Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google සමාගම බලෙන්ම ඔබේ GPS Location දත්ත රැස්කරන බව හෙළිවෙයි

දුරකතනයේ සැකසුම් හරහා අප යන එන තැන් පිළිබඳ විස්තර ගූගල් සමාගමට තොරතුරු ලබාගැනීමට හැකි වන්නේ ද නැද්ද යන්න පිළිබඳව අපට පාලනය කිරීමට හැකියාව තිබුණ ද, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර ගූගල් සමාගම විසින් location history රැස් කරන බවට දැන් අනාවරණය වී තිබෙනවා.

ගූග්ල් බලහත්කාරයෙන් Location දත්ත ඉල්වන හැටි

Google Maps අඩංගු කළ වෙනත් ඇප්ස් (ටැක්සි සේවා ආදී ඇප්ස්)වලින් පවා දත්ත ලබාගත හැකි යි (vox-cdn.com)

Google සමාගමේ දුරකතන මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් පමණක් නොව iOSවල ස්ථාපිත Google ඇප්ස්වලින් ද Location History අක්‍රීය කර තිබුණත් අපේ ගමන් විස්තර, සිටින ස්ථානය පිළිබඳ දත්ත ගූග්ල් සමාගම රැස් කරමින් සිටිනවා. Associated Press හරහා අනාවරණය කරන ලද මෙම පුවතට අනුව ගූග්ල් ඇප්ස් හරහා Location information සඳහා අවසර ඉල්ලා, සැකසුම් හරහා අක්‍රීය කර තිබුණත් එතැන් පටන් අපි සිටින ස්ථානය පිළිබඳ අඛණ්ඩ වාර්තාවන් ගූග්ල් සමාගම ලබාගන්නා බව යි පැවසෙන්නේ. මෙය ඇම‍ෙරිකාවේ නිව් ජර්සහි පිහිටි ප්‍රින්ස්ටන් සරසවියේ පර්යේෂකයින් පිරිසක් ද සත්‍ය බවට තහවුරු කර තිබෙනවා.

imgur.com

ගූග්ල් විසින් අපේ location එක පිළිබඳව දත්ත ලබාගන්නට හරිම උනන්දු යි. බැටරි බලය සුරකින්නට Ultra data saving mode එක සක්‍රීය කරද්දී ඇතැම් දුරකතනවල dialog box එකක් හරහා Location දත්ත අබල වූ බවත්, එය වහා සක්‍රීය කරන්නදැ යි විමසනවා. GPS අක්‍රීය විට දී දුරකතන සේවා සම්පාදක කුළුණුවලින් ලබාදෙන ස්ථානීය දත්ත යොදාගන්නවා. Google Mapsවල Timeline විශේෂාංග හඳුන්වාදීමත් සමග අඛණ්ඩ ස්ථාන දත්ත ලබාගැනීම සඳහා සාධාරණ හේතුවක් ද ඔවුන් සකසා ගන්නවා. මෙම සේවාව හරහා දිනය තුළ අපි ආ ගිය ස්ථාන, මාර්ගය ආදී දෑ වාර්තාගත කරගනිමින් අපට එය නැවත බලන්නට ද අවස්ථාව සලසනවා. විනෝද චාරිකාවක් වැනි අවස්ථාවක දී තමන්ගේ ගමන්මඟ යළි සිහිපත් කරගන්නට පසු අවස්ථාවක දී මින් පහසුවක් ලැබුණත් ඒ මුවාවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් දත්ත එක්රැස් කිරීම සිදුවෙනවා.

නොමිලේ සේවා සපයන බොහෝ සමාගම් ලොවට පෙන්වන්නේ, අපට සේවාවක් සැපයීම වෙනුවෙන් අපේ ප්‍රයෝජනය සඳහාම දත්ත රැස් කරන බවට යි. කේම්බ්‍රික් ඇනලිටිකා සිද්ධියේ දී බරපතල ගැටලුවක් බවට පත්ව, ලෝකයේ අවධානයට ලක් වූ මෙම දත්ත රැස් කිරීමේ අතුරු ප්‍රතිවිපාක අපේ සියලු දත්ත සන්තක කරගෙන සිටින ගූග්ල් සමාගම හරහාත් දකින්නට ලැබිය හැකිදැ යි අනතුරු ඇඟවීමක් නගනවා.

මිනීමැරුම් සිද්ධියක් ගවේෂණයට එරට රජය ගූග්ල් දත්ත ලබාගනියි

ඝාතන සිද්ධියට සම්බන්ධ ටයිරොන් කූපර් නමැති සැකකරු (abcotvs.com)

ගූග්ල් සමාගමේ දත්ත තෙවන පාර්ශවයන්ට යා හැකි බව තහවුරු වූ අවස්ථාවක් වූයේ මිනීමැරුම් සිද්ධියක් සමග යි.

ඇම‍ෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ 56 වියැති න්වාබු එෆෝබි නමැති Universal Cab Company ආයතනයේ ටැක්සි රියදුරෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකු ආයතනය ආසන්නයේ ම වෙඩි තබා ඝාතනය කර තිබුණා. එම ස්ථානය අවට තිබූ CCTV කැමරා දර්ශන පරීක්ෂා කරද්දී පොලීසියට දැකගැනීමට හැකි වුණේ දුරකතන ඇමතුමක් ගන්නා ආකාරයෙන් දින කිහිපයක්ම ඒ අවට ගැවසුණු පුද්ගලයෙකු යි. මෙම නාඳුනන පුද්ගලයා එෆෝබි දුටු අවස්ථාවේ වෙඩි තැබීම සිදුකරනවා.

මේ ගැන පර්යේෂණ කරන පොලීසිය එම ස්ථානයේ සිතියමක් පරීක්ෂා කර, ඒ අවට ප්‍රදේශයේ ගැවසුණු සියලුදෙනාගේ දුරකතන දත්ත ලබාදෙන ලෙස පොලීසිය ගූග්ල් සමාගමට දන්වා තිබෙනවා. ඒ බව තහවුරු වන්නේ සෙවීම් කටයුතු සඳහා නිකුත් කළ වරෙන්තුවෙහි ගූග්ල් සමාගම සතුව තිබූ දත්ත මෙම සීමාව තුළ විමර්ශන කටයුතු තහවුරු කරගැනීමට යොදාගත් බව සටහන්ව තිබීමෙනුයි. ඒ අනුව එම ස්ථානයේ සිට මීටර් 150ක ප්‍රදේශයේ 2016-07-11 දින සවස 6 සිට 7 දක්වා සහ 2016-08-11 දින සවස 5:25 සිට 6:25 දක්වා කාලය තුළ ගැවසුණු අයගේ ගූග්ල් ගිණුම් පරීක්ෂා කර තිබෙනවා.

ඇපල් සමාගම ඍජුව හිටි හැටි

theimpactnews.com

සිවිල් අයිතීන් සහ පොදු ආරක්ෂාව රැකගන්නට මෙය කරන ලද බවට පෙන්වා දුන්නත් එරට සහ ලොව අන් රටවල ආරක්ෂක මෙන්ම පෞද්ගලිකත්ව නිතීඥවරුන් මේ ගූග්ල් සමාගමේ ක්‍රියාව ගැන සුබදායී මත පළ කරන්නේ නැහැ.

2016 දී ටෙක්සාස්හි සිදු වූ 26 දෙනෙක්ගේ ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ iPhone එක සතු දත්ත බලා ගැනීමට අවශ්‍ය බව FBI වෙතින් ඇපල් සමාගමට ඉල්ලීමක් කෙරුණා. එහි දී ඔවුන් 11 වතාවක් පමණ ඇපල් සමාගමට දන්වා සිටියේ iOS සඳහා backdoor එකක් නිර්මාණය කර එය රජයට ලබාදෙන ලෙස යි.

එවිට ඕනෑම iPhone දුරකතනයකට පිවිස එහි දත්ත ලබාගැනීමට රජයට අවස්ථාව ලැබෙන නිසා එසේ කිරීමෙන් තම පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය අහෝසි වන බව පවසමින් ඔවුන් ඍජුව එය ප්‍රතික්ෂේප කළා. එසේම, එලෙස දත්ත රජයට දීම සහ මෙලෙස ආයතනයෙන් ඉල්ලා සිටීම ද එරට නීති ප්‍රකාරව වරදක් නිසා ඊට බලපෑම් කරන්නට FBI වෙත හැකියාවක් තිබුණේ ද නැහැ.

ඔබේ දත්ත රැස්කිරීම වළක්වන්නේ මෙහෙම යි

Thambaru/Roar

ගූග්ල් Maps පමණක් නොව, Chrome, Assistant, Gmail ආදී ඇප්ස් හරහා මෙන්ම මෙහෙයුම් පද්ධති මට්ටමෙන් ද අපි සිටින location එක පිළිබඳව දත්ත රැස්කිරීම සිදුවෙනවා. අපේ ලැප්ටොප්, ටැබ් සහ දුරකතනවලින් ගූග්ල් ඇප්ස් පාවිච්චි කරද්දී එම භාවිත ස්ථානය ඔවුන් සටහන් කරගන්නා අතර මෙහෙයුම් පද්ධති මට්ටමෙන් ද අඛණ්ඩව දත්ත රැස්කිරීම සිදුවෙනවා. නූතන ලැප්ටොප්වල පවා GPS තිබෙන නිසා IP එකෙන් ඔබ්බට ගිය වඩාත් නිවැරදි තොරතුරු ද ගූග්ල් වෙත එක්වෙනවා.

මෙය නවත්වාලන්නට https://myaccount.google.com/activitycontrols වෙත පිවිසී එහි ඇති Location History යන්න අක්‍රීය කළ විට මේ සියල්ල නවතින බවට අපට සිතුණත් එය එලෙස වන්නේ නැහැ.

Thambaru/Roar

ගූග්ල් ඇප්ස් හරහා රැස් කෙරෙන දත්ත පමණක් ඉන් නැවතෙන නමුත්, Google Location Services සහ Find My Device වැනි සේවාවන් සඳහා (ඒවායේ මුවාවෙන්) තවදුරටත් ස්ථානීය දත්ත රැස්කිරීම සිදුවෙනවා. එසේම ගූග්ල් සෙවුම් සහ සිතියම් සඳහා වූ location දත්ත ද තවදුරටත් රැස් වනු ලබනවා. එය ද නවත්වන්නට නම් Activity Controlsහි ඇති Web & App Activity යන්න ද අක්‍රීය කළ යුතු යි.

ඒ අනුව, Location History සහ Web & App Activity යන දෙකම නවතාලීමෙනුයි පූර්ණ රහසිගත බවක් ලබාගැනීමට හැකි වන්නේ. ඒවායේම පහතින් ඇති Manage Activity යන ලින්ක් එකෙන් මෙතෙක් එක්රැස් කරන ලද දත්ත නැරඹීමට සහ ඉවත් කිරීමට ද අවස්ථාව තිබෙනවා.

පසුවදන

wired.com

අපට නොමිලේ සේවා සැපයීම වෙනුවෙන් කිසියම් සේවාවක් දත්ත රැස්කිරීම් සිදුකර, එම දත්ත හරහා වඩාත් උචිත වෙළඳ දැන්වීම් බෙදාහරිමින් තමන්ගේ ආදායම සිදුකිරීම යි අන්තර්ජාලය තුළ බහුලව සිදුවන්නේ. ඒ අනුව අප නොමිලේ ලබාගන්නා සේවාවට ගෙවීම බවට පත්වන්නේ අපේ පෞද්ගලික දත්ත යි. ඔවුන් අපේ දත්ත වෙළඳ දැන්වීම් පළ කරන්නන්ට ලබාදෙන්නේ නැහැ. එසේම ඔවුන් දැන්වීම් හරහා ලාභ ලැබුවාට අපේ අකමැත්තක් ද නැහැ. නමුත් රජයක් හෝ වෙනත් තෙවන පාර්ශවයක් විසින් අපේ දත්ත අයුතු ලෙස පාවිච්චි කිරීමෙනුයි ගැටලු මතුවන්නේ. කිසියම් ත්‍රස්තවාදී සංවිධානයක් අතට මෙවන් දත්ත ගියහොත් ඉන් ජනසංහාරයක් වුවත් සිදුවිය හැකි යි.

එනිසා “මගේ location data ගත්තාම මට මොකෝ” සංකල්පයෙන් ඔබ්බට යමින් පොදු ආරක්ෂාව ගැන පරාර්ථකාමීව සිතීම ලෝකවාසී හැමදෙනාගේම යුතුකමක්. ඊට ගෞරව දැක්වීම සේවා සපයන ආයතනයන්හි වගකීමක්.

කවරයේ ඡායාරූපය: techhive.com

Related Articles