මෙරට ඖෂධ බෙදාහැරීම කළමනාකරණයට EWIS වෙතින් විසඳුමක්

රටක අත්‍යාවශ්‍ය සේවාවන් අතුරින් සෞඛ්‍යය ‍ක්ෂේත්‍රය ඉහළ ස්ථානයක් උසුලනවා. ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩි කරලීම සඳහා නිසි කලට නිසි ප්‍රමාණයන්ගෙන් සේවාව සැපයීම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මූලික අරමුණ බවට පත්වන අතර, ඒ සඳහා වෛද්‍ය සහ හෙද සහායට අමතරව රෝහල් කළමනාකරණයේ සිට රෝහල් වෙත යටිතල පහසුකම් සපයාලීම ඇතුළු තවත් ක්‍රියාවලීන් සඳහා බොහෝ පාර්ශවයන් වෙත වගකීම පැවරෙනවා. 

ශ්‍රී ලංකාවේ 2006 වර්ෂය වන විට අවුරුදු 5ට අඩු ළමා මරණ අනුපාතය 1000කට 13.5ක් තරම් ඉහළ අගයයක් ගත් නමුත් 2017 වන විට එය 8.8ක් දක්වා අඩු වී තිබෙනවා. 1960 දී සාමාන්‍ය ආයු අපේක්ෂාව වයස අවුරුදු 59ක්ව තිබූ අතර එය අවුරුදු 75ක් දක්වා ක්‍රමයෙන් වැඩිව ඇති බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙනවා. මෙම යහපත් වර්ධනයන්ට මූලික හේතු බවට පත්වන්නේ විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත්, සහ එම දැනුම එදිනෙදා කටයුතුවලට නිසි පරිදි යොදා ගැනීමත් බව ප්‍රකාශ කළ හැකියි. 

ජාතික රෝහල අභ්‍යන්තර දර්ශනයක් (ඡායාරූප අයිතිය: visitsrilanka.com)

නමුත් මෙතෙක් කාලයක් ලංකාවේ රෝහල්වලට ඖෂධ බෙදා හැරීම සඳහා කාර්යයක්ෂම ක්‍රමවේදයක් තිබුණේ නැහැ. රෝහල් අතර වේගවත් සන්නිවේදන ජාලයක් නොතිබීම නිසා ඖෂධ හිඟයන් ඇතිවීමෙන් රෝගීන්ට දැඩි අපහසුතාවන්ට ලක්වන්නට සිදු වුණා. ඔවුන්ට වැඩි මිලක් ගෙවා ඖෂධහල්වලින් බෙහෙත් ලබා ගන්නට සිදුවීමෙන් නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවාවට ඉන් කැළලක් ඇතිවන්නටත් පටන් ගැණුනා. ඊටත් වඩා, අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඖෂධ කලට වේලාවට නොලැබීම නිසා ඇතිව තිබූ ජීවිත අවදානම ද වැඩිවුණා. මේ හිඟ ද්‍රව්‍ය අතරට ඖෂධ, ශල්‍ය උපකරණ, විද්‍යාගාර උපකරණ, විකිරණශීලී ද්‍රව්‍ය, මුද්‍රිත බෙදාහැරීම් ආදිය අඩංගු වෙනවා.

නමුත් ඒවා ලැබුණු බව සහ භාවිතයෙන් පසුව ඉතිරිව ඇති ප්‍රමාණයන් රෝහ‍ල් ගබඩාවේ සිට නැවත දන්වා යවන්නට කල් ගත වෙනවා. උදාහරණයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයට ඖෂධ බෙදා හැරීමෙන් පසු ඒ ඒ රෝහලේ භාවිතය අනුව ඖෂධ සංචිතයේ තත්ත්වය පිළිබඳ නැවත බෙදා හැරීම් අංශ වෙත දැනගන්නට හැකි වන්නේ ලිපි මාර්ගයෙන්. එම ලිපිය ලැබී, නව ඖෂධ සැපයුමක් අනුමත කොට, අදාල රෝහලට ඖෂධ යැවීම සඳහා ආසන්න රෝහලක එම ඖෂධ තිබේ ද, එසේත් නැතහොත් කොළඹ බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන්ම යැවිය යුතු ද යන්න තීරණය කෙරෙන විට හදිසි රෝගීන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නටත් ඇතැම්විට සිදුවිය හැකියි. තැපැල් ලිපි හරහා සිදුවන මෙම තොරතුරු හුවමාරු කිරීම් අකාර්යයක්ෂම බව නිසා අවසානයේ පීඩනයට පත් වන්නේ රෝගීන්ව යි.

ඖෂධ නොමැති විට ජනතාවට මුදල් යට කරන්නට සිදු වෙනවා (ඡායාරූප අයිතිය: ips.lk)

‍ලාංකික ජනතාවගේ යටිතලපහසුකම් සැපයීමේ අවශ්‍යතාව සහ යහපත් සෞඛ්‍යයකින් යුත් ජීවන රටාවක් උරුම කරලීමේ වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ, සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ (MOH) ඖෂධ සැපයුම් අංශය (MSD) මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹූවා. එයට සම්බන්ධ වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පරිගණක දෘඪාංග නිෂ්පාදකයා වන EWIS ආයතනයට හැකි වුණා. ඔවුන් සැකසූ ඖෂධ බෙදාහැරීම් කළමනාකරණ මෘදුකාංගයට ලංකාවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුමෙහි දෙපස සිටන යවන්නා සහ ලබන්නා අතර දුරස්ථ බව අඩු කරලන්නට හැකි වුණා. 

ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ, සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය මඟින් ඖෂධ බෙදා හැරීම සිදු කරනවා. පෞද්ගලික අංශයට තහනම්ව ඇති භයානක ඖෂධ සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳ වගකීම දරන මධ්‍යස්ථානය එය යි. රට පුරා විහිදුණු ප්‍රාදේශීය ගබඩා 26ක් වෙත ඉන් සැපයුම් ලැබෙනවා. මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළ ඖෂධ සැපයුම් අංශයේ සුවිසල් ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙන් EWIS ආයතනයට නව මෘදුකාංගක් හරහා හැකියාව ලැබුණා. එසේම, මෘදුකාංගය භාවිතා කිරීමට අවශ්‍ය පරිගණක, අමතර බල සැපයුම් පමණක් නොව පුටු සහ මේස ආදිය ද සහිත සම්පූර්ණ විසඳුමක් ලබා දෙන්නට EWIS ආයතනය කටයුතු කළා.

2018 දී එළිදැක්වූ එය මේ වන විට සැපයුම් ගබඩා සහ රෝහල්, අන්තර්ජාලය හරහා සජීවීව සම්බන්ධ කරමින් ඖෂධ සහ සැපයුම් ගබඩා දත්ත හුවමාරු කරගනු ලබනවා. මෙතෙක් කල් ලිපි මඟින් කළ කටයුතු මිලි තත්පර කාලයකින් එකිනෙකා අතර සන්නිවේදනය කරගන්නට ඉන් හැකියාව ලැබෙනවා. යවන ලද සැපයුම් නිසි පරිදි ලැබුණා ද, සහ භාවිතයෙන් පසු කෙතරම් ප්‍රමාණයක් ඒවායේ ඉතිරිව ඇති ද යන්න MSD වෙත ඉක්මණින් දැනගන්නට දැන් හැකියාව තිබෙනවා. එවිට පෙර මෙන් කල්ගත නොකොට වහ වහා අදාල සැපයුම් ලුහුඬු ස්ථාන වෙත යොමු කරන්නට අවස්ථාව හිමි වෙනවා.

ලියාදෙන බෙහෙත් ෆාමසියෙන් ගන්නවාට වඩා රෝහලෙන් නොමිලේ ලැබීම අසාධ්‍ය රෝගීන්ට සහනයක් (ඡායාරූප අයිතිය: realmedicinefoundation.org)

නව මෘදුකාංගයට සැපයුම් පුරෝකථන කිරීමේ හැකියාව, ඇනවුම් ලැබීම, යැවීම සහ ලැබුණු බව ආදිය පෙන්වීමේ හැකියාව, තත්ත්ව පාලනය, භාණ්ඩ ලේඛන පාලනය, ගබඩා කිරීම් සහ බෙදාහැරීම් පාලන හැකියාවන් ලබාදීමට සමත් වෙනවා.

EWIS කර්මාන්තශාලා අභ්‍යන්තරය

EWIS නිපැයූ ඖෂධ බෙදාහැරීම් කළමනාකරණ තොරතුරු (MSMIS) මෘදුකාංගය සැපයුම්වල තත්ත්වයන් පිළිබඳ වාර්තා එක් කරන්නට පහසුකම් සලසන නිසා ඖෂධවල ගැටළුවක් තිබුණහොත් රෝහල්වලින් ඒ බව පද්ධතියේ සටහන් කරනවා. එවිට ජාතික ඖෂධ තත්ත්ව සහතික පර්යේෂණාගාරයට (NDQA) ඒ ගැන පරීක්ෂා කර බලා, ගැටළු ඇත්නම් එවෙලේම අනෙකුත් රෝහල්වලට ද එම ඖෂධ කාණ්ඩය භාවිතා නොකරන ලෙසට පද්ධතිය හරහාම දැනුම් දිය හැකියි. 

EWIS මෙන්ම රජයේ ඖෂධ සැපයුම් අංශයේ විශ්ලේෂණයන්, අධ්‍යයනයන් සහ නිලධාරීන්ගේ අප්‍රතිහත කැපවීම මගින් සාර්ථක කරගන්නට හැකිවුණු මෙම ව්‍යාපෘතිය අද වන විට ශ්‍රී ලංකාද්වීපය පුරා රෝගීන් විශාල සංඛ්‍යාවකගේ ඖෂධ අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් අතිමහත් සේවයක් ඉටුකරලනවා. ඖෂධ සැපයුම් අංශය දැන් මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් දිස්ත්‍රික් රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද මෙම පද්ධතියට එක් කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සමග දිවයින පුරා වූ තවත් සෞඛ්‍යායතන 910ක් මේ හා සබැ‍ඳ‍ෙනු ඇති.

දේශය තාක්ෂණයෙහි ඔබ්බට ගෙනයමින් පරිගණක නිෂ්පාදන මෙරටම බිහිකරන EWIS සමාගම දෘඪාංගවලින් පමණක් නොව, මෘදුකාංගවලින් ද දේශීය ගැටළු විසඳාලන්නට සමත්වූවා. වසර 30කට වඩා මයික්‍රොසොෆ්ට්, ඉන්ටෙල්, HP වැනි තාක්ෂණික ලොව දැවැන්තයන් සමග කටයුතු කිරීමෙන් ලද දැනුමෙන් ‘අපට අපේම පරිගණකයක්’ මෙන්ම දැන් මෘදුකාංග ද බිහිවෙමින් පැවතීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක්.

කවරය: සෞඛ්‍ය සේවා සැපයුම් වැඩසටහන හඳුන්වාදෙමින්

Related Articles