Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණයට ලැදි කෙනෙක් වෙනුවෙන් රුපියල් 3500ට අඩුවෙන් ගන්න පුළුවන් තෑගි

මේ අවුරුද්ද මුල දී අපි ටෙක්වලට කැමති කෙනෙක්ට තෑගි දෙන්න පුළුවන් තෑගි ගැන සඳහන් කළේ රුපියල් 2500ට අඩු මිල මට්ටමක් පදනම් කරගෙන යි. ඒත් මේ වෙද්දි ඩොලරය ඉහළ යාමත් එක්ක නත්තලට තෑගි තෝරද්දි අපිට ටිකක් වැඩි මිල මට්ටමක්, අඩු තරමේ 3500ක් වත් අතේ තියාගන්න වෙනවා. සාම්ප්‍රදායික පොඩි පොඩි තෑගි වෙනුවට හිතට වදින විදිහේ එනම්, නිතර ප්‍රයෝජනවත් වන නිසා දුන්නු ඔබ ව මතකයට නැඟෙන සහ අඩු මිලකට ගන්න පුළුවන් තෑගි කිහිපයකට අදහස් ඔබට ගෙන එන්නට යි මේ ලෑස්තිය.

ලිපිය ලියන අවස්ථාව වන විට, ඩොලරයක් රුපියල් 176.56 යි. පහත ලැයිස්තුව ඒ අනුව ගොඩනැඟෙන්නේ $20ට අඩු උපාංග පදනම් කරගෙන යි. සෙවුම් keyword ලබාදෙමින් ඔබ කැමති අන්තර්ජාල වෙළඳපොළකින් මේවා සොයාගැනීම අපි පහසු කළා.

ඕනෑම ප්ලග් එකකට ගැළපෙන ඇඩැප්ටරයක්

USB ද අඩංගු ඇඩැප්ටරයක් (shopify.com)

නිතර ගමන් යන කෙනෙක්ට වැදගත් වන දෙයක් තමයි මුලින්ම අපි ලැයිස්තුවට එකතු කරන්නේ. ගමනක් ගියා ම ලැප්ටොප් එකේ, ෆෝන් එකේ චාර්ජරයේ තියෙන කොටු ප්ලග් එකට නවතින තැනක හෝ යන වාහනේ තියෙන සොකට් එක ගැළපෙන්නේ නැහැ. එතකොට ලොකු අපහසුතාවකට පත් වෙනවා. නිතර ෆෝන් එක ලැප් එක පාවිච්චි කරන ටෙක් ලෝකය තුළ ම ජීවත් වන කෙනෙක්ට බැටරි බහින එක තරම් ලොකු ගැටලුවක් තවත් නැහැ. අන්න ඊට හොඳම විසඳුම තමයි ඕනෑම සොකට් එකකට ගැළපෙමින් සවිවන සහ ඕනෑම ප්ලග් එකක් සවි කරන්න පුළුවන් ඇඩැප්ටරයක් අරගෙන දෙන එක.

රුපියල් 2300කට විතර US, UK ආදී සොකට්වලට සහ සියලුම ප්ලග්වලට ගැළපෙන මෙන්ම ඍජු ව USB සබැඳිය හැකි ඇඩැප්ටරයක් මිල දී ගන්න පුළුවන්. නිතර රටින් බැහැර යන කෙනෙක්ට නම්, මිල දී ගනිද්දී ඇඩැප්ටරයේ වෝල්ටීයතා අගය (V) ගැනත් කල්පනාකාරී වෙන්න.

මෙහෙම සර්ච් කරන්න: “International Travel Power Adapter”

එකවර කීපදෙනෙක්ට අහන්න Earphone splitter

jack 4ක් සබඳන්න පුළුවන් splitter එකක් (moma.org)

බස් එකේ සින්දුවක් අහද්දි ළඟ ඉන්න යාළුවාටත් ඒක අහන්න දෙන්නට නම් earphone එකක් යාළුවාට දෙන්න වෙනවා. එතකොට තනි කණකින් වටේ ශබ්දත් එක්ක අමාරුවෙන් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම stereo හා වෙනත් 3D ශබ්ද තාක්ෂණයන් මගින් ලැබෙන ගීතයක් එහෙම තනි කණකින් අහන්නට බැහැ. ඉන් ගීතයේ සුවිශේෂී කොටස්, ප්‍රයෝග ගිලිහෙන නිසා සින්දුවෙන් බාගය යි අහන්නට වෙන්නේ.

මේකට විසඳුම තමයි earphone දෙකක් හෝ ඊට වඩා සම්බන්ධ කරන්න පුළුවන් splitter එකක් තෝරගන්න එක. කපල් එකකට, නිතර යාළුවොත් එක්ක ගමන් යන කෙනෙක්ට මේ තෑග්ග ගොඩක් ප්‍රයෝජනවත් වේවි. වඩාත් හොඳ ගුණාත්මක බවකින් යුතු එකක් ඩොලර් 12.50කට විතර ගන්න පුළුවන්. වයර් නැති එකක් (ජැක් එකෙන් ඍජුව ම බෙදී යන එකක්) තෝරගන්නවා නම් කල් පැවැත්මට හොඳයි.

සෙවීමට keywords: “Earphone Splitter”,  “Branch Earphone Splitter”, “Headset Splitter”

සම්ප්‍රදායික mouse වෙනුවට touch mouse එකක්

ක්ලික් කිරීම් පවා ටච්/ටැප් කරමින් කළ හැකි මවුසයක් (the-gadgeteer.com)

ලැප්ටොප් එකක් පාවිච්චි කරන කෙනෙක්ට මවුස් එකකුත් තිබෙනවා නම් වැඩ කරගන්න එක තවත් පහසුවක් වෙනවා. නමුත් ලොකු ගාණක් දීලා ගත්තු ලැප් එකකට රුපියල් 500කට විතර ගත්තු පුංචි මවුස් එකක් පාවිච්චි කරන ඔබේ දුප්පත් මිතුරාට දෙන්න පුළුවන් හොඳ තෑග්ගක් තමයි මේ. ඇපල් සමාගමේ magic mouse එක ටිකක් ගාණ වැඩි නමුත් අපේ 3500 බජට් එකට ගන්න පුළුවන් ප්‍රමාණයේ හොඳ ටච් මවුස් තිබෙනවා.

මේවායේ තියෙන විශේෂත්වය තමයි මවුස් එකේ උඩ අපි අත තියෙන ප්‍රදේශය ට්‍රැක්පෑඩ් එකක් වගේ ස්ක්‍රෝල් කරන්න, gestures කරන්න වගේ වැඩි පහසුකම් සැපයීම. සම්ප්‍රදායික මවුස් අත්දැකීමට වඩා වැඩි යමක් මේකෙන් ලැබෙනවා.

මෙහෙම සර්ච් කරන්න: “touch mouse”, “wireless touch mouse”

තනියම හැඳිගෑවෙන MUG එකක්

කලවම් කරන්නට මෙන්ම උණුසුම් කරන්නට ද හැකි බඳුනක් (pinimg.com)

හොඳම යාළුවා හැඳිගෑවිලා යනවාට අපි කැමති වුණාට, කෝඩ් පේළි අතරේ හිරවෙලා තේ එකක් හදාගන්නවත් වෙලාවක් නැති ඒ තනිකඩයාට දෙන්න පුළුවන් අපූරු තෑග්ගක් තමයි තනියම කලවම් වන කෝප්ප. මේවාට තේ/ කෝපි පහසුවෙන් හදාගන්න පුළුවන් සැෂේ පැකට් එකක් දාලා වතුර දැම්මා ම හැන්දක් නැතිව ම, ස්වයංක්‍රීය ව කලවම් කර දෙනවා. විවිධ බාහිර පෙනුමෙන් යුතු ඒවා තිබෙන නිසා පරිගණකවලට, ඡායාරූපකරණයට වැනි විවිධ අංශයන්ට කැමති අයට ගැළපෙන සේ පුළුල් තෝරාගැනීම් කරන්නට අවස්ථාව තිබෙනවා.

රුපියල් 2300කට විතර කලවම් වීම පමණක් නොව, වතුර උණුකර දෙන මග් ද සොයාගන්නට පුළුවන්. තෝරාගනිද්දී විශේෂ චාර්ජර් නැති, USB හරහා ම ආරෝපණය කළ හැකි එකක් තෝරාගැනීම පාවිච්චි කරන්නාට පහසුවක් වෙනවා. වසා තැබිය හැකි ඒවා ද තිබෙන නිසා උණුසුම් හෝ ශීත දෙයක් ඇතුළට දාලා උණුවතුර බෝතලයක් වෙනුවට පාවිච්චි කරන්නටත් අවස්ථාව තිබෙනවා.

සර්ච් කරන්න keywords: “self stirring mug”, “self stirring cup”, “usb self stirring double insulated mug”

Wi-Fiවලින් ක්‍රියාත්මක වන ස්මාර්ට් plug එකක්

මේවා ඇලෙක්සා හරහා ද ක්‍රියාකරවිය හැකියි (dhresource.com)

IoT බහුල වෙමින් යන කාලයක ගෙදර හැමදේම ස්මාර්ට් උපාංගවලින් පිරී යනවා. ඒවායෙන් එකක් තමයි අතේ තියෙන ෆෝන් එකෙන් පාලනය කරන්න පුළුවන් සොකට් එකක් කියන්නේ. කලබලේට අයන් එක ගහලා ඔෆිස් ගියාට පස්සේ ඒක off කරන්න අමතක වුණා කියලා මතක් වුණා ම දැන් ආයෙ ගෙදර එන්න ඕනෑ නැහැ. ෆෝන් එකේ ඇප් එකෙන් ස්විච් එක off කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, රෑට ලයිට් එක නිවලා ඇඳට උසේන් බෝල්ට් වගේ දුවගෙන එන හොල්මන්වලට බය නැති ගෑණු ළමයාට අරන් දෙන්නත් මේක අපූරු තෑග්ගක්.

නිවසේ දැනට තිබෙන සොකට් එකකට ම මෙය සම්බන්ධ කර, (එනිසා යි “plug” ලෙස නම් කර ඇත්තේ) වයිෆයි හරහා ඇප් එකක් යොදාගන්නට පුළුවන්. එය අක්‍රීය කළා ම එයින් පිටතට විදුලිය පැමිණීම නවතින නමුත් උපාංගය (හෝ ස්මාර්ට් සොකට් එක) දිගටම විදුලියෙන් සක්‍රීය වී පවතින නිසා දුර සිට ම on/off කරන්න පුළුවන්. හොඳ ගුණාත්මක බවකින් හා පෙනුමෙන් යුතු එකක් රුපියල් 3000කට විතර ඕනෑතරම් සොයාගන්න පුළුවන්.

මෙහෙම සොයන්න: “wifi smart plug”, “wifi socket”, “wifi switch”

 

කවරයේ පින්තූරය: Mirror

Related Articles