලින් පෝෂිත නිසා ස්වයං ධාවන කාර් රථ කලාවෙහි ඉදිරියෙන් සිටිනවා. මෙහි ඇති විශේෂත්වයක් නම්, ඔවුන් ස්වයං ධාවන කාරයක් වෙනුවට ඕනෑම සමාගමක කාර් රථයක පාවිච්චි කළ හැකි පරිදි මෘදුකාංග හා දෘඪාංගමය තාක්ෂණය ලොවට ඉදිරිපත් කිරීම යි. ඇන්ඩ්‍රොයිඩ් දැනට ලොව වැඩිපුරම (75%ක වෙළඳපොළ කොටස්) පාවිච්චි වන මෙහෙයුම් පද්ධතිය වීමෙන් ඇපල් සමාගමට වඩා වැඩි ආධිපත්‍යයක් පවත්වා ගන්නට Alphabet වෙත අවස්ථාව ලැබුණා. කාර් වේදිකාවේ ඇපල් බවට පත්වන්නේ ටෙස්ලා සමාගම යි. ටෙස්ලා තම වාහනවලට පමණක් ඔවුන් නිපදවන ස්වයං ධාවන මෘදුකාංග හා තාක්ෂණය යොදනවා.

එනිසා ළිඳ තුළ ඔවුන් සිරවිය හැකැයි සිතුණත් ප්‍රධාන විධායක නිලධාරී ‘ඉලොන් මස්ක්’ Waymo ආයතනයට සිනහා පළ කළා. ඒ, අමෙරිකානු බහුජාතික අායෝජන බැංකුවක් වන Morgan Stanley මූල්‍ය ආයතනය විසින් ඩොලර් බිලියන 175කට Waymo ආයතනයේ වටිනාකම සටහන් කළ බව විශ්ලේෂකයෙක් ඔහුට ප්‍රශ්නාත්මකව යොමු කළ අවස්ථාවේ දී යි. අනතුරුව ඔහු පැවසුවේ “ටෙස්ලා සතු මූලික රහස පුනර්ජනනීය බල ශක්තිය සහ ස්වයං පාලනය එක්තැන් කිරීම” බව යි. ක්‍රිස්ලර් පැසිෆියා (Chrysler Pacifica) හයිබ්‍රිඩ් මිනිවෑන් යොදාගෙන 2016 සිට Waymo ආයතනය අත්හදා බැලීම් කරමින් සිටිනු දකින්නට තිබෙනවා.

Tesla Model S කාරයක අභ්‍යන්තරය (insideevs.com)

දැනටමත් කාර් නිෂ්පාදනයෙහි නියැලී සිටින, පාරිභෝගිකයන් රැසකට හිමිකම් කියන ටෙස්ලා සමාගම අලුත්වැඩියා සඳහා පැමිණෙන පාරිභෝගියකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුම පවත්වා ගැනීම සඳහා දවසේ වැඩ කරන කාලය පවා වැඩි කරමින් සේවා සැපයුම් දෙගුණ කරන්නට කටයුතු යෙදීමට සිදුවුණා. Model 3, මිල අධික Model S මෙන්ම 2020 දී Tesla Roadster ගෙන එන්නට සැරසෙන ඔවුන් මේ වසරේ ජුනි මසින් පසු ඉලෙක්ට්‍රික් Pickup Truck එකක් ද ගෙන එනවා. ඉතින් ඉලොන් කියන්නට වගේ, ඔවුන් හුදෙක් ස්වයං ධාවනය පමණක් නොව, ඉන්ධන අර්බුදයට ද පිළියම් සමග යි තම ගමන යන්නේ.

හැම ක්ෂේත්‍රයම බලගන්වන නයිට් රයිඩර් කාර්

සුපිරි වෙළඳසැලෙන් ලබාදෙන භාණ්ඩ ගෙන යාමට බලාසිටින Nuro රථයක් (vox-cdn.com)

මීට වසර 110කට පෙර (1908 දී) ඇරඹි ඇමරිකාවේ General Motors සමාගම ද ස්වයං ධාවන මෝටර් රථ වෙත පිවිස සිටිනවා. ඔවුන් Chevrolet සමාගමේ ඉලෙක්ට්‍රොනික වාහනයක් වන Bolt යොදාගෙන සිල්ලර බඩු සහ ක්ෂණික ආහාර බෙදාහැරීමේ සේවාවක් මේ වසරේ අරඹන්නට සැරසෙනවා. අලුතින් ඇරඹි කුඩා ආයතන වන Nuro, Udelv ආදිය මෙන්ම Ford සමාගමත් සිල්ලර භාණ්ඩ ස්වයං ධාවන රථවලින් දොරකඩ වෙත ගෙන ඒමට එක් වෙනවා. Toyota සමාගම ද Uber වෙත ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරමින් ඔවුන්ගේ Sienna minivan රථ ලබා දෙමින් මඟී ප්‍රවාහනය බල ගැන්වීමට ඉදිරිපත්ව සිටිනවා.

මේ අතරේ Volvo සමාගම Vera නමැති ට්‍රක් රථයක් නිපදවා තිබෙනවා. එහි ඇති විශේෂත්වයක් නම්, රියදුරු අසුන හා Dashbord ආදිය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබීම යි. ඉලෙක්ට්‍රික් වාහනයක් වන එයට පසුපස දිගු කන්ටේනරයක් සබඳාගෙන තනිවම ගමන් යන්නට හැකියි.

Volvo සමාගමේ රියදුරු ආසනයක් රහිත ට්‍රක් රථය (ytimg.com)

දැනටම නිපදවා ඇති මෙම නිෂ්පාදන සහ සේවා ගැන සලකා බලද්දී පෞද්ගලික ගමන් පමණක් නොව, පොදු මඟී ප්‍රවාහනයට, ආහාර වැනි කුඩා ප්‍රමාණයේ සිට කන්ටේනර් වැනි විශාල ප්‍රමාණයන් දක්වා වූ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ලොවට බිහිවීම දැනටමත් සිදුවෙමින් පවතින බව පෙනී යනවා. කල් ගත වෙමින් මානව සම්පත් සහ පුද්ගල ගැටළු ද සමග පොරබැදූ මේ ක්ෂේත්‍රයන්ට ඒ අනුව දවසේ පැය 24 පුරාම දින 7ම අඛණ්ඩව සේවා සපයන්නට හැකි වෙනවා. එය ආර්ථික වශයෙන් මෙන්ම සේවාවක් වශයෙන් දෙපාර්ශවයට ම සහන සලසන්නක්.

රියදුරෙක් නැති වාහන පාරේ යද්දී, අපි එවැන්නක් ඇතුලේ ඉඳිද්දී මොන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියා ද ඔබ හිතන්නේ?

කවරය: internapcdn.net

Related Articles