Face Recognition විශේෂාංගය ත්‍රිමාණ මුහුණකට රැවටෙයි

ත්‍රිමාණව සකසා ඉදිරිපත් කරන ලද මුහුණකට දැනට ඉදිරිපෙළ සිටින දුරකතන රැසක්ම රැවටී ගොස් අගුළු හැර තිබෙනවා. දෘඪාංගමය සහාය ඇති සහ මෘදුකාංග මත පමණක් යැපෙන දුරකතන රැසක් යොදාගෙන කරන ලද පර්යේෂණයක් මත ගොඩනැ‍ගෙන මේ ලිපිය Face Recognition විශේෂාංගය පාවිච්චි කිරීම පිළිබඳව යළි සිතා බලන්නට ඉඩ සලසාවි.

Face ID ක්‍රියාකරන ආකාරය

IR උපාංග සහිත Notch එකෙහි සැකැස්ම (extremetech.com)

මුහුණ හඳුනාගැනීම නිවැරදිව සිදුකිරීම සඳහා Face ID විශේෂාංගය සතුව නිසි ක්‍රමවේදයක් තිබෙනවා. එමඟින් අධෝරක්ත ආලෝකය යොදාගෙන ඡායාරූපයක් ගෙන මුහුණෙහි ත්‍රිමාණ අනුරූපණයක් සකසනවා. අධෝරක්ත කිරණ “ආලෝකය” හෙවත් විද්‍යුත්චුම්බක තරංග වර්ණාවලියෙහි ඇසට නොපෙනෙන පරාසයේ තිබෙන්නක්. පරීක්ෂාවට පෙර එමඟින් මුහුණ ආලෝකමත් කරන නිසා රාත්‍රියේ දී පවා අපේ මුහුණ හොඳින් දකින්නට දුරකතනයට හැකි වෙනවා.

මේ සඳහා උපාංගය ඉදිරිපස යොදා ඇති සංවේදක රැසක සහභාගීත්වය ලැබෙනවා. සංවේදක භාවිතයෙන් සිදුවන ත්‍රිමාණ සිතියම් ගත කිරීම නිසා මුහුණ නිවැරදිව සටහන් කරගත හැකි වෙනවා. ආලෝක තත්ත්ව, තොප්පියක් හෝ කණ්ණාඩියක් පැළඳ සිටීම වැනි බාහිර බාධකයන් මැඬලන්නට උපාංගයට ඒ අනුව අවස්ථාව ලැබෙනවා. iPhone X ශ්‍රේණියට Notch එකක් ලැබෙන්නට ප්‍රධානම හේතුව වූයේත් මෙම සංවේදක කට්ටලය යි. හුදෙක් ඡායාරූපයකට වඩා තීව්‍ර හඳුනාගැනීමක් Face ID සිදු කරනවා.

අත්හදා බැලීමට පර්යේෂණයක්

ත්‍රිමාණ මුහුණ සකසමින් (forbesimg.com)

මුහුණ යොදාගෙන අගුළු හැරීමේ ක්‍රමවේදය හරහා දුරකතනය රැවැට්ටිය හැකිවීමේ ශක්‍යතාව ඉහළ යි. ඇඟිලි සලකුණු සංවේදකයක් ඇඟිලිවල සැකසුම නිවැරදිව සංවේදනය කරද්දී කැමරාව ඉදිරියේ මුහුණට සමාන ඡායාරූපයක් තැබීමෙන් හෝ නිවුන් සහෝදර සහෝදරියන්ට වුව එම අගුළු හැරගත හැකි බව තාර්කිකව අනුමාන කරන්නට පුළුවන්. නමුත් එය කෙතරම් සාධාරණ සැකයක් ද? Forbes වෙබ් අඩවිය මේ සඳහා යූරෝ 300ක් (රු. හැටදහසක් පමණ) වැය කරමින් අත්හදා බැලුවා.

ඔවුන් මේ සඳහා එක්සත් රාජධානියේ Backface නමැති ත්‍රිමාණ මුද්‍රක ආයතනයක සහාය ලබා ගත්තා. සෑම දත්තයක්ම ආවරණය වන කවාකාරව සැකසූ කැමරා 50කින් යුත් කැමරා පද්ධතියකට මුහුණ දර්ශනය කළ අතර, අනතුරුව ඉන් එක්රැස් කරගත් දත්ත මත පදනම්ව තනි ත්‍රිමාණ ඡායාරූපයක් ගොඩනගා; ඉන් ත්‍රිමාණ මුද්‍රිත හිසක් බිහිකළා. සත්‍ය මුහුණ සමග එම මුද්‍රිත හිස මෙම පරීක්ෂණයට iPhone X, LG G7 ThinQ, Samsung Galaxy S9, Samsung Galaxy Note 8 සහ OnePlus 6 යන දුරකතනවලට එරෙහිව භාවිතයට ගැණුනා.

LG G7 දුරකතනය: අසමත්

LG G7 දුරකතනයේ ඉදිරිපස පෙනුම (cbsistatic.com)

LG G7 දුරකතනය මඟින් Face recognition විශේෂාංගය පිළිබඳව පරිශිලකයාට අනතුරු හඟවනවා. Android 5.0 Lollipop වෙළුමෙහි සිට ආ පෙරනිමි විශේෂාංගයක් වන මෙය G7 සතු මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවෙන් පමණක් සපුරාලිය නොහැකි නිසා සාර්ථක ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ඔවුන් නිර්දේශ කරනු ලබන්නේ නැහැ.

PIN ‍කේතයක් හරහා හෝ ඇඟිලි සලකුණු සංවේදකය ප්‍රධාන අගුළු හැරීමේ ආරක්ෂණ ක්‍රමවේදය ලෙස සලකන මෙම දුරකතනය මුහුණ හඳුනාගැනීම ද්විතීයික ආරක්ෂාවක් ලෙස දක්වනවා. නිරන්තර යාවත්කාලීන මඟින් මෙවන් වි‍ශේෂාංගයන්ට උත්ශ්‍රේණිගත කිරීම් ලැබුණත් දෘඪා‍ංගවල සීමාකාරීත්වය හැමවිටම පැණවෙනවා.

පරීක්ෂණයේදී G7 දුරකතනයට සත්‍ය මුහුණ සහ ත්‍රිමාණ අනුරුව වෙන් කර හඳුනාගන්නට නොහැකි වුණා. එය ත්‍රිමාණ මුහුණ කැමරාවට දැක්වූ අවස්ථාවේ දීත් අගුළු හැර පිවිසීමට ඉඩ සැලසුවා.

Samsung S9 දුරකතනය: අසමත්

තාරා මණ්ඩල පරීක්ෂාව ද සහිතයි (medium.com)

සැම්සන්ග් සමාගමේ S9 දුරකතනය 2018 දී එළිදැක්වුණු ඉදිරිපෙළ දුරකතනයක්. Snapdragon 845 ප්‍රොසෙසරය, 4 GB RAM ධාරිතාවක් සමග කාලානුරූපව ඉහළ මට්ටමක බුද්ධියකින් යුත් උපාංගයක් ලෙස සැලකිය හැකි එහි ඉදිරිපස කැමරාව ද මෙගාපික්සල් 8ක් වෙනවා. මෙය සතුව ඇසේ තාරා මණ්ඩලය පරීක්ෂා කළ හැකි සංවේදකයක් (Scanner එකක්) ද තිබෙනවා. නමුත් එය Face recognition වලින් පරිබාහිරව යි ක්‍රියාත්මක වන්නේ.

දෘඪාංග සහායක් නොමැති නිසාම මුහුණ හඳුනාගැනීම අාරක්ෂණ ක්‍රමවේදය ලෙස සැකසීමේ දී ‘ඔබේ දුරකතනයේ අගුළු ඔබ වැනි හෝ ඔබේ රුවට සමාන යමකින් හැරලීමට අවස්ථාව තිබේ’ (“Your phone could be unlocked by someone or something that looks like you”) යන ඍජු වැකිය හරහාම අනතුරු අඟවනවා. ඊට අමතරව, ‍එය PIN හෝ මුරපදයකට වඩා ආරක්ෂාවෙන් අඩු බව කියන්නේ ඇඟිලි සලකුණු සංවේදකයකුත් තිබිය දී යි.

පර්යේෂණ ප්‍රතිඵලයේ දී, ඇස් හඳුනාගැනීමේ ක්‍රමවේදය ත්‍රිමාණ අනුරුවෙහි බොරු ඇස්වලට රැවටුණේ නැහැ. නමුත් ආලෝක තත්ත්ව සැකසීම් හා දෘෂ්ඨි කෝණයන් වෙනස් කිරීමෙන් මුහුණ හඳුනාගැනීමේ අගුළ රවටන්නට හැකියාව ලැබුණා.

Note 8 උපාංගය: අසමත්

Note 8 උපාංගයක් (technave.com)

2017 දී එළිදැක්වුණු Note ශ්‍රේණියේ ඉදිරිපෙළ දුරකතනය වූ Note 8 දුරකතනයට, ඊට පෙර ආ Note 7 හි තිබූ බැටරි පුපුරායාමේ ගැටළුව විසඳාලීමේ අභියෝගය ද භාරගන්නට සිදුවුණා. Snapdragon 835 (ආසියානු කලාපයට Exynos 8895) ප්‍රොසෙසරය සහ මෙගා පික්සල් 8ක ඉදිරිපස කැමරාවක් ඇති මේ දුරකතනය සතුව ද තාරා මණ්ඩල scanner එකක් තිබුණා.

මෙහි ඇති ආරක්ෂණයන් අතර Faster recognition නමින් විශේෂාංගයක් තිබෙනවා. එය වේගය අඩු හඳුනාගැනීමට වඩා ආරක්ෂාවෙන් අඩු බව නිෂ්පාදකයන්ම දක්වනවා. පර්යේෂණයේ දී මේ ආකාරයන් දෙකම අභියෝගයට ලක් කරනු ලැබුවා. එහිදී වේගය අඩු ක්‍රමය බිඳලන්නට මඳක් අපහසු වූවත්, ත්‍රිමාණ අ‍ාකෘතියට රවටා ගන්නට හැකිවුණා.

මුහුණ හඳුනාගැනීම ද දෙවන මට්ටමේ ආරක්ෂාව අඩු ක්‍රමවේදයක් ලෙස මෙම උපාංගය ද සලකන අතර Samsung Pay හෝ Secure Folder වැනි විශේෂාංගයන්ට පිවිසීමට එය භාවිතා කරන්නට ඉඩ සලසන්නේ ද නැහැ.

OnePlus 6 දුරකතනය: භයානක ලෙස අසමත්

ඡායාරූපයකට පවා රැවටෙන බව Mashable හෙළිකළා (mashable.com)

Snapdragon 845 ප්‍රොසෙසරය සමග 2018 දී එළිදැක්වුණු OnePlus 6 දුරකතනය Oppo සහ Vivo සමාගම්වල ද මව් සමාගම වන BBK Electronics ආයතනයේ නිපැයුණක්. මෙහි Face recognition සඳහා වූ විශේෂ දෘඪාංග කොටස් අඩංගු වන්නේ නැති නිසා Face Unlock භාවිතය අන් දුරකතනවල මෙන්ම ද්විතීයික මට්ටමෙන් සැලකිය යුතු ස්වල්ප ආරක්ෂක වැටක් පමණ යි.

පර්යේෂණය‍ේ දී අනෙක් දුරකතන මෙන් එහි අවදානම පිළිබඳව පරිශීලකයාට අවවාදයක්වත් නොදක්වන ලද අතර, මුහුණ හඳුන්වාදීමේ දී ද අපූරු Animation දක්වමින් විශ්වාසවන්ත බව තවත් වඩවනු ලැබුවා. අවසානයේ, ත්‍රිමාණ මුහුණට එය පහසුවෙන් ම රැවටී ගියා.

කෙසේ නමුත්, මෙම විශේෂාංගය බැංකු කටයුතු වැනි ආරක්ෂිත ඇප්වල භාවිතයට ඉඩ සලසා නැහැ.

අවසාන ප්‍රතිඵලය

තවමත් හොඳම විසඳුම මුරපද යි. (hostpapa.blog)

තාක්ෂණික පසුබිම, සැකැස්ම හා නිර්මාණය අනුව තාර්කිකව පිළිඹිබු වන පරිද්දෙන්ම iPhone X දුරකතනය මෙම පර්යේෂණයට සාර්ථකව මුහුණ දෙනු ලැබුවා. එය ත්‍රිමාණ මුහුණට නොරැවටුණු අතර, හැඩය ඒකාකාර වූවාටම එය මුළා කළ නොහැකි බව සනාථ වුණා.

වැඩිදුර යමින් මෙම මුද්‍රිත මුහුණ Windows Hello නමැති මයික්‍රොසොෆ්ට් සමාගමේ මුහුණ හඳුනාගැනීමේ මෘදුකාංගයට යොදන ලද අතර එය ද සාර්ථකව එය ප්‍රතික්ෂේප කරන්නට සමත්ව තිබෙනවා.

මේ අනුව බලද්දී, මුහුණ හඳුනාගැනීම සඳහා නිසි පසුබිමක් ගොඩනැගෙන තෙක් ඒ මත ආරක්ෂාවේ අපේක්ෂාවන් නොරඳා සිටීම නුවණට හුරු වෙනවා. ඇඟිලි සලකුණු සංවේදක පවා වෘත්තීය මට්ටමේ ආරක්ෂාවක් නොලබන නිසා එය ද හොඳ මුරපදයක් තරම් විශ්වාසය තැබිය හැක්කක් නොවෙයි. නිෂ්පාදන ආයතන විසින් වෙළඳපොළ තරගකාරීත්වය නිසා ගෙන එන මෙම විශේෂාංග නුවණැසින් බලා භාවිතයට ගැනීම අපේ වගකීමක්.

කවරය: medium.com

Related Articles