Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිල් ගේට්ස් ඇත්තටම Genuine ද?

සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකයේ ඉහළටම යාමේ හැකියාව ඇත්තේ ව්‍යාපාරිකයෙකුට ය. එහෙත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පරිගණක අංශය සම්බන්ධ පුද්ගලයෙක් ද සිටියි. ඒ, මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් ය.

ක්‍රමලේඛකයෙකුට, එහෙමත් නැත්නම් ප්‍රෝගැමර් කෙනෙකුට, එතරම් ධනයක් ලබා ගන්නට පුළුවන් ද? නැත්නම් ඔහු හුදෙක් උපාය ශිල්ප දන්නා ව්‍යාපාරිකයෙක් ද? 1995 තිරගත වූ Pirates of Silicon Valley වැනි ඔහු වටා ගොඩනැඟුණු නිර්මාණයන් මෙය සාධාරණ ප්‍රශ්නයක් බවට පත් කරයි. Windows Genuine කරගන්නැ යි අපට නිතර වධ දුන්නාට බිල් ගේට්ස් Genuine ද? එන්න, අපි ඒ ගැන විමසා බලමු.

කුඩා කාලයේ පටන් දක්ෂයෙක්

කුඩා බිල් ගේට්ස් (cnbcfm.com)

1955 දී උපන් බිල් ගේට්ස් ගේ සම්පූර්ණ නම විලියම් හෙන්රි ගේට්ස් III ය. ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් වත්ම පාසලින් මව් පියන්ට උපදෙස් දී තිබුණේ ඔහු සතුව සුවිශේෂී බුද්ධි හැකියාවන් තිබෙන බැවින් ඊට උචිත පාසලකට යොමු කරන ලෙස යි. 1967 දී ලේක්සයිඩ් පුද්ගලික පාසලට ඔහුව ඇතුලත් කරන ලද අතර ගේට්ස් ගේ දෙමව්පියන්ට අවශ්‍ය වූයේ ඔහු නීතීඥයකු වනු දැකීම යි.

ගේට්ස් සිය පළමු මෘදුකාංග වැඩසටහන වූ පරිගණකයට එදිරිව ක්‍රීඩා කළ හැකි Tic-Tac-Toe ගේම් එක ලියන ලද්දේ මේ කාලයේ දී (වයස අවුරුදු 13 දී) ය. එසේම, ඔහුට මේ පාසලේ දී පෝල් ඇලන් ද හමුවිය. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වයට බලපෑ ප්‍රධාන කාරණයක් නම්, දෙදෙනාම පරිගණකවලට සහ කේත ලිවීමට ප්‍රිය කිරීම යි.

ආදරය වෙනුවෙන් හැක් කිරීම

ලජ්ජාශීලී බිල් ගේට්ස් තරුණයා (cnbcfm.com)

ඔවුන් දෙදෙනා පාසලේ සිසුන්ගේ පිළිවෙළ සකසන පරිගණක මෘදුකාංගයක් හැක් කරමින් බිල් ගේට්ස්ට ගැහුණු ළමයකු සොයා ගැනීමට උත්සාහ කළ බව ගේට්ස් BBC සමග කළ සාකච්ඡාවක දී පවසයි. පෝල් දෙවසරක්-ඉහළ පන්තියක සිටි බැවින් ඉන් ඔහුට ප්‍රයෝජනයක් ගත නොහැකි වුවත්, පන්තියේ දී ගේට්ස්ට එහා පැත්තෙන් ගැහුණු ළමුන් වාඩි කරවා ගන්නට මේ හරහා ඔවුන් කටයුතු කර තිබිණි.

එනමුත්, ඔහු ලැජ්ජා නොවී ගැහැණු ළමයෙකු හා කතා කිරීමේ සමාජ හැකියාව යම් තරමකට හෝ ලබා තිබුණේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයයට පිවිසුණාටත් පසුව යි!

පසුකාලීනව මේ දෙදෙනා එක්ව (පෝල් ගිල්බර්ට් ද සමග) 1970 දී ප්‍රාදේශීය පරිපාලන ආයතනයන්ට වාහන සංඛ්‍යාලේඛන ලද හැකි ට්‍රැෆ්-ඕ-ඩේටා (Traf-O-Data) නම් සමාගමක් ආරම්භ කළහ. මයික්‍රොසොෆ්ට් ආයතනයට මුල්ගල් තැබුණේ පසුකාලීනව යි.

අල්ටෙයාර් BASIC ගැන කී පුංචි බොරුව

MITS Altair 8800 සඳහා සැකසූ 8K BASIC හි මුල් පිටපත (wikipedia.org)

ද්විතීයික පාසලට පිවිසෙන තුරු ම පරිගණක හා මුසුවන්නට ගේට්ස්ට නොහැකි වූයේ එකල පරිගණක මිල අධික උපාංග වූ නිසා යි.

ඉලෙක්ට්‍රොනික විද්‍යාව විනෝදාංශයන් කරගත් අය තමන්ගේම පරිගණක ගොඩනඟා ගැනීම සඳහා විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණවලින් අමතර කොටස් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිය දී MITS අල්ටෙයාර් 8800 පරිගණකය තාක්‍ෂණලෝලීන් සඳහා නව ලෝකයක් විවර කළේ ය. අල්ටෙයාර් 8800 පරිගණකය පූර්ණ, බල සම්පන්න සහ දැරිය හැකි මිලකින් යුක්ත එකක් විය. මේ වන විට බිල් ගේට්ස් සහ පෝල් ඇලන් විශ්වවිද්‍යාල (දෙකක) සිසුන් විය.

එම පරිගණකය ක්‍රියා කරවීමට අවශ්‍ය මෘදුකාංග ඒ හාම වැදගත් වන බැව් වටහාගත් පෝල් බිල් ගේට්ස්ට ඒ බව දැනුම් දිනි. වහාම MITS ආයතනයට ඇමතුමක් ගත් ගේට්ස්, එහි BASIC භාෂාවෙන් රචිත මෘදුකාංග ධාවනය කළ හැකි අර්ථ වින්‍යාසකයක් (Interpreter) තමා ගොඩනඟා ඇති බව කීය.

“මම හිතුවේ කුඩා වයස ගැන සලකා ඔවුන් දුරකතනය විසන්ධි කරනු ඇති බවයි. ඒත් ඒ වෙනුවට ඔවුන් තවමත් සූදානම් නැති බවත්, තවත් මාසයකින් පැමිණෙන ලෙසත් කීවා.” හාර්වර්ඩ් සරසවියේ දී 2007 දී කළ කථාවක දී බිල් ගේට්ස් තම මතකයන් අවධි කරයි. “එසේ කීම වාසනාවක්. මොකද, අප එවන් මෘදුකාංගයක් සකසා තිබුණේ නැහැ” ඔහු තවදුරටත් කියයි. මේ පුංචි බොරුව පෝල් ඇලන් ද CBS හා පැවති සම්මුඛ සාකච්ඡාවක දී තහවුරු කර තිබේ.

මයික්‍රො-සොෆ්ට් වෙත මුලපිරීම

මයික්‍රො‍සොෆ්ට් ලෝගෝවේ විකාශනය (redd.it)

ගේට්ස් සහ ඇලන් PDP-10 පරිගණකයකින් Intel 8080 emulator එකක් භාවිතයෙන් අර්ථ වින්‍යාසකය සකසන ලද නමුත් එය MITS වෙත පෙන්වන විට සාර්ථකව Altair 8080 මත ක්‍රියාකරන ලදී. ඉන් සතුටට පත්වන MITS ආයතනය Altair BASIC නමින් එය වෙළඳපොළට නිකුත් කිරීමට ගිවිසුම් ගත වනවා.

ඒ සමග 1975 අප්‍රේල් 4 වන දා මයික්‍රොසොෆ්ට් ආයතනය බිහි වන්නේ ගේට්ස් ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් වෙමිනුයි. එහි මුල් නම වූයේ Micro-soft යන්න යි. ඇලන් විසින් එය යෝජනා කරන ලද අතර එහි තේරුම “මයික්‍රො පරිගණක සඳහා මෘදුකාංග” (Microcomputer Software) යන්න යි.

මෙම අර්ථ වින්‍යාස‍කය නිර්මාණයේ දී බිල් ගේට්ස් ප්‍රධාන දායකත්වයක් සැපයූ බව එහි මූලාශ්‍ර කේතයෙහි තිබූ අදහස් දැක්වීමකින් (comment) හෙළිවේ. ඒ පහත පරිදි ය.

00560 PAUL ALLEN WROTE THE NON-RUNTIME STUFF.

00580 BILL GATES WROTE THE RUNTIME STUFF.

00600 MONTE DAVIDOFF WROTE THE MATH PACKAGE

ඉන් කියැවෙන්නේ මෘදුකාංගයේ ධාවන අවස්ථාව සඳහා අවශ්‍ය කේත බිල් ගේට්ස් විසින් රචිත බව යි.

MS-DOS පලහිලව්ව

MS-DOS අයිකනය (howtogeek.com)

මයික්‍රොසොෆ්ට් සමාගමෙහි අඩිතාලම සැකසූ විශේෂිත අංගයක් වන්නේ MS-DOS මෙහෙයුම් පද්ධතිය යි. එනමුත් එහි ආරම්භක වෙළුම සම්පූර්ණයෙන් ඔවුන් ම සැකසූවක් නොවේ.

IBM ආයතනයට තම පරිගණක වෙළඳපොළට නිකුත් කිරීමේ දී මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය විය. එකල තිබූ හොඳ මෙහෙයුම් පද්ධතියක් වූ Control Program/Monitor හෙවත් CP/M මේ සඳහා ඔවුන් තෝරාගත්ත ද එහි නිර්මාණකරුවන් වූ Digital Research ආයතනය සමග ගිවිසුම්ගත වීමට ඔවුන්ට නොහැකි විය.

කියැවීමට තවත් දේ: Windows phone මළ බව බිල් ගේට්ස් තහවුරු කරයි

මේ වන විට CP/M අනුකරණය කරමින් QDOS හෙවත් Quick and Dirty Operating System නමින් Seattle Computer Products ආයතනය තම පරිගණක සඳහා සකසාගෙන තිබුණි. එය සැකසුවේ ටිම් පැටර්සන් විසිනි. මෙය IBM ප්‍රොසෙසරවල ද ක්‍රියාකරන බව බිල් ගේට්ස්ට පෙනී ගියේ ය. ඒ අනුව, ඔහු එය IBM ආයතනය වෙනුවෙන් QDOS මිලදී ගෙන, MSDOS ලෙස නම් කරන ලදී. IBM ආයතනය එය නැවත IBM PC DOS ලෙස නම් කර තම පරිගණකවල යොදන ලදී.

පසුකාලීනව චෝදනා එල්ල වූයේ මයික්‍රොසොෆ්ට් සමාගම සොරකම් කරන ලද කේතයන් භාවිතා කරන බවයි. 

චෝදනා නිෂ්ප්‍රභ කෙරේ

IBM පරිගණකයක් (ibtimes.co.uk)

MSDOS වෙත චෝදනා එල්ල වන්නට හේතු වූයේ ටිම් පැටර්සන් CP/M මෙහෙයුම් පද්ධතියේම කොටස් ගෙන තමන්ගේ මෙන් ප්‍රසිද්ධ කළ බවත්, CP/M සැකසූ ගැරී කිල්ඩාල් විසින් සඟවා තිබූ, කතුහිමිකම් පෙන්වන Kildall command නමැති විධානය QDOSහි ද ක්‍රියා කළ බවයි.

පසුකාලීනව බොබ් සයිඩ්මාන් නමැත්තකු විසින් තමා විසින්ම කතු හිමිකම් පරීක්ෂා කිරීමට සකස් කරගත් මෘදුකාංගයකින් මේවා පරීක්ෂා කරන ලද අතර, ඔහු IEEE හි සටහනක් ද තබමින් (එය දැන් ඉවත්කොට තිබේ) කියා සිටියේ එවන් කිසිදු කතු හිමිකම් උල්ලංඝණයක් මෙතැන නොමැති බවයි. එහෙත්, ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයකු බවත්, මෙය මුදල් ගෙවා කරන ලද පර්යේෂණයක් විය හැකි බවට ද මත පළවිණි.

සියල්ලෝ ම සර්ව සම්පූර්ණ නොවේ

නූතන බිල් ගේට්ස් (time.com)

බිල් ගේට්ස් යනු දැන් ඉහළ පෙළ පරිගණකයක් භාවිතා කරන, සංචරයට ප්‍රිය, විහිළු‍වක්-දෙකක් කරමින් සැහැල්ලුවෙන් කටයුතු කරන, තවමත් කේතකරණයෙහි නියැලුනු අයෙක් බව ඔහුගේ Reddit හි අදහස් දැක්වීම් නිරීක්ෂණය කරමින් Mashable වෙබ් අඩවිය පෙන්වා දෙයි.

කෙසේවතුදු, ඔහු අද ලොව ප්‍රසිද්ධම පුද්ගලයකු වශයෙන්, ධනවත් පුද්ගලයකු වශයෙන් මෙන්ම තමන්ගේ මූලාරම්භය නිසා ලොව වැඩි ම ප්‍රමාණයක පරිගණක ප්‍රමාණයක් ක්‍රියාත්මක වීමට ඉඩ සැලසූවකු වශයෙන් ඉහළ තලයේ වැජඹෙයි.

වැඩිදුර කියැවීමට: ලෝකය අල්ලේ නටවන සුපිරි ධනවතුන් මෙන්න

“වින්ඩෝස් විසින් මැක්වල තිබුණු අකුරු විලාස (Typefaces) කොපි නොකළා නම් අද කිසිදු පරිගණකයක විවිධ අකුරු තිබෙන එකක් නැහැ” ස්ටීව් ජොබ්ස් උපාධි ප්‍රදානෝත්සවයක දී කියයි. ඔහු ඍජුවම කියන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම තමාගේ නිර්මාණය උපුටාගත් බව යි. ඉතින් මේ විවිධ අවස්ථාවන් අපට පෙන්වා දෙන්නේ බිල් ගේට්ස් යනු හුදෙක් ප්‍රෝග්‍රැමර් කෙනෙක් ම නොවන බවයැ යි ඔබට සිතෙනවා ද?

කවරය: theceomagazine.net

මූලාශ්‍රයයන්:

  • Manes, Stephen (1994). Gates. books.google.com
  • fossbytes.com
  • britannica.com
  • timetoast.com
  • techopedia.com
  • news.harvard.edu
  • theregister.co.uk
  • wired.com

Related Articles