Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපනුන්ගේ පුංචි හපන්නු – Kei කාර්වල වැඩකිඩ

තැනකින් තැනකට ගමන් කරන්නට උදව් වන කියන අර්ථය ඇති “වාහන” කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන් යමක් බිහි වුණේ ඇත්තටම ඉතාම මෑතක දී යි. දෙපයින් ගමන් කරනවා වෙනුවට සතුන් පිට හෝ කරත්ත, දුම්රිය ඇතුළු වෙනත් ක්‍රමවලින් ගමන් බිමන් යාමට තරමක් දිගු ඉතිහාසයක් තිබුණත් ඒවා සාමාන්‍යයෙන් වාහන ලෙස හඳුන්වන්නේ නැහැ.

Ford සමාගමේ Model T එක මහා පරිමාණයෙන් අලෙවි වුණු මුල්ම වාහනය යි. (hemmings.com)

අද කාලේ අපි වාහනයකින් ලබාගන්න බලාපොරොත්තු වන දේවල් දිහා බැලුවොත් නම් තැනකින් තැනකට යාමට අමතරව තවත් බොහෝ දේ තිබෙනවා. මිල දී ගන්න සහ පාවිච්චි කරන්න යන වියදම, සුව පහසුව, ආරක්ෂාව, ගෙන යා හැකි බඩු ප්‍රමාණය හෝ බර, ඉඩකඩ, හැසිරවීමේ පහසුව, අතිරේක පහසුකම්, ධාවනයෙන් ලබාගත හැකි වින්දනය වගේම පෙනුම, බ්‍රැන්ඩ් එක ආදියත් ඊට ඇතුළත්. අවශ්‍යතාව අනුව මේවායින් කිහිපයක් හෝ ලබාගන්න පුළුවන් නම් ඒක හොඳ, ගැළපෙන වාහනයක් කියලා හිතන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පුංචි ප්‍රමාණයේ වාහනයක් කිව්වාම අපේ හිතට එන්නෙම ඇතුළත ඉඩකඩ අඩු කම, අඩු ආරක්ෂාව, ගෙන යා හැකි මිනිසුන් හා බඩු ප්‍රමාණය අඩු වීම සහ දුර්වල එන්ජිම වගේ දේවල් තමයි. නමුත් හැමදේටම හපන් ජපානය මේ සියල්ලටම අපූරු විසඳුමක් දෙන කාර් වර්ගයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ තමයි Kei කාර්. ශ්‍රී ලංකාව පුරාත් දැන් වඩාත්ම ජනප්‍රිය කුඩා කාර් සියල්ලම වගේ අයත් වෙන්නේ Kei කාර් කාණ්ඩයට යි.

නම ලැබුණු හැටි සහ Kei කාර්වල අවශ්‍යතාව

ලෝක යුද්ධයෙන් විනාශ වී ගිය ජපානයට නැගී සිටින්න ගමනාගමනය දියුණු කිරීම අත්‍යවශ්‍ය වුණා. (time.com)

ජපන් භාෂාවෙන් “සැහැල්ලු කාර්” කියන අදහස ඇති Keijidosha යන වචනයේ කෙටි කිරීමක් තමයි Kei කාර්. වචනයේ අර්ථය වගේම මේවා සැහැල්ලු සහ ප්‍රමාණයෙන් කුඩා වීම අත්‍යවශ්‍ය වුණා. Kei කාර් දිරිමත් කරන්න සුවිශාල වාසි රැසක් හිමි කර දෙන්න ජපන් රජය කටයුතු කිරීමත් එක්ක එරට පවතින බොහෝ වාහන සමාගම් Kei වර්ගයේ කාර් වෙළඳපොළට නිකුත් කරන්න පටන් ගත්තා. ඔවුන් අතර පැවැති දැඩි තරගය නිසාම මේ වාහන ප්‍රමාණයෙන් කුඩා වුණත් පහසුකම්වලින් ඉතාම ඉහළ ඒවා බවට පත් වී තිබෙනවා.

මුලින්ම යුරෝපයේ සහ ඇමරිකාවේ කාර් නිෂ්පාදනය ඇරඹුණු නිසාම ඒවා ඒ රටවල වෙසෙන අයට සුව පහසුවෙන් ගමන් කරන්න තරම් විශාල ඒවා විදිහට යි වෙළඳපොළට ආවේ. කොහොම නමුත් සිරුරු ප්‍රමාණයෙන් කුඩා ජපන් ජාතිකයන්ට ඒ තරම් විශාල වාහන අවශ්‍ය වුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව විනාශ වී තිබුණු ජපානයේ ගමන් බිමන්වලට අධික මිල වාහන වෙනුවට අත්‍යවශ්‍ය අංග පමණක් සහිත කුඩා වාහනයක් තමයි කවුරුත් හෙව්වේ. ඒ වගේම ස්වාභාවික උවදුරු රැසක් වගේම මාර්ග හදන්න ඉතා අපහසු ප්‍රදේශ රැසක් ඇති, ජනගහනය අධික ජපානයට කුඩා වාහනයක් සියල්ලටම වඩා වැදගත් වුණා. මේ සියල්ලම නිසා තමයි ජපන් වාහන නිෂ්පාදනයේ දී කුඩා කාර්වලට වාසි රැසක් ලබාදෙන්න ජපන් රජය තීරණයක් ගත්තේ.

ඔවුන්ගේ මේ තීරණය නිසා Kei කාර් ජපානයේ ජනප්‍රියම වගේම රටේ අවශ්‍යතාවන්ට වඩාත්ම ගැළපෙන වාහන වර්ගයක් බවට පත් වී තිබෙනවා. අදටත් ජපාන වෙළඳපොළේ 1/3ක්ම පවතින්නේ Kei කාර්.

Kei කාර් රෙගුලාසි සහ එයට හිමිවන වාසි

ජපානයේ Kei කාර්වලට කහ පාට විශේෂ අංක තහඩුවක් හිමි නිසා පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. (gracebuchele.wordpress.com)

Kei කාර් සඳහා මුල්වරට රෙගුලාසි පැනවුණේ 1949 දී යි. එහි දී වාහනයේ උපරිම දිග, පළල හා උස පිළිවෙලින් මීටර් 2.8ක්, මීටරයක් හා මීටර් 2කටත්, එන්ජිමේ ධාරිතාව මි.ලී. 150කටත් සීමා කෙරුණා. නමුත් කාලයත් එක්ක මේ රෙගුලාසි තද වැඩි බව පෙනී යාම නිසා වරින් වර ඒවා ලිහිල් කිරීම සිදු වුණා. දැනට භාවිත වන රෙගුලාසි සකස් වුණේ 1998 දී යි.

ඒ අනුව වර්තමානයේ Kei කාර් එකක් ලෙස සහතික කරන්න නම් වාහනයේ දිග මීටර් 3.4ක් හෙවත් අඩි 11 යි අඟල් 2කටත්, උස මීටර් 2ක් හෙවත් අඩි 6 යි අඟල් 7කටත්, පළල මීටර් 1.48ක් හෙවත් අඩි 4 යි අඟල් 10.5කටත් වඩා අඩු වීම අත්‍යවශ්‍ය යි. ඒ වගේම එන්ජිමේ ධාරිතාව මි.ලී. 660කටත්, උපරිම බලය අශ්ව බල 63ක් හෙවත් කිලෝවොට් 47කටත් සීමා කර තිබෙනවා. මේ සීමා තුළ සිටිමින් ඇති තරම් නව්‍යකරණය කළ කාර්, වෑන් සහ කුඩා ට්‍රක් ඉදිරිපත් කරන්න වාහන නිෂ්පාදන සමාගම්වලට හැකි යි.

මේ වාහනවලට ජපානය තුළ දී සුවිශේෂ වාසි රැසක් හිමිවෙනවා. සාමාන්‍යයෙන් ජපානය තුළ වාහනයක් මිල දී ගන්න නම් එය නවතා තබන්න ප්‍රමාණවත් ඉඩ සහිත ස්ථානයක් තමා සතු බව තහවුරු කරන්න අවශ්‍ය වුණත් බොහෝ ප්‍රදේශවල Kei කාර් සඳහා එය අවශ්‍ය නැහැ. ඒ වගේම Kei කාර්වලට රක්ෂණය ලබා ගැනීමේ දීත්, බදු ගෙවීමේ දීත් ගෙවිය යුත්තේ සාපේක්ෂව ඉතා අඩු මුදලක්. කාර්යබහුල නගරවල බොහෝ ස්ථානවල Kei කාර් නතර කිරීමට අවසර තිබුණත්, වෙනත් වාහන නතර කරන්න අවසර නැහැ. සුවිශේෂී කහ පාට අංක තහඩුවකුත් මේ වාහන සඳහා පමණක් වෙන්කර තිබෙන්නේ හඳුනාගැනීමේ පහසුවට යි.

Kei කාර්වල තවත් වාසියක් වන්නේ ආරක්ෂාව අතින් ඉතාම ඉහළ වීම යි. ඉන්දියාව වැනි රටවල කුඩා කාර් බහුලව නිෂ්පාදනය කෙරුණත් ඒවායේ ආරක්ෂාව නම් අන්තිම බව සියලු දෙනා දන්නවා. නමුත් ජපානය මගීන්ගේ ආරක්ෂාව ඉහළින්ම සලකන රටක් නිසා ඒ ගැටලුව නැහැ. මෑතක දී නිපදවපු අනෙක් හැම ජපන් වාහනයකින්ම ලැබෙන ආරක්ෂාවට සමාන හොඳ ආරක්ෂාවක් සියලුම Kei කාර් නොඅඩුව ලබාදෙනවා.

ශ්‍රී ලංකාවේත් මෑතක සිට ජනප්‍රිය වී ඇති Kei කාර් වර්ග

අද වන විට ලංකාවේ වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්නේ Kei කාර් එකක් වන Wagon R එක යි (lk.aajapancars.com)

කලින් කියපු සීමාවන්ට යටත්වෙලා නිර්මාණය වුණු නිසාත්, ජපානයේ වාහන සමාගම් අතර තරගය නිසාත් බිහි වුණු වාහන සියල්ලම හිතාගන්න බැරි තරම් සුවිශේෂී ලක්ෂණවලින් යුක්ත යි. ශ්‍රී ලංකාවෙත් දැකගන්න ලැබෙන Kei කාර් කිහිපයක් ගැන සිතුවාම එය හොඳින්ම වටහා ගන්න පුළුවන්.

ජපානයේ වගේම මීට ටික කලකට පැමිණි රෙගුලාසි නිසා ශ්‍රී ලංකාවෙත් ජනප්‍රියම වාහනය බවට පත් වුණු Suzuki Wagon R එක මෙයට හොඳම උදාහරණයක්. ප්‍රමාණයෙන් ඉතාම කුඩා වුණත් 5 දෙනෙකුට ඉතා සුවපහසුවෙන්, ආරක්ෂාකාරීව ගමන් කරන්න හැකි මෙය ඉන්ධන ලීටරයකින් කි.මී. 35ක් පමණ ධාවනය කරන්න හැකියාව තිබෙනවා.

මෑතක් වන තුරුම ජනප්‍රිය වී තිබුණු Suzuki Alto එකත් Kei කාර් ආශ්‍රයෙන් ඉන්දියාවේ හැදෙන එකක්. ඒ වෙනුවට මේ වන විට ජපානයේ නිෂ්පාදනය කරන Alto එක ශ්‍රී ලාංකීය වෙළඳපොළ තුළ ඉදිරියට පැමිණ තිබෙනවා. Suzuki Spacia, Suzuki Hustler වැනි තවත් Kei කාර් රැසක් දැන් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය යි. මේ මාදිලි ඇතැම් අවස්ථාවල 660ccට වඩා ඉහළ එන්ජින් ධාරිතාවන් සහිතවත් මිල දී ගන්න අවස්ථාව තිබෙනවා.

Kei කාර් සීමාවන්ට යටත්ව කුඩා ප්‍රමාණයේ sports කාර් නිර්මාණය කිරීමත් දැකගන්න පුළුවන්. මේ අතරින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය මාදිලියක් වෙන්නේ Diahatsu Copen එක යි. මීට අමතරව Honda S660 එකත් බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය යි. ප්‍රමාණයෙන් සහ එන්ජිමෙන් ඉතා කුඩා වුණත් sports කාර් එකකින් ගත හැකි උපරිම වින්දනය ලබාදීම වගේම සිත් ඇදගන්නා සුළු පෙනුම අතිනුත් මේවා සුවිශේෂී යි.

Sport කාර් එකක වින්දනය ලබන්න S660 එකේ කුඩා එන්ජිම බාධාවක් නෙවෙයි. (thekidslogic.com)

මෑත කාලයේ අපේ රටේත් Kei කාර් වේගයෙන් ජනප්‍රිය වුණත් මීට සති කිහිපයකට පෙර පැමිණි රෙගුලාසි නිසා ඒවා දැන් පෙර තරම් වාසිදායක නැති තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. නමුත් එයට පෙර Kei කාර් එකක් මිල දී ගත් කෙනෙකු නම් ඔබ, මේ අපූරු ජපන් නිමැවුමේ විශ්මිත බව අත්විඳින්න ඇති.

කවරයේ රූපය : Roar.media

Related Articles