Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ රටේ ජංගම දුරකථන සේවා සම්පාදකයන් මෙතෙක් පැමිණි මඟ

ශ්‍රී ලංකාව කියන්නේ නිල වශයෙන්ම දකුණු ආසියාවේ සන්නිවේදන සේවා දියුණුව අතින් ඉහළින්ම සිටින රටයි. දශක ගණනාවක් තිස්සෙම සන්නිවේදන තාක්ෂණය අතින් කලාපයේ ඉදිරියෙන්ම සිටින අපේ රට තවත් කාලාන්තරයක් පුරාවට ඒ තත්ත්වය රැක ගෙන සිටින බව සිතන්න පුළුවන්. මෑත කාලයේ අතිශයින්ම දියුණු වූ ක්ෂේත්‍රය විදිහට හඳුන්වන්න පුළුවන් ජංගම දුරකථන සහ සන්නිවේදන ජාලාවල වේගය අතිනුත්, ව්‍යාප්තිය අතිනුත් දකුණු ආසියාවේ අනෙක් රටවල් සියල්ලම සිටින්නේ ශ්‍රී ලංකාවට බොහෝ පිටුපසින්.

විශේෂයෙන්ම ජංගම දුරකථන ජාල දියුණුව කරා යන ගමනේ සියලුම සන්ධිස්ථානවලට අනෙක් කලාපීය රටවලට බොහෝ කාලයකට පෙර ළඟා වෙන්න ශ්‍රී ලංකාව සමත් වුණා. 2G, 3G, 4G වගේ තාක්ෂණයන් භාවිතයට පැමිණි කාලය සලකන විට මෙය පැහැදිලිවම දැකගන්න ලැබෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකාවේ 5G ජාලයන් පවා ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේ.

අද වන විට රටේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති දියුණුවට මේ ඉලක්කම් ඉතාම හොඳ සාක්ෂි. (digitalmarketer.lk)

ඉතින් අපි මේ තත්ත්වයට ආවේ කොහොමද? අපේ රටේ ජංගම දුරකථන සේවා සපයන සමාගම් ආරම්භයේ සිට මේ දක්වා ආවේ කොහොමද? ඒ ඉතිහාස කතාව විග්‍රහ කරලා බලන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ නොදන්නා අපූරු කරුණු බොහොමයක් මේ තුළ අඩංගු වන බවට සැකයක් නැහැ.

බොහෝ වාර ගණනක් නම වෙනස් වූ ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය – Celltel (අද වන විට Etisalat)

Video 1 – නවීන් අත ඇරලා රවීන් තෝර ගන්න මේ Cellcard වෙළඳ දැන්වීම මතකද? (youtube.com/tvt lk)

ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය බිහි වෙලා මේ වන විට අවුරුදු 29ක් ගත වෙලා. 1989 අවුරුද්දේ ජූනි 18 වැනි දා ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය විදිහටත්, මුළු ලෝකයේම 36 වැනි ජංගම දුරකථන ජාලය විදිහටත් Celltel Sri Lanka ආයතනය මෙහෙයුම් ආරම්භ කළා.

Motorola ආයතනයේ TACS තාක්ෂණය ඔස්සේ සේවා ලබා දුන්නු Celltel ආයතනයට හිමි වෙලා තිබුණු ඒකාධිකාරය මොන තරම් ද කියනවා නම්, බොහෝ දෙනෙක් ජංගම දුරකථන හඳුන්වන්නත් “සෙල් ටෙල් එකක්” කියන නම පාවිච්චි කරා. 1998 අවුරුද්දේ Dialog ආයතනය GSM තාක්ෂණයෙන් පෙරමුණ ගන්නාතුරුම රටේ ප්‍රධානම ජංගම දුරකථන සේවා සපයන්නා බවට පත් වෙලා සිටියේ Celltel.

zeroconsequences.net

කොහොම වුණත් පසුකාලීනව අනිත් සමාගම්වල නැඟී සිටීමත් එක්ක ඔවුන්ගේ වෙළඳපොළ බිඳ වැටෙන්න ගත්තා. 2007 අවුරුද්දේදී ඇමරිකාවේ මිලිකොම් ඉන්ටර්නැෂනල් ආයතනය Celltel මිල දී ගෙන Tigo විදිහට නම් කළා. බොහෝ දුරට තාරුණ්‍යය ඉලක්ක කරගෙන ප්‍රචාරණයන් දියත් කළ ඔවුන් පැමිණෙන ඇමතුම්වලට මුදල් අය නොකිරීම, තත්පරයට අය කිරීම වගේ අලුත් දේවල් හඳුන්වාදුන්නා.

techadvisor.lk

ඉන් පසුව මේ සමාගම 2010 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat ආයතනයේ භාරකාරත්වයට පත් වුණා. අද වන විට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා සම්පාදකයන් අතරින් ඉදිරි තැනක Etisalat සිටිනවා.

අඩු මිලට අත්‍යාවශ්‍ය සන්නිවේදන සේවා සපයන ශ්‍රී ලංකාවේ දෙවන ජංගම දුරකථන ජාලය – CallLink (අද වන විට Hutch)

Video 2 – මතකද Hutch ටික් ටික්? (youtube.com/nilan cooray)

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ශ්‍රී ලංකාවේ දෙවැනි ජංගම දුරකථන ජාලය වුණේ අද අපි කවුරුත් දන්නා Hutch ජාලය යි. 1991 වර්ෂයේ දී මෙරට දෙවන ජංගම දුරකථන සේවා සමාගම විදිහට ඔවුන් මෙහෙයුම් ආරම්භ කළා. මුලින්ම මෙහි නම වුණේ CallLink යන්න යි. කොහොම නමුත් CellTel වලට ඔවුන් විශාල අභියෝගයක් වුණේ නැහැ.

පසුව 1998 දී CK Hutchison Holdings ආයතනය CallLink සේවාව මිලට ගෙන එය Hutch ලෙස නම් කරනු ලැබුවා. ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ සේවාවක් දියත් කරමින් සිටි CallLink ක්‍රමය වෙනුවට දිවයින පුරාම සිය මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කරන්න Hutchison ආයතනය කටයුතු කිරීමත් එක්ක Hutch ජාලය වර්ධනය වෙන්න පටන් ගත්තා.

Wikimedia.org

තවමත් ඔවුන් රට පුරා ව්‍යාප්ත 4G ජාලයක් හඳුන්වා දී නැතත්, සාපේක්ෂව අඩු මිලකට අන්තර්ජාල පැකේජ, H2H ඇමතුම්, සහ SMS පැකේජ ආදිය ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වන විට රටේ බොහෝ ප්‍රදේශ ආවරණය කරන්නත් ඔවුන් සමත් වෙලා.

ආරම්භයේ සිට නම වෙනස් නොවූ, රාජ්‍ය හිමිකාරීත්වයක් ඇති මෙරට තුන් වන ජංගම දුරකථන ජාලය – Mobitel

ශ්‍රී ලංකාවේ තුන් වැනි ජංගම දුරකථන ජාලය විදිහට Mobitel ආයතනය 1993 දී මෙහෙයුම් ඇරඹුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන දැවැන්තයා වූ Telstra ආයතනයේ එකමුතුවෙන්. මුලින් සම අයිතිය සහිත සමාගමක් ලෙස පැවතුණු Mobitel ආයතනය ආරම්භයේ සිටම තම නාමය වෙනස් නොකළ පැරණිතම ජංගම දුරකථන ජාලයද වෙනවා.

Video 3 – Mobitel ආයතනයේ දශක දෙකකටත් වඩා පැරණි දැන්වීමක් (youtube.com/tvt lk)

කොහොම නමුත් Mobitel ආයතනය විශාල දියුණුවක් ලබන්නට සමත් වුණේ, 2002 වර්ෂයේ දී එය SLT වෙත පූර්ණ වශයෙන් පවරා ගැනීමත් එක්කයි. 2004 දී සිය 2.5 G ජාලය හඳුන්වා දීමත් එක්කම ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනාගෙන් කෙනෙක් බවට පත් වන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව මෑත කාලීනව ලැබූ සන්නිවේදන ක්ෂේත්‍රයේ අසීමිත දියුණුවට ප්‍රධානතම හේතුවක් විදිහට Mobitel හා Dialog අතර කාලයක සිට පවතින කරට කර තරගකාරීත්වය සලකන්න පුළුවන්. 3G, 3.5G, 4G, 4.5G වැනි තාක්ෂණයන් වෙළඳපොළට ප්‍රවේශය ඉක්මන් කරන්නත්, ශ්‍රී ලංකාව පුරා මේ අලුත් තාක්ෂණයන් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩි වෙන්නත් මේ තරගය පැහැදිලිවම හේතු වුණා.

techadvisor.lk

Mobitel මේ වන විට බොහොම පුළුල් සේවා ප්‍රමාණයක් ලබා දෙනවා. රාජ්‍ය අනුග්‍රහය සහිත උපහාර පැකේජය, mCash, SLT අනුබද්ධව පිරිනමන Peo TV ආදිය ඉන් ප්‍රධාන යි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන දැවැන්තයා වූ මෙරට හතර වන ජංගම දුරකථන ජාලය – MTN Networks (අද වන විට Dialog)

1993 දී ශ්‍රී ලංකාවේ හතර වැනි ජංගම දුරකථන ජාලය ආරම්භ වුණේ MTN Networks නමින්. මැලේසියාවේ Telekom Malaysia Berhad (TM) සහ කැපිටල් මහරාජා ආයතනයේ පිළිවෙලින් 90% සහ 10% කොටස් හිමිකාරීත්වයකින් යුතුව ආරම්භ වුණු මෙය ඉතාම කෙටි කලක් තුළ මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ සැබෑ සන්ධිස්ථානයක් සටහන් කළා. ඒ 1995 වර්ෂයේදී මුළු දකුණු ආසියාවෙන්ම මුල් වරට ඩිජිටල් ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දීමයි. නවතම GSM ඩිජිටල් ජාලයක් ආරම්භ කිරීමත් සමගම ඔවුන් Dialog GSM ලෙස නව සන්නාමයක් හඳුන්වා දුන් අතර අද සිටින සන්නිවේදන දැවැන්තයා දක්වා පැමිණි ගමන ආරම්භ වුණේ ඒ විදිහටයි.

Video 4 – අනර්කලී ඉන්න KiT eZ Reload දැන්වීම කාටත් මතක ඇති (youtube.com/tvt lk)

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ සැබෑම වෙනසක් සිදු කළ බොහෝ තාක්ෂණයන් මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා යි. මේ වන විට මිලියන 12 කට අධික සේවාදායකයන් පිරිසකගෙන් සමන්විත Dialog ආයතනයට කාලයක් තිස්සේ සිදු කර ඇති ඩොලර් බිලියන 1.96 කට අධික ආයෝජනය ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම තනි ඍජු විදේශ ආයෝජනය ලෙස සැළකෙනවා. ශ්‍රී ලංකාවේ පුළුල්ම සේවා ව්‍යාප්තියක් සහිත සන්නිවේදන සහකරු වන Dialog ආයතනය වනාන්තර ප්‍රදේශ හැර මුළු ශ්‍රී ලංකාව පුරාමත්, ශ්‍රී ලංකාව වටා සයුරේ කිලෝමීටර් කිහිපයක් ඈතටත් අවම වශයෙන් 2.5G සම්බන්ධතාව හෝ පැවතීම තහවුරු කර තිබෙනවා.

Dialog ආයතනයත් ඉතාම නිර්මාණශීලී වෙළඳ දැන්වීම් ඉදිරිපත් කළා. (TVT)

Dialog ආයතනය ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, චන්ද්‍රිකා රූපවාහිනී, අන්තර්ජාල සම්බන්ධතා, ඉලෙක්ට්‍රොනික් වාණිජය ඇතුළු සන්නිවේදන ක්ෂේත්‍රයේ සියලුම අංශවල සුවිසල් ආධිපත්‍යයක් හිමි කරගෙන සිටිනවා. eZ Cash, Dialog 4G Home Broadband, Dialog CDMA, Dialog TV ඇතුළු නවමු තාක්ෂණයන් බොහොමයක් හඳුන්වා දුන් Dialog මේ වන විට ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය හඳුන්වා දීමේත් පෙරමුණ ගෙන සිටිනවා.

21 වැනි සියවසේදී ශාරුක් ඛාන් සමග ශ්‍රී ලංකාවට පැමිණි මෙරට පස් වන ජංගම දුරකථන ජාලය – Airtel

Video 5 – ශාරුක් ලංකාවටම හලෝ කියපු Airtel දැන්වීම නම් අමතක වෙන්න විදිහක් නෑ. (youtube.com/ankita kedia)

අනෙක් ජංගම දුරකථන ජාල හතරම 1993 වන විටත් මෙරට යම් ආකාරයකින් හෝ ස්ථාපිත වී තිබී ටිකෙන් ටික ව්‍යාප්ත වූ ඒවා නමුත් 2009 දී ශ්‍රී ලංකාවට අලුත්ම ජංගම දුරකථන ජාලයක් එකතු වුණා. ඒ ඉන්දියාවේ විශාලතම සන්නිවේදන සමාගම වන Bharti Airtel සමාගමේ සන්නාමයෙන් මෙරටට ආපු Airtel.

ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවතුණේ ඉතාම වේගයෙන් දුරකථන ඇමතුම් සහ SMS සඳහා ගාස්තු අඩු කිරීමේ විශාල තරගයක්. දවසේ කාල වේලාවන් අනුව අය කිරීම් වෙනස් වන සංකීර්ණ ඇමතුම් ක්‍රම විශාල ප්‍රමාණයක් ඒ වන මෙරට තිබුණු අතර එයට සරල විසඳුමක් විදිහට දවස පුරාම ඇමතුම්වලට රුපියල් දෙකක් අය කරමින් ඔවුන් විශාල ආකර්ෂණයක් දිනා ගත්තා. මීට අමතරව Airtel ජාලය ජනප්‍රිය නළු ශාරුක් ඛාන්, ඒ වන විට දක්ෂතාවේ ඉහළින්ම සිටි කුමාර් සංගක්කාර වැනි තරු තම ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමත් ඔවුන්ගේ මුල් කාලීන ජනප්‍රියත්වයට හේතු වුණා.

digit.in

ශ්‍රී ලංකාවට පැමිණෙන කාලයේ බොහෝ දෙනෙකුගේ අදහස වුණේ Airtel සම්බන්ධතාවේ ඇමතුම් සහ SMS ඉතාම ලාභදායී වීම නිසා ඉතාම කෙටි කලකින් මෙරට ප්‍රධානම සන්නිවේදන සේවා සපයන්නා බවට පත් වේවි කියලයි. කොහොම නමුත් සන්නිවේදන තාක්ෂණයේ ඇති වුණු ශීඝ්‍ර දියුණුවත් එක්ක එයින් වැඩි ප්‍රතිලාභ ලබන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. නමුත් මේ වන විට Local caching වැනි ක්‍රම භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වේගවත්ම 3.5G හා 3.75G ජාලය බවට පත් වෙන්න ඔවුන්ට හැකියාව ලැබිලා තිබෙනවා.

අපේ රටේ සන්නිවේදන සේවා ව්‍යාප්තියට සම්බන්ධ තවත් බොහෝ කරුණු වගේම ඔබේ මතකයේ රැඳුණු දේවල් ඕන තරම් ඇති. අපේ Roar පාඨකයන් හැමෝම වෙනුවෙන් ඒවා Comment එකකින් බෙදා ගන්න කියලත් අපි සුහද ඇරයුමක් කරනවා.

කවරයේ රූපය : newsfirst.lk

මූලාශ්‍ර :

http://www.trc.gov.lk
http://www.etisalat.lk/about-us/
https://www.dialog.lk/dlg/about/index.jsp
http://www.mobitel.lk/about-us
http://airtel.lk/about/index.html
https://www.hutch.lk

Related Articles