Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එදිනෙදා අවශ්‍ය වන ඉල්ලුම් කිරීමේ ආකෘති ලියුම් සිංහලෙන්

ආයතනයකින් වැඩක් කරගන්න නම් ඒකට ලිඛිත සාක්ෂ්‍යයක් වශයෙන් ලිපියක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. දවසකට එන කටයුතු පිළිවෙලට තබා ගැනීමටත් ලිපි අනුපිළිවෙල පාවිච්චි කරනවා. තාක්ෂණය දියුණු වෙලා තිබුණත් ඊ-මේල් එකක් සහ වට්ස්ඇප් මැසේජ් එකක් අතර තවමත් කාර්යාලීය හෝ රාජකාරී ස්වභාවය වෙන් කරන බැම්මක් තිබෙනවා. “බොස් මං අනිද්දා නිවාඩු” කියලා වයිබර් කළොත් “තද තද” කියලා ස්ටිකර් මැසේජ් එකක් එවන ආයතන ප්‍රධානියෙක් ලැබුණොත් ඒක ඔබේ වාසනාව.

කොහොම නමුත්, මේ ලියුම් ලිවිල්ල කම්මැලියි වගේ ම ලියන්නේ මොනවාද කියන ගැටලුවට අපි නිතර මුහුණ පානවා. ඊට විසඳුමක් වශයෙන් අපි සාර්ථක ව ලියුම් ලියන හැටි වගේ ම, ඒවාට උදාහරණත් මේ ලිපියේ ඇතුළත් කරනවා.

නව රැකියාවකට ඉල්ලුම් කිරීම

ලිපිය සමග අවශ්‍ය නම් CV එක ද ඇතුළත් කරන්න (qtcrecruitment.com)

අලුතෙන් රැකියාවක් සොයද්දී පත්තර, වෙබ් සයිට් බලනවා වගේ ම, ඔබ වඩාත් කැමති ආයතනයක් තිබෙනවා නම් එයට ලිපියක් මඟින් තමාගේ හැකියාවන්ට ගැළපෙන පුරප්පාඩුවක් එහි තිබෙනවාදැ යි සොයා බලන්නට පුළුවන්. එහි දී ඔබ එම ආයතනයට කෙතරම් කැමැත්තක් දක්වනවා ද, දැනට එහි නිෂ්පාදන හෝ සේවාවක් පාවිච්චි කරනවා නම් ඊට කෙතරම් ඇලුම් කරනවා ද සහ එහි රැකියාවක් ලැබුණොත් බොහොම ආසාවෙන් එය කරන්නට කැමති බව අඩංගු කළ යුතු වෙනවා. දැනට රැකියාවක් කරනවා නම් එහි විස්තර, අධ්‍යාපන සුදුසුකම්, සහ ඉන් ඔවුන්ට ලබාදිය හැකි දායකත්වය සැකෙවින් අඩංගු කළ හැකියි. අවශ්‍ය නම්, CV එකක් (ජීව දත්ත) ඒ සමග යවන්නටත් පුළුවන්.

ඔබ ආයතනයේ Software developer තනතුරක් දැරීමට මම කැමැත්තෙන් සිටිමි. ඒ සඳහා මේ සමග අමුණා ඇති ජීව දත්ත වැදගත් වනු ඇතැ යි සිතමි.

මම 2018 වර්ෂයේ දී උසස් පෙළ සඳහා තොරතුරු තාක්ෂණ විෂයට A සාමාර්ථයක් ලබා, ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරා දැන් BIT පාඨමාලාවෙහි අවසන් අදියරෙහි සිටිමි. මෙතෙක් මා මුහුණදුන් පැවරුම්වලට ඉතා හොඳින් NodeJS, Java, NoSQL වැනි භාෂා, හා තාක්ෂණයන්ගෙන් මෘදුකාංග නිර්මාණ කළ අතර, documentation ද ඉතා හොඳින් කිරීමේ හැකියාව තිබේ.

ඔබ ආයතනයේ පරිසරය හා ප්‍රගතිය නිසා ම මා බෙහෙවින් එහි සේවය කිරීමට ප්‍රිය කරමි. එනිසා, කරුණාවෙන් මාගේ තොරතුරු පරීක්ෂා කර, උපරිම සේවයක් ලබාදීමට අවස්ථාවක් ලබාදෙන ලෙස උනන්දුවෙන් ඉල්ලා සිටිමි.

ආකෘති ලියුම බාගත කරගන්න: මෙතනින්

රාජ්‍ය ආයතනයකින් තොරතුරු ලබා ගැනීම

තොරතුරු ලබා ගැනීමේ දී අණපනත්වලට අප යටත් වෙනවා (lynda.com)

රජයේ දත්ත විස්තර, සමීක්ෂණ වාර්තා දත්ත, හෝ අනුගමනය කරන ක්‍රියා පටිපාටීන් ගැන විමසීමට ලිපි ලිවීම වඩාත් රාජකාරී ස්වභාවයකින් ලිවිය යුතු වෙනවා. තොරතුරු දැනගැනීමට අදාළ අණපනත් මෙන්ම අදාළ දෙපාර්තමේන්තුවේ නීති රීති යටතේ එම තොරතුරු අපට ලබා ගැනීම සඳහා විමසිය යුතු යි. ඇතැම් සේවාවන් සඳහා ගාස්තු අයවන නිසා ඒ ගැන සොයා බලා විධි විධාන සැලසීම හෝ ඒ ගැන ද විමසීම කළ යුතු වෙනවා. අදාළ කටයුත්ත හැකිතාක් කෙටියෙන්, පැහැදිලි ව සඳහන් කිරීම ඉක්මන් පිළිතුරක් ලබා ගැනීමට සහ ඔවුන්ගේ කාලය ඉතිරි කිරීමට වැදගත් වෙනවා.

තොරතුරු දැනගැනීමේ පනතට අදාළ ව පහතින් ඉල්ලා ඇති තොරතුරු ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

  1. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සපයන ආයතනවලින් මාසයක් සඳහා ලබාදෙන දත්ත ප්‍රමාණයෙන් ඉතිරිය ඊළඟ මාසයට ගෙන නොයන්නේ ඔබ ආයතනය විසින් පනවන ලද කුමන සීමාවක් හරහා ද?
  2. දිවා සහ රාත්‍රී ලෙස bandwidth වෙන් කිරීම සඳහා වූ රෙගුලාසි මොනවාද?

ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වන අතර, ඔබේ කාලය පිළිබඳ ව කෘතඥ වෙමි.

ස්තූතියි!

ආකෘති ලියුම බාගත කරගන්න: මෙතනින්

රාජ්‍ය ආයතනයකින් සේවාවක් ඉල්ලා සිටීම

වඩාත් වෘත්තීමය ලෙස ලිපිය කෙටි කර දැක්වීම වැදගත් (lynda.com)

තමා අයත් බල ප්‍රදේශයේ නගර සභාවෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැනි රාජ්‍ය ආයතනයකින් කිසියම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් එය ලිපියකින් ඉල්ලුම් කිරීම වඩාත් සාර්ථක ක්‍රමයක්. එහි දී ද හැකිතාක් කෙටියෙන්, තමාගේ අවශ්‍යතාවය පැහැදිලි කළ යුතු වෙනවා. ඡේද වෙන් කිරීම, ලිපි මාතෘකාවේ කාරණාව ඍජු ව ඉදිරිපත් කිරීම මේ ආකාරයේ ලිපිවල දී වැදගත් දේවල් බවට පත් වෙනවා. එසේ ම, තමන් කෙතරම් පීඩාවකින් හෝ කෝපයකින් සිටිය ද ඒවා ලිපිය තුළ ඇතුළත් කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ.

මාතර මුහුදු තීරයෙහි ස්ථාපිත ළදරු උද්‍යානය ආශ්‍රිත ව රාත්‍රියේ ගැවසෙන හිඟන්නන් සහ අනෙකුත් නිවාස අහිමි පුද්ගලයන් විසින් එම සීමාවෙහි මලපහ කිරීම් කරනු දකින්නට ලැබේ. මෙය අප දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට මෙන්ම නගරයේ පිරිසිදු බවට ද බාධාවක් ව තිබේ. එනිසා, ඒ ආශ්‍රිත ව පොදු වැසිකිළි පහසුකම් ලබාදෙන්නේ නම් ඔවුන් ඒවාට යොමුවනු ඇත.

මේ සමග එවන නගරාශ්‍රිත මාපියන් 200 දෙනෙක්ගේ අත්සනින් යුතු පෙත්සම පිළිබඳ ව ඔබේ අවධානය යොමු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි!

ආකෘති ලියුම බාගත කරගන්න: මෙතනින්

පඩි වැඩි කිරීමක් හෝ උසස්වීමක් ඉල්ලා සිටීම

තමන්ගේ හැකියාවට, දායකත්වයට ඇගයුමක් ලැබිය යුතු යි (medium.com)

රස්සාවට ගිහින් කාලයක් යද්දී රස්සාව ගන්න තිබුණු අමාරුව අමතක වෙලා අපිට පඩි, උසස්වීම් ගැන සිහියට එනවා. මෙවන් ඉල්ලීමක දී, තමා ආයතනය වෙනුවෙන් කරන ලද කැපවීම්, ගෙන ආ ජයග්‍රහණ, වැඩි වගකීමක් ලබා ගැනීමෙන් පසු එයට කෙතරම් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා ද යනාදී දේවල් සැකෙවින් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඔබ කෙතරම් නිහතමානී අයෙක් වුවත්, මේ ආයාචනයේ දී තමන්ගේ දක්ෂතාවන්, කැපවීම් ගැන සියල්ල ම නමුත් කෙටියෙන් සඳහන් කිරීම වාසි සහගත වෙනවා.

මා සේවයට පැමිණ අවුරුදු 03ක් තුළ අපගේ අලෙවි ප්‍රවර්ධන අංශය වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කළෙමි. ගත වූ සෑම මාසයක දී ම ආයතනය වෙත ගෙන ආ විකුණුම් ප්‍රමාණයන් ද ඉහළ යන සේ කටයුතු කළෙමි. පසුගිය මාසයේ එය රු. 70,000ක් විය.  මා ලබාගෙන ඇති නිවාඩු ප්‍රමාණය ද අවම වන අතර, ආයතන සේවකයන්ගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ ද හිත දිනාගත්තෙක්මි.

විජේසේකර මහතාගේ ලබන මස නික්ම යාමත් සමග ඇති වන විධායක අලෙවි ප්‍රවර්ධන තනතුරෙහි පුරප්පාඩුව සඳහා මාගේ දැනුම, පළපුරුද්ද, සහ කැපවීම යොදාගත හැකි වන බව සිහිපත් කර සිටිමි. මේ ගැන ඔබේ අවධානය යොමු කිරීම මා කෘතඥ පූර්වක ව අගය කරමි.

ආකෘති ලියුම බාගත කරගන්න: මෙතනින්

රක්ෂණ වන්දියක් ඉල්ලා සිටීම

රක්ෂණ වන්දිය ඔබේ අයිතියක් (99acres.com)

රක්ෂණ සමාගම්වලින් වන්දි ලබා ගැනීමේ දී ද ලියුම් හරහා කටයුතු කිරීම අදාළ ආයතන වෙත ගොස් කාලය නාස්ති කර ගන්නවාට වඩා දෙපාර්ශවයට ම පහසුවක් වෙනවා. ප්‍රාදේශීය කාර්යාලයකින් කටයුතු කරගැනීමට අපොහොසත් වුණු අවස්ථාවක දී ප්‍රධාන කාර්යාලයට ලියුමකින් දැනුම් දීම සහ පිළිතුරු සඳහා දුරකථන අංකයක් සඳහන් කිරීම කළ යුතු වෙනවා. එහි දී ඔබේ සියලු අත්‍යවශ්‍ය දත්ත (ඉන්ෂූරන්ස් අංකය, හැඳුනුම්පත් අංකය ආදී) අඩංගු කිරීමට ද සිහි තබාගන්න.

000-0000 යන මාගේ රථයේ වන්දි මුදල ලැබීම කල් පමා වී ඇත. අදාළ අයදුම්පත් පුරවා ප්‍රාදේශීය කාර්යාලයට ලබා දී ඇති නමුත් ඔවුන්ගෙන් ඍජු ප්‍රතිචාරයක් නොමැත. මාගේ විස්තර මෙසේ යි:

නම –

ලිපිනය –

දුරකථන අංකය –

වාහනයේ විස්තර –

අපේක්ෂිත වන්දි මුදල –

එය මා දිනපතා ගමන් ගන්නා වාහනය බැවින් දැඩි අපහසුතාවකට ලක්ව සිටිමි. එනිසා, මෙයට අදාළ කටයුතු හැකි ඉක්මනින් කරදෙන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටිමි.

ආකෘති ලියුම බාගත කරගන්න: මෙතනින්

ඉහත දක්වන ලද ආකෘති ඉතා පහසුවෙන් ඔබට ඔබේ කටයුතුවලට යොදාගැනීමට හැකියාව ලැබෙනවා. මේ ලිපි ඊමේල් හරහා නැතිව තැපෑලෙන් යවනවා නම්, අත්සන යෙදීමට සහ ලියාපදිංචි තැපෑල භාවිතා කිරීමට සිහි තබාගන්න. ඉතින්, මේ ආකෘති ඔබේ වේලාව ඉතුරු කරදෙනු ඇතැ යි සිතමි.

 

කවරය: realtor.com

Related Articles