Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගතය දිනන A අකුර කාගෙ ද?

අද වන විට ලෝකයේ තිබෙන ප්‍රබලම තාක්ෂණික සමාගම් තුනේ ම තියෙන අපූරුම සමානාත්මතාවය දන්නවා ද? ඒ තමයි ඒ සමාගම් තුනේ ම නම් A අකුරෙන් ආරම්භ වීම. ඉංග්‍රීසි භාෂාව තුළත්, සාහිත්‍ය තුළත් ප්‍රබලම, හොඳම, ප්‍රධානම, වැදගත්ම, මුල්ම වගේ බොහෝ දේවල් හැඟවීම වෙනුවෙන් A අකුර පාවිච්චි වෙන්න එය ඉංග්‍රීසි භාෂාවේ මුල්ම අක්ෂරය වීමත් ප්‍රධාන හේතුවක්. මේ නිසාමදෝ A අකුරෙන් පටන් ගන්නා නමක් සහිත සමාගමකට, ආයතනයකට විශේෂ බලයක් ආරූඪ වන තත්ත්වයක් ඇමෙරිකාව තුළ පෙනෙන්න තියෙනවා.

2017 දෙසැම්බර් වන විට වටිනාම තාක්ෂණික සමාගම්වල වෙළඳපොළ ප්‍රාග්ධන මට්ටම් (forbes.com)

කාලයක් තිස්සේ ලෝකයේ වටිනාම තාක්ෂණික සමාගම් අතර ඉහළින් ම සිටින ඇමෙරිකාවේ Apple සමාගම, මෑතකාලීන ව වේගයෙන් දියුණු වෙමින් පවතින Amazon සමාගම, සහ ගූගල් සේවා සියල්ල එක සෙවණක් යටට ගෙන ආ Alphabet සමාගම තමයි මේ A තුන් කට්ටුව. මුළු ලෝකයේ ම තොරතුරු තාක්ෂණික සමාගම් අතින් වැඩිම වෙළඳපොළ ප්‍රාග්ධනයක්, එහෙමත් නැත්නම් හැමෝටම හුරු පුරුදු විදිහට “Market Cap” (capitalization) එකක් හිමිවෙලා තියෙන්නේ මේ ආයතන තුනට යි.

තාක්ෂණික ලෝකයේ සැබෑ බලාධිකාරිය හිමි කරගන්න මේ ආයතන තුන ම විශාල සටනක් කරනවා. මේ නිසා අනාගතයේ ඇති වෙන්න පුළුවන් ප්‍රවණතා ගැන තමයි අද ලිපියෙන් කතා බහ කරන්නේ. මේ තුනට ම අභියෝගයක් විය හැකි තවත් A අකුරින් පටන් ගන්නා සමාගමක් ගැනත් අවසානයේ කියවෙනවා.

ආයතන තුන ගැන

Apple

Apple හි මූලස්ථානය පිහිටි Apple infinite loop ගොඩනැඟිල්ල (proman.com.ua)

මේ ආයතන තුන අතරින් මේ වන විට වටිනාකම අතින් ඉදිරියෙන් ම සිටින්නේ Apple සමාගම යි. ඇමෙරිකාවේ කැලිෆෝනියා හි කූපටීනෝ නගරයේ මූලස්ථානය පිහිටා තිබෙන ඇපල් සමාගම 2017 ගිණුම් වර්ෂය අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 913ක වෙළඳපොළ ප්‍රාග්ධනයක් හිමි කරගෙන සිටියා. මෙය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මෙන් 10 ගුණයකට ආසන්න වටිනාකමක්. පෞද්ගලික පරිගණකවලින් ව්‍යාපාර ආරම්භ කළ ඇපල් ආයතනය පසු ව iPod එක නිසාත්, iPhone සහ iPad වැනි උපාංග නිසාත්, මෑතකාලීන ව තවත් බොහෝ තාක්ෂණික උපාංග හා සේවා ගණනාවක් නිසාත් ලෝක මට්ටමේ ප්‍රමුඛයෙක් වී සිටිනවා. සරලත්වය, භාවිතයේ පහසුව, සහ අලංකාරත්වය ඔවුන්ගේ නිෂ්පාදනවලට අමුතුම ගුණත්වයක් එක් කර තිබෙනවා.

Amazon

Amazon හි මූලස්ථානය (cnet.com)

වටිනාකම අතින් දෙවන ස්ථානයේ තිබෙන්නේ Amazon සමාගම යි. ඇමෙරිකාවේ වොෂින්ටන් හි සියැටල් ප්‍රදේශයේ මූලස්ථානය පිහිටා ඇති ඇමසන් ආයතනය 2017 ගිණුම් වර්ෂය අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 801ක වෙළඳපොළ ප්‍රාග්ධනයක් හිමි කරගන්න සමත් වී සිටියා. මුලින් අන්තර්ජාලය හරහා පොත් විකිණීම තුළින් ආරම්භ වූ ඇමසන් සමාගම ඉන්පසුව අන්තර්ජාලය හරහා වෙනත් සියලුම දේ අලෙවි කරන සුවිසල් සුපිරි වෙළඳසැළක් බවට පත් වුණා. භාණ්ඩ මිල දී ගන්නා ආකාරයේ සැබෑ පෙරළියක් සිදු කළ ඇමසන් ආයතනයේ නිර්මාතෘ සහ හිමිකරු වන ජෙෆ් බේසොස් මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි පෞද්ගලික වත්කමක් සහිත ව ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටිනවා. මෑතක ජනප්‍රිය වූ cloud තාක්ෂණ යෙදීම්වල ප්‍රමුඛයා බවට පත් වෙන්නත් ඇමසන් සමත් වී සිටිනවා.

Alphabet

Alphabet හි මූලස්ථානය (journaldugeek.com)

ලොව තෙවැනි වටිනාම සමාගම වන්නේ Alphabet සමාගම යි. එය 2017 ගිණුම් වර්ෂය අවසානය වන විට හිමි කරගෙන සිටින වෙළඳපොළ ප්‍රාග්ධනය ඩොලර් බිලියන 796ක්. ඇමෙරිකාවේ කැලිෆෝනියාහි මවුන්ට් විව් ප්‍රදේශයේ මූලස්ථානය පිහිටුවා ඇති ඇල්ෆබට් සමාගම ඇමසන් ආයතනයේ වටිනාකමට වඩා සුළු අඩුවක් නිසා කොටස් වටිනාකමේ සුළු වෙනසකින් වුවත් එය ඉක්මවා දෙවන තැන ගන්නට එයට හැකියාව ඇති බව කිව යුතු යි. ලෝක ප්‍රසිද්ධ Google හි සේවා එක සෙවණක් යටට ගෙන ඒමේ අරමුණෙන් 2015 තරම් මෑතක දී තමයි ඇල්ෆබට් සමාගම බිහි වුණේ. මුලින්ම සෙවුම් යන්ත්‍රයක් ලෙස ආරම්භ වී පසු ව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුළු සුවිශේෂීකරණය වූ නිෂ්පාදන ගණනාවක් හරහා වර්ධනය වූ Google අදටත් අන්තර්ජාල වෙළඳ දැන්වීම් ඇතුළු බොහෝ තාක්ෂණික අංශවලින් පෙරමුණ ගෙන සිටිනවා.

මුල් තැන ගැනීමට ක්‍රමෝපායයන්

Apple

ඇපල් නිෂ්පාදන සියල්ල ඔවුන්ටම ආවේණික නිර්මාණ ක්‍රමයක් අනුගමනය කරනවා. (cadblocksfree.com)

මේ ආයතන තුනෙන් මුලින්ම ආරම්භ වූයේ ඇපල් ආයතනය යි. ඒ 1976 දී පරිගණක සමාගමක් ලෙස යි. මුල් කාලයේ සිට ම තමාටම ආවේණික ක්‍රමයකට සියල්ල සිදු කළ ඇපල් ආයතනයේ නිෂ්පාදන දැකුම්කලු බව, සරලත්වය වගේ කාරණා නිසා විශාල ආකර්ෂණයක් පවත්වා ගන්න සමත් වී තිබෙනවා. ඒ වගේ ම තමන් හඳුන්වා දෙන ඕනෑම අලුත් උපාංගයක් හෝ සේවාවක් තමාගේ අනෙක් සියලු උපාංග හා සේවා එක්ක ඉතා හොඳින් සම්බන්ධ වීමේ හැකියාව වගේ ම තරඟකාරීන්ගේ උපාංගවලට සම්බන්ධ වෙන්න තියෙන හැකියාව තරමක් අවහිර කිරීමත් ඔවුන් සිදු කරනවා. මේ නිසා එක් ඇපල් උපාංගයක් ගත් අයෙකුට ඇපල් සමාගමේ තවත් උපාංග බොහොමයක් ගන්නට පෙළඹවීමක් පවතිනවා. ඇපල් ආයතනයේ උපාංග සහ සේවා අමුතුම ලෝකයක් නිර්මාණය කරන්න තරම් ව්‍යාප්ත වී තිබෙන නිසා බොහෝ තාක්ෂණ විශේෂඥයන් මෙය ඇපල්වලට ම ආවේණික විශ්වයක් (apple universe එකක්)යැ යි හඳුන්වන්න පෙළඹී තිබෙනවා. මේ විදිහට ඇපල් උපාංග සහ සේවාවලින් කෙනෙකුගේ ජීවිතයේ හැම අස්සකට මුල්ලකට ම පිවිසෙමින් අනාගතයේ පෙරමුණ ගැනීම තමයි ඇපල් ආයතනයේ උත්සාහය.

Amazon

Amazon අංශ බොහොමයකට ව්‍යාප්ත වී තිබෙනවා. (stlpartners.com)

මේ ආයතන තුනෙන් දෙවැනියට ආරම්භ වූයේ ඇමසන් ආයතනය යි. 1995 දී අන්තර්ජාලයේ පිහිටි පොත් සාප්පුවක් විදිහට ආරම්භ වුණු ඇමසන් වැඩි කාලයක් යන්නට මත්තෙන් ම ඇමෙරිකාවේ තිබුණු විශාලතම පොත් සාප්පුවලටත් වඩා වැඩි අලෙවියක් දෛනික ව සිදු කරන්න ගත්තා. වෙනත් පොත් සාප්පුවලට පොත් දහස් ගණන් ගබඩා කර තබාගෙන ආරක්ෂා කරන්න විශාල වියදමක් කරන්න සිදු වූවත් ඇමසන් ආයතනයට ප්‍රායෝගික ව මිලියන ගණනක් වුවත් පොත් අලෙවි කරන්නට හැකි වුණේ ඉතා ම සුළු වියදමක් දරමින්. මේ නිසා ඔවුන් උපයා ගන්නා ලාභය ඉතා ඉහළ මට්ටමක පැවතුණා. තම සාර්ථකත්වය අනෙක් අංශවලටත් පතුරවාලමින් අන්තර්ජාලය හරහා තවත් බොහෝ දේ අලෙවි කරන ආයතනයක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. කුඩා ලාභයක් තබා ගනිමින් විවිධ දේ ලෝකය පුරා ම අලෙවි කරන්නට ඉඩකඩ සලසමින් ඔවුන් සුවිසල් ධනයක් උපයා ගත්තා. මේ ධනස්කන්ධය වැය කර විවිධ ආයතන, සමාගම්, තාක්ෂණයන් ආදිය මිලට ගනිමින් සිය ව්‍යාපාරික ආධිපත්‍යය පතුරවන්න ඇමසන් කටයුතු කරනවා. මෑතකාලීන ව ඔවුන් Cloud Computingවලින් බොහෝ සෙයින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Alphabet

මේ සියලුම නිෂ්පාදනවල හිමිකාරීත්වය alphabet සමාගම සතුයි! (triplicatethoughts.blogspot.com)

මේ ආයතන තුනෙන් අවසානයට ආරම්භ වුණේ ඇල්ෆබට් සමාගම යි. ඔවුන් 2015 දී තරම් මෑතක දී යි ආරම්භ වුණේ. කෙසේ නමුත් මෙය සැබෑවට ම ආරම්භ වුණේ 1998 දී ගූගල් සමාගම් බිහිවීමත් සමග කියලා හිතන්න පුළුවන්. කාලයක් පුරාවට අන්තර්ජාලය හරහා විවිධ දේ සොයන්න අවස්ථාව සලසා දුන් ගූග්ල් සමාගම ඉන්පසුව විවිධ අන්තර්ජාල සේවා බොහොමයක් ලබාදෙන ආයතනයක් බවට ක්‍රමයෙන් පත් වුණා. ඔවුන්ගේ සේවාවන් සියල්ලේ ම තිබුණු එක විශේෂත්වයක් තමයි සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාදෙමින් අපගේ පෞද්ගලික තොරතුරු රැස්කිරීම. මේ එකතු කරගන්නා තොරතුරු තුළින් අපට වඩාත් ම ගැළපෙන වෙළඳ දැන්වීම් පෙන්වන්නට හැකියාව ලබාගන්න ඔවුන් සමත් වුණා. මේ විදිහට වෙළඳ දැන්වීම් පෙන්වන පීඨිකාව අදටත් ඔවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගයක්. පසු ව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, ක්‍රෝම් බ්‍රවුසරය හා මෙහෙයුම් පද්ධතිය, ගූග්ල් සිතියම් හා ජීමේල් සේවාව ඇතුළු තවත් බොහෝ සේවා ගණනක් ලබා දෙමිනුත්, මෑතකාලීන ව ඒවා නවීකරණයට AI හෙවත් කෘත්‍රීම බුද්ධිය යොදාගැනීමත් ආදියෙන් ඔවුන් අපගේ ජීවිතයේ හැම අස්සකට මුල්ලකට ම සම්බන්ධ වෙන්න පටන් ගත්තා. දැනටත් මේ සමාගම් තුනෙන් බොහෝ දෙනෙකුගේ ජීවිතයට වඩාත් ම සම්බන්ධ ආයතනය විදිහටත් ගූග්ල් සේවා එක සෙවණකට ගෙනා ඇල්ෆබට් හැඳින්විය හැකියි.

අනාගත කිරුළ කාට ද?

ඉතින් මේ සමාගම් තුනෙන් අවසාන ජයග්‍රාහකයා වනු ඇත්තේ කවුද? බොහෝ දෙනෙක් දකින විදිහට නම් විශාල වෙනසක් සිදු නොවුණහොත් ගූග්ල් සමාගම ඉතා ඉක්මණින් කඩා වැටීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ ගූග්ල් ආයතනයට පෞද්ගලිකත්වය අනිසි ලෙස භාවිත කරන බවට චෝදනා එල්ල වීමේ ඉහළ ඉඩකඩක් පැවතීම යි. දැනටමත් අපේ පෞද්ගලික තොරතුරු එකතු කිරීමටත්, ඒවා ඉලක්කගත වෙළඳ දැන්වීම් පෙන්වීම සඳහා යොදාගැනීමටත් ප්‍රබල පීඩනයක් එල්ල වෙන්න පටන් අරන්. ඉදිරියේදීත් එන්න නියමිත රෙගුලාසි හරහා ඇල්ෆබට්හි ව්‍යාපාරික ව්‍යුහයට ලොකු තර්ජනයක් එල්ල වෙන්න ඉඩ තිබෙනවා. තමන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වැසී යාමත් එක්ක සමාගම පවත්වාගෙන යන්න නම් ඇල්ෆබට් වෙත සුවිශාල වෙනසක් කරන්න සිදු වේවි.

ඉලක්ක කළ වෙළඳ දැන්වීම්වලට බාධා වැඩි වුවහොත් alphabet ආයතනයට බරපතල ප්‍රශ්නයක් ඇති වේවි. (seodrome.com)

ඇපල් සමාගම විනාශයට යන්න ප්‍රධාන හේතුවක් විදිහට එහි ජනප්‍රිය ම උපාංගය හිතන්න පුළුවන්. අයිෆෝන් එක ආපු කාලයේ සිට ම ඇපල් වෙත වැඩිම ආදායමක් ලබාදෙන මාර්ගය බවට පත් වී තිබෙනවා. එහි ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් නැතත් මේ වන විට අයිෆෝනයට සැබැවින්ම අලුත් යමක් හඳුන්වා දීමට ඇති හැකියාව අඩු වෙමින් පවතින බව යි බොහෝ දෙනෙකුගේ අදහස වෙන්නේ. ඇපල් සමාගම ලබන සුවිශාල ආදායමෙන් 62%ක් තරම් ඉහළ ප්‍රතිශතයකට හේතු වන්නේ අයිෆෝන් අලෙවිය යි. මේ නිසා අයිෆෝන්වල අලෙවිය මත ඇපල් සමාගමේ ම අනාගතය රැඳී ඇති බවක් තමයි දකින්න ලැබෙන්නේ. යම් හේතුවක් නිසා අයිෆෝන් අලෙවිය කඩා වැටුණොත් (Samsung Galaxy Note 7 මෙයට හොඳ උදාහරණයක්) ඇපල් සමාගම ම ඇද වැටීමේ ඉහළ අවදානමක් පවතිනවා. ක්ෂණික කඩා වැටීමක් නැතත් අනාගතයේ අලුතෙන් දෙයක් හඳුන්වා නොදුන්නොත් අයිෆෝන් අලෙවිය පහත වැටී ඇපල් සමාගම පවතිනවාට වඩා බොහෝ කුඩා සමාගමක් බවට පත් විය හැකියි.

ඇපල් හි ප්‍රධාන ආදායම් මාර්ගය වන iPhone එකට ඉදිරියේ දී සැබෑ වෙනසක් හඳුන්වාදෙන්න ගොඩක් අපහසු බවක් පෙනෙනවා. (cnet.com)

සියලු දෙනා ම පිළිගන්නා දෙයක් වෙන්නේ අනාගතයේ ප්‍රබලම ආයතනය වීමේ වැඩිම ඉඩකඩක් තිබෙන්නේ ඇමසන් ආයතනයට බව. ලෝකය පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවියේත්, cloud සේවාවන්වලත් කිසිදු අඩු වීමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඇමසන් ආයතනය මෑතක දී අත ගහන ව්‍යාපාරික අංශයෙන් ඉදිරියට එන බවක් දකින්න පුළුවන්. ගූග්ල් ආයතනයේ වෙළඳ දැන්වීම් ආදායම හෝ ඇපල් සමාගමේ අයිෆෝන් ආදායම වගේ එකවර සිදු වන කඩා වැටීමකින් සමාගමට ම විශාල බලපෑමක් ඇති විය හැකි කිසිදු අංශයක් ඇමසන් සමාගමේ ව්‍යාපාරික ව්‍යුහයේ නැහැ. මේ නිසා අනාගතය ඇමසන්ට බව බොහෝ දුරට සිතිය හැකියි.

චීනයෙන් අපි නොසිතන ප්‍රහාරයක්?

කෙසේ නමුත් දැනටමත් මේ ආයතන තුනට අමතර ව තවත් සමාගම් ගණනාවක් ඉදිරියට එමින් පවතින නිසා අනාගතය කාටදැ යි නිවැරදිව ම කියන්න අපහසු යි. විශේෂයෙන් ම facebook ආයතනය මේ අතරින් ඉහළින් ම තියෙනවා, නමුත් එයටත් පෞද්ගලිකත්වයේ ගැටලුවෙන් මිදෙන්නට හැකි වේදැ යි තවමත් පැහැදිලි නැහැ.

cloudfront.net

මේ ආයතනවලට අභියෝග කරන සැබෑ ම පිටස්තරයා වන්නේ Alibaba චීන සමාගම යි. චීනය ලෝක බලවතෙක් වන සිහිනය නියමාකාරයෙන් සැබෑ කරගත්තොත් මෙතෙක් කී ඇමෙරිකානු සමාගම් සියල්ල පරදවා චීන සමාගමක් ඉදිරියට ඒම කිසිසේත් වළක්වන්න බැරි වේවි. මේ නිසා අපි මෙතෙක් කතා කළ A අකුරු සහිත සමාගම් අතරින් ඉදිරියෙන් ම සිටීමේ හැකියාව ඇත්තේ Amazonට වුවත්, බොහෝ විට අනාගතයේ දී ඒ තැන හිමි කරගන්නට චීනයේ සිට පැමිණෙන Alibaba සමාගමට හැකි වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. දැනටමත් මුළු වෙළඳාම් ප්‍රමාණය අතින් ඔවුන් Amazon පවා ඉක්මවා ගොස් තිබෙනවා.

චීනයේ සිට ආවත් අනාගතය තවත් A අකුරකට ම හිමි වනු ඇතැ යි මේ නිසා යම් විශ්වාසයක් තබාගන්න පුළුවන්.

කවරයේ රූපය: © roar.media

Related Articles