Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Harry Potter සෝටින් හැට් එකට පණ දුන් ජපුරේ මායා විද්‍යාර්ථයෝ

2001 වසරේ තිරගත වූ Harry Potter and the Philosopher’s Stone චිත්‍රපටය ඔබට මතක ද? මේ චිත්‍රපටය වගේම, ඉන් ඇරඹුණු Harry Potter චිත්‍රපට මාලාව ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. මේ චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ Hogwarts මායා පාසල වෙත සිසුන් ඇතුළත් කරගන්නා දර්ශනය ඔබට මතක ඇති. එහි දී සිසුන්ව නිවාස සඳහා වෙන් කරන Sorting Hat (සෝටින් හැට්) එක එම කාර්යය කරන්නේ ඔවුන්ගේ ගතිගුණ පරික්ෂා කිරීමෙන් පසුව යි. මේ සෝටින් හැට් එක සැබෑවටම නිර්මාණය කරන්න ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට හැකිවෙලා තියෙනවා. ඔබ අයිති වෙන නිවාසය කියන්න විතරක්ම නෙමෙයි, තවත් දේ කරන්න මේ ලංකාවේ නිර්මාණය වූ හැට් එකට පුළුවන්. 

මේ අපූරු කටයුත්ත කරලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක්. ඔවුන් සියලු දෙනාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුන්. මේ අපූර්ව නිමැවුම බිහි වෙන්නේ ව්‍යවහාරික විද්‍යාපීඨයට අයත් RIC රොබෝ විද්‍යාගාරයේ දී යි. ඔවුන්, චිත්‍රපටයේ සෝටින් හැට් සංකල්පය භාවිතා කරමින් නිර්මාණය කරන ලද මේ උපාංගයට පුද්ගල මනස කියවීමේ හැකියාවක් නම් නැහැ. නමුත්, මේ මායාකාරී තොප්පියට වෛද්‍ය සහ විද්‍යාත්මක අරමුණු සඳහා මොළයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කරන්න හැකි තාක්ෂණයක් ඔවුන් ඇතුළත් කර තිබෙනවා. මේ අපූර්ව නිර්මාණය නිසාවෙන් 2019 සෝෂල් රොබෝටික්ස් කොන්ෆරන්ස් (International Conference on Social Robotics 2019) වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්න ඔවුන්ව තෝරාගෙන තිබෙනවා. ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර දී එළඹෙන නොවැම්බර් 26 වෙනිදා මේ සමුළුව සහ තරගාවලිය පැවැත්වීමට නියමිත යි. 

මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Invention and Venture Creation Council (IIVCC) මඟින් සංවිධානය කරන ලද Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනය පසුගිය දිනෙක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුවා. එහි දීත් සෝටින් හැට් එක නැරඹීමට සහ එහි ක්‍රියාකාරිත්වය දැකබලා ගැනීමට විශාල ජනකායක් එක්රැස් වුණා. විශේෂයෙන්ම, කුඩා දාරුවන් මෙහි ක්‍රියාකාරිත්වය ඔස්සේ තමන් අයිති මායා පාසලේ කුමන නිවාසයටදැ යි දැනගන්නට උත්සුක වුණා. 

සෝටින් හැට් එක නැරඹීමට සහ එහි ක්‍රියාකාරිත්වය දැකබලා ගැනීමට පැමිණි පිරිස

 Artificial Intelligence (AI- කෘතීම බුද්ධිය), Machine Learning වගේම අධිබලැති පරිගණක පද්ධතිවල සිදුවන පෙරළිකාර වෙනස්වීම් සහ යාවත්කාලීන වීම් සමග Social Robotics වෙත ප්‍රධාන කාර්යභාරයක් පැවරෙනවා. ඒ, ඉහත තාක්ෂණයන් සියල්ල එකතු කර ගනිමින්, මානව හිතකාමී රොබෝ යන්ත්‍ර නිර්මාණය කරමින් මිනිසුන්ගේ වැඩ කටයුතු පහසු කිරීම යි. සමාජ රොබෝ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සමුළුව කියන්නෙ; එවැනි නව සොයාගැනීම්, පර්යේෂණ ක්ෂේත්‍රයන්හි වර්ධනයන් පිළිබඳව ලෝකය වෙත ගෙන හැර පාන සමුළුවක්. ඊට අමතරව හොඳම මානව හිතකාමී රොබෝ යන්ත්‍ර සහ සංකල්ප නිර්මාණකරුවන් වෙත ඇගයුම් ලබාදෙන, වාර්ෂිකව පවත්වනු ලබන සුවිශේෂී සම්මන්ත්‍රණයක් ලෙසත් මෙය සලකන්න පුළුවන්. 

ලෝකයේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල රාශියක් තරග වදින “Best Robot Design Award” තරගාවලියේ අවසන් තරගකරුවන් අතරට පැමිණෙන්නට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ විද්‍යාර්ථීන් හට හැකියාව ලැබී තිබෙනවා. මේ වෙත ලංකාව නියෝජනය කරමින් පිටත් වෙන කණ්ඩායමට අධීෂ ගම්මන්පිළ, අසේල විජේසිංහ, ටෙහානි වන්නිආරච්චි, දෝවිනි ජයසිංහ, විරාජි අමරජීව සහ ආචාර්ය රවින්ද්‍ර දී සිල්වා ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යතුමත් ඇතුළත් වෙනවා. 

Sorting Hat එකෙහි නිර්මාණකරුවන්

මේ නිර්මාණය සිදුකිරීමට ඔවුන්ට සහාය ලබාදුන් RIC රොබෝ විද්‍යාගාරයේ අධ්‍යක්ෂක, ආචාර්ය රවින්ද්‍ර දී සිල්වා ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යතුමා, විද්‍යාගාරයේ පර්යේෂණ සහකාර උදක මානවඩු මහතාට, විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් කරුණානායක වගේම පරිගණක අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය ආනන්ද ගාමිණි මහතා ඇතුළු සියලුම ගුරුවරුන්ටත්, ඔවුන්ට සහාය ලබාදුන් සියලු මිතුරු මිතුරියන්ටත් ස්තුතිවන්ත විය යුතු බව යි ඔවුන් අප සමග ප්‍රකාශ කළේ. 2019 සෝෂල් රොබෝටික්ස් කොන්ෆරන්ස් හි දී ලංකාවට කීර්තියක් අත්කර දෙන්නට හැකි වේවා යි Roar සිංහල අපි සුභ පතනවා. 

ඔබ Potterhead කෙනෙක් විදිහට කැමතිම නිවාසය මොකද්ද? ඒ ගැන අපට කියන්න පහළ comment section එක භාවිතා කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව Harry Potter කතා මාලාවේ තිබෙන මන්තර වර්ග ගැන ලියූ ලිපිය සහ ගින්නෙන් උපන් ෆීනික්ස් ගැන ලියූ ලිපියත් කියවන්න අප ඔබට ආරාධනා කරනවා. 

මූලාශ්‍රයයන්: 

Science.sjp.ac.lk 

කවරය: Roar team 

Related Articles