2020 එළිදකින සුපිරි පරිගණක ක්‍රීඩා

2020 වසර ලාංකිකයන් ඇතුළුව මුළුමහත් ලෝකයාටම එතරම් සුභ වසරක් නම් නොවන බව වසර ආරම්භයේ දී ම අපට දැකගන්න ලැබුණා. බොහෝ දෙනෙක් මේ වසර උදා නොවූවා නම්යැ යි සිතන මට්ටමට, මේ වසරේ සියලු ක්ෂේත්‍රයන් වෙත විශාල ගැටළු පැමිණියා. මේ වෙද්දී ලෝකයම කොරෝනා රෝග බියෙන් ඇළලී තිබෙන කාලයක, කවරදාකටත් වඩා පරිගණක ක්‍රීඩාවල වටිනාකම ලෝකය වෙත දැනෙමින් පවතිනවා. ස්වයං නිරෝධායනය වෙමින් නිවාස තුළට වී කාලය ගෙවන්නට සිදුව තිබෙන නිසා අනෙක් දිනවලට පරිගණක ක්‍රීඩා සඳහා එතරම් පෙළඹෙන්නේ නැති පුද්ගලයන් පවා ඒ වෙත යොමු වෙමින් සිටිනවා. කොහොම වුණත්, සියල්ලන්ටම මදි නොකියා ක්‍රීඩා කරන්නට හැකි තරමේ විවිධත්වයන්ගෙන් යුතු පරිගණක ක්‍රීඩාවන් රැසක් වසරේ පළමු කාර්තුව නිම වෙන්නත් පෙර නිකුත් වී අවසාන යි. මේ ලිපිය හරහා අපේ බලාපොරොත්තුව එවැනි ක්‍රීඩා කිහිපයක් පිළිබඳව ඔබට විස්තර ගෙන ඒමට යි.

Half-Life: Alyx පරිගණක ක්‍රීඩාව 

ඔබ මීට පෙර Half-Life පරිගණක ක්‍රීඩා මාලාව පිළිබඳව අසා තිබෙනවා නම්, මුලින්ම මේ ඒ ක්‍රීඩාවේ තෙවැනි වෙළුම එහෙම නැතිනම්, Half-Life 3 නොවන බව කියන්නට ඕන. Half-Life විශ්වය පදනම් කරගෙනම නිර්මාණය වන වෙනස්ම ගණයේ පරිගණක ක්‍රීඩාවක් ලෙස යි මෙහි නිර්මාණකරුවන් එය හඳුන්වන්නේ. මෙය නිර්මාණය කරන Valve Corporation සමාගම නම් කියන්නේ, මේ ඔවුන්ගේ VR ආගමනය බව යි.

ෆ්‍රීමන් නම් පුද්ගලයෙක් වටා මේ කතාව දිවෙනවා. ඔහු අවදි වන්නේ වසර 20ක අසාමාන්‍ය නින්දකින් අනතුරුව යි. ඒ වෙද්දී පෘථිවිය Combine නම් පිටසක්වල අධිරාජයෙකු විසින් පාලනය කරමින් සිටිනවා. ඔහුට මේ ක්‍රීඩාව තුළ දී ඔහුගේ දුව (Alyx) ඇතුළු ඇගේ හිතවාදීන් පිරිසක් සමග ක්‍රීඩා කරන්න ලැබෙනවා. Half-Life 2 පරිගණක ක්‍රීඩාව හා සබැඳෙන ලෙසින් නිර්මාණය වී ඇති මේ ක්‍රීඩාව ඒ සිදුවීම්වලට වසර 5කට පෙර සිදුවීමක් ලෙස යි නිර්මාණය වී තිබෙන්නේ. ඔබ සතුවත් VR සහිත පරිගණක ක්‍රීඩා කන්සෝලයක් තිබේ නම් මේ ක්‍රීඩාව ඩොලර් 60ක් වැනි මිලකට ඔබට ලබාගන්න පුළුවන්. ඒ පරිගණක ක්‍රීඩාව වෙත සහාය දක්වන කන්සොල පිළිබඳව theverge සවිස්තරාත්මක ලිපියක් පළ කර තිබුණා. කොහොම වුණත්, 2007 සිට මේ ක්‍රීඩා මාලාව සමග එක්ව සිටින ක්‍රීඩකයන්ට මේ ඔස්සේ ඔවුන්ට තිබූ ගැටළු ගණනාවකට පිළිතුරු ලැබෙන බව නිර්මාපකයන් සඳහන් කර තිබුණා. 

Valve Corporation VR ආගමනය – theverge.com 

Doom Eternal පරිගණක ක්‍රීඩාව 

Doom 2016 පරිගණක ක්‍රීඩාවේ Reboot එකක් ලෙස මේ නව Doom Eternal පරිගණක ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්. 2006 නිකුත් වූ Doom ක්‍රීඩාව අපූරු අත්දැකීමක් බව තමයි ක්‍රීඩකයන්ගේ නම් මතය. කිසිවිටක ක්‍රීඩාවෙන් ක්‍රීඩකයා ඉවතට නොයවා අපූර්ව පරිගණක ක්‍රීඩා අත්දැකීමක් ලබාදෙන්නට තරම් ඒ ක්‍රීඩාව සුවිශේෂී එකක් වුණා. පෙර ක්‍රීඩාවක අනුප්‍රාප්තික ක්‍රීඩාවක් වුවත්, සුවිශේෂී අන්දමෙන් එය ඉදිරිපත් කරන්නට නිර්මාපකයන්ට හැකිව තිබෙනවා. සාමාන්‍යයෙන් Reboot වන ක්‍රීඩාවක දකින්න ලැබෙන අංගයන්ට වඩා මේ ක්‍රීඩාව විශේෂ එකක් බවට පත් කරන්න ඔවුන්ට හැකිව තිබෙනවා. අමතර මෙහෙයුම්, වැඩි ග්‍රැෆික්ස් වගේම තවත් අංගයන් රාශියක් මෙයට එක් කිරීම නිසාවෙන්ම යි ඒ. මේ වසරේ බොහෝ දෙනෙක් මඟ බලා සිටි පරිගණක ක්‍රීඩාවක් බවට මෙය පත්ව එන්නේ නිතැතින්ම යි. 

Doom 2016 පරිගණක ක්‍රීඩාවේ Reboot එකක්- Theverge.com

COD WAR ZONE පරිගණක ක්‍රීඩාව 

COD WAR ZONE එහෙම නැතිනම්, Call of Duty ක්‍රීඩාවේ Battle Royale ක්‍රීඩා ක්‍රමවේදයේ ආගමනය විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. Activision සමාගමේ නිර්මාණයක් ලෙස පසුගිය දිනෙක එළිදැක්ක මේ ක්‍රීඩාව සති කිහිපයක් ඇතුළත ක්‍රීඩකයන් සංඛ්‍යාවේ පෙරළිකාර වර්ධනයක් පෙන්නුම් කළා. Modern Warfare පරිගණක ක්‍රීඩාව මිල දී ගෙන සිටි ක්‍රීඩකයන්ට WAR ZONE ක්‍රීඩාව තරමක් කලින් අත්හදා බලන්නත් ඉඩ ලැබුණා. එලෙස ලබාදීම මේ ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් කරන්නටත් පෙර පරිශීලකයන් අතර ජනප්‍රිය වන්නට හේතුවක් වුණා. ඕනෑම අයෙකුට නොමිලයේ බාගත කරගෙන

ක්‍රීඩා කරන්න හැකි Free to play පරිගණක ක්‍රීඩාවක් ලෙස මෙය නිකුත් වුණා. ඒ වගේම, මෙහි තවත් විශේෂත්වයක් වන්නේ Cross Platform ක්‍රීඩාවක් ලෙස නිකුත් වීම යි. පරිගණකයක, Playstation එකක හෝ Xbox එකක වැනි ඕනෑම Platform එකක ක්‍රීඩකයන්ට එකට එක්ව මෙය ක්‍රීඩා කරන්න පුළුවන්. 

Battle Royale සහ Plunder ක්‍රීඩා ක්‍රමවේදයන් මෙහි දී ඔබට ක්‍රීඩා කරන්න හැකි වෙනවා. එක ක්‍රීඩා තරගයකට Playersලා 150ක් ඇතුළත් වෙන අතරම, වෙන කිසිම BR ක්‍රීඩාවක නොමැති 

නවතම අංගයන් ගණනාවක් WAR ZONE පරිගණක ක්‍රීඩාව වෙත ඇතුළත්. සති දෙකක් වැනි කාලයක් ඇතුළත මිලියන 30කට වැඩි ක්‍රීඩකයන් පිරිසක් මේ ක්‍රීඩාව වටා එක රොක් කරගන්නට මේ ක්‍රීඩාව සමත් වුණා. ඒ අතරට ලොව ජනප්‍රියම streamersලා පවා ඇතුළත්. 

Call of Duty ක්‍රීඩාවේ Battle Royale ආගමනය- Activision

මූලාශ්‍රයයන්:

Valvesoftware.com 

Theverge.com 

Youtube.com 

කවරය- Theverge.com 

Related Articles